HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

හිරු මතුපිට පෘථිවිය මෙන් 20 ගුණයක් විශාල කුහරයක් මතුවේ!

හිරුගේ යෝධ සිදුරක් ඇති වී තිබෙන බව නාසා විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනව‍ා. මේ සිදුර නිසා උතුරු ස්කොට්ලන්තයේ තාරකා නිරීක්ෂයන්ට අද (සිකුරාදා) උතුරු අහසේ විශේෂ ඌෂාලෝකයක් දැක ගැනීමට හැකි වනු ඇති. ඌෂාලෝකය (aurora) ලෙසින් හැඳින්වෙන්නේ හිරුගෙන් විහිදෙන විද්‍යුත් ආරෝපිත අංශු නිසා ඉහළ වායුගෝලයේ හටන්නා දිලිසුමයි. 

මේ හිරුගේ එක්ස්රේ ඡායාරූපයකි. එහි අඳුරු පැහැයෙන් 
පෙනෙන්නේ හිරු කුහරය.

නාසා විද්‍යාඥයන් කියන විදියට හිරු මතුපිට ඇති වී තිබෙන මෙම සිදුර පෘථිවිය මෙන් 20 ගුණයක් විශාල එකකි. මෙය මුලින්ම දැක ඇත්තේ නාසා ආයතනයට අයත් සූර්ය ගතිකවිද්‍යා නිරීක්ෂණාගාරය (Solar Dynamics Observatory) විසිනුයි. මේ කුහරය ඇති වීම නිසා සුළු වශයෙන් සූර්ය කුණාටු ඇති විය හැකියි. විශේෂඥයන් කියන්නේ මේ නිසා පැහැදිලි අහසක් ඇති විට උත්තර ඌෂාලෝක විහිදීම් දැක ගත හැකි වන අතර, මේ සංසිද්ධිය නිසා උඩුගුවනට යවා ඇති කෘත්‍රිම චන්ද්‍රිකා අක්‍රිය වීම්, ජීපීඑස් (GPS) නාවුක පද්ධති අක්‍රිය වීම් ඇති විය හැකි බවයි. 

කොරෝනා කුහර ලෙසින් හැඳින්වෙන මේවා අපට දැක ගත හැකි වන්නේ සූර්යගෝලයෙහි අඳුරු කොටස් ලෙසයි. මේවා විවිධ ප්‍රමාණවලින් ඇතිවෙනවා. ඒවායේ උෂ්ණත්වය ඒ අවට ඇති රත්පැහැති දීප්තිමත් කොටස්වලට වඩා අඩුයි. මෙසේ උෂ්ණත්වය අඩු වීමත් එහි ඝනත්වයේ වෙනස් වීමත් නිසා ඒ තුළින් විද්‍යුත් ආරෝපිත අංශු ධාරා ලෙසින් නිකුත් වෙනවා. ඒවා හැඳින්වෙන්නේ සූර්ය සුළං ලෙසයි. පෘථිවි ග්‍රහයාගේ චුම්බක ක්ෂේත්‍රයට ආකර්ෂණීයව ඒ දෙසට එන මේ විද්‍යුත් ආරෝපිත අංශු ධාරා අපේ වායුගෝලයේ වැදුණු විට නිකුත්වන ආලෝක ධාරා තමා අප ඌෂාලෝකයන් ලෙස දකින්නේ. 

එංගලන්තයේ කාලගුණ විද්‍යා කාර්යාලයේ අභ්‍යවකාශ කාලගුණ විද්‍යා නිරීක්ෂණ මධ්‍යස්ථාන‍යේ ක්‍රිස්ටා හැමන්ඩ් කියන්නේ මාර්තු 29 වැනිදා සිට ඉදිරියට දින තුනක් පමණ මෙහි බලපෑම චන්ද්‍රිකා සන්නිවේදන කටයුතුවලට බලපෑ හැකි බවයි. එහෙත් එය හිරුගේ මෙවර ඇති වූ කුහරයෙන් නිකුත් ව පෘථිවිය බලා ආවේ පැයට සැතැපුම් දහ අට ලක්ෂයක වේගයෙන් වුවත් එයින් සිදුවන බලපෑම සාපේක්ෂව ඉතා අඩු බවයි ඇය පවසන්නේ. මේ සූර්ය සුළං අවම මට්ටමේ පවතින නිසා ඌෂාලෝකය වුනත් පෙනෙන්නේ යාන්තමටයි. 

හිරු කුහර ඇති වූ විට මෙවැනි ඌෂාලෝකයන් උත්තර ධ්‍රැවයට ඉහළින් අහසේ දැකගත හැකියි. මේ පසුගිය සතියේ ස්කොට්ලන්ත වෙරළට එය දිස් වූ අයුරු.

එංගලන්තයේ රීඩිං විශ්ව විද්‍යාලයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය මැතිව් ඔවෙන්ස් කියන්නේ, ‘කොරෝනා කුහරවලින් වේගයෙන් විහිදෙන සුළං ධාරා තියෙනවා. ඒත් පෘථිවියට හානියක් ඇති කිරීමට සමත් කිසිවක් ඉදිරි දින කිහිපය තිස්සේ සිදු වන්නේ නැහැ.’ කියායි.  

මේ හිරු මතුපිට ඇති වූ කුහරය පෘථිවිය මෙන් විසි ගුණයක් විශාල එකකි.

‘මෙසේ සූර්යයා මතුපිට ක්‍රියාකාරකම් පසුගිය සති කිහිපය තුළ වැඩිවී තිබීම සූර්යයා වඩාත් සක්‍රියව ඇති දැක්වෙන සලකුනක්.’ විද්‍යාඥයන් කියන්නේ සතුටු විය හැකි කරුණක් බවයි. ඔවුන් වැඩිදුරටත් කියන්නේ සෑම වසර 11කටම වරක් සුර්ය චක්‍රයේ අවසන් භාගයේ දී මේ ආකාරයේ සංසිද්ධි දැක ගන්න පුලුවන්. කොරෝනා කුහර ඇති වීමත්, ඒවා මගින් විමෝචනය කරන ප්ලාස්මා ධාරාවන් හා චුම්බක ශක්තීන් ඇතුළත් කොරෝනා ස්කන්ධ හිරුගෙන පිටතට ගලා යාම සිදුවෙනවා. ඒවායින් අපේ විද්‍යුත් සන්නිවේදන කටයුතුවලට බාධා වීම් සිදුවෙනවා. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments