HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඇස් 24ක් ඇති මෙතෙක් නොවූ විරූ විස්මිත ලොඩියෙක් හමුවේ!

හොංකොං පොකුණක සිටි මෙතෙක් සොයා ගෙන නොතිබුණු පෙට්ටි ලොඩි විශේෂයක් පළමු වරට හඳුනා ගැනීමට එරට සත්ව විද්‍යාඥයන් සමත් වී තියෙනවා. මායි පෝ (Mai Po) ස්වාභාවික රක්ෂිතයේ වගුරු බිමක පිහිටි පොකුණක සිට හමු වී ඇති මේ අපූරු සත්වයා ප‍ෙට්ටි ලොඩියා හෙවත් බොක්ස් ජෙලිෆිෂ් (box jellyfish) ගණයට අයත් අමුතු එකෙක්. උගේ සීනු හැඩයේ සිරුරෙහි වටේට ඇස් 24 ක් පිහිටා තියෙනවා. ඒ ඇස් පිහිටා ඇත්තේ එක ළඟ හතර බැගින් හය පොළකයි. උගේ සිරුර විනිවිද පෙනෙනසුලුයි. 

මේ සතා කුඩාවට පෙනුනද ඔවුන්ගේ ග්‍රාහිකාවල අග උග්‍ර විෂ රැඳී තියෙනවා.

මේ චීන ජලාශ්‍රිතව නව ලොඩි විශේෂයක් සොයා ගත් පළමු අවස්ථාවයි. දැනට හඳුනාගෙන ඇති ට්‍රයිපිඩැලිඩේ ගෝත්‍රයට අයත් ලොඩි වි‍ශේෂ අතරට එක්වන සිවු වැනි සත්ව විශේෂය මෙයයි. මේ සතුන් නිවර්තන කලාපීය ජලාශ්‍රිතව වෙසෙන විසකුරු සත්ව විශේෂයක් බැව් වි‍ශේෂයෙන් සඳහන් කළ යුතුව තියෙනවා. 

මොවුන්ගේ විෂ ඇත්තේ ග්‍රාහිකාවලයි. විෂ කැවූ ඊතල බඳු මේ ග්‍රාහිකාවලින් නිකුත් වන විෂ ශරීරගත වුණහොත් යමකු මිනිත්තු කීපයක් තුළ පක්ෂඝාත තත්වයකට පත්විය හැකියි. ඒ හැරෙන්නට හෘද අකරණයක් පමණක් නොව මරණය පවා සිදුවිය හැකියි. 

උගේ සිරුරේ හයේ කාණ්ඩ හතරක් ලෙස ඇස් දුසිම් දෙකක් 
සමානව බෙදී ඇති අතර ඒවා පිහිටා ඇත්තේ සිරුරේ 
දෑලේ මඳක් ඇතුළට නැමුණු රොපැලියම් (rhopalium) කියා 
හැඳින්වෙන සංවේදක තීරුවකයි.

ලෝකයේ වඩාත් ම විසකුරු ලොඩියා වශයෙන් සැලකෙන්නේ ඕස්ට්‍රේලියානු ලොඩියයි. පොදුවේ කියුබොසෝවා වර්ගයේලා සැලක‍ෙන පෙට්ටි ලොඩියන් හෙවත් බොක්ස්ජෙලිෆිෂ් ගණයේ සතුන්ගේ සිරුරු පෙට්ටි සීනු හැඩයෙන් යුතු වන අතර නිඩාරියා නම් සාගරවාසී මෙටසෝවා කාණ්ඩයට අයත් මේ කුඩා සත්ව විශේෂ 50ක් ඇති බව මේ අධ්‍යයන වාර්තාව සත්ව විද්‍යා අධ්‍යයන ජර්නලයක් වූ Zoological Studies හී පළ කරමින් සඳහන් කර තියෙනවා. 

සිරුරු ‍කොනේ සෙන්ටිමීටර් 10ක් දිග ග්‍රාහිකා තුනක් තියෙනවා.

මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ හොංකොං බැප්ටිස්ට් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් වසර තුනක් තිස්සේ කළ අධයයනයකින් පසුවයි. මායි පෝ ස්වාභාවික රක්ෂිතයේ ඉස්සන් වාසය කරන කිවුල් ජලයේ තමයි මේ සතුන් හමුවී ඇත්තේ. මේ රක්ෂිත තෙත් බිම්වල නොගැඹුරු පොකුණුවල ජලය බැස යන්නේ ෂාම් චුන්, ෂාන් පුයි සහ ටිං ෂුයි වායි නුල්ලා ගංගාවලටයි. 

ඒ කණ්ඩායම පොකුණෙන් ලොඩියන් රැස්කර ගෙන ඔවුන්ගේ ඩීඑන්ඒ විශ්ලේෂණයක් හා පටක පරීක්ෂණයක් කළා. ඒ නව සත්ව විශේෂයක්දැයි තීරණය කරන්නයි. ඔවුන් ජැමෙයිකාව, ෆ්ලෝරිඩාව, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව යන රටවල ජීවත්වන ලොඩියන්ට සමීප ඥාතිත්වයක් දක්වන බව ඔවුන් සොයා ගත්තා. 

දේශීය පර්යේෂකයකු වූ මහාචාර්ය කිව් ජියාන්වෙන් කියන්නේ චීන සාගර ආශ්‍රිත ජලයේ මේ පෙට්ටි ලොඩියන් හෙවත් බොක්ස් ජෙලිෆ්ෂ් වර්ග දැකීම අසීරු බවයි. එසේ ම මේ සොයා ගැනීමෙන් ගම්‍ය වන්නේ හොංකොං ආශ්‍රිත සාගර ජීවී ලෝකය තුළ ඉතා පොහොසත් ජෛව විවිධත්වයක් ඇති බවයි. 

අපෘෂ්ඨවංශීන් වන මේ පෙට්ටි ලොඩියාගේ සෙන්ටිමීටර් දෙකහමාරක් පමණ දිග 
සිරුර විනිවිද පෙනෙනසුලුයි. උගේ ග්‍රාහිකා තුන සෙන්ටිමීටර් 10ක් දිගයි.

2022 දී ඔවුන් ඒ වර්ගයේ ගැහැනු පිරිමි සතුන් දෙවර්ගය ම මේ පොකුණෙන් එකතු කර ගත්තා. 

මේ පිරිමි සතාගේ ලිංගික ‘පියාපත්’ ආමාශයේ සිට වැලේරියම තෙක් විහිදෙනවා. ඒවායේ මුදුන පුළුල් හා වටකුරු වන අතර සුදු පැහැයෙන් දිස්වෙනවා. 

මේ පෙට්ටි ලොඩියාගේ ඇස් 24 පිහිටා ඇත්තේ හතර බැගින් සම්මත රටාවකටයි. ඉන් කාණ්ඩ දෙකක කාච තියෙනවා. ඒවායින් රූප දැක ගන්න පුළුවන්. අනිත් හතරෙහි ඇත්තේ ආලෝක සංවේදකයි. 

මේ සතාගේ සිරුරු කොනේ සෙන්ටිමීටර් 10ක් දිග ග්‍රාහිකා තුනක් තියෙනවා. මේ ග්‍රාහිකා අග බෝට්ටුවක හබලක් බඳු පැතලි හැඩැති ව්‍යුහයක් තියෙනවා. ඒවායින් තමා ලොඩියා සිරුර සංකෝචනය කරන විට අවශ්‍ය ප්‍රබල තෙරපුම ලබා දෙන්නේ. මේ නිසා අනෙක් ලොඩි වර්ගවලට වඩා මේ සතාට වැඩි වේගයකින් පිහිනා යන්න පුළුවන්. පිහිනීමේ දී මේ පෙට්ට ලොඩියකුට නාවුක සැතැපුම් හතරක පමණ වේගයක් ගත හැති අතර අනෙක් ලොඩියන් පිහිනා යන්නේ මුහුදු රළවල ආධාරයෙන්. 

ඒ සතුන් පිහිනා අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න!

මේ කලාපයේ දැනට හඳුනාගෙන ඇති මේ වර්ගයේ එකම සත්ව විශේෂය වන අලුත් සතාට දී ඇති නව සත්ව විද්‍යාත්මක නාමය වූ ට්‍රිපෙඩාලියා මායිපොයෙන්සිස් (Tripedalia maipoensis) යන වදන තනාගෙන ඇත්තේ ඔවුන් හමු වූ පොකුණේ නම වූ මායි පෝ අනුව යමින්. 

‘අපි විශ්වාස කරනවා මේ ආශ්‍රිත ව ඇති පර්ල් අතු ගංගාවේ මේ සතුන් තවත් ඇතැයි කියා. උදම් රළවල ඇති විට මේ පොකුණු දිය ඒ අතු ගඟ හා යා වන නිසා’ යයි ජියාන්වෙන් කියනවා. 

- පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments