HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

70 වසරක් තිස්සේ පැවති බිග්ෆුට්ගේ අබිරහස හෙළිවෙයි!

මහා පාදයා හෙවත් බිග්ෆුට් මිනිසා පිළිබඳ ලොව පුරාම පවතින විස්මිත පුවත් මැවූ චරිතය ඉතා දුරාතීතයට දිව යන්නක්. මානව වර්ගයාගේ ඉතිහාසයේ සෑම තැනකම වර්තමාන සාමාන්‍ය මිනිසාට වඩා විශාල මිනිසුන් සිටි බවට කතාන්තර පළ වී තියෙනවා. බෞද්ධ සාහිත්‍යයේ රියන් ගණන් උස බුදුවරයන් සිටි බව සඳහන් වෙනවා. ඉංග්‍රීසි සාහිත්‍යයේ ද යෝධයන් ගැන කතාන්තර තියෙනවා. දුටුගැමුණු රජතුමාත් දස මහා යෝධයන් සමඟ යුද වැදුණු හැටි මහාවංශයෙන් කියවන්න පුලුවන්. අසාමාන්‍ය විශාලත්වයෙත් මිනිසුන් ගැන කතා ලොව පුරා ජනතා ආකර්ෂණය දිනා ගෙන ඇති බව ගැන විවාදයක් නැහැ. ඒ නිසා හිමාලයේ යෙටී හෙවත් යෝධ හිම මිනිසා, ඇමරිකාවේ බිග්ෆුට්, කැනඩාවේ සැස්කොච් වැනි අද්භූත සත්වයන් දුටු බවට පසුගිය කාලයේ පළ පුවත් නිසාත් ඇතැම් විට ඒවා සමඟ පළ වූ අපැහැදිලි රූපත් නිසා මේ වන තෙක් එය මිනිසා තුළ කුතුහලය අවුස්සන දෙයක් ව තිබුණා. 

පසුගිය දා පළ කළ වි‍ශේෂ වාර්තා දෙකක් නිසා මේ අද්භූත මහා පාදයා ගැන අබිරහස හෙළිදරවු වුණා. 1958 දී ඇමරිකාවේ පුවත්පතක කොටු කළ විශේෂ පුවතක් පළ වුණා. එහි පළ වූයේ අබිරහස් පා සලකුණු වගයක් හා කැලේ මැදින් ගස් අතරින් දිව ගිය විශාල ගෝරිල්ලකු වැනි සතෙක් දුටු අයකු කළ සියැසින් දුටු විස්තරයක්. මේ විස්තරය කළ තැනැත්තා හිමාල වනයේ සැරිසරණ යෙටී හෙවත් යෝධ හිම මිනිසා ගැන සඳහන් කොට තිබීම නිසා බොහෝ දෙනා සිතුවා, ඔහු ඒ හා සමාන මිනිසකු ගැන තමයි, මේ කියන්නේ කියාට කලින් ඇමරිකාවේ පුවත්පත් කිසිවක එවැනි පුවතක් පළ වුණේ නැහැ. නමුත් මේ පුවතෙන් පසු එවැනි පුවත් වරින් වර පළ වෙන්න පටන් ගත්තා. 

බිග්ෆුට් පිළිබඳ හොඳම සාක්ෂිය ලෙස සලකනු ලැබූ රොජර් පැටර්සන් හා 
බොබ් ගිම්ලින්ගේ විඩියෝ පටය කැමරාවට නැඟුවේ කලින් දුටුවේ යැයි 
වාර්තා වුණු කැලයේදීයි.

ඇමරිකන් පුවත්පත් කලාවේදියකු වූ ඇන්ඩෲ ගෙන්සෝලි කැලිෆෝනියාවේ හම්බෝල්ට් ටයිම්ස් (Humboldt Times) පුවත්පතේ වාර්තාවක් පළ කළා, උතුරු කැලිෆෝනියාවේ ගස් කපන්නන් පිරිසකට හමු වූ අද්භූත යෝධ පා සලකුණු වගයක් ගැන. ඒ පිළිබඳව නොසිතූ විරූ අන්දමට පාඨකයන් උනන්දුවක් දැක්වූවා. ඒ විශේෂ උනන්දුව නිසා ඔහු තවත් පුවත් කීපයක්ම කළා, ඒ දර කපන්නන් ඒ අඩි සලකුණුවල විශාලත්වය නිසා ඌ ‘බිග්ෆුට්’ යනුවෙන් හැඳින්වූ බවත් කියමින්. ඒ බිග්ෆුට් කතාව පටන් ගත්තේ එහෙමයි. 

එයින් පසු වරින් වර බිග්ෆුට් දුටු බවට වාර්තා පළ වුණා. එදා 1958 දී දුටු පා සලකුණු ඇත්තෙන් ම මිනිසකු විහිළුවකට සැකැසූ ඒවායි. ඔහුගේ රේ වොලස්. ඒත් ඔහුගේ මේ ප්‍රෝඩාව බොහෝ කල් රහසක් ලෙස රැක ගනු ලැබුවා. ඒ රහස එළිදරවු වූයේ 2002 සිදු වූ ඔහුගේ මරණයෙන් පසුවයි. ඔහුගේ දරුවන් තමා, හෙළිදරවු කළේ, ඔවුන්ගේ පියා සරදමක් ලෙස ඒ පාද සටහන් හා එහි හිමිකරු පිළිබඳ කතාව ගොතා පුවත්පතට දුන් බව කියමින්. 

ඒත් මේ කතාව හෙළිදරවු කරන්න ප්‍රමාද වුණා වැඩියි. මිනිසුන්ගේ සිතුවිලි ඊට වඩා වේගයෙන් ඉදිරියට ගියා. ඔවුන් ඒ කතාව විශ්වාස කරන්න පටන් ගත්තා. වනරොදවල, රූස්ස ගස් ඇති වනාන්තරවලට යන අය බිග්ෆුට් ගැන විපරම් කරන්න පටන් ගත්තා. ඇඟ පුරා ලොම් ඉහිරුණු ඒ අත්භූත සත්වයාගේ අහඹු දර්ශනය වීම් වාර්තා වුණා. ඒ දර්ශනවල උන් සත්වයන් එක්වරම පෙනී නොපෙනී යාමත්, ගස් අතරින් වේගයෙන් දිවයාමත් නිසා ඒ ඇසින් දුටු කිසිවකුට මුහුණට මුහුණ හමුවූ බවක් කියැවුණේ නැහැ. 

ඒ අතර එවැනි අද්භුත මානවයකු ඇතැයි යන්න බොහෝ දෙනා විශ්වාස කරන්න පටන් ගත්තා. කතාන්දරත් මේ සත්වයා ඇතුළත් කර නිර්මාණය කරනු ලැබුවා. ලෝක ප්‍රකට ටින් ටින් චිත්‍රකතා මාලාවේ ‘ටින් ටින් ඉන් ටිබෙට්’ යන කෘතියෙහි ටින් ටින් තම මිතුරකුගේ කුඩා දරුවකු පැහැර ගෙන ගිය බිග්ෆුට්ගෙන් එම දරුවා බේරා ගන්නා ආකාරය විචිත්‍ර චිත්‍රකතා නිර්මාණයක් ලෙස ඉදිරිපත් කළා. එයින් මේ සංකල්පය තවත් තහවුරු වුණා. ඒත් අද වෙන කොටත් මෙවැනි සත්වයකු සැබැවින් ම ඇතැයි සිතිය හැකි සාක්ෂි කිසිවක් සොයා ගෙන නැහැ. 

1967 දී බිග්ෆුට් රූප රාමු වීඩියෝ කළ රොජර් පැටර්සන් හා බොබ් ගිම්ලින් යන දෙදෙනා ඒ සඳහා යොදා ගත් පා සලකුණු වාත්තු කළ සෙරෙමික් අච්චු පරීක්ෂා කරන අයුරු.

මේ පිළිබඳව දසවසරකට කලින් ඇමරිකාවේ ටෙක්සාස්හි පශු වෛද්‍යවරියක් වූ මෙල්බා එස්. කෙට්චම් තමන් බිග්ෆුට් ගැන කළ පර්යේෂණයක් ප්‍රසිද්ධ කළා. ඒ ජාන ආශ්‍රයෙන් කළ පර්යේෂණයක්. ඒ මගින් ඇය ඔප්පු කරන්න උත්සාහ කළා, ඒ වසර 15,000කට පෙර විසූ ආදි මානවයකු විය හැකි බව. ඇයට ඒ සඳහා ආධාර කළ ඩීඑන්ඒ ඩයිගොනස්ටික් සමාගම ඒ පර්යේෂණ වාර්තාව ප්‍රසිද්ධ කර තිබුණා. ඒ පර්යේෂණය සඳහා කෙට්චම් හා පිරිස උතුරු ඇමරිකාවේ කැණීම් කළ ස්ථාන 30කින් සොයා ගතස්, රුධිරය, ශ්ලේෂ්මල, නියපොතු, ගස්වල පොතු සූරා ලබා ගත් කොටස්, ඛේට, සම් ආදී කොටස් සාම්පල 111ක් භාවිත කර තිබුණා. 

“අප එක් රැස් කළ දත්තවලින් උතුරු ඇමරිකන් සැස්කොච් දෙමුහුන් සත්ව විශේෂයක් ලෙස දැක්වීමට හැකි වුණා. ඒ හඳුනා නොගත් හොමිනිඩ් මානවයකු හෝමෝ සේපියන් ගැහැනියක හා සංයෝග වීමෙන් බිහි වූ වෙනම මානවයකු ලෙස හැඳින් විය හැකියි.” ඇය කියනවා. 

එහෙත් ඒ පර්යේෂණ වාර්තාව, ඩී නොවෝ විද්‍යාත්මක ජර්නලයේ පළ වුණා. ‘නව උතුරු ඇමරිකන් හොමිනින්වරු: පූර්ණ ජෙනෝමි තුනක පරම්පරා අනුපිළිවෙළ සැකසීම ආශ්‍රිත අධ්‍යයන’ යන නමින් පළ වූ ඒ පර්යේෂණ වාර්තාව ඒ පිළිබඳ විෂ්‍යයට අදාළ විද්‍යාඥයන් විසින් පිළිගෙන නැහැ. 

තවත් තර්කයක් ගෙනාවා, අයිස් යුගයේ දී දකුණු ආසියාවෙන් ඇමරිකාවට සංක්‍රමණය වූ යෝධ වානරයකු විය හැකි යැයි කියා. ද්‍රව වලසකු තරම් විශාල ඒ සත්වයා වසර මිලියන දෙකකට පෙර ඇමරිකන් මහාද්වීපවලට එන්නට ඇති අතර ඌ වසර ලක්ෂයකට විතර ඉස්සර වඳ වී යන්නට ඇතැයි ඒ කතාවෙන් කියැවෙනවා. මේ තර්කය සාමාන්‍යයෙන් පවතින්නේ විද්‍යා ප්‍රජාව අතරේයි. 

කෙසේවෙතත් බිග්ෆුට් ගැන විශ්වාස කරමින් තවමත් ඒ අද්භුත සත්වයා ගැන සෙවිල්ලෙන් සිටින අය කියන්නේ ජයිජැන්ටිපිතිකස් බ්ලැකී (Gigantopithecus blacki) නම් ඒ සත්වයා ඇත්තෙන්ම ජීවත්වන බවයි. වයඹදිග පැසිපික් කලාපයේ වනාන්තරවල රූස්ස ගස් අතර හැංගෙමින් වෙසෙන මේ සත්වයා අන් කිසිවකු නොව සැස්කොච් යැයි ඔවුන් කියනවා. 

මේ තවත් පිරිසක් විශ්වාස කරන්නේ උතුරු ඇමරිකන් වනාන්තරවල මේ ගණයට අයත් වානර මිනිසුන් 2000ක පමණ ගහණයක් ඇතැයි ඔවුන් විශ්වාස කරනවා. ඔවුන් කියන්නේ ඒ සතුන් සෑම ඇමරිකන් ජනපදයකම දර්ශනය වී ඇති නිසා බොරුවක් විය නොහැකි බවයි. 

ඒ වගේම පොත්පත්, පුවත්පත්, ගුවන්විදුලිය, රූපවාහිනිය එන්නට කලින් මෙය ස්වදේශික ඇමරිකානුවන් අතර පැවති ප්‍රවාදයක් ලෙස සමහර සමාජ විද්‍යාඥයන් කියනවා. ඒ ආදි ගෝත්‍රිකයන් විශ්වාස කරනවා යෝධ අවතාර ආත්මයක් ඇතැයි කියා. බිග්ෆුට් කියා දැන් හඳුන්වන්නේ එයයි.‍ 

ඒ අතර 1958 දී යටකී පුවත පළවෙන්නට කලින් ඇමරිකාවේ පුවත්පත්වල එවැනි පුවත් පළ වූයේ නැහැ. ඒ වගේ ම 1967 දී ගන්නා ලද ගස් අස්සෙන් අතුරුදන් වී යන ලෝම පිරුණු සිරුරකින් යුත් ‘බිග්ෆට්’ගේ රූප රාමු පෙළත් ප්‍රෝඩාවක් ලෙසයි, දැන් සැලකෙන්නේ. ඒ රූප රාමු පෙළ කැමරාවට නගා ඇත්තේ රොජර් පැටර්සන් හා බොබ් ගිම්ලින් යන දෙදෙනායි. පැටර්සන් 1972 දී පිළිකාවකින් මිය යන තෙක් ඒ රූප පෙළ සැබෑ එකක් ලෙස දිගටම කිව්වත් ඔහුගේ මරණයෙන් පසු බොබ් එය මැවූවක් බව හෙළි කළා. බොබ් ගිම්ලින් ඔවුන් ඒ වීඩියෝ පටය සඳහා යොදා ගත් පා සලකුණේ අච්චුව පරීක්ෂා කරන ඡායාරූපයක් පැටර්සන්ගේ මරණයෙන් පසු ප්‍රසිද්ධ කෙරුණා. 

මෑතදී ඩොලර් ලක්ෂ පහක් වැය කර සැස්කොච් ජෙනෝමි ව්‍යාපෘතියක් පැවැත්වුණා. එයින් ද නොයෙක් දත්ත රැස් කෙරුණා. ඒ වගේ ම පසුගිය දශකය තුළ සැස්කොච් දර්ශනය වීම් කීපයක් විමර්ශනය කෙරුණත් ඒවා ඵලදායී වුණා. 

 - පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments