HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වයිෆයි ඔස්සේ ඔබේ ගෙට එබී විපරම් කරන විද්‍යාඥයෝ!

වයිෆයි යොදා ගෙන විස්මිත ආකාරයට බිත්ති විනිවිද ගෙන ගෙතුළට එබෙන්නට විද්‍යාඥයන් දැන් සමත් වී තියෙනවා. ඇමරිකාවේ කානෙගී මෙලන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් තමයි, වයිෆයි (WiFi) රවුටරය පමණක් යොදා ගෙන බිත්ති හතරකින් වට වූ කාමරයක් තුළ ඇති ත්‍රිමාන හැඩතල හඳුනා ගැනීමටත්, එහි මෙහා යන මිනිසුන්ගේ සිරුරු රූ ගත කිරීමටත් සමත් වෙලා ඇත්තේ.

නිවසේ බිත්ති විනිවිද ඇතුළේ මිනිස් චලනයන් වයිෆයි මගින් දැක ගත හැකියි.

ඔවුන් ‍ඒ සඳහා යොදා ගෙන තියෙන්නෙ ඩෙන්ස්පෝස් (DensePose) කියලා ක්‍රමයක්. ඒ ක්‍රමයෙන් ඡායාරූපයක සිටින මිනිස් සිරුරක් මතුපිට ඇති පික්සල සිතියම් ගත කරන්න පුලුවන්. මේ ඩෙන්ස්පෝස් ක්‍රමය සංවර්ධනය කරලා තියෙන්නේ ලන්ඩනයේ සිටින පර්යේෂකයන් පිරිසක් හා ෆේස්බුක් ආයතනයේ කෘත්‍රිම බුද්ධි පරිගණක පර්යේෂකයන් පිරිසක් එක්වයි. ඔවුන් ඒ පිළිබඳව කළ පර්යේෂණයට අදාළව සැකැසූ නිබන්ධන පත්‍රිකාවක් මුද්‍රණයට යැවීමට පෙර මෑතදී අන්තර්ජාලයේ arXivවල පළ කළා. රවුටර හරහා එවන වයිෆයි සංඥා භාවිත කරමින් මිනිස් රූපයෙහි ඛණ්ඩාංක ලබා ගෙන රූපවල හැඩතල මවන ආකාරය එහි විස්තර කර තිබුණා. 

මේ ක්‍රමයට පර්යේෂකයන්ට හැකි වුණා, කැමරා හෝ මිල අධික ලිඩාර් (LiDAR) වැනි දෘඪාංග හෝ පාවිච්චි නොකර මිනිසුන් දැක ගන්න. මෙසේ මිනිස් රූප හසු කර ගැනීම ගැන වසර ගණනාවක් තිස්සේ ඔවුන් පර්යේෂණ කළා. 2013 දී මසෙචුසෙට් තාක්ෂණික විශ්ව විද්‍යාලයෙහි පර්යේෂක කණ්ඩායමක් ජංගම දුරකතන සංඥා පාවිච්චි කරමින් බිත්ති විනිවිද දකින්නට හැකි ක්‍රමයක් සොයා ගත්තා. 2018 දී, ඒ විශ්ව විද්‍යාලයෙහිම වෙනත් පර්යේෂක කණ්ඩායමක් වයිෆයි සංඥා භාවිත කරමින් වෙනත් කාමරයක සිටි අයගේ චලනයන් බිත්තිය විනිවිද යමින් ඉරි කෑලිවලින් නිරූපණය කරන ආකාරයට දැක්විය හැකි ක්‍රමයක් සොයා ගත්තා. 

කානෙගී මෙලන් පර්යේෂකයන් ඔවුන්ගේ පර්යේෂණ කෘතියෙහි දක්වා ඇත්තේ RGB කැමරා වෙනුවට සෑම තැනකට ම මේ වයිෆයි සංඥා ආදේශනය කළ හැකි බවයි. එසේ ම සාමාන්‍ය කැමරා කාචයන් මුහුණපාන, දුර්වල ආලෝකය සහිත, අපැහැදිලි තත්වයන් වයිෆයි භාවිත කරද්දී මඟ හරවා ගත හැකි බවයි. 

මෙහි ඇති සිත්ගන්නාසුලු දෙයක් වන්නේ ඔවුන් මෙම නිපැයුම පුද්ගලික අයිතීන් ආරක්ෂා කිරී‍ම වෙනුවෙන් ඉදිරියට තැබූ පියවරක් ලෙස හැඳින්වීමයි. “මෙය පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට යොදා ගත හැකිවා පමණක් නොව පහසු මිලකට ලබා ගත හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි.” ඔවුන් සඳහන් කරනවා. එපමණක් නොව ඔවුන් කියන්නේ, “වර්තමානයේ බොහෝ නිවෙස්වල දැනටමත් වයිෆයි භාවිතයට ගෙන ඇති නිසා මේ තාක්ෂණය නිසා, නිවසේ වෙසෙන වයසක අම්මා, තාත්තා, වැනි වැඩිමහලු අය ගැන විපරම් කිරීමට දරුවන්ට පහසු වන බවයි.” ඒ වගේ ම දුර බැහැර ගිය විටෙක නිවසේ ‘සැක කටයුතු යමක්’ සිදුවන්නේ නම් එයද මෙමගින් දැක ගත හැකියි. 

ඔවුන් විස්තර වශයෙන් කියන්නේ නැහැ ඒ ‘සැක කටයුතු දේ’ මොනවාද කියා. නමුත් මේ තාක්ෂණය ප්‍රධාන වෙළඳපොළ ධාරාවට එක් වුවහොත් ඔබේ පුද්ගලිකත්වය රැකීම කෙසේ වෙතත් රකින්නට පුද්ගලිකත්වයක් ඉතිරි වන එකක් නැහැ. 

නිවසේ ඕනෑ තැනකට යැවිය හැකි රින් ඩ්‍රෝනය

රින් එවන දසුන් ඔබට ස්මාර්ට් ෆෝනයෙන් දැකිය හැකියි.

දැනමත් ඇමසන් වැනි සමාගම් ආරක්ෂාවට යයි කියා අපේ නිවෙස් තුළට ‘රින්’ (Ring) නමින් කැමරා ඩ්‍රෝනයක් හඳුන්වා තියෙනවා. එයින් අප ගැන පිටත ඉඳන් ඔත්තු බැලිය හැකියි කියා චෝදනාවක් නැ‍ඟ‍ෙනවා. අපේ ආරක්ෂාව අනතුරේ කියා කියැවෙනවා. ඒ නිසා සමහරු එය මිල දී ගන්නේ නැහැ. රින් ඩ්‍රෝනය ගෙදර තබා යන ඔබට එය ඔබේ ස්මාර්ට් ෆෝනය මගින් ක්‍රියාත්මක කොට නිවස තුළ සිදුවන ඕනෑම දෙයක් ෆෝනය මගින් බලන්න පුලුවන්. 

ඒත් දැන් මේ වයිෆයි ක්‍රමය හැම තැනක ම භාවිත කෙරෙන නිසා අපට නොදන්වා බාහිර කෙනකුට මේ නව තාක්ෂණය යොදා ගෙන වයිෆයි සංඥා ඔස්සේ අපේ පුද්ගලික ජීවිතයට එබී බලන්නට හැකියාව තියෙනවා. ඒ නිසා බිත්ති විනිවිද යමින් මිනිසුන් ගැන සොයා බලන්නට හැකි මේ ක්‍රමය නිසා අපේ ආරක්ෂාව සැලසෙනවාට වඩා අපේ ආරක්ෂාව මුළුමනින් බිඳ දමන්නක් වෙන්නත් බැරි නැහැ. 

- පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments