HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කෘත්‍රිම බුද්ධියේ මහ පෙරළිය ගැන බිල් ‍ගේට්ස් කියයි

අන්තර් ජාලයත් ජංගම දුරකතනයත් අපේ ලෝකය තුළ කළ පෙරළියට සමාන පෙරළියක් චැට්ජීපීටී (ChatGPT) වැනි කෘත්‍රිම බුද්ධි (AI) මෙවලම් අනාගතයේ දී මහා පෙරළියක් කරාවි. මෙහෙම කියන්නේ මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ ලෝක ප්‍රකට බිල්ගේට්ස් අනාගතයේ බිහි වීමට නියමිත කෘත්‍රිම බුද්ධි මෙවලම් ගැනයි. දැනට 67 හැවිරිදි වියේ පසුවන ඔහු පරිගණක ලෝකයට නව නිපැයුම් රැසක් බිහි කළ ලොව සිටිනා ඉහළම ධනවතුන් හා පරිත්‍යාගශීලීන් අතර වැජඹෙන්නෙකි. 

මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ ලෝක ප්‍රකට බිල්ගේට්ස්

ඔහු කියන්නේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය රෝග පාලනය, ඖෂධ නිෂ්පාදනය හා එන්නත් සංවර්ධනය ආදිය සඳහා නව මං විවර කර ඇති බවයි. මිනිස් ඇසට මග හැරෙන හා නොපෙනෙන අඩුපාඩු දකින්නටත්, මඟ හැරෙන ඒවා හඳුනා ගන්නත් කෘත්‍රිම බුද්ධි ඇස විස්මිත හැකියාවක් පෙන්නුම් කර ඇති බවක් ඔහු පෙන්වා දෙනවා. 

පරිගණක ලෝකයේ ලොකුම පෙරළියක් ලෙස සැලකෙන මයික්‍රොසොෆ්ට් ආයතනය මගින් ඔහු ලෝකයට දුන් විශිෂ්ටම නිර්මාණය ‘වින්ඩෝස් 95’ වන අතර දැන් ඔහු සංවර්ධනය වෙමින් පවතින රටවලට වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා ඩොලර් බිලියන ගණනක් පරිත්‍යාග කර තියෙනවා. ඔහු දැන් කියන්නේ මාරක රෝග හා වෛරසවලට එරෙහිව කෘත්‍රිම බුද්ධි නව මෙවලම් සංවර්ධනය සඳහා සාර්ථකව යොදා ගැනීමට හැකි බවයි. 

ඔහු බ්ලොග් පෝස්ට් එකක් තබමින් කියන්නේ, “ගේට්ස් පදනමේ ප්‍රමුඛතාව දී ඇත්තේ නව කෘත්‍රිම බුද්ධි මෙවලම් තැනීමට ආයෝජනය කිරීම බවයි. ඔහුගේ බලාපොරොත්තුව ලොව දිළිඳුම ජන කොටස්වලට මුහුණ පාන්නට සිදු වී ඇති සෞඛ්‍ය ගැටලුවට විසඳුම් ලබා දීමට කෘත්‍රිම බුද්ධි නව මෙවලම්වලට හැකි වන බවයි. වෛද්‍ය විද්‍යාවට අදාළ නව සොයා ගැනීම් රැසක් මෙම නව කෘත්‍රිම බුද්ධි මෙවලම් නිසා බිහිවෙනවා සිකුරුයි” කියායි. 

ඔහුගේ අවධානය වැඩිපුරම යොමු වී ඇත්තේ ඒඩ්ස්, ක්ෂයරෝගය, මැලේරියා වැනි රෝග සඳහායි. එපමණක් නොව දැනටමත් කෘත්‍රිම බුද්ධි මෙවලම් නිපදවීමට විශාල වශයෙන් මුදල් යොදවා ඇති අතර එය සෞඛ්‍ය සත්කාරය සඳහා සහන සැලසීමට යොදා ගත හැකි ආකාරය ගැන ඔහු සමීපව අවධානයක් යොමු කර තියෙනවා. 

“ජීව විද්‍යාවට අදාළ දත්ත අති විශාලයි. ඒ නිසා මිනිසුන්ට ඒවා හැසිරවීම ඉතාමත් අසීරුයි. සංකීර්ණ ජෛව පද්ධති ක්‍රියා කරන ආකාරය ගැන විද්‍යාඥයන්ට වඩා ප්‍රශස්ත ලෙස විමසිලිමත් වීමට කෘත්‍රිම බුද්ධි මෙවලම්වලට හැකියාව තියෙනවා.” ඔහු ඒ පෝස්ටුවේ වැඩි දුරටත් සටහන් කර තියෙනවා. 

බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනම දැනටමත් නව එන්නත් රැසක් සංවර්ධනය කිරීමට මුදල් දී තියෙනවා. ඔවුන් කෝවිඩ් වසංගතය සඳහා එන්නත සංවර්ධනයටත් දැවැන්ත මුදලක් ආයෝජනය කළා පමණක් නොව ලෝකයේ දිළිඳු රටවලට ඒවා සැපයීමටත් ආධාර කළා. කෙසේවෙතත්, ඔවුන් ආයෝජනය කළ පෝලියෝ වැළැක්වීමට නිපදවූ නව එන්නතක් නිසා කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ළමයින් හය දෙනකු පක්ෂඝාත තත්වයට පත් වීම ගැන හේතු සොයන්නට කෘත්‍රිම බුද්ධිය යොදා ගත්තා. එමගින් මිනිසා කරනවාට වඩා ඉතා ඉක්මනින් ම ඒ හේතු සොයා ගෙන, නැවත එවැන්නක් සිදු නොවන්නට පිළියම් යෙදුවා. 

එසේම මයික්‍රොසොෆ්ට් දැන් එහි බින් (Bing) සෙවුම් යන්ත්‍රයට කෘත්‍රිම බුද්ධිය එක් කර තියෙනවා. දැන් බින් කෘත්‍රිම බුද්ධිය මගින් ඔබට එහි ඇති දැනුම කෝෂවල තැන්පත්ව තියෙන දැනුම මෙන්ම වෙබ් අඩවි ඔස්සේ පවතින දැනුම ඉතා සරල බසින් ඕනෑම වෙලාවක දැන ගන්න පුලුවන්. 

මයික්‍රොසොෆ්ට් පසුගිය ජනවාරියේ ඩොලර් බිලියන 10ක් චැට්ජීපීටී කෘත්‍රිම බුද්ධි මාදිලිය නිපදවන ඕපන්ඒඅයි (OpenAI) ආයතනයට ප්‍රදානය කළා. ඒ චැට්ජීපීටී කෘත්‍රිම බුද්ධි චැට්බොට් (chatbot) මාදිලිය තවදුරටත් වැඩි දියුණු කරනු සඳහායි. 

“අපි මතක තියා ගන්න ඕනෑ, තවමත් අප සිටින්නේ මේ කෘත්‍රිම බුද්ධි සංවර්ධනයේ මුල බව. අද එහි මොන තරම් සීමා කිරීම තිබුණත් ඒවා ඉක්මනින් මග හරවා ගැනීමට හැකි වේවි.” බිල් ගේට්ස් කියනවා. 

- පර්සි ජයමාන්න


Post a Comment

0 Comments