HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කෘත්‍රිම බුද්ධිය සොයා ගත් විස්මිත පිළිකා ප්‍රකාරයක්!

කෘත්‍රිම බුද්ධි මෙවලම් දැන් හාස්කම් කරන්න පටන් අරන්. පිළිකා රෝගියකුගේ වෛද්‍යවරුන් තැබූ වාර්තා කියවා බලා ඔහුගේ ජීවත්වන කාලය එසැණ කියන්නට කෘත්‍රිම බුද්ධියට පුලුවන්. මාසයක කාලයක් තුළ පිළිකාව සුව කළ ප්‍රතිකාරයක් මාසයක කාලයක් තුළ සොයා ගැනීමට කෘත්‍රිම බුද්ධියට හැකිවී තියෙනවා. 

කෘත්‍රිම බුද්ධිය විසින් රෝගියාගේ රෝගී තත්වය විශ්ලේෂණය කර 
ඔසු ප්‍රතිකාරය දින 30ක් තිස්සේ කරනු ලබනවා.

කැනඩාවේ ටොරොන්‍ටෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් ‘ඉන්සිලිකෝ මෙඩිසින්’ නම් වෛද්‍යායතනය හා එක්ව පරිගණක කෘත්‍රිම බුද්ධිය යොදා ගෙන මේ පර්යේෂණය කරලා තියෙන්නේ. ඔවුන් මේ සඳහා භාවිත කර ඇත්තේ ෆාමා (Pharma) නම් කෘත්‍රිම බුද්ධිය යොදා ගෙන සොයා ගැනීම් කළ හැකි වේදියක් (platform). එමගින් සප්ත සෛලික පිළිකාවකට (Hepatocellular Carcinoma-HCC) පිළියම් යෙදිය හැකි ක්‍රමයක් නිර්මාණය කර ගෙන තියෙනවා. 

HCC යන අකුරු තුනෙන් හැඳින්වෙන්නේ අක්මා පිළිකා රෝගයක්. මේ පිළිකා රෝගය සුව කරන්න කෘත්‍රිම බුද්ධිය කලින් හඳුනා නොතිබුණු ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගත්තා. නව අණුවක් මගින් ඒ පිළිකා සෛල එල්ල කර පහර දිය හැකි ක්‍රමයක්. ඒ වගේම ඒ කෘත්‍රිම බුද්ධිය සමත් වුණා, එවැනි රෝගියකුගේ ජීවත්වීමේ සම්භාවිතාව සියයට 80ක් නිවැරදිව කියන්නත් ඒ මගින්. මෙය බ්‍රිටිෂ් කොලම්බියා විශ්ව විද්‍යාලයේ නිර්මාණයක්. 

මේ කෘත්‍රිම බුද්ධිය මාරක රෝගවලට ප්‍රතිකාර කිරීමේ නව අවියක් ලෙස භාවිතා කළ හැකිව ඇත්තේ ඒ තාක්ෂණය මගින් ඉතා විශාල දත්ත ප්‍රමාණයක් විශ්ලේෂණය කළ හැකිවීම නිසයි. එසේම ඒ ප්‍රතිකාරවලින් සිරුරට සිදුවන බලපෑම පියවරෙන් පියවර විමසා බලා එහි ප්‍රතිඵල කිව හැකි වීම නිසයි. 

‘ඉන්සිලිකෝ මෙඩිසින්’ ආයතනයේ ආරම්භක හා එහි ප්‍රධාන විධායක ඇලෙක්ස් ශවොරොන්කෝ (Alex Zhavoronkov) කියන්නේ, “ලෝකයේ බොහෝ දෙනා කෘත්‍රිම බුද්ධිය යොදා ගෙන භාෂාත්මක හා කලා නිර්මාණ බිහි කරන්න තැත් කරද්දී අපි කෘත්‍රිම බුද්ධිය මගින් අපගේ උත්පාදක ඇල්ගොරිතම් භාවිත කරමින් ඇල්ෆාෆෝල්ඩ් (AlphaFold) ව්‍යුහයක් සහිත, පිළිකා සෛල ඉලක්ක කර ගත හැකි නිෂේධකයක් නිර්මාණය කළා.” කියායි. 

පිළිකා අතර ඉතා සුලබ පිළිකා වර්ගයක් වන අක්මාවේ හටගන්නා HCC පිළිකාවට පිළියම් කිරීමේ දී පර්යේෂක කණ්ඩායම ඒ සඳහා ඖෂධයක් සැලසුම් කර සංස්ලේෂණය කිරීම කෘත්‍රිම බුද්ධියට බාර කළා. කෘත්‍රිම බුද්ධිය විසින් බලගන්වන ලද ප්‍රෝටීන් ව්‍යුහ දත්ත සමුදායක් මගින් තමයි, මේ කටයුත්ත ඉටු කළේ.

 

කෘත්‍රිම බුද්ධියට එක් එක් රෝගියාගේ ලක්ෂණ හඳුනා ගනිමින් ඔහුගේ 
ආයු කාලය ගැන අනාවැකි කීමට ද හැකියාව තියෙනවා.

කෘත්‍රිම බුද්ධියට පිළිකා ප්‍රතිකාර ක්‍රමයක් සංවර්ධනය කිරීමට ගත වූයේ දින 30ක් විතරයි. ඉන්පසුව ඒ සඳහා රසායනික සංයෝග හතක් සංස්ලේෂණය කරනු ලැබුවා. ප්‍රතිකාරය සම්පූර්ණ කළේ එයින් පසුවයි. කෘත්‍රිම බුද්ධිය යොදවා කළ සංයෝග නිපදවීමේ දී පිළිකාව සමඟ සටන් කළ හැකි ප්‍රබල අණුවක් හඳුනා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වුණා. කෘත්‍රිම බුද්ධිය විසින් හඳුන්වා දෙන ලද මේ අණුව පිළිබඳව තවදුරටත් අත්හදා බැලීම් කළ යුතුව ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා. 

‘ඉන්සිලිකෝ මෙඩිසින්’ ආයතනයේ ප්‍රධාන විද්‍යාත්මක නිලධාරි මෙන් ම සම ප්‍රධාන විධායක වන ෆෙන් රෙන් කියන්නේ, “මිනිස් සිරුරේ සියලුම ප්‍රෝටීන් ව්‍යුහයන් විග්‍රහ කිරීමේ දී කෘත්‍රිම බුද්ධි ඇල්ෆාෆෝල්ඩ් විසින් නව විද්‍යාත්මක පදනමක් බිහි කරන ලද බව”යි. 

බ්‍රිටිෂ් කොලම්බියා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා පර්යේෂක ජෝන් ජෝස් නූනේස් පවසන්නේ “මේ කෘත්‍රිම බුද්ධියට වෛද්‍ය වාර්තා මිනිසකු කියවන්නා වාගේ කියවන්න පුලුවන්. ඒ වාර්තා වලට රෝගියාගේ වයස, පිළිකා වර්ගය, ඔහුගේ සෞඛ්‍ය තත්වය, ප්‍රතිකාර සඳහා යොදා ගත් ද්‍රව්‍ය, ප්‍රතිකාර ක්‍රම, පවුලේ අයගේ සෞඛ්‍ය ඉතිහාසය ඇතුළු කරුණු ඇතුළත් වෙනවා. මේ සියලු තොරතුරු විමසා විශ්ලේෂණය කර රෝගියා ගැන පූර්ණ චිත්‍රයක් සැණෙකින් ලබා දීමට කෘත්‍රිම බුද්ධියට හැකියි.” කියායි. 

මෙහි දී සාම්ප්‍රදායිකව, පිළිකා පැවතීමේ අනුපාතයන් ප්‍රත්‍යාවර්තව ගණනය කර, පිළිකා ඇති ස්ථානය හා පටක වර්ගය වැනි සාමාන්‍ය සාධක කිහිපයකින් පමණක් වර්ගීකරණය කරන්නට සමත්වී තියෙනවා. බ්‍රිටිෂ් කොලම්බියාව පුරා ‍විසූ පිළිකා රෝගීන් 47,625කට අදාළ දත්ත යොදා ගෙන තමයි, මේ කෘත්‍රිම බුද්ධිය පුහුණු කරනු ලැබුවේ. 

- පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments