HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අද වැනි මැදින් පුන් පෝ දිනය බොදුනුවන්ට වැදගත් වන්නේ ඇයි?

අද නවම් පුර පසළොස්වක පොහෝ දිනය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳ අසිරිමත් සිද්ධියක් සිහියට නංවන සුවිශේෂ මංගල දිනයක්. භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් පමණ මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමාටත් ස්වකීය ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් අමා මහ නිවන්සුව අත් කර දෙනු පිණිස, රජගහ නුවර වේළුවනාරාමයෙහි සිට කිඹුල්වත් පුරයට වැඩම කරවීම ඇරඹුවේ අද වැනි මැදින් පුන් පොහෝ දිනයකයි. බුදුරජාණන් වහන්සේගේ කිතුගොස දඹදිව නොයෙක් ‍ප්‍රදේශවල පැතිරුණා. සිද්ධාර්ථ කුමාරයාණන් වෙසක් පොහෝදා බුදුවී ඇසළ පුනු පොහෝදා දම්සක් පවත්වා රජගහ නුවර වෙසෙති යන මංගල පුවත ශාක්‍ය ජනපදයට ද ආරංචි වුණා. ඒ අනුව සුද්ධෝදන රජතුමාට ස්වකීය පුත්‍ර රත්නය දැකීමේ ආශාව බලවත් වුණා. 

කිඹුල්වත් පුරයට බුදුන් වැඩිය දා

ඒ අනුව බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයට වැඩමවා ගනු පිණිස සුද්ධෝදන රජතුමා ඇමතියකු කැඳවා තම අභිලාෂය පැවසුවා. රජතුමාගේ ඉල්ලීම අනුව දහසක පිරිවරක් සමඟ මග ගෙවා රජගහ නුවර වේළුවනාරාමයට ගියා. ‍එවේලෙහි බුදුරජාණන් වහන්සේ සිවුවනක් පිරිස මැද දහම් දෙසමින් සිටි අතර ඇමතියා රජුගේ පණිවුඩය පසෙකින් තබා බණ අසා පිරිවර සමඟ රහත් ව මහණ වුණා. රජතුමා ඇමතියා ආපසු නො ආ නිසා තවත් ඇමතියකු දහසක පිරිවර සමග යළිත් පිටත් කර යැව්වා. මේ ආකාරයට සුද්ධෝදන රජතුමා නව වාරයක් ඇමතියන් නව දෙනකු ප්‍රධාන නව දහසක පිරිසක් බුදුරදුන් කිඹුල්වත් පුරයට වැඩමවා ගෙන එනු පිණිස යැව්වා. එහෙත් බුදුරදුන් සිය නුවරට ගෙන්වා ගන්නට නොහැකි වුණා. ඒ සියලු දෙනා ම බණ අසා රහත් ව පැවිදි වුණා. 

අවසානයෙහි සුද්ධෝදන රජතුමා බෝසතුන් හා එකදා උපන් කාලුදායි නම් ඇමතියා කැඳවා, ‘දරුව, මාගේ පුත්‍රයා කැඳවා ගෙන එනු පිණිස ඇමතියන් නව දෙනකු නව දහසක් පිරිස සමග බුදුන් වෙත යැව්වා. එ්ත් ඒ ප්‍රයත්න සියල්ල නිෂ්ඵල වුණා. මාගේ ජීවිතය අවසන් වන්නට පෙර, මාපුතු කැඳවාගෙන වුත් දක්වා ලන්නට හැකි දැ”යි ඇසුවා. එබසට කාලුදායි ඇමතියා කීවේ, “ඉදින් පැවිදි වන්නට අවසර දෙතොත් එය ඉටු කරන්නෙමි”කියායි. රජතුමා එයට අවසර දුන්නා. කාලුදායී ඇමතියාත් දහසක් දෙනා සමග වේළුවනාරාමයට ගොස් බණ අසා පිරිවර සමගම රහත් ව මහණ වුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මේ වන විට විසි දහසකටත් අධික වුණා. ශාක්‍ය ජනපදයෙන් පැමිණි පිරිස දස දහස් දහයක් වුණා. අංග - මගධ දෙ රටින් පැමිණ පැවිදි වූ පිරිස දස දහසක් වුණා. 

සිය උපන් ගම වූ කිඹුල්වත් පුරයට වැඩම වීම 

කාලුදායි රහතන් වහන්සේ මහණ ව සතියකින් පසු ව බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරයට වඩින ලෙස ආරාධනා කළා. සුද්ධෝදන පියරජතුමන් බුදුරජාණන් වහන්සේ දකින අභිලාෂයෙන් පසුවන බව පැවසුවා. බුද්ධත්වයෙන් දසමසක් එළඹ ඇති නිසා කාලගුණයත් යහපත් නිසා ගමනට සුදුසු බව ගාථා හැටකින් වර්ණනාත්මකව පැවසීමට කාලුදායි රහතන් වහන්සේ උත්සුක වුණා. 

ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ ද කිඹුල්වත් පුරයට වැඩමවීමට සුදුසු කාලයයි සලකා විසි දහසක් පමණ වූ භික්ෂූ සමූහයා පිරිවරා ගෙන රජගහනුවර වේළුවනාරාමයෙන් සවස් වේලෙහි පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ බුදුවීමෙන් පසු උපන්ගම කරා වැඩම වීමේ ප්‍රථම මංගල ගමන සිදුවූයේ මෙසේයි. දයාබර පියරජතුමා ඇතුළු ඥාති සමූහයාට විමුක්ති මාර්ගය හෙළි කර දෙනු පිණිස මහා කරුණාවෙන් රජගහ නුවරින් කිඹුල්වත් නුවර කරා ගමනාරම්භ කළ මේ අසිරිමත් පොහොය දිනය සමස්ත බෞදධ ලෝකයා‍ගේ ම හදවත් තුළ සොම්නස් සහගත පින් සිතිවිලි උපදවන ශ්‍රේෂ්ඨ ආගමික දිනයක් ලෙස සැලකිය හැකියි. 

කිඹුල්වත් පුර දෙසින් හමා එන සිසිල් මඳ පවන් පවා උන්වහන්සේගේ ගතට සිතට සොම්නස් දැනවීමෙහි සමත් බව වරක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. එබැවින් උන්වහන්සේ කල් යල් බලා මේ සිදු කළේ යා යුතු ගමනකි. එය සිය පියාණන් හට දැක්විය යුතු ඉහළ ම සැලකිල්ලකි. ස්වකීය ඥාති සමූහයාට කළ යුතු උතුම් ම ඥාති සංග්‍රහයකි. මේ මහා සේවාවට මුල පිරූ මැදින් පුන් පොහෝ දිනය බෞද්ධයා‍ ගේ සදා ගෞරවයට පත් විය යුත්තකි. 

සැට යොදුන් මග ගෙවා ගිය දිගු ගමන 

බුදුරජාණන් වහන්සේ දිනකට යොදුන බැගින් සැට දිනකින් සැට යොදුන් මඟ ගෙවා ‍කිඹුල්වත් පුරයට වැඩම කළා. මේ කාලය තුළ පිය රජතුමාගේ මාළිගයෙන් කාලුදායී රහතන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාතය ගෙනවුත් දෙනු ලැබුවා. ශාක්‍යයන් බුදුන් ප්‍රමුඛ විසි දහසක් භික්ෂූ සංඝයාට වැඩ සි‍ටීමට නි‍ග්‍රෝධ කුමාරයාගේ උයනෙහි ආරමයක් සාදවා තැබුවා. භාග්‍යවතුන් වහන්සේ වෙසක් පුර පසළොස්වක් දා කිඹුල්වත් පුරයට වැඩම කරවූවා. ශාක්‍යයන් බුදුරදුන් ප්‍රමුඛ භික්ෂු පිරිස පිළිගෙන නිග්‍රෝධාරාමයට වැඩමවා ගෙන ගියා. මානයෙන් යුත් ශාක්‍ය රජවරුන්, බුදු වුවත් ඔහු අපට බාලයයි කල්පනා කොට බුදුරජාණන් වහන්සේට නො වැඳ සිටියා. බාල කුමර කුමරියන් ලවා වැන්දවීමට කටයුතු යෙදුවා. ඔවුන්ගේ අදහස් දැනගත් බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ මානය දුරු කරනු පිණිස අහසට නැඟ යමාමහ පෙළහර දැක්වුවා. 

මෙය දුටු සුද්ධෝදන රජතුමා මේ මාගේ තුන්වන වැඳීම යැයි කියමින් බුදුරජාණන් වහන්සේට වැන්දා. සෙසු ශාක්‍ය රජවරුන්ද ඉන්පසු බුදුරජාණන් වහන්සේට නමස්කාර කළා. එකල්හි මහා වැස්සක් වැටුණා. එය නිමිති කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙස්සන්තර ජාතකය දේශනා කළා. ශාක්‍යයන්ද බුදුන් වැඳ ප්‍රදක්ෂිණා කර නිවෙස් කරා ගියා. ඒ කිසිවකුටත් පසුවදා දානයට ආරාධනා කරන්නට නො හැකි වුණා. 

බුදුරජාණන් වහන්සේ පසුවදා උදෑසන විසි දහසක් රහතන් වහන්සේ පිරිවරා කිඹුල්වත් පුරයට වැඩ ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසුරුණා. මෙය දුටු යසෝදරා දේවිය ඒ බව සුද්ධෝදන රජතුමා හට කීවා. එය ඇසූ රජතුමා ලජ්ජාවට පත් ව සළුව හඳිමින් වේගයෙන් රජ මාළිගයෙන් නික්මී ගොස් බුදුන් වැඳ “ස්වාමීනි, මෙසේ පිඬු සිඟා වඩිමින් අපට නින්දා කරන්නේ දැ”යි ඇසුවා. “මහරජ, මේ අපගේ බුද්ධවං‍ශයෙහි සිරිතැ”යි කියමින් පිය රජතුමාට මගදී ම ධර්ම දේශනා කළා. ඒ දේශනාව අවසානයෙහි පියරජතුමා සෝවාන් ඵලයෙහි පිහිටියා. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මාලිගයට වැඩමවා දන් පිරිනැමුවා. ඒ දන් වළඳා අවසානයේ භාග්‍යවතුන් වහන්සේ යළිත් රජුට දම් දෙසුවා. එය අසා රජතුමා සකෘදාගාමී වුණා; මහාප්‍රජාපතී ගෝතමිය සෝවාන් ඵලයෙහි පිහිටියා. දන් වළඳා අවසානයෙහි රජ ගෙදර වැසි සියලු ස්ත්‍රීහු අවුත් බුදුන් වැන්දා. එහෙත් යශෝදරා දේවිය පමණක් පැමිණියේ නැත. එතුමිය “මාගේ යම්කිසි ගුණයක් තිබේ නම් භාග්‍යවතුන් වහන්සේ මෙහි වඩින සේක්වා”යි සිතමින් සිය නිවසෙහි ම විසුවා. 

බුදුන් යශෝධරා (බිම්බා) දේවියට ගෞරව කළ හැටි 

බුදුරජාණන් වහන්සේ පිය රජුත් සමඟ යශෝධරාවන්ගේ ගෙ‍ට වඩින සේක් යශෝධරාවන් ගේ ශෝකය සන්සි‍ඳෙන තුරු ඇයට සිත් සේ වඳින්නට ඉඩ දෙන ලෙස වදාළා. බුදුරජාණන් වහන්සේ යශෝධරාවන්ගේ ගෙට වැඩම කොට පනවන ලද අසුනෙහි වැඩ උන්නා. එකල්හි රාහුල මාතාවන් පැමිණ බුදුහිමි සිරිපතුල් අල්ලාගෙන වැඳ වැටී හඬන්නට පටන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාව ඇය කෙරෙහි පතුරුවා නිහඬව වැඩ සිටියා. මඳවේලාවකින් පසු ‍ඕ තොමෝ පියවි සිහි ලැබ බියෙන් පසකට වුණා. 

යශෝධරා (බිම්බා) දේවිය රාහුල පුතුට බුදුන් දක්වයි

ඒ අවස්ථාවේ දී සුද්ධෝදන රජතුමා යශෝධරාවන්ගේ ගුණ කියන්න පටන් ගත්තා. “ස්වාමීනි, මගේ දුව ඔබ වහන්සේ කසාවත් හැඳි බව අසා කසාවත් පෙරවූවා. නුඹ වහන්සේ එක වේලෙහි වළඳනු අසා ඇය ද එක බතින් යැපුනා. ඔබ වහන්සේ උස් අසුන් මහ අසුන් අත්හැරිය බව අසා ඇය ද උසසුන් මහසුන් අත් හැරියා. ඔබ වහන්සේ මල් ගඳ විලවුන් දැරීම අත්හැරි බව අසා ඕ තෙ‍ාමෝ ද එසේ කළා. ඔබ වහන්සේ මහණ වූ බව අසා සම කුලයෙහි කුමාරවරුන් සරණ පාවා ගන්නට කළ යෝජනා ඇය ප්‍රති‍ක්ෂේප කළා.” යනාදී වශයෙන් සුද්ධෝදන රජතුමා යසෝධරාවන් ගේ විශිෂ්ට ගුණයන් වර්ණනා කළා. 

එහිදී බුදුරජාණන් වහන්සේ ඒ ගුණ නිමිති කොට සඳ කිඳුරු ජාතකය වදාරා යසෝධරාවන්ගේ අතීත සම්බන්ධය පිළිබඳ කරුණු පැහැදිලි කළා. දේශනාව අවසන ය‍ශෝධරාව පැවිදි වීමට කැමැත්ත දැක් වූ නමුත් බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපතී ගෞතමියට මෙහෙණ සස්න ඇති කිරීමට ඉඩ දිය යුතු හෙයින් ඒ ඉල්ලීම ඒ අවස්ථාවේ පිළිගත්තේ නැහැ. පසුව භාග්‍යවතුන් වහන්සේ නිග්‍රෝධාරමයට වැඩම කළා. 

නන්ද කුමරුන්ගේ පැවිදි කළ අයුරු 

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩි තුන් වැනි දා නන්ද කුමාරයන් ගේ රාජ්‍යාභිෂේක මංගල්‍යය ද, ගෘහ ප්‍රවේශ මංගල්‍යය ද, විවාහ මංගල්‍යය ද මංගල ත්‍රිත්වයක් යෙදී තිබුණා. මේ උත්සව දිනයෙහි බුදුපියාණන් වහන්සේ නන්ද කුමරු ගේ මාළිගයට වැඩම කොට දන් වළඳා පාත්‍රය ඔහු අතට දී පෙරටුව වැඩියා. නන්ද කුමරු ‘දැන් බුදුරජාණන් වහන්සේ පාත්‍රය ගන්නා ඇතැයි සිතමින් බුදුන් කෙරෙහි ඇති ගෞරවය නිසාම නිශ්ශබ්දව පසු පස පාත්‍රය රැගෙන ගියා. නන්ද කුමාරයන් හා විවාහ වීමට සිටි ජනපද කල්‍යාණි නම් රාජ කුමාරිය නන්ද කුමාරයා බුදුරදුන් පසු පස යනු දැක “ස්වාමි පුත්‍රය, වහා එනු මැනැවැ”යි කීවා. ඒ වචනය ඇසූ නන්ද කුමාරය‍ා ගේ හදවත කම්පා වුණා. 

එහෙත් බුදුරජාණන් වහන්සේට පාත්‍රය ගන්නා සේ කියන්න නො හැකි හෙයින් එයත් රැගෙන විහාරයට ම ගියා. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “නන්දය, මහණ වන්නෙහි දැ”යි ඇසුවා. කුමාර තෙමේ ජනපද කල්‍යාණිය නිසා එයට නොකැමති නමුත් බුදුන් කෙරේ ගෞරවයෙන්, “එසේ ය ස්වාමීනි, පැවිදි වන්නෙමි” යි කීවා. එකෙණෙහි ම බුදුන් සිය මලණුවන් පැවිදි කරවුවා. ඔහු පසු කලෙක දී සියලු කෙලෙසුන් නසා රහත් වුණා. 

පුත් රහල් කුමරුන් පැවිදි කර වීම 

තථාගතයන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම වීමෙන් සත්වැනි දිනය එළඹියා. බුදුහු විසිදහසක් මහා සංඝයා පිරිවරා ගෙන සුදොවුන් රජුගේ මාළිගයට වැඩම කළා. යසෝධරා දේවී තොමෝ සත් හැවිරිදි සුරතල් රාහුල කුමරුන් සරසා නරසීහ ගාථා කියා පියා ගැන හඳුන්වා පියා සතු ධනය ඉල්ලා ගන්ට යැයි පවසා බුදුරජාණන් වහන්සේ වෙත යැව්වා. 

රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පීතෘප්‍රේමය උපදවා ගෙන “පියාණන් වහන්ස, ඔබ වහන්සේ ගේ සෙවණෙහි වාසය මට සැප ය”යි කීවා. භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා අනුමෙවෙනි බණ වදාරා මාළිගයෙන් වැඩියා. රහල් කුමරා ද බුදුන් පසු පස ගියා. කිසිවෙක් ඔහු නැවැත්වූයේ නෑ. විහාරයට වැඩම කළ බුදුහු රහල් කුමරුන් පැවිදි කරන සේ සැරියුත් හිමියනට පැවරුවා. සැරියුත් හිමි රහල් කුමරා පැවිදි කළා. රහල් කුමරුන් ගේ හිස කෙස් බා සිවුරු හැන්දවීම මුගලන් හිමියන් විසින් ද, අවවාද දීම මහකසුප් හිමියන් විසින් ද, උපාධ්‍යායවීම සැරියුත් හිමියන් විසින් ද සිදු කරනු ලැබුවා. 

රහල් කුමරුන්ගේ පැවිදිවීම නිසා සුදොවුන් රජුට බලවත් ශෝකයක් හට ගත්තා. එතුමා සොවින් යුතු ව බුදුරදුන් වෙත අවුත් වැඳ එකත් පසෙක්හි හිඳ මෙසේ කීවා: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දරු සෙනෙහස වනාහි සිවියත්, මසත්, නහරත්, ඇටත් විනිවිද ගොස් එයින් නො නැවතී ඇට මිදුලුවලටත් කාවදින්නෙකැයි” කියා එතැනින් නොනැවතී, “ස්වාමීනි, මවුපියන්ගෙන් අවසර නොගෙන කුලදරුවන් පැවිදි නො කරන්නේ නම් මැනවැ”යි කීවා. එතුමාගේ ඉල්ලීම පිළිගත් බුදුහු භික්ෂූන් වහන්සේලාට “මහණෙනි, මවුපියන්ගේ අවසරය නොලැබ දරුවකු පැවිදි නො කරන්නැ”යි වදාළා. 

පසු දින තථාගතයන් වහන්සේ රජ මාළිගයට වැඩම කොට දන් වැළඳුවා. පසුව සුදොවුන් රජතුමා එකත් පසෙක්හි හිඳ, “ස්වාමීනි ඔබ වහන්සේ දුෂ්කරක්‍රියා කරන කාලයෙහි දේවතාවකු අවුත් “තොප ගේ පුත්‍රයා මළේ යැ”යි කීවා. එනමුත් මම එය පිළිගත්තේ නැහැ”යි කීවා. එකල්හි බුදුහු “මහරජ, ඔබ දැන් පමණක් නො වැ පෙරත් සේ නොපිළිගත්හ”යි කියමින් මහා ධර්මපාල ජාතකය වදාළා. රජතුමා එය අසා අනාගාමී ඵලයට පැමිණියා. මේ සා විශාල සේවාවක් ස්වකීය ඥාති පිරිසට කිරීමට තථාගතයන් වහන්සේට හැකිවූයේ අද වැනි මැදින් පුන් පොහෝ දාක සිදුවූ ඒ ගමන නිසයි. 

 

Post a Comment

0 Comments