HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අභ්‍යවකාශ ඇඳුමේ 50 වසරක විස්මිත විලාසිතා

අභ්‍යවකාශ ඇඳුම විකාශනය වූ හැටි විමසා බලන්නට හිතුණේ පසුගිය සතියේ දොරට වැඩුණු අලුත් ම අභ්‍යවකාශ ඇඳුම නිසයි. අභ්‍යවකාශ ඇඳුමේ ඊළඟ පරම්පරාව ව‍ූ ආටෙමිස් - 3 යානය මගින් ඉදිරියේ දී හඳ බලා යන අභ්‍යවකාශගාමීන් අඳින නව ඇඳුම එළිදැක්වුණේ හූස්ටන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදියි. මෙයට වසර 64කට පෙර මුලින් ම අභ්‍යවකාශයට ගිය ගගනගාමියා ඇන්ද ඇඳුමට වඩා විශාල වෙනසක් මේ නව ඇඳුමේ දක්නට ලැබෙනවා. මේ නව ඇඳුම ඉතාමත් අලංකාර එකක්. 

මීළඟ සඳ ගමනට යන චන්ද්‍රගාමීන් අඳින්නේ මේ ආටෙමිස් නව ඇඳුම් 
කට්ටලයයි. මේ ආකෘතිය නිල් පැහැවුනත් සැබෑ ඇඳුම මුලුමනින් ම 
සුදු පැහැති යයි නාසා කියයි.

වසර 50කට පසුව හඳ බලා යන මේ ගමනේ දී පළමුවරට කාන්තාවක් ද යනවා. ඒ නිසා වෙන්න ඇති නව විලාසිතාවක් ගේන්න නාසා ආයතනයේ විද්‍යාඥයන්ට සිතෙන්නට ඇත්තේ. නාසා ආයතනය මෙසේ නව විලාසිතාවක ඇඳුමක් නිර්මාණය කරන්නට පවරා ඇත්තේ ‘ඇක්සියම් ස්පේස්’ Axiom Space සමාගමටයි. ඒ සඳහා ඩොලර් මිලියන 228ක ගිවිසුමක් ඔවුන් සමඟ අත්සන් කර තියෙනවා. ඒ සමාගම දැනට අභ්‍යවකාශ යානා, නැවතුම් පොළවල්, චන්ද්‍රිකා, අභ්‍යවකාශ ඇඳුම් පැලඳුම්, උපකරණ හා උපාංග තනන ප්‍රකට ඇමරිකන් සමාගමක්. 

මේ වගේ ඇඳුමක් නිර්මාණය කිරීම බාරදූර කටයුත්තක්. අභ්‍යවකාශයේ දීත්, හඳට ගොඩබට පසුවත්, හොඳින් ආරක්ෂාව සැලසෙන, ඒ වගේ ම පහසුවෙන් හැසිරිය හැකි සැහැල්ලු ඇඳුම් කට්ටලයක් විය යුතු යැයි නාසා ආයතනය කළ නිගමනය අනුව ඔවුන් මේ ඇඳුම් කට්ටලයේ ආකෘතියක් නිර්මාණය කළා. දැනට මේ සඳහා යොදා ගෙන ඇත්තේ ඇක්සියම් ස්පේස් සමාගමේ නිල වර්ණය වූ නිල් පැහැයයි. ඒත් සැබෑ ඇඳුම් කට්ටලය, එනම් ගගනගාමීන් සඳ බලා යද්දී ඔවුන්ට ලැබෙන ඇඳුම් කට්ටලය, තනි සුදු පැහැයෙන් යුක්ත වනු ඇතැයි නාසා ආයතනය කියනවා. ඔවුන් මෙම ගගන ඇඳුම් කට්ටලය හඳුන්වා ඇත්තේ ඇක්සිම් බහිර්යානා චලන ඒකකය (Axiom Extravehicular Mobility Unit - AxEMU) කියලයි. 

මුල්ම අභ්‍යවකාශ ඇඳුම 

1959 ප්‍රථම මර්කරි ව්‍යාපෘතියේ දී යොදා ගත්තේ තුනී ටින්ෆොයිල (tinfoil) කින් තැනූ තනි ඇඳුම(onesie)ක්. ඒවා මුලින් සැකැසුණේ අහසේ ඉතා ඉහළින් ගිය ප්‍රහාරක ගගනයානාවල නියමුවන් වෙනුවෙන්. කෙසේ වෙතත් නාසා ආයතනයට අවශ්‍ය වුණේ අභ්‍යවකාශයේ දී යානයේ කුටියට ඇති වන අධි පීඩන තත්වයන්ට ඔරොත්තු දිය හැකි ඇඳුම් කට්ටලයක්. එහිදී සෑම අභ්‍යවකාශගාමියකුට ම ඇඳුම් කට්ටල තුනක් බැගින් ලැබුණා. එකක් පුහුණුවට, එකක් පියසැරියට, අනෙක අතිරේක එකක් ලෙසයි. මේ සඳහා එක් අයකුට ඩොලර් 20,000ක් වැය කෙරුණා. බරින් කි. ග්‍රෑ. 10ක් වූ මේ ඇඳුම් කට්ටලය 1959 සිට 1970 මුල වන තෙක් ඇමරිකන් නාවික ගුවන් හමුදාව පවා භාවිත කළා. මේ ඇඳුම් කට්ටලය මර්කරි 1 සිට 3 දක්වා මෙහෙයුම්වල දී යානය තුළ සිටීමේදී භාවිත කෙරුණා. 

මර්කරි 4 සිට 9 තෙක් මෙහෙයුම් සඳහා යොදා ගත්තේ 1961 නිපදවන ලද නව අභ්‍යවකාශ ඇඳුමක්. එහි දී විවෘත ශ්වසන ලූප ක්‍රමය වෙනුවට සංවෘත ශ්වසන ලූප ක්‍රමයකට මාරු කෙරුණා. ඇතුළත තාපය පාලනය කිරීමට තද අලු පැහැති නයිලෝන් පිට වැස්මක් හා ඇලුමීනියම් ආස්තරණයක් යෙදූ නයිලෝන් ඇඳුමක් යොදා ගත් අතර ඊටනව ආරක්ෂක බූට් දෙකක් ද එක් කෙරුණා. ඇඟිලිවලට වක්‍ර අත්වැසුම් යොදා ගත්තේ අභ්‍යවකාශයේ පාලන යෂ්ටි ග්‍රහණය කර ගැනීමේ පහසුව සඳහායි. ඒ අත්වැසුම්වල මැදඟිල්ල කෙළින් කර තැබුවේ යතුරු හා බොත්තම් තද කිරීමට පහසුවෙන්නයි. 

1965 මාර්තුවේ දී නාසා ආයතනය විසින් අධි උච්චතාවේ දී භාවිතා කිරීමට X-15 නමින් නව පීඩන ඇඳුම් කට්ටලය තනනු ලැබුවා. ඒ ජෙමිනි අභ්‍යවකාශ ගමන් සඳහායි. පළමු ජෙමිනි මෙහෙයුමේ දී මේ ඇඳුම් කට්ටලය ඇතුළතට වායුසමීකරණ පහසුවත් සපයා දුන්නා. ජෙමිනි - 3 මෙහෙයුමේදී යානය තුළ භාවිත කළ මේ ඇඳුම් කට්ටලය බරින් කි. ග්‍රෑ. 10.7ක් වුණා. මේ ඇඳුමේ අඩුපාඩුවක්ව තිබුණේ තාප පාලනය නිසි සේ සිදු නොවීම හා හෙල්මට් මුහුණතෙහි දුබලතාවයි. 

1965 ජූනි මාසයේ දී මේ දෙවැනි මාදිලියක් තනනු ලැබුවා. ජෙමිනි අංක 4 සිට 12 තෙක් (අංක 7 හැර) ඒ ඇඳුම් කට්ටලය පාවිච්චි කෙරුණා. ඍජු හිරු රැස් වැටීමෙන් වන හානිය අවම කිරීමටත් තාපය තවදුරටත් පාලනය කළ හැකි වන පරිදිත් අභ්‍යන්තර ආස්තරණය ශක්තිමත් කරනු ලැබුවා. හෙල්මටය ඉවත් කළ හැකි අව්වරණයක් යෙදුවා. මුහුණු ආරක්ෂණ ආවරණය තැනූ ප්ලෙක්සිග්ලාස් මුහුණත වෙනුවට පොලිකාබනේට් ප්ලාස්ටික් වර්ගයක් යෙදූ නව නිපැයුමක් භාවිත කෙරුණා. 

1959 සිට 2023 දක්වා කාලය තුළ අභ්‍යවකාශ ඇඳුමේ විලාසිතා විකාශනය වූ අයුරු.

ජෙමිනි 7 මෙහෙයුම සඳහා 1965 දෙසැම්බරයේදී යළිත් ඇඳුම් කට්ටලය වෙනස් කළා. ඒ තුන් වැනි මාදිලියේ දී සම්පීඩක හෙල්මටය හා ගෙල වළල්ල වෙනුවට සිප් එකක් සවි කළ ශීර්ෂාවරණයක් හා ඊට ස්ථිරව සවි කළ පොලිකාබනේට් අව්වරණයක් යෙදුවා. ඇමරිකන් නාවික ගුවන් භටයන් භාවිත කරන, ඇතුළත සවි කළ මයික්‍රොෆෝන හා ඉයර්ෆෝන සහිත හෙල්මටයක් හඳුන්වා දුන්නා. පියසැරිය තුළ දී උපාංග කොටස් හරි ගස්සා ගැනීමට හෝ ඉවත් කිරීමට හැකිවන විදියට සිප් සවි කළා. 

ඇපොලෝ ඇඳුම් කට්ටලය 

හඳ ගමනට යොදා ගත් මේ ජෙට්පැක් මෝස්තරය ඔබට මතක ඇතුවා නිසැකයි. 1969 දී නීල් ආම්ස්ට්‍රෝං පළමුවරට සඳ මත පා තැබුවේ මේ ඇඳුම් කට්ටලය ඇ‍ඳ ගෙනයි. යානයෙන් පිටතට පැමිණ එහා මෙහා යා හැකි වන විදියට සැකසූ මේ ඇඳුම් කට්ටල හැඳින්වූයේ ‘බහිර්යානා චලන ඒකක’ (The Extravehicular Mobility Units - EMUs) කියායි. ඒක සම්පීඩක ඇඳුමක්. ඒ ඇඳුම් කට්ටලයට එය පසුපස සවි කළ ජංගම ජීවන සහය සැපයුම් පද්ධතියක් (Portable Life Support System) ඇතුළත් වුණා. ඇපොලෝ 7 සිට 14 දක්වා මෙහෙයුම් සඳහා යොදා ගත්තේ මේ ඇඳුම් කට්ටලයයි. 

ඇපොලෝ 1 මෙහෙයුමට යොදා ගත් ඇඳුම් කට්ටලය 1967 ජනවාරියේ ප්‍රථම ගමන යන්නට සිදුවීමත් සමග හදිසියේ හටගත් ගින්නක් නිසා මුළුමනින්ම විනාශ වී ගිය නිසා 1968 දී යෙදුණු ගමන්වලට භාවිත කළේ යම්යම් වෙනස්කම් කිරීමෙන් පසුවයි. යානයේ ඇතුළතත් පිටතත් එකසේ භාවිත කළ මෙය බරින් වැඩිම ඇඳුම වුණා. එහි බර කි.ග්‍රෑම් 96.2ක් වුණා. ඒ කියන්නේ රාත්තල් 212ක්. මෙහි පසුපස සවිකර තිබූ උරමල්ලෙහි වූ ඔක්සිජන් ටැංකිය විනාඩි 30කට වරක් මාරු කළ යුතු වුණා. 

1971 දී ඇපොලෝ ඇඳුම් කට්ටලයේ තුන් වැනි මාදිලියක් යොදා ගත්තා. ඒ ඇපොලෝ 15 සිට 17 දක්වා මෙහෙයුම් සඳහායි. මේ ඇඳුම වෙනස් කළේ වැඩි වේලාවක් යානයෙන් පිටත සිටීමට හැකි වන පරිදියි. මුලින් ම ඒවා ලූනා රෝවරය මෙහෙයවමින් පිටතට යාමටත්, ඒ සඳහා අවශ්‍ය ඔක්සිජන් වැඩිපුර ගෙන යාමටත්, බැටරි බලය හා සිසිල් කළ ජලය වැඩි සැපයුමක් තබා ගැනීමටත්ය. ඇඳුම් කට්ටලයේ හෙල්මට් වළල්ල ඇතුළත තීරු වශයෙන් බල ශක්තිය අසුරා තිබූ අතර, ඇඳුමේ පිටත කොලරයක් සේ බීමට අවශ්‍ය ජලය තැන්පත් කර තිබුණා. 

ඊළඟට ආවේ ස්පේස් (අභ්‍යවකාශ) ෂටලයට සඳහා වූ ඇඳුමයි. ඒ ඇඳුම ‘පම්ප්කින් සූට්’ කියා හැඳින්වුණා. එය දොඩම් පැහැයෙන් යුක්ත වන අතර ඒ නිසා හදිසි ආපදාවක දී සාගරය මැද වුනත් ඔවුන් හඳුනා ගැනීම පහසු වෙනවා. මේ ඇඳුම් කට්ටලය සකස කර තිබුණේ පෘථිවියෙන් පිටත් වීමේ දීත් ආපසු පැමිණීමේ දීත් ඇති වන තත්වයනට ඔරොත්තු දෙන ආකාරයටයි. 

1981 අප්‍රේල් 12 වැනිදා මුල්ම අභ්‍යවකාශ ෂටලය උඩු ගුවනට ගියේ ජෝන් යං හා රොබට් ක්‍රිපන් අභ්‍යවකාශගාමීන් සමගයි. මෙහිදී ඔවුන් ඇන්දේ සුළු වෙනසකම් සහිත ඇඳුම් කට්ටලයක්. එය හඳුන්වනු ලැබුවේ ‘උත්ක්ෂේපණ ගැලවුම් ඇඳුම් කට්ටලය (ejection escape suit) කියායි. එහිදී ඔවුන් අවදානම් සහිතව පිටතට ආවේ නැහැ. ඒ විශේෂ ඇඳුම් යොදා ගත්තේ හදිසි ආපදාවක දී යානයෙන් පිටතට විසි කරන ආකාරයෙන් ඉවත් කිරීමට සිදු වූ නිසයි. පසුව 1988 දි අභ්‍යවකාශ ෂටලය සඳහා දියත් කිරීමේ හා ඇතුළුවීමේ ඇඳුම් කට්ටලය (Launch Entry Suit) හඳුන්වා දෙනු ලැබුවා. ඉන් අනතුරුව 1994 සිට ඉදිරියට ඒ ඇඳුම් කට්ටලය වෙනුවට වැඩි දියුණු කළ ගගනගාමී ගැලවුම් ඇඳුම් කට්ටලය (Advanced Crew Escape Suit) යොදා ගනු ලැබුවා. 

1981 දී පටන් ගත් අභ්‍යවකාශ ෂටල STS-1 සිට STS-4 දක්වා යොදා ගනු ලැබුවේ මාදිලි අංක 1 යි. ෂටලය තුළත් මුදා හැරීමේදීත් ඒ ඇඳුම භාවිත කෙරුණා. එය බරින් කි.ග්‍රෑ. 18ක් වුණා. 

මිනිස් හැසිරවුම් ඒකක 

ඉන්පසු ආවේ මිනිස් හැසිරවුම් ඒකක (The Manned Manoeuvring Unit-MMU) කියා හැඳින්වුණු ඇඳුම් කට්ටලයයි. ඇත්තෙන් ම එය ඇඳුම් කට්ටලයකට එහා ගිය එකක්. එයට ජෙට් ප්‍රචාලන ක්‍රමයක් සවි කර තිබුණු නිසා ඇතුළත සිටින්නාට අහසේ යා හැකියි. ආධාරක රැහනක් නැතිව ෂටලයෙන් පිටත අහසේ ‘ඇවිද යන්නත්’ යන්න පුලුවන්. එහෙත් චැලෙන්ජර් ස්පේස් ෂටලය අනතුරට ලක් වීමෙන් පසුව නාසා තීරණය කළා මේ ඇඳුම් කට්ටලය පාවිච්චි කරන එක අවදානම් වැඩියි කියලා. ඒ නිසා ඔවුන් මිනිසුන් යොදවන්නට සැලසුම් කර තිබූ සමහර අත්හදා බැලීම් සාර්ථකව කර ගන්නට රොබෝටික අත්වලින් හෝ කැමරා සවි කළ රැහැන් යැවීමෙන් කර ගත හැකි වුණා. 

පම්කින් සූට් අභ්‍යවකාශ ඇඳුම 

අභ්‍යවකාශ ෂටල ගගනගාමීන් සඳහා යොදා ගත් පළමු පම්කින් සූට් එක වුණේ ‘ලොන්ච් එන්ට්‍රි සූට්’ නම් ඇඳුමයි. අඩක් සම්පීඩනය යෙදූ ඒ ඇඳුම් කට්ටලය උඩුගුවනට යාමේදීත් නැවත පෘථිවියට පැමිණීමේදීත් එක ලෙස භාවිත කෙරුණා. ඒවා 1988 දී ය‍ෙදුණු ෂටල ගමන් අංක STS-26 සහ 1994 යෙදුණු අංක STS-65 යොදා ගැනුණා. මේ ඇඳුම වෙනුවට වැඩිදියුණු කළ ගගන ගැලවුම් ඇඳුම් කට්ටලය (Advanced Crew Escape Suit) නමින් වෙනත් ඇඳුමක් ඊළඟ ගමන්වලට යොදා ගත්තා. මේ ඇඳුම් කට්ටලයේ බර කි.ග්‍රෑ. 13.6ක් වුණා. 1994 මෙහි තවත් මාදිලියක් ආවා. ඒ ඇඳුම තමයි, ෂටල ගමන් අංක STS-64 සිට STS-135 සඳහා යොදා ගත්තේ. 

ආටෙමිස් නව ඇඳුම් කට්ටලය 

ආටෙමිස් - 1 සහ - 2 යානා සඳහා ගගනගාමීන් සහභාගි නොවූ නිසා ඇඳුම් කට්ටල අවශ්‍ය ‍වුණේ නැහැ. ආටෙමිස් - 3 සිට තමා ඇඳුම් කට්ටල අවශ්‍ය වුණේ. 

ආටෙමිස් නව ඇඳුම සඳ මත පහසුවෙන් අතපය හසුරුවමින් ක්‍රියා 
කළ හැකි ආකාරයට තනා තියෙනවා.

පසුගියදා නාසා ආයතනය මාධ්‍ය හමුවක් පවත්වමින්, දෙවන වරට යන හඳ ගමන සඳහා යොදා ගන්නට බලාපොරොත්තු වන නව ඇඳුම් කට්ටලයේ ආකෘතියක් එළිදැක්වුවා. දැනට මේ සඳහා යොදා ගෙන ඇත්තේ එය නිපදවූ සමාගමේ නිල වර්ණය වූ නිල් පැහැයයි. ඒත් සැබෑ ඇඳුම් කට්ටලය, එනම් ගගනගාමීන් සඳ බලා යද්දී ඔවුන්ට ලැබෙන ඇඳුම් කට්ටලය, තනි සුදු පැහැයෙන් යුක්ත වනු ඇතැයි නාසා ආයතනය කියනවා. මෙම ඇඳුම් කට්ටලය නිර්මාණය කරන්නේ, ‘ඇක්සියම්’ (Axiom) සමාගමයි. අභ්‍යවකාශ උපකරණ නිපදවන තාක්ෂණ සමාගමක් වන අතර නාසා ආයතනය එම සමාගම සමඟ ඩොලර් මිලියන 228.5 ක ගිවිසුමක් අත්සන් කර තියෙනවා. 

මීට පෙර නාසා ආයතනයේ සඳගාමීන් සඳට පය තැබුවේ ‘ඇපලෝ’ මෙහෙයුම් මාලාව යටතේයි. එදා සඳගාමීන් ඇඳ සිටියේ සිරුරට වඩා ප්‍රමාණයෙන් විශාල පිම්බුණු ඇඳුම් කට්ටලයක්. ඔවුන් සඳ මතුපිට ඇවිද්දේ හාවුන් මෙන් පැන පැනයි. ඇතැම් විට හිස කොටස බරින් වැඩි නිසා පහත් වෙද්දී පෙරළී ගිය අවස්ථා ද තියෙනවා. "මෙම නව ඇඳුම් කට්ටලය (AxEMU) නිර්මාණය කර ඇත්තේ එය පලඳින අයගේ සිරුරට මනා ලෙස පෑහෙන ආකාරයටයි. ඒ අනුව පහසුවෙන් අතපය හසුරුවන්න ඔහුට හෝ ඇයට හැකි වෙනවා පමණක් නොව, හාවුන් වගේ පැන පැන සඳ මතුපිට ඇවිදින්න ඕනෑ වෙන්නේ ද නැත.” මෙහෙම කියන්නේ ‘ඇක්සියම්’ සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මයික් සෆෙරිඩීනීයි. 

මෙම නව ඇඳුම් කට්ටලය නිර්මාණය කර ඇත්තේ මයිලර් (Mylar) සහ කෙල්වර් (Kelvar) යන කෘත්‍රිම ද්‍රව්‍යවලින්. මයිලර් යනු පොලිඑතිලීන් ටෙරපතලේට් නම් පොලියෙස්ටර් රේසින් විශේෂයක්. ඒවා ජල ටැංකි තැනීමට භාවිත කෙරෙනවා. කෙව්ලර් යනු පොලිපැරා ෆිනයිලීන් ටෙරාප්තැල්මයිට් නම් නයිලෝන් වැනි පොලිමර් විශේෂයක්. වෙඩි නොවදින කබා, අත්වැසුම්, ටයර් ආදිය නිර්මාණය කරන්නේ කෙල්වර්වලින්. 

ආටෙමිස් නව ඇඳුම් කට්ටලයෙහි ඇති සුහුරු බව පහත වීඩියෝවෙන් නරඹන්න. 

මුලින්ම මිනිසුන් සඳට යැවීම සිදුවූයේ ඇමෙරිකා නාසා ආයතනයේ ‘ඇපලෝ’ වැඩපිළිවෙළ යටතේයි. එයින් ‘ඇපලෝ 11’ යානයෙන් ගොස් පළමුවෙන් සඳට පය තැබුවේ ඇමරිකාවේ නීල් ආම්ස්ට්රෝං වන අතර ඔහු සමඟ එඩ්වින් ඕල්ඩ්රීන් ද සඳට ගොඩ බැස්සා. ඒ, 1969 ජූලි 20 වැනිදායි. නාසා ආයතනය සඳ මෙහෙයුම් අවසන් කළේ හරියටම මීට අවුරුදු 50 කට පෙරය. අවසන් ‘ඇපලෝ’ මෙහෙයුම වූයේ ‘ඇපලෝ 17’යි. ‘ඇපලෝ 17’ යටතේ සඳට ගියේ යූජීන් සර්නන් සහ හැරිසන් ෂ්මිත් චන්ද්‍රගාමීන් දෙදෙනායි. ‘ඇපලෝ’ වැඩපිළිවෙළ යටතේ සඳට ගිය ගගනගාමීන් ගණන 12 ක්. 

‘ආටෙමිස් 1’ පුහුණු මෙහෙයුම පසුගිය 2022 වසරේ දී සාර්ථකව සිදු කෙරුණා. එහිදී නාසා ආයතනයේ ‘ඔරායන්’ ගගන කැස්පියුලය, තනිවම සඳ වෙත යවා සඳ වටේ කැරැකී ආපසු ගෙන්වා ගැනීම සිදුවුණා. ඒ කැප්සියුලයෙහි ආසන තුනක් තිබුණත් ඒ මුල් ගමනට ගගනගාමීන් ගියේ නැහැ. ‘ආටෙමිස් 1’ මෙහෙයුමෙන් පසු, දැන් නාසා විද්‍යාඥයන් ‘ආටෙමිස් 2’ මෙහෙයුමට ලෑස්ති වෙනවා. ඒ මෙහෙයුමට ගගනගාමීන් තිදෙනකු එක් වෙනවා. ඔවුන් තිදෙනාගෙන් දෙදෙනකු ඇමරිකන් වන අතර, අනෙක් ගගනගාමියා කැනඩාවෙනි. ඒත්, ඔවුනුත් සඳට ගොඩ බහින්නේ නැහැ. ඔවුන් කරන්නේත් සඳ වටා ගොස් ආපසු පෘථිවියට පැමිණීම පමණයි. එම ‘ආටෙමිස් 2’ මෙහෙයුමට එක් වන ගගනගාමීන් තිදෙනා කවුරුන්දැයි නිවේදනය කිරීම ඉදිරි මාස කීපයේදී සිදුවනු ඇති. ‘ආටෙමිස් 2’ මෙහෙයුමේ සාර්ථකත්වය අනුව, ‘ආටෙමිස් 3’ මෙහෙයුම ආරම්භ වනු ඇති අතර චන්ද්‍රගාමීන් සඳට පය තැබීම සිදුවන්නේ ඒ සඳ ගමනේ දියි. මේ ගමනේ දී සිදුවන තවත් විශේෂයක් වන්නේ කාන්තාවක පළමුවරට සඳ මතට පා තැබීමයි. සඳ වෙත යැවෙන ‘සඳවතිය’ තවමත් තෝරා ගෙන නැහැ. 

‘ආටෙමිස්’ මෙහෙයුම් සියල්ල සඳහා යොදා ගන්නේ ‘ඔරායන්’ යානායි. මීට වසර 50 කට පෙර සඳ තරණය සිදුවූයේ ‘ඇපලෝ’ යානායි. ‘ඇපලෝ’ යනු හිරු සහ ආලෝකයට අධිපති දෙවියායි. ග්‍රීක දේව පුරාණයට අනුව, ‘ඇපලෝ’ දෙවියන්ගේ නිවුන් සොහොයුරිය ‘ආටෙමිස්’ය. නාසා ආයතනයේ යළි සඳ තරණ මෙහෙයුම් ‘ආටෙමිස්’ යනුවෙන් නම් කෙරුණේ, පළමු වරට කාන්තාවක සඳට පය තබන නිසයි. සඳ තරණය, ගවේෂණය සහ ජනාවාස පිහිටුවා ගැනීම අනාගතයේ ‘ආටෙමිස්’ මෙහෙයුම් මාලාවේ අරමුණ වනු ඇති. 

 - පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments