HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රජ කුමරියක වීමේ අමාරුකාරිය කේට් සපුරන හැටි!

කේට් මිඩ්ල්ටන් කුමරිය, වේල්ස් කුමරිය (කලින් කේම්බ්‍රිජ් ආදිපාදවරිය) ලෙස ගෙවන දිවිය බොහෝ දෙනා හිතන තරම් සුන්දර එකක් නොවේ. ඇයට ඇගේ වයසේ සාමාන්‍ය තරුණියකට මෙන් හැසිරීමට නිදහසක් නැත. සුරූපී කෙළිලොල් යුවතියක ලෙස සුන්දර දිවියක අබියස සිටි ඇය විලියම් කුමරු විවාහ කර ගත් දා පටන් ඇයට වෙන ම ජීවිතයකට හුරු වීමට සිදු විය. දෙවැනි එලිසැබත් මහ රැජින විසින් පනවන ලද දැඩි නීතිරීති සමුදායකට යටත් ජීවන රටාවකට අනුගත වීමට ඇයට සිදුවිය. මේ විසි එක් වන සියවසේ වුනත් රාජ කුමරියක් වීම මොන තරම් අමාරු කාරියක් ද කියා ඔබට මෙයින් සිතා ගත හැකිය. 

කේට් මිඩ්ල්ටන් කුමරිය, වේල්ස් කුමරිය (කලින් කේම්බ්‍රිජ් ආදිපාදවරිය)

ඇයට තමන්ගේම මුදලක් උපයා ගැනීම හෝ රැකියාවක් කිරීම හෝ සපුරා තහනම්ය. ප්‍රසිද්ධියේ සිය සැමියා වැළඳ ගැනීම තහනම්ය. ඔයාකාරයේ නීති සමුදායක් ඇය විසින් අනුගමනය කළයුතුය. දෙවන එලිසැබත් ජීවත්ව සිටිය දී ඇය දැඩි නීති රීති රැසකට අනුගතව සිටියාය. අද ඇයට නව රජතුමා වෙනුවෙන් ද ඒ නීති පිළිපැදීමට සිදු වි තිබේ. ඒවායින් කීපයක් මෙසේ ය: 

රාජකීය පවුලට සම්බන්ධ වූ වහාම ඇය ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වන්නීය. කෙසේවුවත් ඇයට ලෝලීන්ගේ සමරු පොත්වලට අත්සන් තැබීම තහනම් ය. ඇයට අත්සන් තැබිය හැක්කේ මහ රැජින විසින් කලින් බලය පවරා ඇති රාජකීය ලේඛනවලට පමණ ය. මේ නීතිය පනවන්නට හේතුව රජ පවුලේ සාමාජිකයකු හැටියට ඇයගේ අත්සන හොරට යොදා කිසිවකු විසින් කූඨ ලේඛන සැකසීම වැළැක්වීම පිණිස ය. ඒ නිසා ඇයට අවසර දී ඇත්තේ අතට අත දීමට හා ඡායාරූපවලට පෙනී සිටීමට පමණ ය. 

ඇයට තමාගේ නිර්මාණවලින් මුදල් ඉපැයීම සපුරා තහනම්! 

සාමාන්‍ය තත්වයන් යටතේ මෙය අදට නොගැළපෙන නීතියකි. විශේෂයෙන් කේට් දක්ෂ නිර්මාණශීලි ඡායාරූප නිර්මාණශීලි ශිල්පිණියක නිසා ඇය විසින් වසර ගණනාවක් තිස්සේ ගෙන මුදා හරින ලද ඡායාරූපවල හිමිකම් මගින් දැනටත් ලැබෙන ආදායම භාර ගැනීම ඇයට තහනම් ය. මින් ඉදිරියට ඇය ගන්නා ඡායාරූප නිකුත් කරන්නේ මාලිගාවෙනි. ඇයට පුද්ගලිකව ඒවායින් ආදායම ලැබිය නොහැකිය. 

මහ රැජිනට පළමු තැන 

මේ නීතිය කේට් පමණක් නොව ඔබටත් වලංගුය. මහ රැජින සමඟ රාත්‍රි ‍භෝජන සංග්‍රහයකට සහභාගිවීමට සිදු වුවහොත්, මහ රැජින ආහාර ගැනීම නතර කළ වහාම භෝජන සංග්‍රහයට සහභාගිවූ සෑම දෙනාම ආහාර ගැනීම නතර කළයුතුය. මේ නීතිය රාජකීය පවුලේ හැම දෙනාටමත් පොදු එකක්. කොච්චර රස දෙයක් වුනත් කරන්න දෙයක් නැහැ. ඉන් ඉදිරියට කටක්වත් කන්න බැහැ. 

මූදු බෙල්ලන් ආහාරයට ගැනීම තහනම් 

මූදුබෙල්ලන් වර්ගවලින් පිළියෙල කළ ආහාර වර්ග ගැනීම තහනම්. මේ සතුන් ගබඩා කිරීමේ දී නිවැරදිව නොකළොත් අජීර්ණ වැනි රෝග තත්වයන් ඇතිවිය හැකි නිසා ආරක්ෂිත පියවරක් හැටියටයි මේ නීතිය පනවා ඇත්තේ. රාජකීයයන්ට එවැනි අවදානමක් ගන්න පුලුවන් කමක් නැහැ. කේට් රජ පවුලට එක් වෙන්න කලින් සොයා ගෙන ගොස් මුහුදු ආහාර ආහාරයට ගත්තත් මින් ඉදිරියට ඇය ඒ ආසාව අත් අරින්න සිදු වේවි. 

නියපොතු ලස්සනට පාට කරන්න තහනම්! 

තරුණ වියේ යුවතියක් නියපොතු පාට කිරීම ගැන මොන තරම් හිතනවාද? ඒ මොන තරම් වෙහෙස ගෙන පාට තෝරනවාද? කේට් ඒ ගැන හිතන්න තරම් දෙයක් නැහැ. ඇය සොෆ්ට් පින්ක් 28 රෝස් ලවුන්ජ් (බූශුවා) සහ නියඩ් 423 ඇලියෝ (එසී) යන වර්ණ දෙක පමණක් තෝරා ගත යුතුයි. වෙනත් වර්ණ තෝරා ගන්න හිතන්නවත් බැහැ. රාජකීය නිල උත්සව වල දී ඇය නියපොතු ස්වාභාවිකව පෙනෙන ආකාරයට වර්ණ ගැන්විය යුතුයි. ඒ එළිසැබත් මහ රැජිනගේ නියෝගයයි. මහ රැජින 1989 සිට නොකඩවාම එකම එනමල් වර්ගය නියපොතු සඳහා පාවිච්චි කළා. 

ඇඳුම්වලටත් දැඩි නීති තියෙනවා. 

විවාහයට පෙර කේට් ඇය අද අඳිනවාට වඩා අලංකාර වර්ණවත් ඇඳුම් ඇන්දා. අද ඒවා අඳිනවා දකින්න ලැබෙන්නේ නැහැ. සමින් කළ විචිත්‍ර වර්ණවත් බූට් සපත්තු පලඳිනවා දකින්න නැහැ. ඇය කැමති නම් සැබෑ සමින් කළ සපත්තු පැලඳිය හැකියි, හැබැයි ඒවා සපත්තු නිපදවීම සඳහාම ඝාතනය කළ සතුන් ගේ නොවිය යුතුයි. එය සත්ව හිංසනය පිටු දැකීම ක්‍රියාවෙන් පෙන්වන්නක්. රාජකීය පවුලේ කිසිවකු එවැනි නිෂ්පාදන පලඳින්නේ නැත. මේ චාරිත්‍රය නිසා අධි සුඛෝපභෝගී, ලොව මිල අධිකම ඇඳුම් රාජකීය අල්මාරියට එකතු වන්නේ නැත. 

ඇයට ඡන්දය දීමට අවසර නැත. 

කේට් පමණක් නොව රාජකීය පවුලේ කිසිවකුටත් ඡන්දය දීමේ වරප්‍රසාදය හිමි කර ගැනීමට අවසර නැත. එසේම පාර්ලිමේන්තුවට ඇතුළත් වීමටද වරම් නැත. සියලුම රජවරුන් රජ පවුලේ ගෞරවය ආරක්ෂා කර ගැනීම පිණිස මධ්‍යස්ථව සිටිය යුතුය. ඒ නිසා ම මැතිවරණ සඳහා කිසිම බලපෑමක් රජ පවුලේ කිසිවකුත් අතින් සිදු නොවේ. මතක තබා ගන්න මෙය නීතියක් නොවේ. මහ රැජිනගේ තීරණයක්. ඊට එරෙහි වීමට කිසිවකුටත් හැකියාවක් නැත. 


ප්‍රචෝදනය කරවනසුලු ඇඳුම් ඇඳීම තහනම්! 

බාල වියේදි සිට ම කේට් ඉතා අලංකාර, අති විචිත්‍ර, දිදුලන ඇඳුම් ඇන්දත් අද ඇයගේ ඇඳුම් අල්මාරියේ එවැනි ඇඳුම් නැත. අද අය අඳින ඇඳුම් ශෝභනය; සුලලිතය; රජ කුමරිකයට ඔබින විසිතුරු බවක් ඇත. ඔබට කිසිවිටෙක ඇය විසිතුරු මෝස්තර, රූරටා ඇති ඇඳුම් අඳිනවා දක්නට ලැබෙන්නේ නැත. එසේ සිරුර වැඩිපුර විවෘත ඇඳුම් අඳින්නේ නැත. ඇය හැමවිටම අඳින්නේ ඉතා චාම් ඇඳුමකි: සායකි; බොහෝ විට ගවුමකි. ඒවා බොහෝවිට දීප්තිමත් නොවූ ඝන වර්ණයෙන් යුත් ඇඳුම්ය. කාන්තා කලිසම් ඇඳ පිටතට යන්නේ නැත. නිතරම ඊට ගැළපෙන හිස් වැස්මක් පලඳින්නීය. 

කාළ වර්ණ ඇඳුම් සීමිතය. 

දිවා කාලයට කළු ඇඳුම් ඇඳීම නොකරන්නැයි රාජකීය පවුලේ අයට උපදෙස් දී තියෙනවා. කේට්ට විශේෂයෙන් කළු ඇඳිය හැක්කේ ශෝකය පළ කිරීමේ අවස්ථාවලට පමණි. ඇත ඉඳහිට රාත්‍රි උත්සවවලට කළුවන් ඇඳුම් අඳින අවස්ථා ඇත. විදේශ සාවාරියක් යන විට සම්පූර්ණ කළු ඇඳුම් කට්ටලයක් ඔවුන්ගේ ඇඳුම් අතර ගෙන යාම අනිවාර්ය කර ඇත. ඒ යම් හෙයකින් විදේශතව සිටියදී පවුලේ රාජකීයයකු හදිසියේ මිය ගියහොත් ආපසු ගුවන්යානයෙන් බසින විට එය හැඳ නිසි ගෞරව සහිතව සිය රටට සැපත් වනු සඳහාය. මේ නීතිය පැන වුණේ හය වැනි ජෝර්ජ් රජතුමාගේ අභාවයෙන් පසුවය. ඒ අවස්ථාවේ එලිසැබත් කුමරිය අප්‍රිකාවේ සංචාරයක නිරතව සිටියාය. ආරංචිය ලද සැණින් ඇය සංචාරය අතරමග නතර කොට ආපසු එංගලන්තයට ආවාය. එදා ගුවන්යානයෙන් බසින විට අඳින්නට කළු ඇඳුමක් ඇය සතුව තිබුණේ නැත. ඇය රාජ්‍යත්වයට පත් වූ පසු සෑම රාජකීයකුම විදේශ ගත වන්නේ නම් කළු ඇඳුම් කට්ටලයක් ග‍ෙන යායුතු යයි කියා නියෝගයක් නිකුත් කළාය. 

මොනොපොලි ක්‍රීඩාව ඇයට තහනම්! 

මෙය මේ තහනම් ලැයිස්තුවට එක් වූ අසාමාන්‍ය එකකි. රජ මාලිගාව තුළ මොනො‍පොලි ක්‍රීඩාව සපුරා තහනම්ය. හේතුව වශයෙන් දක්වා ඇත්තේ 2008 දී යෝක්හී ආදිපාදවරයා එය විෂම ක්‍රීඩාවක් ලෙස හැඳින්වීමය. විවේකය ගත කරන්නට එවැනි ක්‍රීඩා යොදා ගන්න එපා යැයි ආදිපාදවරයා රැජිනගේ සහයට ඉන්නා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටියේය. මෙය විකාර නීතියක් යැයි සිතුන ද ඔබ කවදා හෝ පවුලේ උදවිය සමග මොනො‍පොලි ක්‍රීඩාවෙහි යෙදුනොත් එය ඔබේ මනස විකෘති කරන්නක් බව වැටහ‍ෙනු නියතය. එය විනෝදාත්මක ක්‍රීඩාවක් වුවත් පවුල බැඳීම් බිඳ දැමීමට තරම් හැකියාවක් ඇති බව ඔබට ම දැනේවි. 

රාජකීය පවුල එක විට එකම යානයකින් ය‍න්නේ නැහැ. 

විවේකයකට යන විට රාජකීය පවුලේ අය එකම අහස්යානයකින් හෝ නැවකින් හෝ දුම්රියකින් එකට එක්ව යන්නේ නැහැ. ඔවුන් විවේකය ගත කරන්නේ පූර්ව ආරක්ෂිත සැලැස්මක් අනුවයි. මේ නීතිය පනවා ඇත්තේ බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් දෙදෙනකු හදිසි අනතුරකදී එක විට මිය යාම වැළැක්විමටය. මේ අනුව කේට්ට සිය ස්වාමි පුරුෂයා හා මාමණ්ඩිය වූ චාල්ස් කුමරු (වර්තමානයේ රජු) සමග එක විට සංචාරයේ යෙදෙන්නට ඉඩක් නැහැ. 

ඇය එංගලන්ත කිතුනු සභාවේ සාමාජිකාවක විය යුතුය. 

රාජකීය පවුලේ අනෙක් සාමාජිකයන් මෙන් ඇය ද එංගලන්ත රෙපරමාදු කිතුනු සභාවේ සාමාජිකාවක විය යුතුය; වෙනත් ආගමක හෝ නිකායක ලබ්ධිකයකු නොවිය යුතුය. 2011 දී ආදිපාදවරියට විලියම් කුමරු හා ඇගේ විවාහය තහවුරු කිරීම වෙනුවෙන් එංගලන්ත කිතුනු සභාවේ පැවති ආගමික උත්සවයට සහභාගි වීමට සිදුවිය. 

ප්‍රසිද්ධියේ සිප වැළඳ ගැනීම තහනම්! 

ඔබට ඔබ සහකාරයාගේ අතින් ඇල්ලීම, හාදු දීම, වැළඳ ගැනීම ප්‍රසිද්ධියේ තහනම් වුවහොත් කොහොමද? කේට් කුමරියගේ ජීවිතය එහෙමයි. මහ රැජිනගේ පිළිගැනීමට අනුව රජ පවුලේ අය වෙනත් අයට ‍පෙනෙන්ට ආදර ඇඟෑළුම් කම් නොපෑයුතුය. ඒ නිසා කේට් ඒ හැම දෙයකින් ම ඈත් වී සිටිය යුතුය. මහ රැජින අකමැති කිසිම දෙයක් ඇය විසින් නොකළ යුතුය. විලියම් කුමරු හා විවාහ වූ දා ජනතාවට පෙනෙන්නට දුන් නිල හාදුව හැරෙන්ට වෙනත් කිසිම ආදර පෑමක් කැමරාවට හසු වී නැත. රැජිනගේ නියෝගය අනුව රාජකීය යුවළ එකිනෙකාගේ අත් ඇල්ලීම පවා කළ යුත්තේ වැසුණු දොරකට මුවා වී පමණි. 

නත්තල ගත කරන හැටි! 

රාජකීය පවුලේ උදවිය සෑම නත්තලක් ම ගත කරන්නේ නෝෆොක්වල සැන්ඩ්‍රින්හැම් මාලිගයේය. දෙසැම්බර් 25 වැනිදා උදයේ හෝ පෙරදා මධ්‍යම රාත්‍රියේ නත්තල් තෑගි විවෘත බැලීමේ සිරිතක් රජ පවුලේ නැත. ඒ වෙනුවට ඇත්තේ වෙනත් සිරිතකි. රජ පවුලේ උදවිය නත්තල් තෑගි විවෘත කර බලන්නේ නත්තලට පෙරදා සවස තේ මේසයේ දීය. 

ප්‍රසිද්ධියේ හැඬීම තහනම්! 

කේට් කුමරියට ප්‍රසිද්ධ ස්ථානයක දී හදිසියේවත් හැඬීම තහනම් ය. ඇය සිය හැඟීම් කෙසේ හෝ පාලනය කර ගත යුතුය. මේ රාජකීය පවුලට එක් වූ සිට ඇය මොනම අයුරකින්වත් තම ශෝකය පිටතට නොපෙන්විය යුතුය. ඒ රැජිනගේ නීතියයි. ඒක සාමාන්‍ය මිනිසුන් හැටියට අපට නම් ටිකක් කුරිරු නීතියකි. මානුෂීය ක්‍රියාවකට සහභාගිවෙද්දී හෝ අවමංගල්‍යයක් වැනි අවස්ථාවකදී ගෞරව දැක්වීමකට සහභාගිවෙද්දී හෝ ඇයට එවැනි ශෝචනීය හැඟීම් පළ නොකළ යුතුය. ඒ හැම තැනකම ඇය සන්සුන්ව ශාන්තව සිටිය යුතුය. ඒ නිසා ඇය කිසි විටෙක මඟුලකදී හෝ අවමඟුලක දී පමණක් නොව ශෝකාකුල අවස්ථාවක දී ඇගේ කම්මුලෙහි කඳුලක් කිසිවකු දැක නැත. 

හැමවිටම ඡායාරූපවලට සුදුසු ඉරියව්වක සිටීම 

කේට් හැමවිටම සුන්දර ඉරියව්වක සිටිනු ඔබ ඡායාරූපවල දැක ඇත. එහෙම වෙන්නේ කොහොමද? ඒ ඇයට පනවා ඇති නීතියක් නිසාය. රාජකීය කාන්තාවන්ට ඔවුන්ගේ හනු බිමට සමාන්තරව සිටින සේ ඉරියව්ව තබා ගැනීමට උපදෙස් දෙනු ලැබේ. එය ඔවුන්ට සහජයෙන් පිහිටන දෙයක් නොවන නිසා සුසිරිත් ඉගැන්වීමේ පන්තියේ දී මේ ගැන කියා දෙනු ලැබේ. එසේ සිටින විට හදිසියේ හෝ නොදැන ඡායාරූපයක් කෙනෙකු ගත්තත් ඇගේ මුහුණේ ඉරියව්ව ප්‍රසන්නව කැමරාවට හසුවේ. 

විලියම් කුමරාට පියවර දෙකක් පසුපසින් සිටිය යුතුය. 

ලෝකය කොතරම් වෙනස් වුවත් රාජකීය පවුලේ ඇතැම් පැරණි සාම්ප්‍රදායන් වෙනස් නොවේ. ඇය හැමවිටම විලියම් කුමරුට පියවර දෙකක් පසුපසින් යා යුතුය. මෙය අදට ගැළපෙන්නක් නො වුවත් ඇය ඒ ගැන මැසිවිලි නොනඟයි; එයට ගරු කරයි. ඒ ඇයව රාජකීයත්වයට ඔසවා තැබූ රජ පවුලට ගරු කිරීමක් වශයෙනි. ඒ නිසා ඇය නිල උත්සවවල දී හා රාජකාරි අවස්ථාවල දී ඇය මේ නීතිය අකුරටම පිළිපදින්නීය. 

සමාජ මාධ්‍ය භාවිතය තහනම්! 

රජ පවුලේ අයට සමාජ මාධ්‍ය භාවිතය සපුරා තහනම් වෙයි. ඔවුන්ට පුද්ගලික ගිණුම් ද නැත. මේ නීතිය පනවා ඇත්තේ රහස්‍ය තබා ගත යුතු දේ ප්‍රසිද්ධ වීම වැළක්වීමටයි. මේ නවයුගයේ හැටියට මෙම නීතිය තරමක් විකාර එකක් සේ පෙනුනත් සමාජ මාධ්‍යවල පින්තූර හා විස්තර විකෘතව භාවිත වන ආකාරය දෙස බලන කල එය අත්‍යවශ්‍ය සාධාරණ නීතියක් සේ පෙනෙයි. ඒත් සමාජ මාධ්‍ය තුළ නිල වශයෙන් පවත්වා ගෙන රාජකීය ගිණුම් තිබේ. ඒවා පාලනය කරනු ලබන්නේ සන්නිවේදන වෘත්තිකයන් විසින් වන අතර ඔවුහූ ඒවා සඳහා පළ කළ යුතු පින්තූර හා තොරතුරු ඉතා පරිස්සමෙන් තෝරා ගනිති. 

උපදින තෙක් කුමර කුමරි භාවය රහසකි 

කුමරියගේ ගැබිනිි කාලයේ දී රාජකීය බිලිඳුන්ගේ කුමර කුමරි භාවය උපදින තෙක් රහසක්ව තබා ගැනීමේ සිරිත අනුව ඇයට එය රහසක්ව තබා ගැනීමට සිදුවිය. මෙය ඉතාමත් රහසිගතව පවත්වා ගෙන නිසා මෙය ඔට්ටු තැබීමට මාතෘකාවක් විය. 

ඇය නිතර රූපලාවන්‍යාගාරයට යාම අනිවාර්යය. 

වේල්ස් කුමරිය නිතරම අඩුපාඩු රහිතව, නිර්මලව, ප්‍රසන්නව සිටිය යුතුය. ඒ නිසා ඇය නිතර රූපලාවන්‍යාගාරයට යාම අනිවාර්යය. කොයි මොහොතේ වුවද ඇයට ස්වාමිපුරුෂයා සමග ඡායාරූපයකට පෙනී සිටීමට හෝ වැදගත් සිදුවීමකට මුහුණ දීමට කැඳවීමක් ලැබිය හැකිය. ඒ නිසා ඇය ඕනෑම මොහොතක සුන්දරත්වයෙන් අනුනව සූදානමින් සිටිය යුතුය. එංගලන්තයේ සඟරාවල පළ වන ආකාරයට අනුව ඇය සාමාන්‍යයෙන් සතියකට තෙවරක් රූපලාවන්‍යාගාරයට යන්නීය. ඒ වියදම් ගැන ඇයට වදවීමට දෙයක් නැත. හොඳ දේට මුදල් වැය කිරීම ප්‍රශ්නයක් නොවේ. 

රැජිනගේ ඉඟි තේරුම් යුතුය 

මහ රැජින ජීවත්ව සිටිය දී ඇගේ ඉරියව් හා සිරුරු බස කියවීමේ හැකියාව වේල්ස් කුමරියට තිබිය යුතුය. එලිසැබත් මහ රැජින රාත්‍රි භෝජන සංග්‍රහයකට ගියහොත් ඇය එතැනින් නික්ම යාමට මිනිත්තු පහකට පෙර අත් බෑගය මේස මත තබන්නීය. මෙහි දී මතක තබා ගත යුතු දෙයක් නම් රැජින ආහාර ගැනීම නැවැත් වූ වහාම සියලු දෙනාම කෑම ගැනීම නතර කළ යුතුය. රැජින යම් පුද්ගලයකු සමග කතා බස් කරමින් සිටිය දී ඇයට ඒ කතාබහ වෙහෙසකාරී වී අවසන් කළ යුතු යැයි සිතුනොත් ඇය එක් අතක ඇති බෑගය අනෙක් අතට මාරු කරන්නීය. 

රජ මාලිගය තුළ දී අන්වර්ථ නාම භාවිත කිරීම තහනම්! 

රජ පවුලේ කිසිවකු මාලිගය තුළදී අන්වර්ථ නාම, ‍ගෞරව නාම, නැතිනම් සුරතල් නම්වලින් ඇමතීම තහනම්ය. විවාහ වීමේ දී රාජකීය උදවියට නව පදවි තානාන්තර පිරිනැමෙයි. කේට් කුමරිය රාජකීය පවුලට සම්බන්ධ වීමත් සමග ඇය කේම්බ්‍රිජ්හී ආදිපාදවරිය ලෙස නම් කරනු ලැබීය. දැන් වේල්ස් කුමරිය වී සිටියි. එහෙත් මාලිගය තුළ දී ඇය ඒ නමින් හැඳින්වීම තහනම් ය. එසේ ම කේට් වැනි කෙටි නම්වලින් හැඳින්වීම ද තහනම් ය. ඇය ඇමතිය යුත්තේ කැතිරීන් එලිසැබත් මිඩ්ල්ටන් යන සම්පූර්ණ නාමයෙනි. 

මරඳ මල් පොකුර අනිවාර්යයි 

කේට් කුමරිය තමා කැමති මල් වර්ගයක් තෝරා ගැනීමට නිදහසක් නැ. ඇය සෑම රාජකීය මනාලියක් මෙන්ම මරඳ (myrtle) මල් කිනිත්තක් මනාලිය වන මොහොතේ අතට ගත යුතුය. රාජකීය පවුලේ විශ්වාසයට අනුව මිහිරි සුවඳක් විහිදුවන සුදු පැහැති මරඳ මල රාජකීය පවුලට වාසනාව හා ප්‍රීතිය ගෙනෙන පුෂ්පය වෙයි. මේ සාම්ප්‍රදාය ආරම්භ වූයේ වික්ටෝරියා මහ රැජිනගේ කාලයේ සිටය. වික්ටෝරියා රැජිනගේ මනමාලයාගේ මිත්තණිය විසින් රජ පවුලට මරඳ මල් පැළයක් තෑගි කරනු ලැබීය. එය රාජකීය උද්‍යානයේ කර ඇති අතර මනාලියට මල් පොකුර සපයා ගන්නේ ශාකයෙනි. 

රාජකීය විවාහය සිදුවන්නේ 1722 පනතට අනුවයි 

කේට් කුමරියට විලියම් කුමරුගේ පවුලේ පූර්ව අනුමැතිය නොමැතිව කේට් කුමරියට කුමරු හා විවාහ ගිවිස ගත නො හැකිය. රාජකීය මංගල්‍යයන් සඳහා 1722 සම්මත වූ පනතක් ඇත. ඒ පනතේ හැටියට නිල වශයෙන් මංගල්‍යය සඳහා ඉල්ලීමක් කරන්නට පෙර රාජකීය පවුලේ අනුමැතිය ලද යුතුය. විලියම් කුමරුට කේට් කුමරියගේ අත ගැනීම සඳහා අවසර ලැබුණේ ඔවුන් දෙදෙනා ටැන්සානියාවේ විනෝද සංචාරයකට සහභාගි වෙමින් සිටිය දීය. 

දේශපාලන මත දැරීම හා පළ කිරීම තහනම්! 

රාජකීය පවුලේ අනිත් සාමාජිකයන්ට මෙන් කේට් කුමරියට ද දේශපාලන මත දැරීම හා පළ කිරීම තහනම් ය. ඔවුන් හැම විට ම මධ්‍යස්ථව සිටිය යුතුය. මධ්‍යයෙන් හෝ වෙනත් අයකු හෝ පක්ෂ ගැන හෝ දේශපාලන කටයුතු ගැන හෝ විමසුවොත් සම්පූර්ණ නිහඬ බව රැකිය යුතුය; රාජකාරි කටයුත්තකදී වුවත් අදහස් පළ කිරීම හෝ පැසසීම නොකළ යුතුය. 

ඇයට තවත් තහංචි රැසක් තියෙනවා. ඒවා හෙට ඔබ වෙත ගේනවා.

Post a Comment

0 Comments