HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විශ්වය වනසන අති බිහිසුණු කළු කුහරයක් සොයා ගෙන!

හිරු මිලියන විසි දහසක් තරම් විශාල කුළු කුහරයක් ඇමරිකාවේ නාසා ආයතනය විසින් සොයා ගෙන තියෙනවා. නාසා ආයතනය කියන්නේ අසුවෙන හැම දෙයක් ම ගිල දමන මේ දැවැන්ත කළු කුහරය අයාලේ යන එකක් බවයි. ඔවුන් මෙය හඳුන්වන්නේ ලිහා දමන ලද අති බිහිසුණු දැවැන්ත රාස්සයකු ලෙසයි. මේ අති දැවැන්ත කළු කුහරය විශ්වය හරහා පෙරළී ගෙන යන්නේ විස්මිත වේගයකින්. එය අපේ සෞරග්‍රහ මණ්ඩලය තුළින් යන්නේ නම් එයට පෘථිවියේ සිට සඳට ඇති, සැතැපුම් 237,674ක දුර මිනිත්තු 14කින් යා හැකි බවයි. 

නාසා අනතුරු හඟවනවා මේ අයාලේ යන කළු කුහරය 
අති බිහිසුණු දැවැන්ත රාස්සයකු බඳුයි කියායි. (සිත්තරකු දුටු හැටියි)

මේ කළු කුහරයේ බර සූර්යයන් මිලියන 20ක බරට සමානයි. එය දැනටමත් ආලෝක වර්ෂ දෙලක්ෂයක ගමන් මඟක් පසු කර තියෙනවා. ඒ දුර අප වෙසෙන ක්ෂීරපථයේ විෂ්කම්භය මෙන් දෙගුණයක්. මේ විස්තර හෙළිදරවු කර ගෙන ඇත්තේ ඇමරිකාවේ යේල් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥයන් පිරිසක් කළ විශේෂ අධ්‍යයනයකින් ඊට වඩා වෙනස් දෙයක්. 

පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 7.5ක් ඈතින් ගමන් කරන මේ කළු කුහරය ඒ ඉදිරියෙන් ඇති ගෑස් වලාවකට කඩා වැදී තරු පෙළක් නිකුත් කර තියෙනවා. “අප මේ දකින්නේ ඒ ක්‍රියාව නිසා ඇති පසු ප්‍රතික්‍රියාවයි. මෙය හරියට සාගරයේ නැවක් යාත්‍රා කරද්දී ඒ පසුපසින් දියවැලක් ඇදී යනවා වාගේ, දසුනක්.” යේල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වැන් ඩොකම් කියනවා. 

ඒ දැවැන්ත කළු කුහරය (කුඩා කොටුවේ) මුදුනේ. (ලොකු කොටුවේ) 
කළු කුහරය ගැලැක්සියෙන් තල්ලුවෙන අයුරු.

හබ්ල් දුරේක්ෂයේ පිළිබිඹුවේ කළු කුහරය ඇත්තේ ඒ තීරයේ එක් කොනකයි. අනෙක් කොන ඇදී යනවා එය බිහි කළ ගැලැක්සිය තෙක්. මේ තීරයේ පිට මුදුනේ ‘අයනීකරණය වූ ඔක්සිජන් නිසා ඇති වූ දීප්තිමත් ගැටයක්’ තියෙනවා. මහාචාර්යවරයා කියන්නේ එය කළු කුහරයේ චලනය නිසා ඇති වූ තාපයේ ප්‍රතිඵලයක් කියායි. 

“සුපර්සොනික් අධි වේගයකින් විත් හැපුණු මේ කළු කුහරය නිසා ඒ ඉදිරියේ වූ ගෑස් වලාව කම්පනයට පත් වෙනවා. ඒක සිදුවුණේ කොහොමද හරියටම කියන්න බෑ.” ඩොකම් කියනවා. 

මහාචාර්යවරයා නාසා ආයතනයේ හබ්ල් දුරේක්ෂයෙන් අසල ගැලැක්සියෙහි ඇති තරු පොකුර පරිලෝකනය කරද්දී කිසියම් පැකිලීමකට ලක්වෙන්න ඇති. “මා හබ්ල් පිළිබිඹුව පරිලෝකනය කරද්දී දුටුවා, කැපී පෙනුනු ලක්ෂණයක්. ඒ මොහොතේ මගේ සිතට එක්වරම නැඟුණේ කැමරාවේ අනාවරකය මතට කොස්මික් කිරණ පතිත වීම නිසා එවැන්නක් සිදුවෙනවාද යන්නයි. අපි ඒ කොස්මික් කිරණ ඉවත් කළ පසුත් ඒ ලක්ෂණය දිගටම පැවතියා. මා එවැන්නක් මීට කලින් දැක නැහැ.” මහාචාර්යවරයා කියනවා. 

පර්යේෂකයන් විශ්වාස කරන්නේ අයාලේ ‍යන කළු කුහරය ගැලවී යන්නට ඇත්තේ, වසර මිලියන 50කට පෙර ගැලැක්සි දෙකක් එකට සංයෝග වෙද්දී ඒවා මධ්‍යයේ සුපිරි දැවැන්ත කළු කුහර බිහිවෙමිනුයි. ඉන්පසු තුන්වන‍ ගැලැක්සියක් ආවා, එහි කුළු කුහරයත් සමඟ. ඒ තුන ම එක්වීමෙන් තමයි, විනාශකාරී, අස්ථායී සංස්ථාපනයක් බිහිකළේ. 

ඒ සම්බන්ධ වීඩියෝව පහතින් නරඹන්න! 

එයින් එක් කළු කුහරයක් ගැම්මක් ගනිමින් අනෙක් කළු කුහර දෙකෙන් වෙන් වී එය අයත් වූ ගැලැක්සියෙන් පිටතට තල්ලු වුණා. ඒ කළු කුහරය එක් දිසාවකටත් අනෙක් කළු කුහර දෙක වෙනත් දිසාවකටත් යන්න ඇති කියලයි, විශේෂඥයන් කියන්නේ. පර්යේෂක කණ්ඩායම බලාපොරොත්තු වෙනවා, නාසා ආයතනයේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය යොදා ගෙන මේ ගැන තවදුරටත් විමසා බලා තමන්ගේ නිගමනය තහවුරු කර ගන්න. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments