HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ජගත් මිහිතල දිනය අපට සුවිශේෂ වන්නේ ඇයි?

අද ජගත් මිහිතල දිනයයි. සෑම වසරක ම අප්‍රේල් 22 වැනිදාට යෙදෙන මිහිතල දිනය වෙනුවෙන් ලොව පුරා හැම බසකින් ම ඒ වසරේ තේමාව ගැන කතා කරනවා. මෙවර 53 වැනි වරට පැවැත්වෙන එහි තේමාව වන්නේ ‘පෘථිවිය යථා තත්වයට පත් කරමු’ (Restore our Earth) යන්නයි. මෙය අපේ රටට ගළපා ගන්නේ කොහොමද? පෘථිවිය යථා තත්වයට පත් කරන්න නම් මුලින් ම ශ්‍රී ලංකාව යථා තත්වයට පත් කරන්න ඕනෑ. මා එහෙම කියන්නේ ඇයි? 

මීට වසර දෙකකට කලින් 2021 ජූනි මාසයේ දී අපේ රටට, මුහුණපාන්නට සිදුවුණු දැවන්ත ව්‍යසනයක් නිසයි. මෙතෙක් ලෝකයේ වෙනත් කිසිම රටකට එල්ල නොවුණු ආකාරයේ දරුණු පරිසර විනාශයකට මග පෑදුණු සිදුවීමක් නිසයි. ඒ තමා එක්ස්ප්‍රස් පර්ල් (X-PRESS PEARL) නම් නෞකාව අපේ වෙරළ තීරයට ඇවිත් ගිනිගෙන මුහුදු බත් වීම. එදා ‘වේගයේ මුතු ඇටය’ බලහත්කාරයෙන් අපේ වෙරළ තීරයට ඇවිත් ‘ඉන්දි සයුරේ මුතු ඇටය’ට කළ හදියට වසර දෙකක් ළං වෙන්න ආවත් තවමත් වන්දියක් ගන්න අපේ පාලකයන් සමත්වෙලා නැහැ. වසර දෙකක් ඉක්මවූ පසු වන්දි නඩුවක් පවරන්න නීතියෙන් ඉඩක් නැත්නම් තාමත් අපට ඉතිරිව ඇත්තේ මාසයකටත් අඩු කාලයක්! 

2021 වසරේ ජූනි මාසයේ මුල සතියේ හදිසියේ ඇති වූ එක්ස්ප්‍රස් පර්ල් (X-PRESS PEARL) නැවේ ගින්න අපි ‘මල් කැකුළු' වලින් හෙළිදරවු කළා. ඉන් අප අවට මුහුදේ සත්ව ලෝකයට සිදු වූ හානිය මුදලින් ගණනය කර දැක්විය නොහැකි තරම් විශාලයි. ඒත් පසුව කළ ගණන කිරීම් අනුව ඩොලර් බිලියන 10කට වැඩි වන්දියක් අපට ලබා ගත හැකියි කියා විශේෂඥයන් කියා තිබුණා. ඒ වන්දි මුදල ලබා ගැනීමට අප කටයුතු කළ හොත් අප අත් විඳින ආර්ථික අපහසුතාව පහසුවෙන්ම අපට මග හරවා ගැනීමට පුළුවන්. එය අපි අන්තර්ජාතික මුල්‍ය අරමුදලින් ඉල්ලූ ණය මුදල මෙන් දෙගුණයකටත් වැඩියි. 

මේ වන තෙක් දැනටමත් මේ පරිසර හානිය පූරණය කිරීම සඳහා අපි විශාල මුදලක් වැය කර තියෙනවා. නමුත් ලැබෙන ණයවලින් අපට හැකියාවක් නැහැ, මේ සංසිද්ධිය නිසා ඇති වූ හානිය අඩු කර ගන්න. ඒ නැවෙන් ඉවතට විසිවී ගිය බහාලුම්වල තිබූ විෂ රසායනික සාගරයට එක්වීම සිදු වන්නේ කාලයත් සමග හෙමින්. ඒ නිසා ඉන් වන හානිය වළක්වා ගන්න දිගු කාලීන වැඩ පිළිවෙළක් අවශ්‍යයි. ඊට විශාල මුදලක් ද අපට අවශ්‍ය වෙනවා. 

අපේ වෙරළාසන්නයෙහි ගිනි ගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව.

ඒ නැව ගිනි ගනිද්දී නැවෙන් පුපුරා ගිය බහාලුම්වල තිබී වෙරළට ගොඩ ගැසුවේ ප්ලාස්ටික් හා පොලිතීන් අමුද්‍රව්‍යයි. ඒවා විශාල ප්‍රමාණයක් ඉවත් කළා. කැස්බෑවුන් හා මසුන් විශාල වශයෙන් මිය ගියා. විෂ රසායනික හා ඇසිඩ් වර්ග ඇතුළත් බහාලුම් 50කට අධික ගණනක් මුහුදු පත්ළේ රැඳී තියෙනවා. එයින් කාන්දුවීම් ඇති වන්නේ පමා වෙලා නිසා ඒ අලාභය දැන්ම ගණනය කරන්න බැහැ. ඒ නිසයි ‘පෘථිවිය යථා තත්වයට පත් කරමු’ යන්න සම්පූර්ණ කරන්න නම් ශ්‍රී ලංකාව යථා තත්වයට පත් කරන්න ඕනෑ කියා මා කීවේ. 

පුපුරා නොගිය බහාලුම්වල ඇති ප්ලාස්ටික් හා පොලිතින්වලින් වුනත් තවම පිටතට ආවේ නැහැ. ඉදිරියේ දී ඒවා පිටතට එන්න පුළුවන්. ඒ නිසා පවිත්‍ර කිරීමේ රාජකාරිය ඉදිරියටත් කරන්න අපට සිදු වේවි. මෙවර මිහිතල දින තේමාවේ දී වැඩි බරක් යොදා ඇත්තේ මේ සඳහායි. අපේ සමස්ත පෘථිවි තලයටම බරපතළ හානියක් කරන ප්ලාස්ටික් හා පොලිතින්වලින් මිහිතලය ආරක්ෂා කර ගැනීම සම්බන්ධවයි අවධානය යොමු වී තියෙන්නේ. 

මුළු ලෝකය ම වසංගත තත්ත්වයකට ගොදුරු වෙලා ඉන්න මේ වසරේ, ලෝක මිහිතල දිනය වෙනදාට වඩා විශේෂත්වයක් උසුලනවා. මේ කාලේ සමස්තයක් විදිහට මිනිස් ප්‍රජාව අන් කවදාටත් වඩා පෘථිවිය ගැන හිතමින් ඉන්න කාලයක් වීම තමයි ඊට හේතුව කොරෝනා වසංගතය අපට අප වෙසෙන ලෝකය ගැන නැවත වරක් හිතා බලන්නට අවකාශය සලසා දුන්නා. සෑම පුද්ගලයෙක් ම අන් අය කෙරෙහි වගේ ම, තමා අවට පරිසරය කෙරෙහිත් දැන් දැන් වෙනදාට වඩා සංවේදී වෙමින් ඉන්නවා. මිනිසුන් විසින් අපවිත්‍ර කරන ලද, විනාශ කරන ලද පෘථිවිය දැන් ටිකෙන් ටික සුවය ලබමින් ඉන්න ආකාරය අපට දැක ගන්න පුළුවන්. 

බිඳුණු නැවේ තිබී මුහුදට එක් වූ ප්ලාස්ටික් බුබුළු.

පළමු වතාවට මිහිතල දිනය සැමරුණේ 1970 වර්ෂයේදී. ඒ අනුව 2023 මේ අවුරුද්දේ සැමරෙන්නේ 53 වැනි මිහිතල දිනයයි. මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමට මුල් වූයේ පරිසර අධ්‍යාපනයෙහි පුරෝගාමියකු වූ, ඇමරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් සෙනෙට් සභික ගේලෝඩ් නෙල්සන්. එකල වියට්නාම් යුද්ධයට එරෙහිව මිනිසුන් හඬ නඟමින් සිටියද, යුද්ධයෙන් සිදු වන පරිසර විනාශය ගැන කිසිවකුත් අවධානය යොමු නොකරන බව දුටු ඔහු, තෙල් වැගිරීම්, කෘමිනාශක, දුමාරය වැනි දෙයින් පෘථිවියට බලපෑම් ඇති වන ආකාරය මහජන අවධානයට ලක් කළා. ඒ අනුව ප්‍රථම වතාවට 1970 දී සැමරූ මිහිතල දිනයට ඇමරිකානුවන් මිලියන 20ක් සහභාගි වූ බව කියැවෙනවා. 

මිහිතල දිනය වශයෙන් අප්‍රේල් 22 තෝරා ගත්තේ සෙනෙට් සභික ගේලෝඩ් නෙල්සන් සහ හාවඩ් විශ්වවිද්‍යාලයේ දේශපාලනික විද්‍යාව හදාරමින් සිටි ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු වූ ඩෙනිස් හේස් විසින් ශිෂ්‍ය සහභාගිත්වය පහසුවනු පිණිසයි. ඊට හේතුව මේ දිනය සරසවි සිසුන්ගේ වසන්ත නිවාඩුව සහ අවසාන විභාග අතර යෙදෙන දිනයක් වීමයි. සරසවි සිසුන් වියට්නාම යුද්ධයට එරෙහිව බෙහෙවින් දේශපාලනිකව ක්‍රියාකාරී වූ පිරිසක් නිසා, ඔවුන්ගේ වැඩි අවධානය මිහිතල දිනය දෙසට යොමු කරවාගැනීමයි, ඔවුන්ගේ අරමුණ වුණේ. පසුව මිහිතල දිනය ජාත්‍යන්තරයට ගෙන යෑමටත්, මිහිතල දින ජාලය ඇරඹීමටත් මූලිකත්වය ගත්තේ ද ඩෙනිස් හේස් ම තමයි. 

මිහිතල දිනය යනු ඇමරිකාවේ ආරම්භ වූවක් වුවත් පසුව ලොව දසත ව්‍යාප්ත වුණු සංකල්පයක්. 1990 වන විට ලොව රටවල් 141ක පුද්ගලයන් මිලියන 200ක පිරිසකගේ සහභාගිත්වයෙන් සැමරෙන දිනයක් බවට ලෝක මිහිතල දිනය පත් වුණා. 2000 වසර වන විට ලෝකයේ පරිසර සංවිධාන 5000ක දායකත්වයෙන් රටවල් 184ක ලෝක මිහිතල දිනය සැමරුණා. එතෙක් Earth Day නම් වුණු මේ දිනය 2009 වසරේදී එක්සත් ජාතීන්ගේ මහ සභාව විසින් International Mother Earth Day නමින් නම් කෙරුණා. 

2016 සිට හැම වසරක ම ලෝක මිහිතල දිනයට ඊට ම වෙන් වූ තේමාවක් ලැබෙනවා. 2016 වසරේ එහි තේමාව වුණේ ‘මිහිතලය වෙනුවෙන් ශාක’ යන්නයි. 2017 වසරේ ‘පාරිසරික සහ කාලගුණික සාක්ෂරතාව’ යන තේමාව ගත් මිහිතල දිනය, 2018 දී ‘ප්ලාස්ටික්වලින් සිදු වන දූෂණය නවතමු’ යන්න තේමාව කොට ගත්තා. 2019 වසරේ මිහිතල දින තේමාව වුණේ ‘අපගේ ජීවී විශේෂයන් සුරකිමු’ යන්නයි. මේ වසරේ, එනම් 2020 දී ‘කාලගුණික විපර්යාස වෙනුවෙන් ගත යුතු පියවර’ යන්න එහි තේමාව වුණා. 

සෑම වර්ෂයක ම මිහිතල දිනය සැමරීමට ලොව විවිධ රටවල් එක් එක් ක්‍රියාකාරකම්වල නිරත වෙනවා. කාබන්ඩයොක්සයිඩ් වායු දූෂණය පිටුදැකීම සහ ඉන්ධන පිරිමැස්ම අරමුණු කර ගනිමින්, 2012 වසරේ මිහිතල දිනයේ දී චීනයේ පුද්ගලයින් ලක්ෂයකට වඩා පිරිසක්, වාහන භාවිතයෙන් තොරව පාපැදි භාවිතයෙන් ලොවට ම මනා ආදර්ශයක් සැපයුවා. මිහිතල දින ජාලය මඟින් 2011 වසරේ මිහිතල දිනය සමරමින් ඇෆ්ඝනිස්තානයේ පැල මිලියන 28ක් රෝපණය කිරීමේ වැඩසටහනක් පැවැත්වූවා. එසේ ම, පැනමාවේ වඳ වී යෑමේ තර්ජනයට ලක් වූ ඕකිඩ් වර්ග 100ක් අලුතින් රෝපණය කර නඩත්තු කිරීමට කටයුතු කරනු ලැබුවා. 

මෙවර ශ්‍රී ලංකාව තුළ පැල ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩ සටහනක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කළා. 

 - පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments