මීට අවුරුදු දෙකකට පෙර අභ්‍යවකාශයට යැවූ ජේම්ස් වෙබ් දුරේක්ෂය (JWST) අප වෙත අපූරු දසුන් රැසක් එවා තියෙනවා. 2021 නත්තල් දා යැවූ මේ ජේම්ස් වෙබ් දුරේක්ෂය ඩොලර් බිලියන 10ක් වැය කොට උඩු ගුවන් ගත කළේ අපේ අභ්‍යවකාශයේ ඉමේ සිට සක්වළ දෙස බලා අපට මෙතෙක් නුදුටු දසුන් එවන්නයි. අද ඒ රාජකාරිය එම දුරේක්ෂය නොපිරිහෙළා ඉටු කරනවා. මෙම දුරේක්ෂය යවද්දී නාසා ආයතනය අපට කීවේ, මහා පිපිරුමෙන් පසු ගත වූ වසර මිලියන 100 තුළ සිදුවුණු දෑ කෙබඳුදැයි කාලයේ ආපස්සට යාමෙන් බලන්න අවස්ථාව සලසා ගැනීමට එය යවන බවයි.
එය වසර 10කට වැඩි කාලයක් තිස්සේ හිරුත් පොළොවත් අතර L2 කියා හැඳින්වෙන ගුරුත්වය සමතුලිත වන කක්ෂයක රැඳී සිටිමින් අධෝරක්ත වර්ණවලියක් තුළින් තරු උපදින ගෑස් හා ධූලි වලා දෙස බලා නිරීක්ෂණ අපට එවනු ඇති.
අද අපි පළ කරන්නේ මෙතෙක් කිසිම දුරේක්ෂයකින් අපට දැක ගන්නට නොලැබුණු JWST එවූ අපූරු දර්ශන පෙළක්. මෙයට මැවුම් කුලුනු (Pillars of Creation), නෙප්චූන් ග්‍රහයාගේ වළලු, කරත්තරෝද ගැලැක්සිය හා ගැලැක්සි පහක් අතර ඇති ‘කොස්මික් රංගනයක්’ ආදිය ඇතුළත් වෙනවා.
NGC 346 තරු පොකුර
වසර බිලියන 10-12කට වඩා පැරණි අපේ විශ්වයේ තරු නිර්මාණය වූ ආකාරය දැක්වෙන නව දසුන් මෙයට ඇතුළත් වෙනවා. මේ පිළිබිඹුවෙහි දැක්වෙන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ දෙලක්ෂයකට වඩා දුරින් බිහි වූ නව තරු පොකුරකි.
ක්ෂීර පථය ආසන්නයේ පිහිටි කුඩා මැගලන් වලාව (Small Magellanic Cloud) පිහිටි වාමන මන්දාකිණියක් (ගැලැක්සියක්) වන NGC 346 තරු පොකුර අපේ තාරකා විද්‍යාඥයන්ට වඩාත් වැදගත් වන්නේ එය පැරණි විශ්වයේ තරු සෑදීම උච්චව පැවති අවස්ථාව පිළිබිඹු කරන නිසයි. තාරකා විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, මහා පිපිරුමෙන් (Big Bang) වසර බිලියන දෙක තුනකට පසුව එළඹුණු කාලයේ මේ කලාපයේ සිදුවූ දේ අධ්‍යයනය කිරීම තුළින් මුල් ම තරු බිහිවීම පිළිබඳව හොඳ වටහීමක් ලබා ගත හැකි බවයි.
දකුණු නිහාරිකා වළල්ල
නාසා ආයතනය මගින් ප්‍රසිද්ධ කෙරුණු පිළිබිඹු අතරින් විශේෂ එකක් වන්නේ දකුණු නීහාරිකා වළල්ල (Southern Ring nebula) යි. එය ග්‍රහලෝක නිහාරිකාව (planetary nebula) කි. ජේම්ස් වෙබ් දුරේක්ෂය විසින් මුලින් ම පෘථිවියට එවන ලද පිළිබිඹු හතර ඒ නිහාරිකාව ගැනයි. එය ආයු කාලය අවසන් වෙමින් යන යෝධ රතු තරුවලින් නිකුත් වුණු අයනීකරණය වූ වායු ගෝලීය කවචයකින් සැදුනක්. දීප්තියෙන් බැබලෙන එය විස්තාරණය වෙමින් පවතින්නක්.
නාසා ආයතනයට අනුව මේ දකුණු නීහාරිකා වළල්ල පොළොවේ සිට ආලෝක වර්ෂ 2,000කට ඈතින් පිහිටි, ආලෝක වර්ෂ භාගයක් පමණ පළල එකකි. එහි මැද ඇති මන්දදීප්ත තරුව වසර දහස් ගණනක් තිස්සේ වායු ධුලි වළලු සෑම දිසාවකටම නිකුත් කරමින් සිටිනවා. එය දිප්තිය අතින් රතු සෆයර් මැණිකකට සමානයි.
දකුණු නිහාරිකා වළල්ල දක්වා ඇති එහි මුණත පෙනෙන ලෙසිනි. එය දාරය අයිනෙන් පෙනෙන ආකාරයට හැරවුවහොත් එහි ත්‍රිමාන හැඩය හොඳින් දැක ගත හැකියි. එය පාත්‍රා දෙකක් අඩි දෙක එකට ළං කර තැබූ ආකාරයකට පෙනේවි. එහි මැද විශාල සිදුරක් ඇති බව දැක ගත හැකිය.
මේ දකුණු නිහාරිකා වළල්ලෙහි පිළිබිඹු දෙකක් හසු කර ගෙන ඇත්තේ ජේම්ස් වෙබ් දුරේක්ෂයෙහි සවිකර ඇති විශේෂ උපකරණ දෙකක් මගිනි. එකිනෙකට වෙනස් මෙයින් එකක් ආසන්න අධෝරක්ත කිරණ කැමරාවකි. (NIRCam - Near-Infrared Camera) අනෙක මැදි දුර අධෝරක්ත කිරණ උපකරණයකි. (MIRI - Mid-InfraRed Instrument) එයින් විද්යුත් චුම්බක වර්ණාවලියේ (electromagnetic spectrum) මැදි අධෝරක්ත කලාපයෙහි ඇති ආලෝකය හසුකර ගත හැකියි. තරුවල ආලෝක ස්තරයන් NIRCam කැමරාවේ පිළිබිඹුවලින් පැහැදිලිව පෙනුනත්, උපකරණයෙන් ගත් පිළිබඹුවෙන් නිහාරිකාවේ දෙවන තරුව අපට දැක ගන්නට ලැබෙන්නේ ප්‍රථම වතාවටයි.
නාසා ආයතනය කියන්නේ එහි ඇති දීප්තිමත් තරුවෙන් නිහාරිකාවට විශේෂ පෙනුමක් ලැබෙන බවයි. ඒ තරු දෙක එකිනෙකා වටා යන අතර එමගින් එහි ඇති වායු හා ධූලි වලාව කලතන නිසා එහි අක්‍රමවත් රටා මැවෙන බවයි. මේ පිළිබිඹු දෙකෙන් ම පසුබිමෙහි දුරින් ඇති මන්දාකිණි පොකුරක් දැක ගත හැකියි. ඒවා තරු නොවෙයි. එහි තැනින් තැනින් මතු වන විවිධ වර්ණවලින් ඒවා මන්දාකිණි බවට නිගමනය කළ හැකියි.
විමසිල්ලෙන් බලන විට වම් පැත්තෙන් නිල් පැහැති රේඛාවක් දැකිය හැකිය. නාසා තාරකා විද්‍යාඥයකු වූ කාල් ගෝඩ්න් කීවේ ඔහු මුලින් සිතුවේ එය නිහාරිකාවේ කොටසක් හැටියට වුනත් පසුව පෙනී ගියා එය මන්දාකිණියේ දාරය බව. එවැනි දෘෂ්ටි කෝණයකින් බලන විට මන්දාකිණිය තුළ තාරුකා විසිර ඇති ආකාරය ගැන අවබෝධයක් ලබා ගත හැකි වෙයි.
SMACS 0723 මන්දාකිණි (ග්ලැක්සි) පොකුර
තවත් පිළිබිඹුවක් වූ මෙය වසර බිලියන 4.6කට පෙර පහළ වූ මන්දාකිණි පොකුරකි. මේ මන්දාකිණි පොකුරු විශ්වයේ ඇති දැවැන්ත වස්තූන් වන අතර ඒවා තමන්ගේ ම ගුරුත්වාකර්ෂණයෙන් එකිනෙක බැඳුණු අභ්‍යවකාශ වස්තූන් වෙනවා. මන්දාකිණි සිය දහස් ගණනක් වන ඒවායෙහි අධි තාපයෙන් යුත් ප්ලස්මා, අඳුරු ද්‍රව්‍ය ආදිය ඇතුළත් වෙනවා. ඒවා අදිසි ස්කන්ධ වන අතර ඒවා එකිනෙක බැඳී ඇත්තේ ගුරුත්වාකර්ෂණයෙන්. ඒවායින් ආලෝක කිරණ නිකුත් කිරීමක් හෝ උරා ගැනීමක් හෝ පරාවර්තනයක් හෝ සිදුවෙන්නේ නැහැ.
නාසා ආයතනය කියන විදියට මේ SMACS 0723 මන්දාකිණි පොකුරෙහි ඇති ගුරුත්වබලය කෙතරම් ප්‍රබල ද යත් එය කාලය හා අවකාශය පමණක් නොව ඒ හරහා යන ආලෝක කිරණ පවා හකුළා ගන්නවා.
මුළු SMACS 0723 මන්දාකිණි පොකුරෙහි ස්කන්ධය එකතු වී ගුරුත්වකාර්ෂණ කාචයක් ලෙස ක්‍රියා කරමින් ඒ පසුබිමෙහි ඇති සියලු වස්තූන් විශාලනය කොට, ඒ වස්තූන්වල ආලෝකය විකෘති කර දක්වනවා. එයින් ඒවා ඉතා ඈත පිහිටි ලෙසක් පෙන්වනවා. වෙබ් දුරේක්ෂයේ NIRCam කැමරාව මගින් විද්යුත් චුම්බක වර්ණාවලික්ෂයේ දාරය ආසන්නයේ ඇති ආලෝක කිරණ හසුකර ගෙන තියුණු නාභිගත කිරීමකින් දුර ඇති මන්දාකිණිවල දසුන් පැහැදිලිව දැක ගැනීමට හැකි වී තියෙනවා.
අප විසින් මින් පෙර කිසිදාක දැක නොතිබුණු, එකම මූලයකින් පැවත එන, වසර බිලියන ගණනාවක් තිස්සේ එකම ගුරුත්වාකර්ෂණයකින් බැඳී තිබුණු ඉතා කුඩා ආලෝක ප්‍රභවයන් ඇතුළු මේ පොකුරු තරු, එනම් සියගණන්වල සිට මිලියන ගණන් දක්වා මේ තරු අද අපට දැක ගත හැකිවී ඇත්තේ නවීන ජේම්ස් වෙබ් දුරේක්ෂය නිසයි.
ස්ටීවන්ගේ පංචකය
1877 දී ප්‍රංශ තාරකා විද්‍යාඥයකු වූ එඩුවාඩ් ස්ටීවන් විසින් සොයා ගන්නා ලද පෙගසස් තරුපංතිය තුළින් පෙනෙන ස්ටීවන්ගේ පංචකය (Stephan's Quintet) නම් මන්දාකිණි පහක පොකුර තමා මීළඟට නව ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් එවූ පිළිබිඹුවල තිබුණේ. නාසා කියන්නේ ඒවා දුටුවොත් විද්‍යාඥ ස්ටීවන් පවා පුදුමයෙනුත් පුදුමයට පත්වනු නිසැක බවයි.
ඒ මන්දාකිණි පහෙන් හතරක් ‘කොස්මික් රංගනයක’ යෙදෙන ආකාරයක් දක්වන බවක් ඔවුන් කියනවා. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය නිසා ඒ මන්දාකිණි අතර විහිදෙන ධූලී ධාරාවන් හා දිගට මාලයක් මෙන් විහිදෙන තරු වැල් හා වායු ධාරා මධ්‍ය කලාපවලට එපිටට විහිදෙමින් ඒ මන්දාකිණි දරුණු ලෙස දඟකවමින් එකිනෙකට ළං වීමට තැත් කරන ආකාරයක් පෙනී යන බවයි.
‘මේ මන්දාකිණි අභ්‍යවකාශය තුළ පාවෙමින් උදම්වල ප්‍රතික්‍රියා නිසා විකෘති හැඩ ගනිමින් සිදු කරන විචල්‍යයන් නිසා පෙනෙන්නේ ගුරුත්ව බලයෙන් කොස්මික රංගනයක යෙදෙන ආකාරයකි. ඒ මන්දාකිණි පහෙන් දෙකක, එනම් NGC 7318 මන්දාකිණියේ ඒ සහ බී මන්දාකිණි දෙක නව පිළිබිඹුවක් ලෙසයි, දැක්වෙන්නේ.
මේ මන්දාකිණි අතරින් වැඩිම දීප්තියක් ඇති NGC 7320 සර්පිලාකාර මන්දාකිණියයි. මේ NGC 7320 මන්දාකිණියේ එච් II කලාප අයනීකෘත වූ හයිඩ්‍රජන් පරමාණු රතු බුබුළු අපට කියන්නේ තරුවක් උපදින බවයි.
නාසා කියන්නේ, මේ පිළිබිඹුව සකසා ගත්තේ හඳෙහි විෂ්කම්භයෙන් පහෙන් එකක් තරම් විශාල ප්‍රදේශයක් පුරා පැතිරි දැවැන්ත මොසයික් චිත්‍රයකින්. එහි පික්සල් මිලියන 150කට වඩා ඇතුළත් වුණා. එය නිර්මාණය කිරීමට වෙනස් ගොනු 1000ක් යොදා ගත්තා.
කැරිනා නිහාරිකාව
කැරිනා නිහාරිකාව ලොව මෙතෙක් සොයා ගෙන ඇති විශාලතම හා දීප්තිමත්ම නිහාරිකාව සැලකෙනවා. ආලෝක වර්ෂ 7,600ක් දුරින් විශ්වයේ පිහිටා ඇති මෙය හඳුනා ගන්නේ දකුණු අහසේ ඇති කැරිනා තරු පංතිය ඔස්සේයි.
නිහාරිකාවක් යනු තරු බිහිකරන හයිඩ්‍රජන් වායුවෙන් හා ධූලිවලින් සමන්විත විශ්ව වලාපටලයකි. මේ කැරිනා නිහාරිකාව, අපේ සූර්යයාට වඩා අති විශාල තරු ගණනාවකට උපත දුන් තැනයි. මේ පිළිබිඹුව තුළ පහළින් ඇත්තේ අහසේ බටහිර කොටසේ NGC 3324 මන්දාකිණියයි. නාසා ආයතනය මේ කොටස හඳුන්වන්නේ ‘කොස්මික් ශිඛර’ (Cosmic Cliffs) ලෙසයි. රඹ හා දුඹුරු පැහැති විෂමගිරි පෙළක් සේ පෙනෙන මෙහි සානු සේ පෙනෙන තැන්වල දිලිසෙමින් ඇත්තේ නවක තරුයි. දිලෙමින් පාරජම්බුල කිරණ විහිදුවන මේ නවක තරු නිහරිකාවේ බිත්තිය මතින් ඉපිද එය බිඳගෙන පිටතට විහිද යයි. මෙම පිළිබිඹුවෙහි උසම ශිඛරය ආලෝක වර්ෂ 7ක් වෙනවා.
නාසා ආයතනය කියන්නේ, ‘මේ චිත්තාකර්ෂණීය කුලුනු අති දීප්තිමත් වායු පවුරට ඉහළින් විකිරණ මැඩගෙන විහිදෙයි. මෙහිදී ඛගෝලීය කඳුවලින් මතුවන වාෂ්පය ඇත්තෙන්ම අධික තාපයෙන් යුක්ත බවයි. එහි ඇති අයනීකෘත වායුව හා තාපය අධික ධූලි පිටතට ගලා යන්නේ නිහරිකාවේ ඇති දරුණු විකිරණ තත්වයෙන් මිදෙනු පිණිසයි’ කියායි. නාසා ආයතනය යැවූ නව ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් අධෝරක්ත කිරණ මගින් ලබාගෙන ඇති මේ පිළිබිඹුවලින් හෙළිදරවු වන්නේ, මෙයට කලින් අප නුදුටු විශ්වයේ තරුවක් උපදින ආකාරය පළමු වරටයි.
නව ජේම්ස් වෙබ් දුරේක්ෂයේ නියෝජ්‍ය ව්‍යාපෘති විද්‍යාඥ ඇම්බර් ස්ට්‍රෝන් පවසන්නේ, ‘අද අප පළමු වතාවට දකිනවා අලුත්ම තරුවක් උපදින හැටි. දැක ගත හැකි වුණා, මේ නවජ තරුවලින් බුබුළු දමන හැටි, ඒවායේ කුහර, පිටත විදින වායු ධාරා ආදිය හැම එකක් ම අපි දැක ගත්තා. ඒ වගේම අපට පසුබිමේ සැඟවී ඇති මන්දාකිණි කීපයක් ද දැක ගන්නට හැකි වුණා.’ කියායි.
මැවුම්කාර කුලුනු
මේ වෙබ් දුරේක්ෂය රාජාලියා නිහාරිකාවේ ඇති අන්තරීක්ෂ වායු හා ධූලිවලින් සැදුණු මැවුම්කාර කුලුනු (Pillars of Creation) දෙසටත් නව බැල්මක් හෙළා තියෙනවා. මීට කලින් මෙය ඡායාරූපයට නඟා තිබුණා, 1995 දී හබ්ල් දුරේක්ෂය මගින්. ඒත් මේ නව පිළිබිඹුවලින් මෙතෙක් අප නුදුටු සවිස්තාරත්මක චිත්‍රයක් අපට මවා පෙන්වනවා. එයින් දැක්වුණේ ඇඟිලි ආකාරයට ඉහළට විහිදුණු වායු හා ධූලි වලාවන්. එහි ධුලිවලාවල මුදුන්වල තමයි, නවජ තරු මතුවෙන්නට පටන් ගන්නේ. ඒ කුලුනුවලින් පිටත රඹ පැහැයෙන් පෙනෙන්නේ අලුත උපන් තරුයි.
මේ අලුත්ම පිළිබිඹු ගෙන ඇත්තේ මැදි-අධෝරක්ත කිරණ යොදා ගෙනයි. එවිට තරුවල දිප්තිය අඩුකර ගලා යන වායු හා ධූලි වලාවන් හොඳින් දැක ගන්න පුලුවන්. මෙයින් අපට මේ සංසිද්ධිය තේරුම් ගන්නත්, එයින් නව අත්දැකීමක් ලබා ගන්නත් අවස්ථාව සැලසෙනවා.
ටැරන්ටුලා නිහාරිකාව
නාසා ආයතනය පසුගිය සැප්තැම්බරයේ ප්‍රසිද්ධ කළා, JWST එවූ මකුළුවකුගේ හැඩයට පෙනෙන තරුවලට උපත දෙන ටැරන්ටුලා නිහාරිකාවේ (Tarantula Nebula) පිළිබිඹුවක්. මේ කොස්මික් තරුවල ජන්ම බිම නිල වශයෙන් නම් කර ඇත්තේ ඩොරාඩස් 30 මහා නිහාරිකාව කියායි. එය පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 161,000ක් දුරින් පිහිටි යෝධ මැගලනික් වලාවේයි. අප අයත් වන ක්ෂීරපථය කියා හැඳින්වෙන මන්දාකිණියට වඩාත් ළඟින් පිහිටි මන්දාකිණි පොකුර එයයි.
නාසා ආයතනය කියන්නේ ටැරන්ටුලා නිහාරිකාව තාපයෙන් අධික අපට වඩාත් සමීප දැවැන්ත තරුවලට උපත දෙන ප්‍රදේශයයි. මේ පිළිබිඹුව ලබා ගත්තේ වෙබ් දුරේක්ෂයේ ඇති NIRCam නමින් හැඳින්වෙන ආසන්න අධෝරක්ත කිරණ භාවිතා කරන කැමරාවෙනි. මේ නිහාරිකාවේ මැද ඇති කුහරය NIRCam කැමරාව ගත් පිළිබිඹුවේ දැවැන්ත නවජ තරු පොකුර පෙන්වන්නේ දීප්තිමත් ලා නිල් පැහැයෙන් දැක්වෙයි.
HIP 65426 අජට ග්‍රහයා
අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි අජට ග්‍රහයකුගේ පිළිබිඹුවක් ද JWST විසින් පොළොවට එවලා තියෙනවා. HIP 65426 අජට ග්‍රහයා කියා නම් කර ඇති එය ආලෝක වර්ෂ 385ක් දුරින් පිහිටි එකකි. එය අවුරුදු මිලියන 15ත් 20ත් අතර වයසැති ග්‍රහයෙකි. එය වසර බිලියන හතර හමාරක් වයසැති පොළොවට වඩා හුඟාක් බාලයි.
එහි පිළිබිඹු ගන්නට දුරේක්ෂය යොදා ගෙන ඇත්තේ NIRCam කැමරාවත්, MIRI නම් උපකරණයත් යන දෙකමයි. ඒ මගින් අවට තරුවල ආලෝකය කපා හැර ඒ ග්‍රහයාගේ පැහැදිලි පිළිබිඹුවක් ලබා ගැනීමට හැකි වුණා.
මේ ග්‍රහලෝකය මුලින් ම සොයා ගත්තේ 2017 දී චිලි රාජ්‍යයේ ස්ථාපිත කර තිබූ යුරෝපීය දකුණු ග්‍රහ ලෝක නිරීක්ෂණාගාරයේ දැවැන්ත දුරේක්ෂය යොදා ගෙනයි. එහිදී පෘථිවි වායුගෝලයේ බලපෑම නිසා දිගු තරංග ආයාම අවහිර වීම නිසා පැහැදිලි දසුන් ලබා ගත හැකි වුණේ නැහැ.
වෙබ් දුරේක්ෂය අභ්‍යවකාශයේ ඉතා දුරින් ස්ථාපිත කර ඇති නිසා බාධාවකින් මෙවර ඒ ග්‍රහයාගේ පැහැදිලි දසුන් ලබා ගත හැකි වුණා. නාසා කියන්නේ, ‘පාෂාණ පෘෂ්ඨයක් නොමැති යෝධ වායු ග්‍රහයකු වන මේ ග්‍රහයා තුළ ජීවයක් තිබිය නොහැකියි’ කියායි.
උතුරු ක්‍රාන්තිවලයාකාර ධ්‍රැව මන්දාකිණි
ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් ලබා ගත් අලුත් ම පිළිබිඹු අතරින් තවත් විශේෂ වැදගත්කමක් ඇත්තේ උතුරු ක්‍රාන්තිවලයාකාර ධ්‍රැවය (North Ecliptic Pole) යනුවෙන් හැඳින්වෙන ආදි විශ්වයේ නවජ මන්දාකිණිවලින් සමන්විත ප්‍රදේශයට අදාළ ඒවායි. සක්වළෙහි ඉතා දුරින් පිහිටි ඒවායින් නිකුත් වන ආලෝකය දුර්වලයි.
මෙතෙක් කිසිදිනෙක නුදුටු මන්දාකිණි දහස් ගණනක් ඒ ප්‍රදේශයට අයත් වෙනවා. මේ මන්දාකිණි බිහි වී ඇත්තේ මීට වසර බිලියන 13.5කට පමණ පෙරයි. එනම් මහා පිපුරුමෙන් වසර මිලියන 200කට පසුවයි.
මේ පිළිබිඹුවෙහි දැක්වෙන කොස්මික් වස්තූන් පියවි ඇසට පෙනෙනවාට වඩා දීප්තිය එක් බිලියන ගුණයකින් අඩුයි. එහෙත් වෙබ් දුරේක්ෂයේ ඇති NIRCam කැමරාවට ඒ අඩු දීප්තිය වැඩි දියුණු කර පිළිබිඹුව සකසා ගන්න පුලුවන්.
උතුරු ක්‍රාන්තිවලයාකාර ධ්‍රැවය දැක ගත හැක්කේ ඩ්‍රැකෝ (මකරා) තරු පන්තිය ඔස්සේයි. ඒ තරු පන්තිය උතුරු ඛගෝලීය අර්ධගෝලය තුළ ඇති විශාලතම එකක්. එය 2 වන සියවසේදී ග්‍රීක තාරකා විද්‍යාඥයකු වූ ටොලමි (Ptolemy) සැකසූ පුරාණ ග්‍රීක තරු සිතියමෙහි පවා දක්නට ලැබෙන්නක්.
කරත්තරෝද මන්දාකිණිය
ජේම්ස් වෙබ් දුරේක්ෂය ලබා දුන් අනෙක් පිළිබිඹු අතර සර්පිලාකාර මන්දාකිණි ද තියනවා. එයින් එකක් කරත්තරෝද මන්දාකිණිය හෙවත් කාට්වීල් ගැලැක්සිය (Cartwheel Galaxy) ලෙස හැඳින්වෙනවා. එය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 498.2ක් දුරින් පිහිට එකක්. මෙය බැලු බැල්මට කරත්ත රෝදයක්. එසේ පෙනෙන්නේ ආන්තික සිදුවීමක් නිසයි. ඒ විශාල සර්පිලාකාර මන්දාකිණියක් හා කුඩා මන්දාකිණියක් එකිනෙක ගැටීම හේතුවෙන්. මේ පිළිබිඹුවෙහි ඒ මන්දාකිණිය පැහැදිලිව පෙනෙන්නේ නැහැ.
හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය ඇතුළු වෙනත් දුරේක්ෂ කලින් මේ කරත්තරෝද මන්දාකිණිය නිරීක්ෂණය කර තිබුණා. ඒත් මේ චිත්තාකර්ෂණීය මන්දාකිණිය අභිරහස් දෙයක්ව පැවතුණා. සමහර විට එසේ වන්නට ඇත්තේ එයට අපට දර්ශනය වීම වළක්වන ධුලි වලාව නිසා විය හැකියි.
කරත්තරෝද මන්දාකිණිය වළලු දෙකක් පෙන්වනවා. ඉන් වඩා දීප්තිමත් ඇතුළු වළල්ල හා වෛවර්ණ පිට වළල්ල ආදී වශයෙනුයි. එහි මැද සිදුවන ගැටීම නිසා එය පිටතට විදාරණය වෙනවා. එය හරියට දිය මතට ගලක් විසි කළ විට රැලි නැඟෙන ආකාරයටයි සිදු වන්නේ.
නෙප්චූන්ගේ වළලු
වසර 30කට පසු ජේම්ස් වෙබ් දුරේක්ෂය තමයි අපට නෙප්චූන්ගේ වළලුවල ඉතා පැහැදිලි දසුන් ලබා දුන්නේ. ඒ 1989 දී වොයේජර් - 2 යානය ඈත සිටින මේ ග්‍රහයා අසලින් යද්දී පින්තූර පොළොවට එව්වාට පසුවයි. එදා එවූ පින්තූරවලට අමතරව මෙහි දීප්තිමත්ව දැක්වෙනවා, පටු වළලු කිහිපයක්ම. ඒ විතරක් නෙවෙයි, මෙහි වෙබ් පිළිබිඹුවේදී ඒ ග්‍රහයාගේ අඳුරු ධූලි පටලය ඉතා පැහැදිලිව දැක්වෙනවා.
යෝධ නෙප්චූන් ග්‍රහයාගේ චන්ද්‍රයන් 14 දෙනාද මෙහි අපූරුවට දැක ගත හැකියි. ඉන් වඩාත් කැපී පෙනුනු ට්‍රයිටන් (Triton) ග්‍රහයායි. එය තරුවක් මෙන් දීප්තිමත් ව පෙනෙනවා. එයට හේතුව අධෝරක්ත තරංග මගින් නෙප්චූන් ග්‍රහයාගේ ඇති මීතෙන් අවශෝෂණය කර ගැනීම නිසයි. ට්‍රයිටන් චන්ද්‍රයා මත ඇති අයිස් පෘෂ්ඨය නිසා ඒ මත පතිත වන හිරු රැස් සියයට 70ක්ම පරාවර්තනය කරනවා.
නාසා ආයතනය කියන්නේ ජේම්ස් වෙබ් දුරේක්ෂය මේ අවස්ථාවේ රැඳී සිටින්නේ පෘථිවියේ සිට කිලෝ මීටර මිලියන 1.6ක් (සැතැපුම් මිලියනයක්) දුර හිරුගේ කක්ෂයකයි. එහි සේවය අවුරුදු 20ක් පුරා ලබා ගැනීමට නාසා ආයතනය බලාපොරොත්තු වෙනවා.
‘මෙහි ඇති උපකරණ ඉතාමත් කාර්යක්ෂමයි. දෘෂ්ටික මෙවලම් ඉතාමත් තියුණුයි; ස්ථාවරයි. අපට ඇති තරම් ඉන්ධන තියෙනවා. අපට වැඩි ඉන්ධන වැය වීමක් නැහැ.’ යැයි මැසිමෝ ස්ටියාවෙල්ලි කියනවා. ඔහු බැල්ටිමෝරයේ පිහිටි අභ්‍යවකාශ දුරේක්ෂ විද්‍යායතනයේ වෙබ් මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානියායි.
මෙතෙක් අපට සේවය කළ හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය මෙන් මේ නව ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ඊට වඩා 100 ගුණයක් බලවත්. නාසා ආයතනය තවමත් හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂයෙනුත් සේවය ලබා ගන්නවා. මේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ඊට තවත් ඈත සුර්යය කක්ෂයක රඳවා ඇති නිසා ඈත විශ්වයේ පිළිබිඹු වඩාත් පැහැදිලිව ලබා ගැනීමට හැකියාව තියෙනවා.
ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ වගතුග
ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (JWST) සැලසුම් කළේ 1996 වසරේ සිටයි. ඒ සඳහා ඇමරිකාවේ නාසා අභ්‍යවකාශ ආයතනයට, යුරෝපයේ හා කැනඩාවේ අභ්‍යවකාශ ආයතනවල සහය ලැබුණා. එය මුලින් ම උඩු ගුවන් ගත කරන්නට අපේක්ෂා කළේ 2007 දීයි. එහෙත් එහි ප්‍රධාන සැලසුම්වල වෙනස්කම් කිරීමට යෝජනා වූ නිසා 2005 දී දියත් කරන දිනය කල් දැම්මා. එහි නිෂ්පාදන කටයුතු අවසන් කළේ 2016 දීයි. ඉන්පසු බිම් පරීක්ෂණ පටන් ගත්තත් කොවිඩ් වසංගතය නිසා යළිත් දියත් කිරීම පමා වුණා. අවසානයේ දී 2021 මාර්තු මාසයට කල් දැම්මත් එදාත් කළ හැකි වුණේ නෑ. අන්තිමේ දී JWST 2021 දෙසැම්බර 25 වැනිදා එය අභ්‍යවකාශයට යවනු ලැබුවා.
එය රැඳවීමට නියමිතව තිබුණේ සූර්යය-පෘථිවි දෙවන ලැග්රෑන්ජ් ලක්ෂය (Sun-Earth Lagrange point) හෙවත් L2 යන සූර්ය කක්ෂයෙහියි. සූර්යයාගේත් පෘථිවියේත් ගුරුත්වාකර්ෂණ එකිනෙකට සමතුලිත වන ලක්ෂ්‍යයක් වූ එය පිහිටියේ පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 1.51ක් (සැතැපුම් මිලියනයක්) දුරින්. JWST එහි ළඟා වූයේ 2022 ජනවාරි 23 වැනිදායි. රොකටයක් තුළ අකුළා එහි යවනු ලැබූ JWST එතැන් පටන් මෙහෙයුම් මැදිරියේ උපදෙස් අනුව දිග හැරෙන්නට පටන් ගත්තා.
සියලු මූලික මෙහෙයුම් කටයුතු අවසන් වී JWST එහි ගවේෂණ කටයුතු අරඹන්නට එය සැරසුණේ 2022 ජූලි 11 වැනිදායි. JWST සිය මුල්ම වර්ණ පිළිබිඹුව පොළොවට එව්වේ 2022 ජූලි 12 වැනිදා, අඟහරුවාදායි. එදා 2022 ජූලි 12 වැනිදා විශ්ව සම්මත වේලාවට (Coordinated Universal Time or UTC) අනුව 14:30ට ඒ මුල්ම පූර්ණ වර්ණ පිළිබිඹුව හා වර්ණාවලීක්ෂ දත්ත සමඟ රූපවාහිනියෙන් ලොවට ම විකාශය කරනු ලැබුවා. ඒ ඇමරිකාවේ මේරිලන්ඩ් ජනපදයේ ග්‍රීන්බෙල්ට්හි පිහිටි නාසා ආයතනයේ ගොඩාඩ් අභ්‍යවකාශ පියසැරි මධ්‍යස්ථානයෙන්.
- පර්සි ජයමාන්න
0 Comments