HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඩෙනිම් ජීන්ස් කලිසමේ ඇති විස්මයජනක සාක්කුව කුමක් ද?

ඩෙනිම් ජීන්ස් යනු ලොව බොහෝ රටවල ජනතාවගේ ඇඳුම් අතර නො වැරදීම දැක ගත හැකි කලිසම් විශේෂයක්. ගැහැනු පිරිමි බේදයක් නැතිව අඳින මේ ජීන්ස් වසර ගණනාවක් තිස්සේම විවිධ අයුරින්, විවිධ විලාසිතාවන් ගනිමින් ජනතාව අතර ජනප්‍රිය පැවතුණා. මේ ලීවායිස් ජීන්ස් (Levi's jeans) කලිසමට මේ වසරේ දී වසර 150 පිරෙනවා. 1873 දී තමයි, ලීවායි ස්ට්‍රෝස් සහ සමාගම (Levi Strauss & Co) මේ කුඩා පොකට් සාක්කුව ඩෙනිම් කලිසමට මුල්වරට හඳුන්වා දුන්නේ. වෙනස් වෙනස් නිල් පැහැයන් ගෙන අප අතරට ආ ජීන්ස් කලිසම කාලයත් සමඟ වෙනස්කම්වලට භාජනය වුව ද නොවෙනස්ව පවතින එක පුංචි කොටසක් තියෙනවා. ඒ තමයි කලිසමේ ප්‍රධාන සාක්කුවට ඉහළින් තියෙන කුට්ටි සාක්කුව. ඒක ලෝකයේ කොයි රටක හැදුවත් නිශ්චිත විලාසිතාවක් හැටියට එතැන තියෙනවා. 

තවමත් තියෙන ඒ විස්මිත පොකට්ටුව.
මුල් යුගයේ කලිසමේ  ශක්තිය ගැන කියන්න 
මේ රූපය වෙළඳ ලකුණ ලෙස යොදා ගත්තා.

ලොව පුරා ජනප්‍රිය 501 මෝස්තරයේ ඩෙනිමක්.

කොහොමද මේ පුංචි සාක්කුව ඩෙනිම් කලිසමට ආවේ? ඌබර් (Uber Facts) තොරතුරු සොයන වෙබ් අඩවිය මගින් ට්විටර් ඔස්සේ ඒ ගැන මත විමසුමක් කළා. සමහර අය කීවා ඒ කුට්ටි සාක්කුව කාසි දමන්න ඉතා හොඳයි කියා. තවත් අය කීවා, විවාහක අයට අවශ්‍ය වෙලාවට ඔවුන්ගේ මඟුල් මුද්ද හංගන්න ඒක ‍ඉතාම හොඳ තැනක් කියා සමහරුන් කීවා. ‘මං මුදල් හංගන්න පාවිච්චි කරන්නේ ඒ පොකට් එක.’ තවත් කෙනෙක් කීවා. තවත් කෙනෙක්, ‘අයිපොඩ් නැනෝ’ (iPod Nano) එකක් දාන්නත් පුළුවන්’ නවීන පහසුකමක් ගැනත් කීවා. ගීටාර් වාදකයෙක් කීවා, ‘මට ඒක ගිටාර් එක වයන කටු දාන්න හොඳ තැනක්’ කියලා. තවත් අයෙක් කීවා, ඒ සාක්කු යතුරු කැරැල්ල දාන්න එයා පාවිච්චි කරනවා කියා. මේ විධියට විශේෂ හේතූන් රැසකට එය භාවිත කරන්න අද ඉන්න අය හිතුවාට ආරම්භයේ දී මීට අවුරුදු 150කට විතර ඉස්සර මේ සාක්කුව කලිසමට එක් කළේ සාක්කු ඔරලෝසුවක් දමන්නයි. ඒ සඳහා පාවිච්චි කළේ බ්‍රෙල්සන් වර්ගයේ වටකුරු හැඩයෙන් යුත් ඔරලෝසුවක්. ඒක දම්වැලක් සවි කොට ඉණේ බැඳි පටියට සවිකර මේ කුට්ටි සාක්කුවට දමා ගැනීමයි එකල සිරිත වුණේ. 

දැන් භාවිතයෙන් ඈත් වී ඇති සාක්කු ඔරලෝසු මාදිලි කීපයක්.

මීට අවුරුදු 100කට, 150කට විතර ඉස්සර අත් ඔරලෝසු තිබුණේ නෑ. ඒ කාලේ තිබුණේ පොකට් ඔරලෝසු විශේෂයක්. මට මතකයි, අපේ සීයා කෙනෙක් ඒ වගේ රන් දම්වැලක එල්ලූ පොකට් ඔරලෝසුවක් කබායේ පැලඳ සිටියා. කෝට් එකේ පලඳින ඒ පොකට් ඔරලෝසුව දමන්න තමයි, ඒ ඩෙනිම් කලිසමේ පුංචි සාක්කුව නිර්මාණය කරනු ලැබුවේ. 1943 දී මේ පොකට් ඔරලෝසු භාවිතයෙන් ඉවත්වූ පසුත්, ඩෙනිම් ජීන්ස් කලිසමේ ඒ කුට්ටි සාක්කුව තාමත් තියෙනවා. 

ලීවායිස් ඩෙනිම් ජීන්ස් හැම තරාතිරමකම අය අඳිනවා. පතල් ආකර කම්කරුවන්ගේ පටන් නොබෙල් සම්මානලාභීන් දක්වා එය විවිධ වෙනවා. මාලන් බ්‍රැන්ඩෝ වැනි ලෝපතල නළුවන් වගේ ම ඇල්බට් අයින්ස්ටයින් වැනි කීර්තිමත් විද්‍යාඥයන්ද ඒ අතර වෙනවා. ඒ මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ඇන්ද, 1930 ගණන්වල ලීවායිස් ස්ට්‍රෝස් සහ සමාගම තැනූ ලෙදර් ජැකට් එකක් 2016 ජූලි මාසයේ පැවති ක්‍රිස්ටීස් වෙන්දේසියේ දී පවුම් 110,500කට විකුණුණා. 

ලීවායිස් ආයතනය තමන් හා තරඟයට එය අය ක්ෂේත්‍රයෙන් ඈත් කරන්න නොයෙක් උපක්‍රම යොදනවා. තමන්ගේ නිෂ්පාදන ගැන දැවැන්ත දැන්වීම් පුවරු ආයතනය ඉදිරියේ ප්‍රදර්ශනය කරනවා. නව මාදිලියන් විවිධ නම් යොදා වෙළඳපොළට එවනවා. ඔවුන්ගේ ඇඳුම්වලට විශේෂ මැහුම් රටා හා නව තාක්ෂණය භාවිත කරනවා පමණක් නොව විශේෂ නම් යොදා නිෂ්පාදනය ආරක්ෂා කරනවා. ‘ලීවායිස්’, ‘රෙඩ් ටැබ්’, ‘ඔරෙන්ජ් ටැබ්’, ‘සිල්වර් ටැබ්’, ‘501’, ‘505’, ‘517’, ‘550’, ‘569’ හා ‘ඩොකර්ස්’ ඉන් කීපයක්. 

දැන් ඩෙනිම් ජීන්ස් ඒ ප්‍රමිතියටම ලොව පුරා ම ඇති ඇඟළුම් කර්මාන්තශාලාවල තැනෙනවා. ජීඑස්පී යටතේ අපේ රටේ ඇඟළුම් කර්මාන්තශාලාවලත් නිපදවෙනවා. ශ්‍රී ලංකාවේ පමණක් නොවේ සිංගප්පූරුව, වියට්නාමය තායිලන්තය වැනි ආසියාතික රටවලින් ඩෙනිම් ජීන්ස් තනා යුරෝපයට හා ඇමෙරිකාවට පටවනවා. 

ඔබ 501 මෝස්තරයේ ඩෙනිමක් අරන් බලන්න මේ විස්මිත සාක්කුව ඔබට දැනුත් දැක ගත හැකියි. 

- පර්සි ජයමාන්න 




Post a Comment

0 Comments