බිර්බාල් දවසක් අක්බාර් අධිරාජයාගේ රාජ සභාවට යන විට රාජ සභාවේ ලොකු කලබලයක් පැවතුනා. ඒ අක්බාර් අධිරාජයා ඔහුගේ අග බිසවට අලුතින් ම මිල දී ගෙන තෑගි කර තිබුණු අධික වටිනාකමක් ඇති අනර්ඝ දියමන්ති මාලය හොරු අරන්. දියමන්ති මාලය විතරක් නෙවෙයි, තවත් රත්තරන් බඩු ගොඩකුත් අතුරුදන් වෙලා. ඒ බව දැන ගත්තේ මාලය නැති වෙලා ඒක ගැන හොයන්න ගියාමයි. අක්බාර් අධිරාජයාත් ඒ ගැන තදින් කිපී සිටියා.
ඒ මාලයට අග බිසව කෙතරම් ආසා වුණාද කීවොත් ඇය ඒක ඇගේ යහන් ගැබ තුළ ම රත්තරන් පෙට්ටියක් තුළ අගුලු දමාගෙන ආරක්ෂා සහිතව තබා ගත්තා. නමුත් අවාසනාවකට වාගේ දවසක් පලඳින්නට බලන කොට ඒ පෙට්ටිය තියෙනවා, ඇතුළේ මාලය තිබුණේ නැහැ. අග බිසව සේවිකාවන්ට කෑ ගැහුවා. හැම තැනම හෙව්වා. ඒත් හමු වුණේ නැහැ. අවසානයේ ඇය ඒක අධිරාජයාට පැමිණිලි කළා.
පසුවදා අධිරාජයා රාජ සභාවට ආවේ කෝපයෙන් පුපුර පුරයි. අධිරාජයා පුරෝහිතයන්ට කීවා කෙසේ හෝ ඒ මාල හොරා අල්ලන්න උපායක් යොදන්න කියා. බිර්බාල් රාජ සභාවට එන කොට මුළු රාජ සභාවම ගිනි අරගෙනයි, තිබුණේ.
බිර්බාල් පමාව ගැන සමාව අයදිමින් රාජ සභාවට ඇතුළු වුණා. අධිරාජයා බිර්බාල් දුටු ගමන්ම සිය කෝපය මැඩ ගෙන බිර්බාල්ට සිදු වූ දේ ගැන කියලා හොරා අල්ලලා දෙන්න පුලුවන් ද කියලා ඇහුවා.
“ඕක අමාරු දෙයක් නෙවෙයි, දේවයන් වහන්ස, මට හෝරා කීපයක් දෙන්න. මං හොරා අල්ලලා දෙන්නම්. එතකන් රජමාලිගයේ ඇතුළු ගෙයි වැඩ කරන සේවකයන්, විශේෂයෙන් ම අග බිසවගේ යහන් ගැබට යන්නට වරම් ඇති සියලු සේවකයන්ට මාලිගයෙන් පිටතට යන්න දෙන්න එපා! මා දැන් එළියට යනවා. එනතෙක් කිසිවකුටවත් පිටතට යන්න දෙන්න එපා! එහෙම කියලා, බිර්බාල් ඉක්මනින් පිටව ගියා.
බිර්බාල් ආපසු ආවේ බූරුවකුත් අරගෙනයි. ඒ බූරුවා එළියේ සම්පූර්ණයෙන් වහපු කූඩාරමක් තුළ රඳවලා රජ සබාවට ඇවිත් අධිරාජයා ඇමතුවා.
“අධිරාජයාණෙනි, මා මිතුරකුගෙන් ඉල්ලා ගෙන ආවා, මායා හැකියාවක් ඇති බූරුවෙක්. ඒ බූරුවාට පුලුවන් ඔය හොරාව අල්ලලා දෙන්න. මහ ඇමතිතුමාට මේ ගැන අධීක්ෂණය කරන්න කියලා මං ඉල්ලනවා. ඒකට ඔබ වහන්සෙගෙන් අවසර ඉල්ලනවා.” බිර්බාල් කිව්වා.
“අවසර ලැබෙනවා” අධිරාජයා කීවා.
“එළියේ තියෙනවා වටේටම අහුරපු කූඩාරමක්. ඒක ඇතුළේ ඉන්නවා මායාකාර බූරුවෙක්. ඒ බූරුවාට පුලුවන් මාල හොරා අල්ලලා දෙන්න. දැන් රජ මාලිගයේ සේවකයන් එක් එක් කෙනා තනි තනිව අර එළියෙ තියෙන කූඩාරම ඇතුළට ගිහින් ඒ බූරුවාගේ වලිගයෙන් අදින්න ඕනෑ. ඒක කරන විට බූරුවා නියම හොරාව අපට අල්ලලා දේවි.” බිර්බාල් කිව්වා.
එක එක සේවකයා හෙමිහිට කූඩාරම ඇතුළට ගියා. ටික වේලාවකින් ඇතුළට ගිය මුල් ම සේවකයාට බූරුවා පා පහරක් දුන්නා. ඔහු පා පහර කාගෙන එළියට ආවා. ඒ විධියට ගිය අය අතරින් වල්ගය ඇල්ලූ හැමෝටම පා පහර බැගින් වැදුණා. අවසානයේ දී ඒ සේවකයන් සියලු දෙනාටම පෙළ ගස්සලා බිර්බාල් මහ ඇමතිතුමා අමතා මෙහෙම කිව්වා.
“මහ ඇමතිතුමනි, මං මේ සේවකයන් හැම දෙනාටම බූරුවාගේ වල්ගය අල්ලන්න කීවා. මං ඒ බූරුවාගේ වල්ගය සැර සුවඳ විලවුන් වර්ගයක් ගල්වලයි තිබුණේ. ඒ නිසා වල්ගය ඇල්ලූ හැම දෙනාගෙම අත්වල ඒ සුවඳ තැවරිලා ඇති. ඒ සුවඳ තැවරී නැති එක්කෙනෙක් මෙතැන ඉන්නවාද බලන්න! එයා තමයි මාල හොරා. එයා බූරුවාගේ වල්ගය ඇල්ලුවේ නැහැ. ඇමතිතුමනි, බලන්න තෝරා දෙන්න.” බිර්බාල් කිව්වා.
මහ ඇමතිතුමා අත් පරීක්ෂා කරමින් යන අතරේ වල්ගය නොඇල්ලූ හොරාට තේරුණා, ඔහු බිර්බාල්ගේ උගුලට අහුවුණු බව. ඒ නිසා මහ ඇමතිතුමා අත් පරීක්ෂා කරමින් එද්දී තමා ළඟට එන්නට කලින් ම ඔහු වරද පිළිගෙන අධිරාජයාගෙන් සමාව ඉල්ලුවා.
- පර්සි ජයමාන්න
0 Comments