HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 8,300කට පෙර විසූ විස්ටෙගට්න් දැක ගන්න දැන් පුළුවන්!

කවුද මේ විස්ටෙගට්න් (Vistegutten) කියන්නේ? ඔහු නෝර්වේ රටේ විසූ ලෙන් ළමයෙක්, මීට අවුරුදු 8,300කට ඉස්සර. බටහිර නෝර්වේවල රැන්ඩර්බර්ග් ප්‍රදේශයේ පිහිටි ගල් යුගයට අයත් ගල්ලෙනක තිබී ඔහුගේ ඇටසැකිල්ලක් හමු වුණා, 1907දි. නවීන තාක්ෂණය යොදා ගෙන වෝහාරික විද්‍යාඥයෙක් ඔහුගේ හිස්කබලේ ත්‍රිමාන පිටපතක් හදලා ඒ අනුව ඔහුගේ මුහුණ නිර්මාණය කළා. 

විස්ටෙගට්න් ළමයා විද්‍යාඥයන් විසින් ප්‍රති නිර්මාණය කළ පසු.

මීසෝලිතික යුගයෙන් පසු ඒ යුගයේ විසූ අයකුගේ මුහුණක් දැක ගත හැකි පළමු වතාව මෙයයි. ස්වීඩන් ජාතික වෝහාරික විද්‍යාඥ ඔස්කාර් නිල්සන් තමයි, ඒ ළමයාගේ හිස්කබලේ ව්‍යුහාත්මක ලක්ෂණ 32ක් හඳුනා ගෙන ඒවා පදනම් කර ගෙන මේ අපූරු නිර්මාණය කරලා තියෙන්නෙ. 

ඔහු කියන්නේ, “ව්‍යුහාත්මක ලක්ෂණ දැක්වෙන මිමි 32, කුඩා කූඤ්ඤවලට සකස් කර ඒවා හිස්කබලේ අනුපිටපතක නිසි තැන්වල ඇලවීමෙන් තමයි, එය පටකවල ගැඹුර සකසා ගත්තේ. ඊට පස්සේ ඇඹුම් මැටි භාවිත කර මුහුණ නිර්මාණය කිරීමට පටන් ගත්තා.” කියායි. 

 නෝර්වේහී ‘හා ගැම්බල් ප්‍රෙස්ටෙගාඩ්’ 
කෞතුකාගාරයේ - විස්ටෙගට්න් ළමයා

“ඇටසැකිල්ල විශ්ලේෂණය කර සොයා ගත්තා, මියගිය තැනැත්තාගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ජන වර්ගය හා බර ආදිය. මෙහිදී ඔහු 15 හැවිරිදි ළමයකු බවත් හෙළිවුණා.” ඔහු වැඩිදුරටත් කීවා. ඔහු මිය යන විට සෙ.මී 125කට (අඩි 4යි අඟල් 1) වඩා උස නොවූ බව සොයා ගත්තා. අනික් විශේෂත්වය වූයේ ඔහුගේ හිසේ හැඩයයි. එය වටකුරු නළල් තලයක් සහිත දිගටි හැඩයක් ඇති එකක් වුණා. හිසෙහි දිගටි හැඩය ඇති වූයේ බිලිඳු වියේ දී මොළය වැඩී අවසන් වන්නට පෙර හිස්කබලේ අස්ථි කොටස් සවි වීම නිසයි. 

දරුවාගේ ඩීඑන්ඒ පරීක්ෂාවකින් පසු හිස් කෙස්වල වර්ණය, ඇස්වල වර්ණය හා සමේ පැහැය නිර්ණය කරනු ලැබුවා. එහිදී ඔහු ජීවත් වූ ස්ථානය හා කාලය ද සැලකිල්ලට ගනු ලැබුවා. 

නෝර්වේ රටේදි හමුවූ එකම පුර්ණ ඇටසැකිල්ල හමු වු ලෙන.
නෝර්වේහි ලෙනක් තුළ තිබී 1907 දී හමුවූ 
පැරණිම ඇටසැකිල්ල - විස්ටෙගට්න් ළමයා.

“ඔහුගේ සිරුර මිහිදන් කරල තිබු‍ණෙ නැහැ. ඇටසැකිල්ල තිබුණු ආකාරයට අනුව ඔහු ඒ ලෙන ඇතුළේ බිත්තියට හේතුවෙලා ඉන්දැද්දියි මිය ගිහින් තිබුණේ. ඔහු මරණයට පත් වුණේ නින්දේදීද කියලා හරියටම කියන්න බැහැ. මරණයට හේතුව සොයා ගෙන නැහැ. ඒ ලෙන ඇතුළෙ තිබුණෙ ඒ ඇටසැකිල්ල විතරමයි. මං හිතන්නෙ මේ ළමයා තමන්ගේ මිතුරන් හෝ පවුලේ අය එනතුරු ලෙන තුළ රැඳී ඉන්න ඇති. ඔහු දඩයමේ ආවා නම් මේ වගේ දඩයම් කල්ලියක 15-20ක් ඉන්නවා. ඔවුන් ඔහු සොයා එන්න නැතුව ඇති.” නිල්සන් කියනවා. 

“මේ ඇටසැකිල්ල මිහිදන් නොකොට ලෙනක ස්වාභාවිකව සුරක්ෂිතව තිබී හමුවීම අපට ගල් යුගයේ වනචාරී මිනිසුන්ගේ ස්වරූපය නිවැරදිව ප්‍රති නිර්මාණය කරන්න අවස්ථාව සැලසුණා. ඒ කාලේ අඳින්නට ඇතැයි පිළිගෙන තිබූ ඇඳුමකින් සරසා ඒ ගල් ලෙන තුළ තිබී හමු වූ බීලී කොක්කක් ඔහු අතට දුන්නා.” ඔහු වැඩිදුරටත් කියනවා. 

ඔහු ප්‍රති නිර්මාණය කළ වසර 8,300ක් පැරණි විස්ටෙගට්න් ළමයා දැන් නෝර්වේහී ‘හා ගැම්බල් ප්‍රෙස්ටෙගාඩ්’ කෞතුකාගාරයේ තැන්පත් කර තියෙනවා. 

- පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments