HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

 

නිදහස ලබා වසර 75 යි. මීට වසර 75කට පෙර ශ්‍රී ලංකාවට මොකද වුණේ?

1815 සිට ඉංග්‍රීසින්ගේ යටත් විජිතයක් තිබූ ලංකාව (එකල හැඳින්වූයේ ‘සිලෝන්’ කියාය) දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු යටත් විජිත තත්වයෙන් මි‍දෙන්නට හැකි වෙතැයි විශ්වාසය පළ විය. 1948 ජනවාරි මාසයේ සිට ඩොමිනියන් රාජ්‍ය තත්වය ලැබෙතැයි අපේක්ෂා කළ නිසා එවකට සිටි අපේ නායකයෝ එය පිළිගැනීම සඳහා සූදානම් වූහ. මේ පිළිබඳ උළෙල පෙබරවාරියේ පවත්වන්නට ලංකාවටත් ලන්ඩන් නුවර පිරිසයි. ඊට හේතු වූයේ බුරුමය (වර්තමාන මියන්මාරය) නිදහස ලැබීමේ දිනය ලන්ඩනයේ දී පැවැත්වීමයි. ඒ වන විට නිදහස ලබා සිටි ඉන්දියාව සිය රාජ්‍ය ලාංඡනය ලෙස අශෝක රජුගේ ස්තම්භයේ මුදුන සැරසූ සිංහ ශීර්ෂ ත්‍රිත්වය තෝරා ගත් බව ප්‍රකාශයට පත් කිරීමත් ලංකාව නිදහස් කර ගැනීමේ අපේක්ෂාවෙන් සිටි පිරිස් අතරේ උනන්දුව වැඩි වීමට හේතුවක් විය. 
ග්ලොස්ටර් ආදිපාදවරයා හා ආදිපාදවරිය 
උත්සව ශාලාවට කැඳවා ගෙන ගිය අයුරු

බ්‍රිතාන්‍යයට යටත්ව තිබූ ඉන්දියාවට නිදහස ලැබුණේ රටවල් දෙකක් බිහි කරමිනි. ඒ ඉන්දියාව හා පාකිස්තානය යනුවෙනි. හින්දු මුස්ලිම් බේදය පාදක කර ගෙන මේ බෙදීම සිදු විය. පාකිස්තානයත් නැගෙනහිර, බටහිර කියා කොටස් දෙකකට කඩා, සිතියමෙහි ඉන්දියාවට දෙපැත්තෙන් එල්ලෙන්නට සලස්වමිනි. එපමණක් නොව ඒ දෙරට සතුරු දෙරටක් බවට පත් කරමිනි. ඉන්දියාවට නිදහස දීමෙන් පසු තවදුරටත් ලංකාව යටත් කර තබා ගැනීම පලක් නැති දෙයකැයි බ්‍රිතාන්‍ය පාලකයන්ට පෙනී ගියේය. ඒ නිසා ඩොමීනියන් රාජ්‍යයක් ලෙස තබා ගැනීමට ඔවුනට අවශ්‍ය විය. මෙරට පාලනය කිරීමේ දී ඔවුන්ට වැඩි සහයක් දුන් සුළු ජාතීන්ට අසාධාරණයක් නොවන පරිදි ඔවුන්ට එය ඉටු කිරීම ඔවුන්ගේ අභිලාසය විය. නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව මෙන් ඩොමීනියන් තත්වයේ තබා ගැනීමට ඔවුහූ උනන්දු වූහ. 

කෙසේ හෝ ලංකාවට නිදහස ප්‍රදානය කිරීම පිළිබඳ ප්‍රකාශනය 1948 පෙබරවාරි 4 වැනිදා නිකුත් කෙරිණ. එදින සිට 16 වැනිදා දක්වා දින 12ක් තිස්සේ ප්‍රථම නිදහස් උත්සවය පවත්වනු ලැබීය. පෙබරවාරි 4 වැනිදා උදේ 7.30ට යෙදුනු සුබ නැකතින් නිදහස් ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මන්ක් මේසන් මුවර් දිවුරුම් දීමෙන් නිදහස් උළෙල ආරම්භ විය. ඒ මොහොතේ කොළඹ වරායේ නවතා තිබූ සියලු නැව්වල සයිරන් නාද කෙරිණ. දිවයිනේ සියලු විහාරස්ථාන හා දේවස්ථානවල ඝණ්ටා නාද විය. 

1948 පෙබරවාරි 4 වැනි දින උදෑසන 7.30 ට රජ මැඳුරේ පැවති චාම් උත්සවයකදී අතිගරු ශ්‍රීමත් හෙන්රි මන්ක් මේසන් මුවර් මහතා ලංකා ඩොමීනියන් රාජ්‍යයේ ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දීම සිදුවිය. අනතුරුව අගමැති සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය, බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලීය සබඳතා කාර්යාලයේ පාර්ලිමේන්තු උප ලේකම් පැට්‍රික් ගෝර්ඩන්-වෝකර් මහතා හා අගවිනිසුරු ශ්‍රීමත් ජෝන් හොවාර්ඩ් යන දෙපළ ඉදිරියේ දිවුරුම් දුන්නේය. 

එදිනම උදේ 9.45ට ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා ගුවන්විදුලියෙන් ජාතිය ඇමතීය. එදින රාත්‍රියේ කොළඹ වරායේ දියකඩනය මත අලංකාර ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්විණ. කොළඹ වරායේ පැවති ජල මංගල්‍යයේ පාවෙන වේදිකාවක උඩරට නර්තන ශිල්පීන් ඉදිරිපත් කළ නිදහස් සැමරුම් සංදර්ශනය සතියක් පුරා පැවැත්වනු ලැබීය. 

1948 පෙබරවාරි 5 වන දින උදෑසන, එංගලන්තයේ මහ රජුගේ නියෝජිතයා ලෙස ග්ලොස්ටර් ආදිපාදවරයා සහ ආදිපාදවරිය ‘එන්ඩෝවර්’ ගුවන් යානයෙන් ඔවුන්ගේ පළමු ගුවන් ගමන ලංකාව බලා පිටත් වූහ. රාජකීය අමුත්තන් පිළිගනු ලැබුවේ ආණ්ඩුකාරවරයා සහ මුවර් ආර්යාව සහ අගමැති ඩී එස් සේනානායක විසිනි. අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සහ සේවා ප්‍රධානීන් සහ නිලධාරීන් විශාල පිරිසක් අග්‍රාමාත්‍යවරයා විසින් ග්ලොස්ටර් ආදිපාදවරයා සහ ආදිපාදවරිය වෙත හඳුන්වා දෙන ලදී. ඉන්පසු කොළඹ බලා පිටත්වූ රාජකීයයන් වික්ටෝරියා පාලම අසලදී ඔවුන් පිළිගනු ලැබුවේ කොළඹ නගරාධිපති ආර්.එෆ්.එස් ද මෙල් මහතා විසිනි 

1948 පෙබරවාරි 10 පැවති උත්කර්ෂවත් නිදහස් උළෙල 


නිදහස් උළෙලේ අති උත්කර්ෂවත් අවස්ථාව එළඹුණේ පෙබරවාරි 10 වැනිදාය. නිදහස් ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ඇරඹුණේ එදිනය. කොළඹ නිදහස් චතුරශ්‍රයේ වි‍ශේෂයෙන් ඉදිකළ රැස්වීම් ශාලාවේ දී පැවැත්වූ එහි ප්‍රධාන අමුත්තා වූයේ එවකට එංගලන්තයේ රජකම් කළ හය වැනි ජෝර්ජ් රජු නියෝජනය කරමින් එහි පැමිණි ඔහුගේ සහෝදරයා වූ ග්ලොස්ටර් ආදිපාදවරයාය. 

එවැනි විශේෂ උත්සවයක් පවත්වන්නට සුදුසු රැස්වීම් ශාලාවක් මෙරට නොවූ නිසා එහි වූ පරණ ගුවන්තොටුපළේ ගුවන්යානා නවතා තබන්නට පාවිච්චි කළ හැඟරයක් රැස්වීම් ශාලාවක් බවට පෙරළා ගනු ලැබීය. මෙරට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව විසින් එහි ඉදිකිරීම් කටයුතු කළ අතර ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ පහකි. මෙය ඉදිකිරීම පිණිස කම්කරුවන් 500කට අධික පිරිසක් හා සැරසිලි සඳහා සිංහල විශේෂඥ ශිල්පීන් 90 ක් යොදවනු ලැබීය. ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කළේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් විසිනි. 

බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් තීරණය කළේ ග්‍රීසියේ ඇතන්ස් නුවර පාතේනියන් දෙවොලේ ගෘහනිර්මාණ ශිල්පී ලක්ෂණ සමඟ මුසු කොට හෙළ සංස්කෘතික ලාංඡනවලින් සැරසීමටයි. ඒ පිළිබඳ දැනුමක් නොතිබුණු ඔවුහූ ඒ සඳහා තමන් යටතේ වැඩ කළ තරුණ සිංහල ඉංජිනේරුවකු වන රන්කොත්ගේ ප්‍රේමරත්නගේ සේවය ලබා ගත්හ. ඔහුගේ අදහස අනුව මහනුවර මඟුල් මඩුවේ ගෘහනිර්මාණ ලක්ෂණ ඒ සඳහා එක්කර ගනු ලැබීය. 

ආරුක්කු තුනකින් යුත් ප්‍රධාන දොරටුවමකර තොරණින් අලංකාර කර බිම රතු පලස් අතුරනු ලැබීය. කුලුනු අතර රැලි පාලම් තැනුවේ උඩරට සිංහල අලංකරණ මෝස්තර ඇසුරෙනි. ඒවා නිර්මාණය කෙරුණේ මහනුවර හාරිස්පත්තුවෙන් ගෙන්වන ලද කලා ශිල්පීන් අතිනි. රැලි පාලම් සඳහා වැල්ලවත්ත රෙදි මෝලෙන් සුදු රෙදි යාර 26,000ක් පිරුවට වශයෙන් ලබා ගන්නා ලදී. 
1948 පෙබරවාරි 10 වැනිදා පැවති ලංකාවේ ප්‍රථම නිදහස් උළෙල 
පැවැත් වූ අවස්ථාව.

රැස්වීම් ශාලාවේ කුලුනු නෙළුම් මල්, පංචනාරි ඝට, ආදී ලාංඡනවලින් සරසන ලදී. ග්ලොස්ටර් ආදිපාද යුවළ අසුන් ගන්නා තැනට ඉහළින් පීඨිකාවක ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිංහාසනය තැන්පත් කර තිබුණි. ශාලාවේ 6100කට අසුන් පනවා තිබුණි. 

එදා උදේ 9.30ට සියලු ආරාධිතයන් උත්සව ශාලාව වෙත ආවේ වර්ණවත් පෙරහරකිනි. ඒ සඳහා එක්ව සිටි පූජ්‍ය පක්ෂයේ කහ රතු චීවරවලින් ද, ග්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කළ නිල ඇඳුම්වලින් ද, උඩරට රදළ පිරිස හැඳ සිටි ගෙත්තම් කළ ඇඳුම්වලින් ද පෙරහර නරඹන්නට මඟ දෙපස රැස්ව සිටි ජනතාව අමන්දානන්දයට පත්වූහ. පෙරහර නිදහස් චතුරස්‍රය වෙත ආවේ දහවල් 10.10 ටය. රැස්වීම් ශාලාව ඉදිරිපිට දී ඔවුන් පිළිගන්නා ලද්දේ ග්ලොස්ටර් ආදිපාද යුවළ, ආණ්ඩුකාරතුමා, අගමැතිතුමා විසිනි. 

ග්ලොස්ටර් ආදිපාදිවරයාට ගෞරව දැක්වීම පිණිස ආචාර වෙඩි මුර 21 ක් පවත්වනු ලැබීය. අනතුරුව අගමැතිතුමා රැස්වීම් ශාලාව ඉදිරිපිට පීඨිකාවක ඉදිකොට තිබුණු කොඩි ගසෙහි සිංහ කොඩිය එසවීය. සියලු ආරාධිතයන් අසුන්ගත් පසු ආදිපාදිතුමාගේ පුද්ගලික ලේකම් විසින් පාර්ලිමේන්තුව විවෘත කරන ලෙස මහරජතුමා නිකුත් කළ ප්‍රකාශ පත්‍රය කියවන ලදී. 

අනතුරුව අගමැතිතුමා රාජාසනයේ කතාව ග්ලෝස්ටර් ආදිපාදතුමාට බාර දුන්නේය. හිස්වැස්ම පැලඳගෙනම සිය ආසනයේ හිඳිමින් රාජාසනයේ කතාව කියවූ ආදිපාදිවරයා නැවත හිස්වැස්ම ඉවත් කොට නැඟී සිටියේය. සිය සහෝදරයා වූ හය වන ජෝර්ජ් රජතුමා ඔහුට බාර දුන් සංදේශය කියවීය. 

ඉක්බිතිව අගමැතිතුමාද, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිතුමාද, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභානායක තුමාද, ආදිපාදතුමා වෙත ගොස් සභා දෙකේ ස්තූතිය පිරිනැමීමට අවසර පැතීය. අනුමැතිය ලැබුණු පසු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිතුමාද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභානායකතුමාත්, සෙනෙට් මන්ත්‍රී සභාපතිතුමාත් ස්තුති කතා දෙකක් කළහ. ඉන්පසු ඒ කතාවල පිටපත් ද ආදිපාදවරයාට බාර දුන්හ. ඉන්පසු ආදිපාදවරයා වෙත ගිය අගමැතිතුමාට, සභානායක හා සභාපති දෙපළ වෙත ජෝර්ජ් රජුගේ අත්සන් සහිත රාජඥාපනත් දෙකක් හා ලංකා නිදහස් පනත ද ප්‍රදානය කරනු ලැබීය. 

ඒ ප්‍රධාන උත්සවයට පෙරදා එනම් නව වන දින විශේෂ පාසල් නිවාඩු දිනයක් ලෙස ද දස වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කෙරිණ. ඩොමීනියන් පාර්ලිමේන්තුව චාරිත්‍රානුකූලව විවෘත කිරීමේ උත්සවයෙන් පසු, ග්ලොස්ටර් ආදිපාද යුවළ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා විසින් සංවිධානය කරන ලද සාදයකට ද සහභාගි වූහ. 

පසුවදා, ග්ලොස්ටර් ආදිපාදවරයා සහ ආදිපාදවරිය මඟ දෙපස රැස්ව සිටි ජනයාගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ මහනුවර බලා රිය පෙරහරකින් පිටත් වූහ. මහනුවරට පැමිණි රාජකීය යුවළ, පිළිගනු ලැබුවේ උඩරට ප්‍රධානීන් විසිනි. ග්ලොස්ටර් ආදිපාදවරයා සහ ආදිපාදවරියගේ පැමිණීම නිමිත්තෙන් දළදා මාලිගාවේ පත්තිරිප්පුව ආලෝකමත් කෙරුණි. 

දොළොස් වැනිදා ආදිපාද යුවළ මහනුවර මඟුල් මඩුවේ පැවති විශේෂ උත්සවයකට සහභාගි වූහ. එහිදී ආදිපාදතුමා ලක්දිව නිදහස් රාජ්‍යයක් බවට පත් වූ චාරිත්‍රානුකූලව ප්‍රකාශ කළේය. ලංකාවේ නිදහස සංකේතවත් කරන සිංහ කොඩිය පෙබරවාරි 12 වන දින අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක අතින්, දළදා මාලිගාවේ පත්තිරිප්පුව මතින් එසවීම සිදුවිය. 

අනතුරුව ලංකා විශ්වවිද්‍යාලයේ විශේෂ උපාධි ප්‍රදානෝත්සවය සඳහා රාජකීය යුවළ පෙරහැරකින් කැටුව යනු ලැබීය. අග්‍රාමාත්‍ය ඩී එස් සේනානායක, වෛද්‍ය ඇන්ද්‍රියස් නෙල්, සෝල්බරි සාමිවරයා සහ අධ්‍යාපන අමාත්‍ය ඊ.ඒ. නුගවෙල මහතා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම ගෞරවනීය අවස්ථාවට සහභාගී වූහ. 

රාජකීය යුවළ අනුරාධපුරයට ගොස් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්හ. ඔවුන් සමඟ පී බී බුලන්කුලම දිසාව ඇතුළු ප්‍රභූන් කිහිප දෙනෙක් ද එක්ව සිටියහ. ආදිපාද යුවළ පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ මඟ පෙන්වීම යටතේ පුරාණ නටබුන් සහ පූජනීය නගර කිහිපයකම සංචාරය කළහ. 

මීගමුව නගර සභාවේ ජුබිලිය නිමිත්තෙන් සංවිධානය කළ සැණකෙළිය, ග්ලොස්ටර් ආදිපාදවරයා අතින් විවෘත වූයේ ඔහු රට පුරා සංචාරය කිරීමෙන් පසු කොළඹ බලා පැමිණෙද්දීය. නිදහස් උත්සව මාලාව 1948 පෙබරවාරි 16 වැනිදා අවසන් වූ අතර රාජකීය යුවළ 17 වැනිදා සියරට බලා පිටත් විය.
 

 - පර්සි ජයමාන්න 


(මහාචාර්ය තිස්ස කාරියවසම් ලියූ ‘අලුත් ශ්‍රී ලංකාවේ ජාතික වංශ කතාව (1931 -1948)' කෘතිය ඇසුරෙනි.)
 

Post a Comment

0 Comments