ඇමරිකන් හාස්‍යය ගැන කලින් ‘මල් කැකුළු’ තුළින් ඔබට මෑත යුගයේ ලේඛකයකු වූ ජේම්ස් තර්බර් හඳුන්වා දුන්නා. අද ඉදිරිපත් කරන්නේ අමෙරිකන් සාහිත්‍යයේ පියා ලෙස සැලකෙන මාක් ට්වේන් යන අන්වර්ථ නාමයෙන් ලියූ සැමුවෙල් ක්ලෙමන්ස් ලේඛකයාගේ මීට වසර 120කට පමණ පෙර ලියූ අපූරු රචනාවක්. ‘ආදම්ගේ දිනපොතෙන්’ නම් මේ නිර්මාණය අප උපුටා ගත්තේ ඇස්. පී. පෙරේරා සූරීන්ගේ සංස්කාරකත්වයෙන් පළ ‘දැනුම’ වූ සඟරාවෙනි. මෙහි පර්වර්තනය ද ඒ මහතාගේය. මාක් ට්වේන්ගේ කෘති අතර ‘ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටොම් සෝයර්’ හා ‘ඇඩ්වෙන්චර්ස් ඔෆ් හකල්බරි ෆින්’ සිංහල පාඨකයන් අතර ඉතා ජනප්‍රිය කෘතීන් වේ.
ආදම්ගේ දින පොතෙන්
සඳුදා: දිගු වරලසක් ඇති මේ අලුත් සතා වස කරදරයක්. ඒකා හැම තිස්සේ ම මා යන යන තැන පස්සෙන් එනවා. මේක මට අල්ලන වැඩක් නොවෙයි. මට ආස්සරේ වැඩිය පුරුදු නෑ.
මේකා මා පස්සෙන් නෑවිත් අනෙක් සතුන් එක්ක ඉන්නවා නම් මා කැමතියි. අද ටිකක් අඳුරු දවසක්. නැගෙනහිරින් හුළං හමනවා. හවස් වෙන කොට අපට වහීවි....අපට ? ඒ වචනය මට කොහෙන්ද පුරුදු වුණේ? ආ! දැන් මතක් වෙනවා. අලුත් සතා මේ වචනය පාවිච්චි කරනවා.
අඟහරුවාදා: මහ දිය ඇල්ල බලන්න ගියා. මා හිතන්නේ වත්තේ තියෙන හොඳ ම දෙය ඒකයි කියා. අලුත් සතා ඒකට නයගරා ඇල්ල යයි කියනවා. මොන එකකටදැයි මට තේරෙන්නෙ නෑ. අලුත් සතා කියන්නේ ඒක නයගරා ඇල්ල වගේ ලු. ඒකත් හේතුවක් ද? නිකම් මොට්ට කතාවක්. කිසිම දෙයකට නමක් දෙන්න මට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. මා විරෝධයක් දක්වන්න කලින් අලුත් සතා අහුවන අහුවන හැම එකකට ම නම දෙනවා. හැම වතාවක ම දෙන්නේ අර හේතුවම යි. යම් දෙයක් ඒ දේ වගේ ලු.
බදාදා: වැස්සෙන් ආරස්සා වන්න පොඩි පැලක් හදා ගත්තා. ඒත් කොහෙද? එකෙ නිදහසේ තනියම ඉන්න මට ඉඩ ලැබුණේ නෑ. අලුත් සතා එහි රිංගා ගත්තා. ඒකා දොට්ට දමන්න ලැහැස්ති වුණා ම, අර බලන තැන් දෙකෙන් වතුර පිට කර කර ඉස්සරහ ගාතෙ පිටි පැත්තෙන් ඒක පිහ දම දමා බොහොම වේදනාවක් දැනුණ විට අනික් සතුන් කරන්නා වාගේ සද්දයක් කරන්න පටන් ගත්තා. මේකා කතා නොකරනවා නම් මම හරි කැමතියි. හැම තිස්සේ ම කතාවම යි. මෙහෙම කිව්වා ම අහිංසක සතකුට කරන පහත් අවමානයක් වගේ හිතෙන්න පුලුවන්. ඒත් එහෙම අදහසකින් නොවෙයි මා කියන්නේ. මීට කලින් මා මනුස්ස කටහඬක් අහලා නෑ. ඒක නිසා මේ පාළු නිසංසල බව මැද්දේ නැඟෙන අලුත් හඬක් ඇත්නම් එයින් කන කීරි ගැස්සෙනවා. ඒ මදිවාට මේ හඬ හැම තිස්සේ ම මා ළඟම යි. මගේ උර හිස ළඟම යි. මගේ කන ළඟම යි. එක වෙලාවකට එක පැත්තෙකින්. ඊළඟට අනෙක් පැත්තෙන්. මා පුරුදු වෙලා තියෙන්නෙ දුරින් නැෙඟන හඬට පමණයි.
සිකුරාදා: නම් තැබීම ගජරාමෙට කෙරනවා. මා කුමක් කළත් ඒක නවත්වන්න බෑ. වත්තට මා හොඳ නමක් ලැහැස්ති කර ගෙන හිටියා. ඒ කනටත් මිහිරියි. ඊඩ්න් වත්ත කියලයි මම නම දෙන්න හිටියේ. තවමත් තනිව ම නම් මා යොදන්නේ ඒ නම යි. හැබැයි එළිපිට නොවේ. අලුත් සතා කියනවා මෙහි ඔක්කොම තියෙන්නේ කැලෑවයි, ගලුයි, දර්ශනයයි විතරයි. ඒ නිසා වත්තක් වගේ නෙවෙයි කියා. මේක උයනක් වගේලු. උයනක් වගේ මිස වෙන දෙයක් වගේ නොවේලු. ඒ නිසා මගෙනුත් නොවිමසා අලුත් සතා එයට නයගරා ඇල්ල උයන කියා නම දී තිබෙනවා. මට හිතෙනවාවා මේක හිතුවක්කාර වැඩක් කියා. දැනටමත් බෝඩ් ලෑල්ලකුත් ගහලා මෙන්න මේ විදියට:
‘තණ නොපාගනු’
මගේ ජීවිතේ ඉස්සර වාගේ සන්තෝෂයක් නෑ.
සෙනසුරාදා: අලුත් සතා නොසෑහෙන්න පලතුරු කනවා. මෙහෙම කෑවොත් අපට මදි වෙන්නත් පුලුවන්. ආයිත් අපි. මේක අලුත් සතාගේ වචනය යි. දැන් එක් අහල අහලාම මගෙත් වචනයක් වෙලා. උදේ හුඟක් මීදුම තිබුණා. මීදුම තියෙන වෙලාවට මං පිටත යන්නේ නෑ. අලුත් සතා නම් යනවා. ඒකා මීදුමේත්. අව්වේත්, වැස්සේත්, හීතලේත්, ඕනැම වෙලාවකත් පිටත යනවා. දෙපයේ මඩ තවරා ගෙන ආපහු එනවා. කතා කරනවා. ඉස්සර නම් මෙතැන කොච්චර නම් සුන්දරට, නිහඬව තිබුණා ද?
ඉරිදා: යන්තම් ගෙවා ගත්තා. මේ දවස එන්න එන්නම මහ වදයක්. නොවැම්බරයේ දී මේ දවස වෙන් කර ගත්තේ විවේක දිනයක් හැටියට යි. ඊට මට විවේක දින හයක්ම තිබුණා. අද උදේ අලුත් සතා අර තහනම් ගහෙන් ගෙඩි කඩා ගන්න හැදුවා.
සඳුදා: අලුත් සතා කියනවා ඒකා මගේ ඒව ය කියා. මට කාරියක් නෑ. මගේ විරුද්ධත්වයක් නෑ. ඒකා කියනවා මාළඟට ගෙන්වා ගන්න වුවමනා නම් ඒ නමින් අඬගහන්නය කියා. එතකොට මා කීවා ඒක අනවශ්‍ය දෙයකැයි කියා. ඒ වචනය නිසා මගේ ගණනත් නැග්ගා. මේ වචනය ආයෙ පාරක් පාචිච්චි කරන්න මතක තියා ගන්න ඕනෑ. ඒකා කියනවා ඒකා ඒකෙක් නොවේලු. එකියක් ලු. කොයි තරම් දුරට ඇත්ත ද දන්නේ නෑ. කොයික වුනත් මට එකයි. ඒකි ඒකිගේ පාඩුවෙ ඉන්නවා නම්, කතා නොකරනවා නම් ඒකි මොකා වුනත් මට කමක් නෑ.
සෙනසුරාදා: ගිය අඟහරුවාදා රෑ මා බේරිලා පැන ගත්තා. දවස් දෙකක් ඇවිදලා ඇවිදලා නිසංසල තැනක තව පැලක් මට හදා ගත්තා. මා ආ පාරේ පා සටහන් පුළුවන් තරමින් මකා දැම්මා. ඒත් බේරෙන්න බැරි වුණා. වෘකයෙකු යැයි නම් තබා ගෙන ඇය හීලෑ කරගෙන ඉන්නා සතකුගේ උදවුවෙන් මා ඉන්නා තැන සොයා ගෙන ආවා. ඇවිත් ආයෙ වරක් අර දුක්මුසු හඬ පවත්වලා ආයෙ වරක් අර බලන තැන් දෙකෙන් වතුර වත් කරන්න පටන් ගත්තා. ඇයත් සමඟ ආපසු නො ගිහින් බැරි වුණා. හැබැයි ආයෙ වතාවක් ආවාහ පැනලා යන්නයි බලාපොරොත්තුව. ඇය මෝඩ වැඩ හුඟක් කරනවා. සිංහයන්, කොටියන් යන නම් ඇති සතුන්ගේ දත් හැදිලා තියෙන පිළිවෙළ අනුව නම් උන් එකිනෙකා කා ගත යුතු නමුත් තණ, මල් ජාති ආදිය පමණක් උන් කන්නේ ඇයි ද කියා සොයා බැලීම එයින් එකක්. මේක හරි මෝඩකමක්. මොකද? එහෙම කළොත් සතුන් එකිනෙකාට මරා ගන්න සිද්ද වෙනවා. එතකොට මට තේරෙන හැටියට මරනය කියන දෙය වත්තට ඇතුළු වෙනවා. මට කියා තිබෙන පිළිවෙළට නම් මරනය තවම වත්තට ඇවිත් නෑ. එක වෙලාවකට මට හිතෙනවා ඒක ආවා නම් හොඳයි කියා.
ඉරිදා: යම්තම් දවස ගෙවා ගත්තා.
සඳුදා: සතියේ දවස් තිබෙන්නේ මොකටද කියා මට දැන් තේරෙනවා. ඒ ඉරිදා දවසේ වෙහෙස නිවා ගැනීමට විවේක ගැනීම සඳහා යි. ඒක හොඳ අදහසක් වගෙයි පෙනෙන්නේ....අද අයෙ වරක් අර ගහට නගින්න හැදුවා. මා ඇය බිමට ඇද දැම්මා. ඇය කීවා කවුරුවත් බලා ගෙන හිටියේ නෑ කියා. කවුරුවත් බලා නො හිටි පමණින් වැරදි දෙයක් කිරීම යුක්තිසහගත යැයි ඇය හිතනවා වගෙයි. ඒ බව ඇයට කීවා. යුක්තිසහගත යන වචනය ඇහුවාම ඇය බිරන්තට්ටු වුණා. මට හිතුණා ඒ වගේ වචනයක් හිතා ගන්න මට පුළුවන් වීම ගැන ටිකක් ඉරිසියාවක් හිතුණා දෝ කියා. ඒක හොඳ වචනයක්.
අඟහරුවාදා: ඇය කීවා ඇය සෑදුණේ මගේ ඉළ ඇටයකින් කියා. අඩු තරමින් කියනවා නම් මේක සැක කටයුතු යි. පල් බොරුවක් වන්න බැරිත් නෑ. මගේ ඉළ ඇටයක අඩුවක් මට නම් දැනෙන්නේ නෑ.
සෙනසුරාදා: ඊයේ ඈ පොකුණ ළඟ ඉඳ ගෙන තමන් දිහා බලා ගෙන සිටිද්දී පොකුණට ඇද වැටුණා. මේ විදියට ඈ නිතරම පොකුණට ගිහින් තමන් දිහා බලනවා. ඊයේ නම් හුස්ම හිරවෙන්නත් ගියා. එහෙම වුණාම හරි අමාරුලු. මේ නිසා පොකුණෙ ඉන්නෙ සතුන් ගැන ඇයට දුක හිතුණාලු. උන්ට ඈ මාළුවොයි කියා නමක් දීල තිබෙනවා. ඇගේ වැඩේ ම නම් දෙනඑකයි. ඕනැනැති ඒවාටත්, කටින් අඬගැහුවාම, ළඟට නොඑන ඒවාටත් නම් දෙන එකයි. එහෙම නම් දීමේ වරදක් ඇයට පෙනෙන්නෙත් නැහැ. ඈ කොහොමටවත් හරි මොට්ටියක්. ඉතින් මේ පොකුණෙ ඉන්න සතුන් ගැන දුක හිතිලා ඊයේ රෑ උන් ඔක්කොම අල්ලා ගෙන ඇවිදින් උන්ට රස්නෙ වෙන්නය කියලා මගේ ඇඳෙන් තිබ්බා. හැබැයි දැනුත් මුළු දවස තිස්සෙමත් මා උන් දිහා බලා ගෙන හිටියා. මට නම් පෙනෙන්නේ නෑ මෙතැන උන්, හිටියාට වඩා සතුටින් ඉන්නා බවක්. රෑ වුණාම මා උන් දොට්ට දමන්න ඕනෑ. ආයෙ වරක් උන් එක්ක නිදා ගන්න මට බෑ. ඇඟෙහි දෙයක් නැතිවාට උන් ගෑවෙන කොට හරි හිරිකිතයි.
ඉරිදා: යම්තම් දවස ගෙවා ගත්තා.
අඟහරුවාදා: දැන් ඈ නයෙක් අල්ලා ගෙන. මේ ගැන අනික් සතුන් හරි කැමතියි. මීට ඉස්සර වෙලා ඈ උන් එක එක අල්ලා ගෙන උන්ට කරදර පර්යේෂණ කරමින් සිටි නිසා මාත් සතුටුයි මොකද නයාට කතා කරන්න පුළුවන් නිසා එයින් මට විවේක ගන්න පුළුවන්.
සිකුරාදා: ඈ කියනවා අර නයා ඈට කීවාලු අර ගහේ ගෙඩි කා බලන්නය කියා. එයින් ඉතා හොඳ ශ්‍රේෂ්ඨ උතුම් අත්දැකීමක් ලබන්න පුළුවන් ලු. මා කීවා එයින් තව ප්‍රතිඵලයක් ලැබෙන බව. ඒ නිසා ලොවට මරණය පැමිණෙන බව. එහෙම කියාපු එක වරදක්. නොකියා හිටියා නම් වඩා හොඳයි. එහෙම කීමෙන් ඇයට අදහසක් පහළ වුණා. විතරයි. කනස්සල්ලෙන් ඉන්නා සිංහයන්ටයි, කොටින්ටයි අලුත් මස් ලැබෙන බව ඇයට එයින් පෙනුණා. මා කීවා ගහ ළඟට යන්න එපා කියා. ඇය බැහැයි කීවා. කරදර ළඟ එන බව මට පෙනෙනවා. වෙන තැනකට යා ගත යුතුයි.
බදාදා: ඊයේ රෑ ඇගෙන් බේරී පැන්නා. මුළු රෑ තිස්සේ අස්සයකු පිටේ නැගිලා හැකි තරම් වේගයෙන් එළවා ගෙන වත්තෙන් පිට වී කරදර පටන් ගන්න කලින් වෙනින් රටක හැංගෙන්න හිතාගෙන ගියා. ඒත් කොහෙද ඒකට ඉඩ ලැබුණේ නෑ. ඉරු නැඟී පැයකට විතර පස්සෙ මලින් වැසුණු තැන්නක් පසු කර යමින් සිටියා. එහි දහස් ගණන් සතුන් උන් උන්ගේ රිසි අනුව තණ කමින්, බිම වැතිර ගිමන් හරිමින්, සෙල්ලම් කරමින් සිටියා. එක පාරට ම හිටි ගමන් ම හෙණ ගහන්නා වාගේ හඬ දී ගෙන මේ සතුන් උන් උන් වෙත කඩා පනින්න පටන් ගත්තා. එක මොහොතකින් මුළු තැන්න ම මහා කැළැඹීමක් බවට පත් වුණා. සියලු සතුන් උන් උන් කා කොටා ගන්න පටන් ගත්තා. එහි තේරුම කුමක් ද කියා මට පෙනුණා. ඒව අර ගහේ ගෙඩි කාලා. දැන් ලොවට මරනය අවුත්. කොටියන් මගේ අස්පයා මරා ගෙන කෑවා. මා එපා කීවාට ඇහුවේ නෑ. තව ටිකකින් මාත් මරා ගෙන කන්න තිබුණා. මා විගහට එතැනින් පැන ගත්තා....වත්තෙන් පිට මෙතැන ටික දිනක් සිටින විට ඇය මා සොයා ගෙන ආවා. ඇත්ත කියනවා නම් ඈ පැමිණීම ගැන මා කනගාටු වුණේ නෑ. මෙහි කන්නට එතරම් දෙයක් නෑ. ඇරත් ඈ අර ඇපල් ගෙඩි කීපයක් ගෙනවුත් තිබුණා. මට කොතරම් සාගිනි තිබුණා ද කියනවා නම් ඒවා නොකා බැරි වුණා. ඒක මගේ ප්‍රතිපත්තිවලට විරුද්ධයි. එහෙත් හොඳට කුස පිරී තිබෙන වෙලාවට මිසක් ප්‍රතිපත්තිවලට ඇත්ත වශයෙන් ම තැනක් නැති බව මගේ වැටහීමයි.
ඈ ආවේ අතු කොළ කැටියෙකින් ඇඟ වහගෙනයි. ඒ විකාරයේ තේරුම මොකක්ද කියා මා ඒවා විසි කළාම ඈ ලජ්ජාවෙන් ඇඹරෙන්නට පටන් ගත්තා. ඇගේ කම්මුල් රතු වන්නට පටන් ගත්තා. මීට කලින් කිසිවකු ලජ්ජාවෙන් ඇඹැරෙනවාත් කිසිවකුගේ කම්මුල් රතු වෙනවාත් මා දැක නෑ. ඒක මොට්ටකමක් හැටියටයි මට පෙනෙන්නේ. ඒකෙ හැටි ඉක්මනින්ම මටත් තේරේවි කියා ඈ කීවා. ඇත්ත තමා. මා බඩගින්නේ හිටියත් කකා හිටිය ඇපල් ගෙඩිය පැත්තක තියා කලින් විසි කරපු අතු කොළ කැටිය මගේ ඇඟ වසා ගත්තා. ඊළඟට ඈට ටිකක් තදින් කතා කොට ඇඟ එළියේ දා ගෙන ඉන්නේ නැතිව මොනවා හරි අරගෙන වහගන්න අණ කළා. ඇය එසේ කළාට පස්සේ වල් සතුන් මරා ගන්න තැනට ගිහින් උන්ගෙන් සම් කිහිපයක් හම ගසා ගෙන ගමනක් කාරිය යන කොට අඳින්න සුදුසු ඇඳුම් පිළියෙල කරන්න ඇයට පැවරුවා. ඒවා අඳින එක අපහසු බව ඇත්ත. නමුත් ඉස්ටැයිල් එකට තියෙනවා. ඇඳුමේ ප්‍රධාන අංගය එයයි.... දැන් මට දැනෙනවා ඇය හොඳ සහචරයකු බව. දැන් ඇය නැත්නම් මට තනිකමක් කනස්සල්ලක් ඇති වන්න පුළුවනි. තවත් කාරණයක්. මින්පසු අප අපේ දිවිගන පෙවෙත සඳහා වෙහෙස විය යුතු යැ යි අණ කොට තිබෙන බව ඇය කියනවා. එහෙම නම් ඇයගෙන් වැඩක් ගන්න මට පුළුවනි.
ඊළඟ අවුරුද්ද: අපි ඌට කේන් කියා නම් තැබුවා. උතුරු වෙරළ අසල සතුන් අල්ලන්නට මා ගොහින් සිටි දවස්වලයි ඈ ඌ අල්ලා ගෙන තියෙන්නේ. අප වසන තැනින් සැතැප්ම දෙකක් සමහර විට හතරක් ඈතින් පිහිට කැලෑවෙදි ලූ ඌ අල්ලා ගත්තේ. ඌ හුඟක් අතින් අපට සමාන යි. සමහර විට නෑයෙක් වෙන්න ඇති. ඇය හිතන්නේ එහෙම යි. මා නම් හිතන්නේ ඒක වැරදි කල්පනාවක් කියායි. ප්‍රමාණයේ වෙනස බැලුවාම හිතෙන්නේ මූ වෙනත් අමුතුම සතකු බවයි. ඌ මාළුවෙක් වෙන්න පුළුවන්. ඒත් මා ඌ අල්ලා දියට දැමුවාම යට ගියා. ඇත්ත නැත්ත බලා ගන්නට ඉඩ ලැබෙන්නට කලින් ඈ දියට පැනලා ඈ ගොඩට ගත්තා. මා තවමත් හිතන්නේ ඌ මාළුවකු බවයි. ඌ මොකෙක්ද කියන ප්‍රශ්නය ගැන ඇයට උනන්දුවක් නෑ. මට අත්හදා බලන්න ඉඩ දෙන්නෙත් නෑ. මේක තේරුම් ගන්න අමාරුයි. මේ සතා ආවාට පසු ඇගේ මුළු ස්වභාවයම වෙනස් වෙලා තියෙනවා. ඈ අනෙක් සතුන් ගැන හිතන විදියට වඩා අමුතු විදියෙකින් ඌ ගැන හිතන්නේ. එහෙත් මොකද කියා කියන්න ඇයටම අමාරු යි. ඇගේ හිත අවුල් වෙලා හැම දෙයින් ම ඒ බව පෙනෙනවා. සමහර විට රෑට මේ මාළුවාට වතුර යන්නම් නෑවීදෝ කෑගසන විට ඈ රැයින් බාගයක්ම විතර ඌ වඩා ගෙන ඇවිදිනවා. එහෙම වෙලාවට බලන දෙතැනින් වතුර වැගිරෙනවා. ඒ මාළුවාගේ පස්ස පැත්තට අතින් තට්ටු කරනවා. ඌ සනසන්න ඇගේ කටින් මෘදු සද්ද පවත්වනවා. නොයෙක් විදියෙන් ආදරයත් දුකත් අඟවනවා. වෙන කිසිම මාළුවකු ගැන මේ විදියට ඇය ක්‍රියා කරනවා මා දැක නෑ. මේක හිතට ලොකු කරදරයක්.
ඉරිදා: ඉරිදාට මා වැඩ කරන්නේ නෑ. මාළුවාත් සමඟ ඔහේ වැතිර ගෙන ඉන්නවා. උගේ විනෝදයට ඈ කිසි තේරුමක් නැති සද්ද කරනවා. උගේ ගාත් කන්න වගේ බොරුවට හදලා ඌ හිනා ගස්සනවා. මීට කලින් හිනා වෙන මාළුවකු මා දැක නෑ. දැන් නම් මට සැකයි. ඉරිදා දවසට දැන් මාත් කැමතියි. සතිය තුළ වැඩ බලා කියා ගැනීම ඇඟට හරි මහන්සියි. ඉරිදාවල් තව තිබිය යුතුයි. ඉස්සර නම් ඉරිදා දවස අමාරුයි. දැන් එය ප්‍රයෝජනවත්.
බදාදා: ඌ මාළුවෙක් නොවේ. එත් මොකෙක්ද කියන්න මට අමාරුයි. තරහ ගිය විට ඌ මහ යක්ෂ සද්ද කරනවා. ඌ ඌ ගානවා. ඌ අපෙන් කෙනෙක් නෙවෙයි, ඇවිදින්නේ නැති නිසා. කුරුල්ලෙක් නොවෙයි, ඉගිලෙන්නෙ නැති නිසා. ගෙම්බෙක් නෙවෙයි, පනින්නෙත් නැති නිසා. නයෙක් නොවෙයි, බඩගාන්නේ නැති නිසා. මාළුවෙකු නොවන බවත් මට සහතික වගේ දැනෙනවා. හැබැයි ඌට පීනන්න පුළුවන් ද බැැරිද කියා බලා ගන්නට මට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඌ ඔහේ වැතිර සිටිනවා වැඩි හරියක් උඩුබැලි අතට කකුල් උඩ තියාගෙන. වෙන කිසිම සතෙක් එහෙම කරනු මා දැක නෑ. මා කීවා මූ ආශ්චාර්යයක් කියා, ඇය තේරුම නොදැන වචනය ගැන පුදුම වුණා පමණයි. මගේ කල්පනාවෙ හැටියට මූ එක්කෝ ආශ්චර්යයක් නැත්නම් මකුනු විශේෂයකට අයත් එකෙක්. ඌ මළොත් බඩ පලා බලන්න පුළුවන් කොහොමද හැදී තිබෙන්නෙ කියා. මොන තරම් ප්‍රහේළිකාවක් වූ දෙයක් මීට පෙර මට හමුවෙලා නෑ.
තුන්මාසයකට පසු: ප්‍රහේළිකාව විසඳෙනු වෙනුවට තව තව පටලැවෙනවා. මට නිදන්නට ලැබෙන්නේ ටික වෙලාවයි. ඌ වැතිර සිටීම නවතා දැන් හතර ගාතෙන් යන්න පටන් ගෙන. ඒත් හතර ගාතෙන් යන අනෙක් සතුන් වගේ නොවේ. උගේ ඉස්සරහ ගාත් කොටයි. ඒ නිසා ශරීරයෙ වැඩි කොටස උඩට ඉස්සෙනවා. ඒක ලස්සන නෑ. ඌ හැදී තිබෙන්නේ අප වගේමයි. ඒත් ගමන් කරන විදියෙන් පෙනෙනවා ඌ අපේ වර්ගයේ එකකු නොවන බව. කොට ඉස්සරහ ගාතුත්, දිග පස්ස ගාතුත් නිසා පෙනෙන්නේ ඌ කැන්ගරූ වර්ගයට අයත් එකකු බවයි. ඒත් ඒ වර්ගයේත් විශේෂ සතෙක්. මොකද නියම කැන්ගරුවා නම් යන්නේ පැන පැන. මූ එහෙම නෑ. කොයි හැටි වෙතත් මූ පුදුම කුතුහලය අවුස්සන විශේෂ සතෙක්. ඌ අපට ලැබෙන විට ඉතා ළදරු අවස්ථාවක සිටින්නට ඇති. ඇයි? මේ දවස් ටිකට ඌ හුඟක් වැඩිලා තිබෙනවා. දැන් ඌ හිටියා වගේ පස්ගුණයක් විතර ඇති. දැන් උගේ සද්දෙත් මුලදීට වඩා විසි දෙගුණයක සිට තිස් අට ගුණයක් පමණ දක්වා වැඩි වි තිබෙනවා. සැර කළාට මේ සද්දෙ අඩු වෙන්නේ නෑ. වෙන්නෙ ඒකෙ අනෙක් පැත්තයි. ඒ නිසා මං ඒ පිළිවෙළ අත් ඇරියා. ඇය ඌ සනසන්නෙ ආදරෙන්. කලින් නොදෙනවයි කී දේවල් දීමෙන්. කලින් කීවා වාගේ මූ එන විට මා ගෙදර හිටියෙ නෑ. ඈ කීවෙ ඌ කැලේ දි හම්බ වුණාය කියා. හරි පුදුමය මූ විතරයි ඒ ජාතියේ සතෙක් ඉන්නේ. මොකද මා මේ මුළු කාලය තිස්සේ ම මේ වගේ තවත් එකකු සොයා ගෙන ඇති කරන්න මූට තනිවටත් එක්ක කකුල් ගෙවෙන කල් ඇවිද්දා. ඒත් හොයා ගන්න බැරි වුණා. තව එකකු ලැබුණ නම් මුගෙ සද්දෙත් අඩු වෙන්න තිබුණා. අනෙක් අතට මූව හිලෑ කර ගැනීමත් ලේසි වෙන්න තිබුණා. ඒත් සලකුණු මාත්‍රයක්වත් නෑ. පුදුමෙනුත් පුදුමය ඒ ජාතියෙ සතකු ගිය මං සලකුණක්වත් නැති වීමයි. ඌ බිම ජීවත්වෙන සතෙක්. ඉතින් එහා මෙහා යන්න එපා ද? ගිය පාරේ ලකුණු නොහිටින්න යන්නේ කොහොම ද? මම දුසිම් ගණන් උගුල් ඇටෙව්වා. වැඩක් වුණේ නෑ. මේ ජාතියේ සතෙකු ඇර අනෙක් හැම සතකුම මට අල්ලා ගන්න පුළුවන් වුණා. ඕනැම සතකු උගුලට යනවාමයි. එහි තබා තියෙන කිරි මොනවාද කියා බලන්න කුතුහලයෙන්. ඒත් එකකුටවත් ඒක බොන්න ලැබෙන්නේ නෑ.
තුන් මසකට පසු: කැන්ගරුවා නොනැවතී වැඩෙනවා. ඒ පුදුමයක්. ප්‍රහේළිකාවක්. වැඩෙන්න මේ තරම් කල් යන සතකු මා දන්නේ නෑ. දැන් උගේ ඔලුවේ ලොම් ඇවිත්. කැන්ගරුවාගේ ලොම් වගේ නොවේ. හරියට ම අපේ කෙස් වගේ. වෙනසකට ඇත්තේ ඒවා වඩා සිනිඳුවටත් මෘදුවටත් තිබීම පමණයි. කලුපාට නොවන්නට හුරුවීම පමණයි. වර්ග නොකළ හැකි ජීව විද්‍යාවේ මේ අත්භූත සතා නිසා මගේ හිසට විවේකයක් සැනසීමක් නෑ. මට තව එකකු අල්ලා ගන්න පුළුවන් නම්, ඒක හරියන වැඩක් නොවේ. මූ අලුත් සත්ව විශේෂයක්. ඇත්තෙ මූ විතරමයි. ඒක නම් පැහැදිලියි.
කෙසේ වෙතත් මා ඇත්ත ම කැන්ගරුවකු අල්ලා ගෙන ආවා. මා හිතුවා මේ කැන්ගරුවා උගේ තනියට හොඳය කියා. මා කළේ වරදක්. කැන්ගරුවා දුටු ගමන් ඌ කොයි තරම් කෑගහන්න පටන් ගත්තා ද කීවොත් මට තේරුම් ගියා මූ නම් කවදාවත් කැන්ගරුවකු දැක නැති බව. මේ කෑගහන අසරණ සතා ගැන මට දුකයි. නමුත් ඌ සතුටු කරන්නට මට කළ හැකි දෙයක් නෑ. මට මූ හීලෑ කර ගන්න පුළුවන් මා මහන්සි ගන්න තරමට වැඩේ තවත් සවුත්තු වෙනවා. වරින් වර දුකත් කෝපයත් නිසා මූ විඳින අමාරුව දකින විට මගේ හදවතට ලොකු වේදනාවක් දැනෙනවා. මූට යන අතක යන්න දෙන්න මා ලැහැස්ති වුණා. ඇය විරුද්ධයි. ඒක මහ කුරිරු කමක් වගෙයි පෙනෙන්නෙ. සාමාන්‍යයෙන් ඇගේ ගතිය නොවෙයි මේ. අනික් අතට ඇය කරන දේ හරි වෙන්නත් පුළුවනි. මොකද? ඌ මෙතැනින් ගියොත් තනි වන්න පුළුවනි. උගේ ජාතියේ එකකු මට සොයා ගන්න බැරි නම් ඌ කොහොමද සොයා ගන්නෙ?
මාස පහකට පසු: ඌ කැන්ගරුවෙක් නො වෙයි. නෑ නෑ. මොකද - ඇගේ ඇඟිල්ල අල්ලා ගෙන පස්සා ගාත් දෙකෙන් හිට ගෙන අඩි කීපයක් ගොස් ඇද වැටෙනවා. ඌ වලස් ජාතියට අයත් සතකු වෙන්න පුළුවනි. ඒත් තවම නම් වලිගයක් නෑ. ලොමුත් නෑ - ඔලුවෙ හැර. ඌ තවම වැඩෙනවා ඒක පුදුමයි - මොකද වලසුන්ගේ නම් වැඩීමට මේ තරම් කල් අල්ලන්නේ නෑ. අපට සිදුවුණ විපතට පස්සේ දැන් වලස්සු නපුරුයි - ඒ නිසා කට වැස්මක් නැතිව මුට නිදැල්ලේ යන්න ඉඩ දෙන්න මා කැමති නෑ. මූට යන්න ඉඩ දුන්නොත් මා ඈට කැන්ගරුවකු ගෙනත් දෙන බව කීවා. එයින් වැඩක් වුණේ නෑ. ඈ දැන් හදන්නේ අප මොන අමාරුවක දමන්න ද මට තේරෙන්නෙ නෑ. කලින් ඈ මෙහෙම හිටියෙ නෑ. දැන් ඔලුව නරක් වෙලා.
දෙසතියකින් පසු: මා අගේ කට ඇරලා බැලුවා. තවම අනතුරකට කාරණයක් නෑ. එක දතයි තව ම තියෙන්නෙ. ඌට තවම වලිගයකුත් නෑ. කලින් කවදාවත් නො කළ තරමට දැන් ඌ කෑගහනව - වැඩි කොටම රෑට. මා ගෙයින් පිටවෙලයි ඉන්නේ. උදේ හීලට ආපහු ගියාම ඌට තවත් දත් ඇවිත් තිබේ දැයි බලන්න ඕනෑ. ඌට වලිගයක් ඇතත් නැතත් කට පුරා දත් ඇවිත් තිබෙනවා නම් ඌ පිට කරන්න කාලය හරි. මොකද වලසකු නපුරු වෙන්න වලිගයක් තිබෙන්නම ඕනැ නෑ.
හාර මසෙකින් පසු: දඩයමේ ගොස් මාසයක් පමණ ගෙයින් පිට වී සිටියා. ඒ අතරතුරේ වලහා උගේ පස්ස ගාත් දෙකෙන් තනිව ගමන් කරන්න පුරුදු වෙලා. දැන් ඌ ‘පපා’ ‘මමා’ කියනවා. මූ නම් අලුත් ම සත්ව විශේෂයක්. මූ කරන ශබ්ද අපේ වචනවලට සමාන වීම අහම්බෙන් වෙච්ච දෙයක් මිස ඊට වැඩි යමක් ඒකෙ නෑ. එවායේ තේරුමක් තියෙන්න බෑ. ඒ වුනත් හරි පුදුමයි. කිසිම වලහෙකුට බෑ මේ වගේ සද්ද කරන්න. මේ විදියට කතාව අනුකරණය කිරීමත් ලොම් නැති කමත් වලිගය නැතිකමත් එකට ගෙන බලන විට පෙනෙන්නේ මූ අලුත් ම ජාතියේ වලහෙක් බවයි. තවත් මේ ගැන හොයා බලන්න ඕනෑ. ඒ අතරතුරේ උතුරේ කැලෑවල ඇවිද මුල සිට අගට පරීක්ෂණයක් පවත්වන්නයි මගේ බලාපොරොත්තුව. සත්තකින් ම මේ ජාතියේ තව එකෙක් හෝ හරි ඉන්න එපා යැ. උගේ ම ජාතියේ තව එකකු සිටින විට මූ ඒ තරම් නපුරු වෙන එකක් නෑ. දැන් ම හොයන්න යන්න ඕනෑ. ඊට කලින් මූට කටවැස්මක් දමන්න ඕනෑ.
තුන් මසෙකින් පසු: මහන්සි වෙලා හෙව්වා හෙව්වා - සොයා ගන්න බැරි වුණා. ඒ වුණාට ගෙවත්තෙන් පිට යන්නේ නැතුවඇය තව එකකු අල්ලා ගෙන. මෙහෙම වාසනාවක් මා දැක නෑ. අවුරුදු සියයක් මේ කැලෑවෙ හෙව්වත් මට නම් තව එකකු හම්බ නොවන්න තිබුණා.
ඊළඟ දවස: අලුත් එකාත් පරණ එකාත් සමාන කර බැලුවාම මට පැහැදිලිවම පෙනෙන්නේ දෙන්නාම එක ජාතියේ බවයි. මා ලැහැස්ති වුණේ මුන් ගෙන් එකකුගේ බඩ පලා පුළුන් පුරවා කල් තබා ගන්න. මොන හේතුවක් නිසාද දන්නෙ නෑ ඈ ඒ වැඩේට කැමති නෑ. මුන් පැනලා ගියොත් විද්‍යාවට දරන්න බැරි පාඩුවක් වේවි. ලොකු එකා දැන් වඩා හීලෑයි. ඌට හිනා වෙන්නත් ගිරවා වගේ කතා කරන්නත් පුළුවනි. ගිරවා සමඟ හැම තිස්සේ ම ඉන්නා නිසාත් අනුකරණ හැකියාව හුඟක් දුරට තිබෙන නිසාත් බවට සැකයක් නෑ. මූ අලුත් ජාතියෙක ගිරවකු විය හැකි ද? එහෙම වුණොත් මට පුදුමයි. ඒත් පුදුම වෙන්න දෙයකුත් නෑ. මොකද මුල් දිනවල මාළුවකු වෙලා හිටියාට පස්සේ ඌ නොයෙක් ජාතියේ සතුන් බවට පත් වෙලා හිටියා. ලොකු එකා මුල දී හිටියා වගේ ම අලුත් එකාත් කැතයි. ඒ වගේම ගෙන්දගම් හා අමුමස් පාටක් මූටත් තිබෙන්නේ. ඒ වගේම ඔලුව - ලොම් නැතිව. ඈ මූට ඒබල් යැයි කියනවා.
දස අවුරුද්දකින් පසු: උන් කොල්ලෝ! අප ඒ බව දැන ගත්තේ හුඟක් ඉස්සර. උන් ඒ විදියට පුංචියට පටන් අරගෙන වැඩෙන කොට අපට තේරුම් ගන්න බැරිව ගියා. අපට පුදුමක් වුණා. මොකද? ඒ දවස්වල අපට මේවා ගැන පුරුද්දක් නොතිබුණු නිසා. දැන් කෙල්ලනුත් ඉන්නවා. ඒබල් නම් හොඳ කොල්ලා. නමුත් කායි වලසකු ලෙසම හිටියා නම් වඩා හොඳයි කියා දැන් හිතෙනවා. අවුරුදු මෙපමණ ගණනකින් පසු මට දැන් වැටහෙනවා ඒව ගැන මා මුලදි දැරූ අදහස් වැරදි බව. ඇයත් සමඟ වත්තෙන් පිට ජීවත් වන එක. ඇය නැතිව වත්තෙ ඇතුළෙ ජීවත්වෙනවාට වඩා හොඳ බව මට දැන් තේරෙනවා. මුලදි මා හිතුවෙ ඇය කතා කරනවා වැඩියි කියා. එහෙත් ඒ කටහඬ නිහඬ වී මගේ ජීවිතයෙන් වෙන් වී යනවා දකින්න දැන් මට දුකයි. අප දෙදෙනා එක් තැන් කිරීමෙන් ඇයගේ හදවතේ ගුණවත්කමත් ඇගේ ආධ්‍යාත්මයේ සුන්දර බවත් හඳුනා ගැනීමට සැලැස් වූ ගෙඩියට ආශිර්වාද වේවා.
ඇස්. පී. පෙරේරා සූරීන්ගේ ‘දැනුම’ 1963 (2 වැනි වෙළුම, 1 වැනි කලබ) සඟරාවෙන් උපුටා ගන්නා ලදී.
0 Comments