HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රතු හිසකෙස් ඇති විස්මිත 'ලව්ලොක්' යෝධයෝ

ඒ, 1911 වසරයි. ලව්ලොක් ලෙන ඇත්තේ, ඇමෙරිකාවේ නෙවාඩා ජනපදයේ, පෙර්ෂිංග් ප්‍රාන්තයේ මිනිස් වාසයෙන් තොර හුදෙකලා ශුෂ්ක ප්‍රදේශයකය. එදා 1911 වසරේ, පතල්කරුවන් දෙදෙනකු මෙම ලෙනට රිංගුවේ පොහොර ලෙස භාවිතයට ගත හැකි වවුල් වසුරු (ගුවානෝ) සොයමිනි. ගුප්ත, අඳුරු ලෙන පතුළට පය තබද්දී, පතල්කරුවන්ට බලාපොරොත්තු නොවූ දෙයක් හමුවිය. ඔවුන්ට හමුවූයේ මිනිස් අස්ථි කොටස්ය. අස්ථි කොටස් 40 ක් පමණ ලෙන තුළ දකින්න ලැබුණි. ඒත්, එම අස්ථි අසාමාන්‍ය ලෙස ප්‍රමාණයෙන් විශාල විය. එසේ වුවත්, පතල්කරුවන් දෙදෙනා පුදුමයටත් භීතියටත් පත්වූයේ එම අස්ථි සමඟ හමුවුණු ප්‍රමාණයෙන් විශාල හිස් කබල දැකීමෙනි. ඒවා යෝධ හිස්කබල් විය. පතල්කරුවන්ට හමුවී තිබුණේ යෝධයන්ගේ අස්ථිය. 

'ලව්ලොක්' යෝධ හිස්කබලක්

ලව්ලොක් (Lovelock) ලෙන තුළ තිබී, 1911 වසරේ හමුවුණු එම අසාමාන්‍ය විශාල අස්ථි අතරේ, අසාමාන්‍ය ලෙස ප්‍රමාණයෙන් විශාල හිස් කබල රැසකි. එක් හිස් කබලක උස, අඩි 7 ක් හෝ 8 ක් පමණ විය. ලෙන තුළින් හමුවී තිබුණේ යෝධයන්ගේ අස්ථි සහ හිස්කබලද? මෙම සොයා ගැනීම, පුවත් මවන්නට විය. හමුවුණු හිස් කබල්වල ශේෂ වූ හිස කෙස් ද විය. එම කෙස් දීප්තිමත් රතු පැහැයක් ගත්තේය. එය අසාමාන්‍ය රතු පැහැයකි. ඒ අනුව, රතු හිස කෙස් ඇති යෝධයන් ගැන පුවත් පළවන්නට විය. එදා පුවත්පත් පමණක් තිබුණු අවදියේ, ඇමෙරිකාව පුරා පළ කෙරුණු පුවත්පත් වල ‘ලව්ලොක් යෝධයන්’ ගැන සිරස්තල පළ විය. එය සිත් කලඹන පුවතක් වූවාට සැකයක් නැත. 

ස්වදේශීය රතු ඉන්දියානු ගෝත්‍රික ජනතාවට අමතරව, තවත් අමුතු විදියේ මනුෂ්‍ය වර්ගයක්, අතීතයේ නෙවාඩා ජනපදයේ, ලව්ලොක් පළාතේ ජීවත් වුණු බව අස්ථිවලින් පැහැදිලි විය. ලව්ලොක් ලෙන තුළින් හමුවුණු අස්ථි දශක ගණනක් පැරැණි යැයි තීරණය කෙරුණි. හමුවුණු යෝධ හිස් කබල 4 ක් අදත් එම පළාතේ කෞතුකාගාරයක සංරක්ෂණය කර, ප්‍රදර්ශනයට තබා තිබේ. සෙසු හිස් කබල සහ අස්ථි ස්වදේශීකයන්ගේ චාරිත්‍රවලට අනුව මිහිදන් කෙරුණු බව පැවසෙයි. 

අතීත යෝධයකුගේ මමියක් එකල විසූ 
සාමාන්‍ය මිනිසුන් දෙදෙනකු සමග.

අසාමාන්‍ය මිනිස් අස්ථිවලට අමතරව, කෞතුක වස්තූන් බෙහොමයක් ද ලව්ලොක් ලෙන තුළින් සොයා ගැනුණි. ඒ, අස්ථි හමුවීමෙන් පසු සිදු කළ පුරා විද්‍යාත්මක කැණීම්වලදීය. මෙම කෞතුක වස්තූන් අතරට අයත් වූයේ ඇඳුම් පැලඳුම්, ආභරණ සහ සෙරප්පුය. මේවා ද ප්‍රමාණයෙන් අසාමාන්‍ය ලෙස විශාලය. බැලූ බැලුමට යෝධයන්ට සරිලන ඒවාය. හමුවුණු සෙරප්පු (සැන්ඩ්ල්ස්) අඟල් 15 ක් පමණ විශාලය. ඇමෙරිකන් සපත්තු ප්‍රමාණය අනුව එය 29 ප්‍රමාණයයි. මෙවැනි සෙරප්පු පලඳිනවා නම් ඒ තැනැත්තා අඩි 9 ට වඩා උස කෙනකු විය යුතුය. 

හමුවුණු මේ සියලු සාක්ෂි අනුව, ලව්ලොක් ලෙනෙන් හමුවුණු අස්ථි, යෝධයන්ගේ අස්ථි බවත් එය බොරුවක් කීමට නොහැකි බවත් පැහැදිලි විය. ලව්ලොක් යෝධයන් ගැන පුවත්පත්වල වාර්තා පළ වෙද්දී, අතීතයේ ඇමෙරිකාවේ නන්දෙසින් ද යෝධයන් පිළිබඳ කටකතා සහ පුරාවෘත්ත අසන්න ලැබුණි. යෝධයන් ගැන දැන සිටියේත්, යෝධයන් ගැන කතා කිරීමට හපනුන් වූයේත් ඇමෙරිකන් රතු ඉන්දියානු ස්වදේශික ජනතාවය. 

ඇමෙරිකාවේ නිරිතදිග ප්‍රාන්ත රැසකින් යෝධයන් ගැන පුවත් පළ වීමත් තවත් අස්ථි හමුවීමත් සමඟ අතීතයේ ජීවත් වූ යෝධ මනුෂ්‍ය කොට්ඨාසයක් ජීවත් වූ බව පැහැදිලිව පෙනී ගියේය. ඒවා බයිබල් විශ්වාස සමඟ ද පෑහෙන්න විය. ඉතාමත් ඈත අතීතයේ යෝධ ජන කොට්ඨාසයක් මිහිමත ජීවත් වුණු බව බයිබලයේ දැක්වෙයි. එම බයිබල් කතා සහ නූතන පුවත්පත් වාර්තා එකිනෙකට සම්බන්ධ කිරීමට බොහෝ දෙනෙක් සමත් වූහ. 

ඇත්තටම යෝධයන් අතීතයේ ජීවත් වුණාද? 1800 දශකයේ සිදු කළ ගවේෂණවල ප්‍රතිඵලයක් ලෙස තව තවත් සාක්ෂි සොයා ගැනිණ. එසේ නම්, ලව්ලොක් ලෙන තුළින් හමුවුණු අස්ථි, සැබැවින්ම යෝධයන්ට අයත් ඒවාද? මෙම පැනයට පැහැදිලි පිළිතුරක් ලැබෙයි. ඒ, ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී ලැබෙන හෝඩුවාවන් අනුවය. නෙවාඩා කාන්තාර ප්‍රදේශයේ අතීතයේ ජීවත් වූයේ ‘පායුට්’ (Paiute) නමැති රතු ඉන්දියානු ගෝත්‍රිකයන්ය. නෙවාඩා කාන්තාර ප්‍රදේශය යනු වැලිවලින් පමණක් නිර්මාණය වුණු සහරා කාන්තාරය වැනි තැනක් නොවෙයි. නෙවාඩා කාන්තතාර ප්‍රදේශය වියලි ශුෂ්ක තැනකි. තැනිත් තැන පඳුරු ගස් දකින්න ලැබේ. ගල් පර්වත, ලෙන් සහ කඳුරැලි සහිත කැනියම්වලින් පිරී පවතී. 

සේරා විනමාකා හොප්කින්ස්.

සේරා විනමාකා හොප්කින්ස් ‘පායුට්’ (Paiute) ගෝත්‍රික කාන්තාවකි. පැය ‘පායුට්’ ගෝත්‍රික නායකයකු වන විනමාකාගේ පරම්පරාවෙන් පැවැත එන තැනැත්තියකි. සේරා විනමාකා ලේඛිකාවකි. ඇය 1800 දශකයේ පොතක් ලියා පළ කළාය. ඒ, ඇගේ ගෝත්‍රික වැසියන්ගේ ජීවන රටාව පිළිබඳ දැනුවත් කරමිණි. එම පොතේ අපූරූ විස්තර රැසකි. ‘පායුට්’ රතු ඉන්දියානුවන් යෝධයන් පිරිසක් සමග කළ සටනක් ගැන එම පොතේ අඩංගු වෙයි. මේ යෝධයන් හැඳින්වෙන්නේ, 'සීඩිකා' (Sai-duka) යන නමිනි. 

සේරා විනමාකා පවසන ආකාරයට, ඇගේ පොතේ අඩංගු සියලු දේ සත්‍යයකි. ‘පායුට්’ ගෝත්‍රික වැසියන් සහ 'සීඩිකා' යෝධයන් අතර සටන ද සැබෑවට සිදුවූවකි. එය ජනකතාවක් හෝ මිත්‍යා කතාවක් හෝ නොවෙයි. 'සීඩිකා' (Sai-duka) නමැති එම යෝධයන්ට තිබුණේ රතු හිසකෙස්ය. ඔවුන් ජීවත් වූයේ 'පායුට්' ස්වදේශීක ගෝත්‍රිකයන්ගේ ගම්මානයට ඔබ්බෙන් කඳුකරයේ ලෙන් ආශ්‍රිතවය. 'සීඩිකා' මිනීකන යෝධයන් පිරිසකි. ඔවුන්, 'පායුට්' ගෝත්‍රිකයන්ගේ සතුරන්ය. 

යෝධයන් පිළිබඳ පළ වූ ඉපැරණි පුවත්පත් වාර්තාවක්.

‘පායුට්’ රතු ඉන්දියානුවන්ට අනුව, ඔවුන්ගේ ගෝත්‍රයට, මේ මිනීකන යෝධයන්ගෙන් තර්ජන එල්ල වී ඇත. අවසානයේ, එම තර්ජන ඉවසා ගත නොහැකි වූ බැවින්, යෝධයන් සමග සටන් කිරීමට ‘පායුට්’ ගෝත්‍රිකයන් තීරණය කර තිබේ. යෝධයන් සහ ‘පායුට්’ ගෝත්‍රිකයන් අතරේ යුද්ධයක් ඇතිවිය. වසර තුනක් තිස්සේ දෙපාර්ශ්වය අතර සටන් පැවැතිණි. අවසානයේ ඉතිරි වුණු යෝධයන්, ඔවුන්ගේ අවසන් බලකොටුව කර ගත්තේ ලව්ලොක් ලෙනය. ‘පායුට්’ ගෝත්‍රිකයෝ ලව්ලොක් ලෙන වට කළහ. ලෙනට පිවිසීමට ඇති මාර්ගය හරස් කරමින් දර කොටු සහ කටු පඳුරු ඊට දමා ගිනි ඇවිලීය. රතු හිස කෙස් ඇති, මිනීමස් බුදින යෝධයන්ගේ අවසානය එයයි. 

ලව්ලොක් ලෙන තුළින් යෝධ අස්ථි සහ හිස් කබල හමුවූයේ 1911 වසරේදීය. එම අවස්ථාවේ තවත් සොයා ගැනීම් බොහොමයක් ද සිදුවිය. ලව්ලොක් ලෙන තුළ බිත්තිවල දැලි බැදී තිබුණි. එය ලෙන මහා ගින්නකට හසුවුණු බව පෙන්වන සාක්ෂියකි. ලෙන් දොර අසල සිට ගිනිදැල් ඇතුළට ඇදී ගොස් ඇති බව එම සාක්ෂිවලින් පැහැදිලි වෙයි. සේරා විනමාකා කී කතාව ඒ අනුව සියයට සියයක් නිවැරදිය. 

ලව්ලොක් යෝධයන් ලියැවුණු පොතක්.

තවත් ප්‍රබල සාක්ෂියක් ද තිබේ. සේරා විනමාකා සතුව යෝධයන්ගේ රතු හිස කෙස් සුරැකිව තිබීමය. එම හිස කෙස් ඇල්ලූ ගෝත්‍රක ඇඳුමක් ඇය සතු විය. ඇය දේශන ශාලා සදහා පැමිණියේ මෙම ඇදුමිනි. එසේ නම්, 'පායුට්' ගෝත්‍රිකයන් යෝධයන් පැරැදූ කතාව සැබෑවකි. ලව්ලොක් ලෙන තුළින් හමුවුණු සාක්ෂි නිසා පමණක් නොවෙයි, බටහිර නෙවාඩා කාන්තාරය පුරා ස්ථාන ගණනාවකින් ද යෝධයන්ගේ අස්ථි හමුවීම යෝධයන් පිළිබඳ කතාව සැබෑවක් කිරීමට හේතු වී අවසන්ය. ඉතිහාස වාර්තා අධ්‍යයනය කළොත් ඒ බව පැහැදිලිව පෙනෙනු ඇත. අස්ථි, යෝධ හිස් කබල, හම්වලින් නිර්මාණය කළ යෝධයන්ගේ ඇදුම් සෙරප්පු ප්‍රබල සාක්ෂිය. 

1904 වසරේ දී, අඩි 11 ක් උස ඇට සැකිල්ලක් මෙම පළාතෙන් හමුවිය. 1931 වසරේ දී සොයා ගැනීමට හැකිවූයේ අඩි 8 ක් උස ඇටසැකිල්ලකි. ඒ අනුව, යෝධයන් පිළිබඳ අතීත තොරතුරු කතව තවත් තහවුරු වෙයි. ඇමෙරිකන් සුදු ජාතිකයන්ට රතු ඉන්දුයානුවන් විහිළුවක් වන අවස්ථා එමටය. ඔවුන්ගේ අතීත සිදුවීම් බොරු ලෙස බැහැර කෙරෙයි. ඒත් හමුවී ඇති සාක්ෂි අනුව රතු කෙස් ඇති මිනීකන යෝධයන්ගේ කතාව නම් බොරුවක් කීමට නොහැකිය. 

 - ලුසිත ජයමාන්න 

('හිස්ට්‍රි' නාළිකාව ඇසුරිනි.)  

 

Post a Comment

1 Comments

  1. Reid had heard Paiute stories about tall, redheaded cannibals, said to have lived near Lovelock Cave, so when he found red-haired skeletons he assumed he’d discovered the remains of the legendary giants. He measured the bones and calculated that when alive the people had been between seven-feet, seven-inches tall and nine-feet, six-inches.

    The bones became lost for several decades — during which time the legend of the redheaded giants grew — before surfacing again in the late 1970s. An analysis showed that Reid had incorrectly measured the bones, which were actually from normal-sized people.

    Additionally, the red hair was the result of discoloration caused by natural deterioration of the bodies as well as dyes used by Great Basin tribes during preparations for burials.

    In other words, the bones were of normal-size people and not a race of giants.

    https://www.nevadaappeal.com/news/2018/jul/25/nevada-has-seen-many-strange-hoaxes-part-1/

    ReplyDelete