HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ආදරවන්තයන්ට දුර සිට උණුසුම් හාදු දෙන්න මඟක්!

චීනය මෙවර ආදරවන්තයන්ගේ දිනයට අපූරු උපාංගයක් හඳුන්වා දුන්නා. එය චීන ඉංජිනේරුවකුගේ විස්මයජනක නිර්මාණයක්. ස්මාර්ට් ෆෝනයක් හරහා යවන පියාසර හාදුවකට වඩා එහා ගිය අත්දැකීමක් මේ අලුත් උපාංගය හරහා අත්විඳින්නට ඔබට පුලුවන්. නැගෙනහිර චීනයේ චෑන්ශෞහි වෘත්තීය මෙකැට්‍රොනික් තාක්ෂණික විද්‍යායතනයේ නව නිමැවුමක් ලෙසයි, මෙයට හිමිකම් බලපත්‍රය ලබා ගෙන ඇත්තේ. මේ උපාංගය ඔවුන් හඳුන්වා ඇත්තේ ‘දුරස්ථ පෙම්වතුන්ගේ විස්මිත හාදු හුවමාරු මෙවලම’ (Long-distance lovers miracle kissing device) කියායි. 

දෙදෙනකු අතර හාදුවක උණුසුම 
හුවමාරු කළ හැකි මෙවලම

දැන් පර්යේෂකයන් උත්සාහ කරන්නේ ත්‍රිමාන දර්ශන ගෙනෙන මෙටව’ස් (metaverse) ක්‍රමයට යොදා ගත හැකි විධියට මෙය සකස් කරන්නයි. දුරස්ථව වෙසෙන පෙම්වතුන් මුහුණුපාන බරපතල ගැටළුවක් ලෙස දකින, එකිනෙකාට හාදු දීම අතීතයට එක්කරන අපූරු මෙවලමක් ලෙස මේ නව නිපැයුම හඳුන්වන්න පුලුවන්. 

මෙය නිර්මාණයට ප්‍රධාන දායක වූ එක් ඉංජිනේරු ශිෂ්‍යයකු වූ චෑන්චෞ මාධ්‍යයට කීවේ, “මගේ පෙම්වතිය ඉන්නේ මා ඉන්නා විශ්ව විද්‍යාලයෙන් බොහොම දුර බැහර පළාතකයි. අපට කතාබහ කරන්න තිබුණේ දුරකථනයෙන් පමණයි. මේ නව නිපැයුමට අපව ගෙන ගියේ අවශ්‍යතාවයි.” කියායි. මේක අන්තර්ජාලයට බැඳුණු දෙයක් නිසා ලෝකයේ කොතැනක සිටියත් හාද්දක් දෙන්න, හාද්දක් විඳින්න, ඒක බාධාවක් නෙවෙයි. 

මේ පිළිබඳ වාර්තාවක් පළ කරන දකුණු චීනයේ මෝනිං පෝස්ට් පුවත්පත සඳහන් කර ඇත්තේ මේ තොල් සඟලක් සහිත උපාංගයක් ඩොලර් 38ත් 80ත් අතර මිලකට ටෝබෝ (Taobao) ඉ-කොමර්ස් වේදියෙන් මිල දී ගන්න පුලුවන්. 

මෙහි දෙදෙනා එක ළඟ සිටිය ද ඇත්තෙන්ම 
මෙය භාවිත වන්නේ දුරස්ථව සිටින විටයි.

මෙය මිලදී ගත් අයෙකු අන්තර්ජාලයේ සටහනක් තබමින් කියා තිබුණේ, “මගේ සහකාරිය මේක මුලින් විශ්වාස කළේ නෑ. ඒක පාවිච්චි කළාට පස්සේ එයා පුදුමයෙනුත් පුදුමයට පත් වුණා. මේක අපේ දුරස්ථ සම්බන්ධය නිසා මට ඇයට දිය හැකි වූ හොඳම තෑග්ගයි. තාක්ෂණයට ස්තූතියි.” කියායි. සමාජ මාධ්‍ය ජාලයක් වූ වීබෝ වේදිය පාවිච්චි කරන්නකු සටහනක් තබා තිබුණේ, “මට නම් මේක අදහන්නත් බෑ. මගේ ඇඟ කිලිපොලා ගියා.” කියායි. 

ජියෑන් කියන විධියට දැනට මේ මෙවලම උදවු වෙන්නේ දෙදෙනෙක් අතර සම්බන්ධයකට විතරයි. මෙය වෙනත් අවශ්‍යතාවලටත් ප්‍රයෝජනවත් වෙන විධියකට සංවර්ධනය කරන්න ජියෑන් බලාපොරොත්තු වෙනවා. මෙය වැඩි දියුණු කොට ඉදිරිපත් කරන්න නිෂ්පාදන සමාගම් උදවු කරාවි කියා ඔහු අපේක්ෂාවෙන් ඉන්නවා. දැනටමත් මෙයින් උපාංග 100ක් පමණ සෑම මසකම ‍ටෝබෝ වේදිය ඔස්සේ අළෙවි වන බවත්, මෙය ඉදිරියේ දී අලෙවිය වැඩි කරන බවත් ඔහු කියනවා. 

මේ හා සාමාන තවත් මෙවලම් කීපයක් දැනටමත් අලුතින් නිපදවා තියෙනවා. ඉන් එකක් මැලේසියාවෙන් ආවක්. එය හඳුන්වා ඇත්තේ ‘කිසිංගර්’ කියායි. එහි දී හාද්ද දෙන්නේ සිලිකන් පෑඩයකටයි. මෙහිදී ජියෑන්ගේ මෙවලමෙහි ඇති විශේෂත්වය වන්නේ දෙතොල් නිර්මාණය කිරීමයි. අතථ්‍ය හාදු දීම පරිගණකයෙන් මැවීම, අතථ්‍ය යථාර්ථය අතින් ඊළඟට එන විප්ලවීය පියවරක් බව කිව හැකියි. විශේෂයෙන් ම මාක් සකර්බර්ග් ආරම්භ කළ මෙටා ආයතනයෙන් නිර්මාණය කළ ත්‍රිමාන දර්ශන ගෙනෙන මෙටව’ස් ක්‍රමයට එක් වුවහොත් එය ලෝපුරා විශාල ආන්දෝලනාත්මක එකක් වනු ඇති. 

පෙන්සිල්වේනියාවේ පර්යේෂකයන් පිරිසක් දැනටමත් අතථ්‍ය යාථාර්ථ හෙඩ් සෙට් එකක් නිර්මාණය කර තියෙනවා, මෙටව’ස් වෙනුවෙන්. එහිදී හෙඩ් සෙට් එක ඇතුළේ එකිනෙකට සම්බන්ධ සංවේදක ධාරවන් පෙළක් මගින් මුව, තොල්, දත්, දිව ආශ්‍රිතව ජනනය වන සියුම් ස්පර්ශකවලින් නිකුත්වන ශක්තිය අතිධ්වනි ක්‍රමයට තරංග ඔස්සේ පරිගණක ඇප් එකක් මගින් අනිත් අන්තයේ සිටින්නා දනවනු ඇති. 

මේ නව මෙවලමින් හාදු දෙන හැටි පහත වීඩියෝවෙන් නරඹන්න! 

මෙය ක්‍රියා කරන්නේ කෙසේද? 

මුලින්ම මෙය භාවිත කරන්නන් ඔවුන්ගේ ස්මාට් ෆෝන් මෙම උපාංගයට සවිකර ගන්න ඕනෑ. මේ උපාංගයේ ඇති තොල් මත තොල් තබා තමන් කැමති පරිදි හාද්දක් දී එය පටිගත කරන්න ඕනෑ. උපාංගයෙහි ඇති සංවේදක මගින් ඔබේ තොල්වලින් දනවන පීඩනය, ඒවායේ චලනය, යම්තම් නැ‍ඟ‍ෙන ශබ්ද ඇත් නම් ඒ සියල්ල පටිගත කෙරෙනවා. ඒ කාර්යය සාර්ථකව කළ පසු ඔබට එය උත්පතනය (upload) කර ඒ සඳහා වන විශේෂ ඇප් එකක සුරැකිය හැකියි. ඉන්පසු හාද්ද ලබන්නාගේ උපාංගයෙහි ඔබේ හාද්දෙහි සියලුම චලනයන් හා ශබ්ද ප්‍රතිවාදනය කෙරෙන්නේ ඒ ග්‍රාහකයා ඔහුගේ උපාංගයෙහි ඇති තොල් මත තොල් තබා හාදු දෙන අවස්ථාවේදියි. 

මෙය පාවිච්චි කරන්නට හැක්කේ දෙදෙනා දුරස්ව සිටින විට පමණක් නොවේ. චීනයේ මෙය නිපදවූ සමයේ කොවිඩ් වසංගතය පැතිර තිබුණු නිසා එක තැන සිටියත් එරට තුළ සිටි ආදරවන්තයන් සිය ආදරය ප්‍රකාශ කරන්නට මේ ක්‍රමය භාවිත කර තියෙනවා. 

- පර්සි ජයමාන්න  

Post a Comment

0 Comments