HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රත්නපුරෙන් නව උඩවැඩියා මලක් සොයා ගනියි!

ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සොයා ගෙන තියෙනවා. ඒ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වළංකන්ද ප්‍රදේශයෙනි. මේ සොයා ගැනීම පිළිබඳ ගෞරවය හිමි වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂකයකු වන භාතිය ගොපල්ලව සහ රජරට විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයකු වන අමිල පෙරේරා යන දෙදෙනාටයි. භාතිය පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ හිටපු නිලධාරියෙකි. මෙම නව ශාක විශේෂය වාර්තා කිරීමට හැකි වූයේ මේ දෙදෙනා විසින් 2021 වර්ෂයේදී සිදුකළ අධ්‍යයනයකදී ප්‍රථම වරටයි. 

රත්නපුරෙන් හමු වූ අලුත්ම උඩවැඩියා මලක් - ගැස්ට්‍රෝඩියා පුෂ්පරාග.

2021 වර්ෂයේදී කළ නව සොයා ගැනීමත් සමග භාතිය ගොපල්ලව පර්යේෂණ පත්‍රිකාව සකස් කිරීමේ කටයුතු ආරම්භ කර, එම පර්යේෂණ පත්‍රිකාව ප්‍රකාශයට පත් කරන කාලය අතුරතුර ශාක පිළිබඳව පර්යේෂණයේ යෙදෙන තවත් දෙදෙනකු වන හර්ෂ සම්පත් සිංහරාජයෙන්ද, ලසිත ප්‍රගීත් කලවාන ප්‍රදේශයෙන්ද මෙම ශාක විශේෂය වාර්තා කිරීමට සමත්වී තිබෙනවා. 

මෙම ශාකය හැඳින්වීමට නමක් තවමත් පොත්පත්වල නැත. මෙරටට ආවේණික නව භෞමික උඩවැඩියා විශේෂයක් වන නිසා මෙයට සිංහල නමක් හෝ ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවකින් හඳුන්වන නමක් නැත. රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වීමත්, එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැණික් ප්‍රභේදයක් වූ පුෂ්පරාග මැණිකේ පැහැයට සමාන පැහැයක් ගැනීමත්, නිසා මෙම උඩවැඩියා විශේෂය නාමකරණයේ දී ශාකයට විශේෂ නාමය ලෙස ‘පුෂ්පරාග’ (pushparaga) යන නම යෙදීමට කටයුතු යොදා තියෙනවා. පුෂ්පරාග මැණිකෙහි ඇති කහ පැහැය සහ රතුපැහැ අනුවර්ණය මෙම ශාක විශේෂයේ කහ පැහැති පුෂ්පයත්, එහි මැද ඇති රතු පැහැයට සමාන වීමත්, නිසා පර්යේෂකයන්ගේ විශේෂ අවධානය මෙහිදී යොමුවුණා. ඒ අනුව මේ ශාකයට ඔවුන් විසින් ‘ගැස්ට්‍රෝඩියා පුෂ්පරාග’ කියා නම් කරන්ට යෙදුණා. 

ගැස්ට්‍රෝඩියා පුෂ්පරාග (Gastrodia pushparaga) AB: ශාකය පැවති පරිසරය,
C: සම්පූර්ණ ශාකය.
DE: මලේ සමීප රූපයක් (ඉහළ කෝණයකින්), F: මල් කිනිත්ත G: නටුව 
H: මල (ඉදිරිපස) I: මල (ඉදිරිපස) J: මල (පහළ කෝණයකින්) 
K: පරිපුෂ්පය (විවර කර)

උඩවැඩියා විශේෂ අතරින් භෞමික උඩවැඩියා විශේෂයක් වන මෙම ශාක විශේෂය පරපෝෂී (Holomycotrophic) ශාකයක් ලෙස හැඳින්වෙනවා. මෙහි ශාක පත්‍ර දක්නට ලැබෙන්නේ නැහැ. පොළොව අභ්‍යන්තරයේ පවතින රෛසෝමයක් මගින් මලක් පමණක් හට ගන්නවා. 

මෙම ශාක විශේෂය අයත් වන ගැස්ට්‍රෝඩියා (Gastrodia) ශාක ගණයට ලෝකය පුරාම පවතින විශේෂ 95ක් අයත් වෙනවා. මෙම නව සොයා ගැනීමට අයත් ශාක විශේෂය සහ Gastrodia zeylanica, Gastrodia gunethilakeorum යන විශේෂ පමණක් ශ්‍රී ලංකාවට අවේණිකයි. මේ නව සොයා ගැනීමත් සමග ශ්‍රී ලංකාවේ සියලුම දේශීය උඩවැඩියා විශේෂ සංඛ්‍යාව 194ක් ලෙස ඉහළ යනවා; ආවේණික උඩවැඩියා විශේෂ සංඛ්‍යාව 63ක් ලෙස ඉහළ යනවා. 

මේ ශාක විශේෂය පිළිබඳව සකස්කළ පර්යේෂණ පත්‍රිකාව 2023 මාර්තු 14 වන දින අන්තර් ජාතික පර්යේෂණ පත්‍ර ප්‍රකාශයට පත්කරන වෙබ් අඩවියක් වූ www.biotaxa.org යන්නෙහි පළ කර තියෙනවා. මෙසේ පළ වීමෙන් ශ්‍රී ලංකාවට විශාල වටිනාකමක් ගෙනාවා. එමෙන්ම ලංකාව තුළ සිදුවන ශාක පර්යේෂණවලට විශාල වටිනාකමක් එක්කිරීමටද හැකි වුණා. 

භාතිය ගොපල්ලව, අමිල පෙරේරා, ඉන්ද්‍රකීල මාදොළ, 
මහාචාර්ය දීප්ති යකන්දාවල හා හර්ෂ සම්පත්.

මෙම පර්යේෂණ පත්‍රිකාව එළි දැක්වීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයකු වූ භාතිය ගොපල්ලව සහ රජරට විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයකු අමිල පෙරේරා යන දෙදෙනාට, වයඹ විශ්ව විද්‍යාලයේ ඉන්ද්‍රකීල මාදොළ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දීප්ති යකන්දාවල, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ හර්ෂ සම්පත් ජයවික්‍රම මහතා, ඔස්ට්‍රේලියාවේ කර්ටින් විශ්ව විද්‍යාලයේ ආචාර්ය පංකජ් කුමාර් හා එංගලන්තයේ කීව් උද්භිද උද්‍යානයේ මහාචාර්ය මාක් චේස් ඇතුළු විද්වත් පිරිසකගේ සහය ලැබී තිබෙනවා. 

කෙසේ නමුත් දැනට ශ්‍රී ලංකාව තුළ සිදුවන ශීඝ්‍ර වන විනාශ නිසා මෙවැනි ශාක විශේෂ හඳුනාගැනීමටත් පෙර ම ඒවා ලෝකයෙන් තුරන්වීම සිදුවෙනවා. ඒ නිසා අතර ශ්‍රී ලංකාව තුළ ඇති වනාන්තර සංරක්ෂණය කිරීමට වහාම පියවර ගතයුතු වෙනවා. ඒ මගින් මෙවැනි විශාල වටිනාකමක් සහිත දුර්ලභ ශාක විශේෂ ආරක්ෂා කර ගැනීමටත්, ඒ විශේෂ අනාගත ලෝකයට උරුම කර දීමටත් හැකි වනු ඇති.‍ 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments