දැන් අපට හඳ පේන්නේ වෙනදාට වඩා කුඩාවටයි. පසුගිය 6 වැනි සිකුරාදා සිට හඳ ටිකක් කුඩා වෙලයි පේන්න පටන් ගත්තේ. මෙය ක්ෂුද්‍ර චන්ද්‍රයා හෙවත් මයික්‍රෝමූන් ලෙස හැඳින්වෙනවා. සඳ මේ නමින් හැඳින්වීමට නම් අපේ පෘථිවියට කොතරම් දුරින් පිහිටිය යුතු දැයි ලෝක සම්මත රීතියක් නැහැ. එහෙත් සිදු වන්නේ හඳත් පොළොවත් අතර පවතින දුර වැඩි වීම නිසයි.
හඳ මෝරා එන විට පෘථිවිය මත සිටින මිනිසුන් තුළ කායික හා මානසික වෙනස්කම් ඇති වෙන බවට විශ්වාසයක් පවතිනවා. මිනිසාගේ මානසික මට්ටම විතරක් නෙවෙයි, නින්දටත්, ආහාර රුචියටත් එය බලපාන බව කියනවා. පසළොස්වක පෝයදාට අප හැමදෙනාගේ ම නින්ද පැය භාගයකින් අඩු වෙනවා කියලයි කියන්නේ. ඒ නින්දත් ගැඹුරු නින්දක් නොවෙයි. හීනවලින් තොර නින්දක්. ඒත් අපේ හොඳම නින්ද අපට ලැබෙන්නේ අටවක දාට කියලයි කියන්නේ.
පුන් පෝදා රාත්‍රියේ සෑම සියලු දෙනාම අඩු නින්දක් ලැබුව ද කාන්තාවන්ගේ නින්දේ විශාල වෙනසක් ඇති වෙනවා. ඇසිපිල්ලන් වේගයෙන් ගැහෙන නින්දක් ඔවුන් අත් විඳිනවා. ඒ නින්ද තුළ අපට සිහිනත් පෙනෙනවා. පුන් පෝදාට ඇසිපිල්ලන් වේගයෙන් ගැහෙන නින්දක් පිරිමින් වැඩිපුර ලබන බව ද කියැවෙනවා. ඒ වගේ ම පුන් පොහොය ඔබේ ආහාර රුචිය අඩු කරනවා.
ගැඹුරු නින්ද ඇති විට අපේ සිරුර තුළ ලෙප්ටින් නම් හෝමෝනය වැඩිපුර නිපදවනවා. එයින් අපට සම්පුර්ණයෙන් තෘප්තිමත් වූ හැඟීමක් ඇති වෙනවා. ඒ අතරම ග්‍රෙලින් නිසා එහි අනෙක් පැත්ත වූ කුසගිනි ඇති කිරීමේ හැකියාව පහළ හෙළනවා. ඒ අනුව තමයි, පුන් පෝය අපේ මනෝභාවයන්ට බලපෑම් ඇති කරන්නේ.
සඳෙහි කලාවන් අනුව පුන් සඳ පටන් අමාවක දක්වා චක්‍රයෙහි ඇති වන සෑම වෙනසක් ම අපේ මනෝභාවයන්හි වෙනස්කම්වලට බලපානවා. කෙටි කෑමවලට හා සීනි කෑමවලට පෙලඹවීමක් අප තුළ ඇති කරනවා.
එලයන්ස් ඔන්ලියින් ආයතනයේ අළෙවි කළමනාකරු මයික් හාඩර්මන් කියන්නේ, “මිනිසා හා සඳ අතර ඇති සම්බන්ධය ගැන තවත් බොහෝ පර්යේෂණ කළ යුතුව තියෙනවා. එයින් ආහාර රුචිය ඇති වීම පිළිබඳව සිදුවන බලපෑම ගැන තවතවත් සොයා ගැනීම් කළයුතුයි.” කියායි.
“කෙසේවෙතත් පුන් පොහොය අපේ නින්දට බලපානවා වගේ ම අපේ ආහාර රුචියටත් බලපෑම් කරන බව දැන් සොයා ගෙන තියෙනවා.
“ඒ නිසා මේ මාසයේ ඔබට නින්ද යාම අඩු නම්, ඇඳ මත එහා මෙහා පෙරළීම වැඩි නම්, පැණි රස කෑමට වැඩිය ප්‍රිය නම්, ඊට වරදකාරයා පුන් පෝදා සඳයි. ඒ නිසා පැණි රස කැවිලිවලින් වළකින්න. කැෆේන් අන්තර්ගත චොකලට් වැනි දේ ආහාරයට ගැනීමෙන් වළකින්න. ඒ වෙනුවට පලතුරු ගෙඩි, ඇට වර්ග ආදිය ආහාරයට ගන්න. ඒවායින් ඔබේ කුසගිනි නිවී හොඳට නින්ද යාවි.” ඔහු වැඩිදුරටත් කියනවා.
හඳ අපට කුඩා වී පෙනෙන්නේ කෙසේ ද?
ක්ෂුද්‍ර චන්ද්‍රයා හෙවත් මයික්‍රොමූන් ඇති වන්නේ පෘථිවියේ සිට චන්ද්‍රයා කක්ෂයේ ඈත ම ගමන් කරන විටයි. සඳ පෘථිවිය වටා යන්නේ ඉලිප්සාකාර කක්ෂයකයි. එහි දී කක්ෂය ඕවලාකාර හෙවත් බිත්තර හැඩයක් ගන්නවා. එහෙම වුනාම තමයි, ඒ කක්ෂයෙහි එක පැත්තක් පෘථිවියට සමීපවත් අනෙක් පැත්ත පෘථිවියට දුරස්ථවත් පිහිටන්නේ.
පෘථිවියත් චන්ද්‍රයාත් අතර ඇති සාමාන්‍ය දුර සැතැපුම් 237,700ක්. අවුරුද්දේ කිසියම් අවස්ථාවක සඳ ලොකුවට හෝ කුඩාවට හෝ අපට පෙනෙන්නේ මෙසේ දුරස් වීම අනුවයි. හඳ අපට වඩාත් දුරින් ඇති විට සාමාන්‍ය හඳට වඩා සියයට 14ක් කුඩාවට හා සියයට 30ක් දීප්තියෙන් අඩුවයි අපට හඳ පෙනෙන්නේ.
මයික්‍රොමූන් ඇති විට අපට වඩා සැතැපුම් 251,655ක් දුරිනුයි හඳ තියෙන්නේ. ඒ ආකාරයට හඳ අපට වඩාත් ළංව ඇති විටයි, සුපිරි හඳ පෙනෙන්නේ. ඒ වන විට හඳ පිහිටන්නේ සැතැපුම් 224,000ක් තරම් දුරකිනුයි. ඒ කියන්නේ සැතැපුම් 30,000ක් වඩාත් ළංවයි.
- පර්සි ජයමාන්න
0 Comments