HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ කීර්තිමත් නඩු තීන්දුවක්!

ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ කීර්තිය ඔසවා තබන ශ්‍රේෂ්ඨ නඩු තීන්දුවක් පෙරේදා (2023 ජනවාරි 12 වැනිදා) ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්නේය. නිදහස ලබා 75 වසරක් ගෙවන මේ අවස්ථාවේ දී දුන් ඒ තීන්දුව අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍යය මේ යැයි පෙන්වා දෙන ‍ඓතිහාසික එකකි; සකල ශ්‍රී ලංකා‍වාසීන්ගේ අභිමානය නංවාලන එකකි. 

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් පිරිසක්

2019 අප්‍රේල් 21 වැනිදා (පාස්කු ඉරිදා) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර නිසා සිදු වූ ඝාතනවලින් හා තුවාල ලැබූ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් අඛණ්ඩව වසර තුනක් තිස්සේ පැවති නඩු විභාගයක් අවසානයේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මේ ඓතිහාසික තීන්දුව ලබා දුන්නේය. 

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී නවාස්, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය. 

අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම නිසා සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූයේ යැයි බෝම්බ ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා මියගිය පියකු වන නන්දන සිරිමාන්න, සංචාරක ව්‍යපාරිකයකු වන ජනත් විදානගේ, සරත් ඉද්දමල්ගොඩ ඇතුළු කතෝලික පියතුමන්ලා තිදෙනෙකු, ෂැංග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතීඥ මෝදිත ඒකනායක ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ගොනුකර තිබුණි. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙළේ එකී පෙත්සම් 12 විභාගයෙන් පසුව ය. 

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට රුපියල් මිලියන 100ක්ද, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75ක්ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට රුපියල් මිලියන 75ක්ද, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරිට ප්‍රනාන්දුට රුපියල් මිලියන 50ක්ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට රුපියල් මිලියන 10ක්ද වශයෙන් වන්දි තමන්ගේ පුද්ගලික මුදලින් ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙයට අමතරව රජය විසින් ද රුපියල් මිලියනයක මුදලක් වන්දි වශයෙන් ගෙවිය යුතු යැයි නියම කර තිබේ. මෙහිදී දැනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වශයෙන් සේවය කරන නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ වැඩිදුරටත් දැක්වේ. 

මෙම වන්දි මුදල් පාස්කු දින ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයින් සඳහා වෙන්වූ "අරමුදලක්" ස්ථාපිත කර ඊට බැර කරන ලෙස රජයට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම අරමුදල වෙත අදාළ වන්දි මුදල් මාස 06ක් තුළ ගෙවා අවසන් කළ යුතු බවට නඩුවේ වගඋත්තරකරුවන්ට නියෝග කෙළේ ය. එසේ ම අදාළ වන්දි මුදල් ඇතුළත් එම අරමුදලේ කටයුතු අධීක්ෂණය කරන ලෙසට ද නීතිපතිවරයාට නියම කළේය. 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

හිටපු ජනාධිපති හා ආරක්ෂක ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වගවීම 

සත් පුද්ගල විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අරභයා තීන්දුවේ මෙසේ සඳහන් විය: 

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය ප්‍රධානියා මෙන්ම ත්‍රිවිධ හමුදාවන්හි සේනාධිනායක වශයෙන් ජනාධිපතිවරයා කටයුතු කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සියලු විධායක බලතල ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙනවා. ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කරනවා. මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රාජ්‍ය බුද්ධි සේවය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ක්‍රියාත්මක වූ බව තහවුරු වී තිබෙනවා. එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කිරීමේ බලය ද ඔහු වෙත පැවරී තිබුණා. 

“හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් එවකට ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න අධිකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින්, ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට ලැබුණු තොරතුර පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හෝ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් ජනාධිපතිවරයාට දැනුවත් කිරීමක් නොකළ බව සඳහන් කර තිබෙනවා. 

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තිය යටතේ රාජ්‍ය ආරක්ෂාව මෙන්ම මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ද ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙනවා. ඊට අමතරව ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ තමන් යටතේ පවතින දෙපාර්තමේන්තු අධීක්ෂණය කිරීමේ බලයද පැවරී තිබුණේ ජනාධිපතිවරයා වෙතයි. එසේ තිබියදී මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු තමන් යටතේ සිටින නිලධාරීන් විසින් දැනුම් නුදුන් බව පවසමින් එම වගකීමෙන් බැහැරවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හැකියාවක් නැහැ. 

“මෙවැනි සංවේදී තොරතුරු තමන් වෙත කාර්යක්ෂමව ළඟාකර ගැනීම සඳහා නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට ඔහු වගබලා ගත යුතුයි; එය අධීක්ෂණය කළ යුතුයි. ආරක්ෂක මණ්ඩල රැස්වීම පිළිබඳව සලකා බැලීමේදී එය සෑම සතියකටම වරක් පවත්වා තිබෙන බව ඉතිහාසය පිරික්සීමේදී පෙනී යනවා. රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව රාජ්‍ය නායකයා දැනුවත් කිරීමට සහ ආරක්ෂාව තහවුරු කිරීමට ගතයුතු පියවර පිළිබඳව ආරක්ෂක ප්‍රධානීන්ට සිය යෝජනා ඉදිරිපත් කිරීම සඳහායි, මෙම රැස්වීම පැවැත්වෙන්නේ.

“එහෙත් මෙම ප්‍රහාරය එල්ලවීමට පෙර සමය පරීක්ෂා කිරීමේදී ආරක්ෂක මණ්ඩල රැස්වීම් නිසි පරිදි පවත්වා නැති බව පෙනී යනවා. එය බරපතළ ගැටලුවක්. සියලු කරුණු විශ්ලේෂණය කිරීමේ දී ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම වගකීම ඉටු කිරීමට අසමත් වී තිබෙනවා. තමන් වෙත පැවරී තිබූ වගකීම් ඔහු බරපතළ ලෙස පැහැර හැර ඇති ආකාරයකුත් පෙනී යනවා” යි කරුණු ඉදිරිපත් කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(ඉ) වගන්තිවල සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළේය. 

හේමසිරි ප්‍රනාන්දු, නිලන්ත ජයවර්ධන හා පූජිත් ජයසුන්දර

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ වගවීම 

හේමසිරි ප්‍රනාන්දු ගැන දුන් තීන්දුවේ මෙසේ සඳහන් විය: “ආරක්ෂක අමාත්‍යංශය පරිපාලනය හා සුපරීක්ෂණය කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ආරක්ෂක ලේකම්වරයා වෙත පැවරී තිබෙනවා. 

"ආරක්ෂක අමාත්‍යංශයේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ පුළුල් බලයක් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පැවරී තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තමන් වෙත ලැබුණු තොරතුරු‍ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙත ලබාදුන් බවට කරුණු තහවුරු වුණා. 

“එහෙත් එම තොරතුරු හේමසිරි ප්‍රනාන්දු විසින් පොලිස්පතිවරයා සහ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් වෙත යොමු කිරීම හැර වෙන කිසිදු පියවරක් ගෙන නැහැ. මෙවැනි සංවේදී තොරතුරක් ලැබුණු විගස ආරක්ෂක ලේකම්වරයා වශයෙන් හේමසිරි ප්‍රනාන්දු මහතාට වගකීමකින් යුතුව කටයුතු කිරීමට හැකියාව තිබුණා. 

“ඔහුට, අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී මෙම තොරතුරු පිළිබඳව දැනුවත් කිරීමට හැකියාව තිබුණා. එහෙත් ඔහු එවැනි පියවරක් අනුගමනය කළේ නැහැ. 2019 වසරේ අප්‍රේල් මස 09 වනදා පැවති ජාතික බුද්ධි සමාලෝචන රැස්වීමේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කළේ හේමසිරි ප්‍රනාන්දු ය. එම රැස්වීමේදී පවා ඔහු එම සංවේදී තොරතුරු පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන සාකච්ඡා කර නැහැ. එම රැස්වීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා හා ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන් සහභාගීවී හිටියා. 

“ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට ලැබුණු තොරතුරු පිළිබඳව එම රැස්වීමේදී සාකච්ඡා කළේ නම් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා හා ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන් ද ඒ පිළිබඳව දැන ගැනීමට හැකියාව තිබුණා. එම නිසා හේමසිරි ප්‍රනාන්දු විසින් මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු දේශපාලන අධිකාරියට හා ත්‍රිවිධ හමුදාවට දැනුවත් කළේ නම් මෙය වළක්වා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබුණා. නමුත් ඔහු නොසැලකිලිමත් ලෙස සිය රාජකාරිය බරපතළ ලෙස පැහැර හැර ඇති ආකාරයක් පෙනී යනවා.” යනුවෙන් අගවිනිසුරුවරයා තීන්දුව විශ්ලේෂණය කරමින් සඳහන් කළේය. 

හිටපු පොලිස්පත් පූජිත් ජයසුන්දර මහතාගේ වගවීම 

පූජිත් ජයසුන්දර ගැන දුන් තීන්දුවේ දී අගවිනිසුරුවරයා මෙසේ ප්‍රකාශ කළා: “ජාතික තවුහිත් ජමාත් සංවිධානය විසින් පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා විසින් ලබාදුන් සංවේදී තොරතුරු සම්බන්ධයෙන් වගකීමකින් යුතුව පියවර ගැනීමට පොලිස්පතිවරයා වශයෙන් පූජිත් ජයසුන්දර ද අසමත්වී තිබෙනවා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියාගෙන් ලැබුණු බුද්ධි තොරතුරු ඔහු විසින් කර ඇත්තේ තමන් යටතේ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරු හතර දෙනෙකු වෙත යොමු කිරීම පමණයි. 

“පොලිස්පතිවරයා වශයෙන් එම සංවේදී තොරතුර සම්බන්ධයෙන් ගත් පියවර පිළිබඳව පසු විමසීමක් ඔහු විසින් කර නැහැ. 2010 වසරේ සිට 2019 වසර දක්වා කාලසීමාව තුළ සහරාන් හෂීම් සහ ඔහුගේ අන්තවාදී කල්ලිය පිළිබඳ වාර්තා 97 ක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත යොමු කර තිබෙනවා. එම නිසා සහරාන් හෂීම් සහ ඔහුගේ සන්නද්ධ කල්ලිය පිළිබඳ තොරතුරු පොලිස්පති පූජිත් ජයසුන්දර හොඳින් දැන සිටි බව කිව යුතුයි. 

“එසේ තිබියදී සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට සංවේදී තොරතුරක් ලැබුණු විගස පොලිස්පතිවරයා වශයෙන් පූජිත් ජයසුන්දර වඩා වගකීමකින් හා අවධානයකින් කටයුතු කළ යුතුව තිබුණා. එහෙත් ඔහු එසේ සිදුකර නැහැ. ඒ වගේම මෙම සංවේදී තොරතුරු පිළිබඳව පොලිස්පතිවරයා වශයෙන් පූජිත් ජයසුන්දර මහතාට එවක ජනාධිපති හමුවී දැනුම්දීමට හැකියාව තිබුණා. 2019 වසරේ අප්‍රේල් මස 16 වනදා කාත්තන්කුඩි ප්‍රදේශයේ දී සහරාන් හෂීම්ගේ කණ්ඩායම යතුරුපදියක් පුපුරුවා හැර ප්‍රහාරයක් අත්හදා බැලීමක් සිදුකර ඇති බවට තොරතුරු හෙළි වුණා. 

“ඒ පිළිබඳව ද රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා පූජිත් ජයසුන්දර මහතා දැනුවත් කර තිබුණා. ඒ පිළිබඳව ද විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පතිවරයා වශයෙන් පූජිත් ජයසුන්දර අසමත් වී තිබෙනවා.” යයි සඳහන් කළ අගවිනිසුරුවරයා, වගඋත්තරකාර පූජිත් ජයසුන්දර ද සිය වගකීම නොසැලකිලිමත් ලෙස පැහැර හරිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(ඉ) යන වගන්තිවල සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව තීන්දු කළේය. 

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාගේ වගවීම 

නිලන්ත ජයවර්ධන ගැන දුන් තීන්දුවේ දී අගවිනිසුරුවරයා මෙසේ සඳහන් කළේය: “සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට විදේශීය බුද්ධි සේවයකින් තමන්ට තොරතුරු ලැබුණු බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ඔහු විසින් සිදුකර තිබෙන්නේ එම තොරතුර පොලිස්පතිවරයාට සහ ජාතික බුද්ධි ප්‍රධානියා වෙත යොමුකිරීම පමණයි. ඒ සම්බන්ධයෙන් ගත් පියවර පිළිබඳව ඔහු පසු විපරමක් සිදුකර නෑ. 

“මෙම තොරතුරු ලැබුණු පසුව, එනම් අප්‍රේල් මස 09 වනදා, ජාතික බුද්ධි සමාලෝචන රැස්වීම පවත්වා තිබෙනවා. එම රැස්වීමට නිලන්ත ජයවර්ධන සහභාගි වුණා. එහෙත් මෙම සංවේදී තොරතුරු පිළිබඳව ඔහු අදාළ රැස්වීමේදී සාකච්ඡා කර නැහැ. එය බරපතළ ගැටලුවක්. අදාළ රැස්වීමේදී මෙම කාරණය පිළිබඳව සාකච්ඡා කළේ නම් මෙම බරපතළ තොරතුරු පිළිබඳව රැස්වීමට එක්වී සිටි ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන් හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට ද දැන ගන්නට හැකියාව තිබුණා. 

“නිලන්ත ජයවර්ධන යනු ආරක්ෂක අමාත්‍යවරයා යටතේ තිබෙන දෙපාර්තමේන්තුවක ප්‍රධානියෙක්. ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන මෙම සංවේදී තොරතුරු පිළිබඳව ඔහුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී දැනුවත් කිරීමට හැකියාව තිබුණා. එහෙත් ඔහු එසේ කර නැහැ. ප්‍රහාරය එල්ලවීමට පෙර එළැඹී සිංහල හින්දු අලුත් අවුරුද්ද යෙදී තිබුණු අප්‍රේල් මස 14 වනදා පොලිස්පති ඇතුළු වගඋත්තරකරුවන් ජනාධිපතිවරයා හමුවී සුබ පතා ඇති බවද නඩු විභාගයේදී කරුණු ආවරණය වුණා. 

“එම හමුවේදී පවා මෙම සංවේදී තොරතුර ගැන ජනාධිපතිවරයා දැනුවත් කිරීමට හැකියාව තිබුණා. එහෙත් එසේ නොකිරීම බලවත් ගැටළුවක්. ඒ නිසා මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු තමා පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන් බව පවසමින් වගකීමෙන් මිදීමට නිලන්ත ජයවර්ධනට හැකියාවක් නැහැ. ඒ හරහා ඔහු සිය රාජකාරිය පැහැර හැර තිබෙනවා.”යනුවෙන් අගවිනිසුරුවරයා නිලන්ත ජයවර්ධන ගැන දුන් තීන්දුවේ සඳහන් කර සිටියේය. 

හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාගේ වගවීම 

අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටි හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ගේ ක්‍රියාකලාපය පිළිබඳව ද අගවිනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙසේ දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය:

"ප්‍රහාරය පිළිබඳව තමන් වෙත ලැබුණු තොරතුරු පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කිරීම පමණක් හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් සිදුකර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර පිළිබඳව ඔහු පසු විපරමක් කර නැහැ. 2019 වසරේ අප්‍රේල් මස 09 වනදා පැවති ජාතික බුද්ධි සමාලෝචන රැස්වීමටද සිසිර මෙන්ඩිස් සහභාගීවී තිබෙනවා. එහෙත් තමන් සතුව තිබෙන ප්‍රහාරය පිළිබඳ සංවේදී තොරතුරු එම රැස්වීමේදී සාකච්ඡා කිරීමට ඔහු කටයුතු කර නැහැ. 

“එය බරපතළ රාජකාරි පැහැර හැරීමක්. ප්‍රහාරය පිළිබඳව ලැබුණු තොරතුර ජාතික බුද්ධි ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා වෙත දැනුවත් කිරීමට සිසිර මෙන්ඩිස්ට හැකියාව තිබුණා. ඒ වගේම ත්‍රිවිධ හමුදාපතිවරුන් දැනුවත් කිරීමටද හැකියාව තිබුණා. එසේ නොකිරීම තුළින් ඔහුද තම රාජකාරිය බරපතළ ලෙස පැහැර හැර ඇති බව අධිකරණය තීරණය කරනවා,” යනුවෙන් අගවිනිසුරුවරයා කියා සිටියේය. 

සත්පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් දුන් මේ නඩු තීන්දුව විශේෂයෙන් වැදගත් වන්නේ මෙය අවසාන තීන්දුවක් වන නිසාය. මේ පිළිබඳව අභියාචනයක් ඉදිරිපත් කළ නොහැක. මෙහි ඇති සුවිශේෂත්වයක් වන්නේ මෙය අපේ ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ යුක්තිය පසිඳලීමක් ලෙස දැක්විය හැකි වීමය. මෙය අනාගතයට ඉතා හොඳ පූර්වාදර්ශයක් වනු නොඅනුමානය. එසේ ම අනාගත පාලකයන්ට පමණක් නොව බලධාරින්ට ද තමන්ගේ වගකීම් හා වගවීම් ගැන බරපතල ලෙස සිතන්නට මේ තීන්දුව පෙලඹවීමක් කරනු ඇත. 

මෙහිදී සිහිපත් කළ යුතු තවත් කරුණක් තිබේ. එනම් හේමසිරි ප්‍රනාන්දුට සහ පූජිත් ජයසුන්දරට එරෙහිව අධිචෝදනා 850ක් බැගින් එල්ලකර තිබුණු නඩුවක් හිටපු ජනාධිපති ගෝඨාභයගේ නියෝග සහ මැදිහත් වීම මත නීතිපති දෙපාර්තුමේන්තුව විසින් චෝදනා ඉල්ලා අස්කරගැනීම නිසා මීට පෙර කොළඹ මහාධිකරණය විසින් හේමසිරි සහ පූජිත් නිදොස් කොට නිදහස් කිරීමය. 

එසේම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් අපරාධමය නඩුවක් මේ වන විට මහාධිකරණයේ ගොනු කර තිබේ. නිලන්ත ජයවර්ධන එහි චුදිතයෙකු විය යුතු නමුත් ඔහු රජයේ සාක්කිකරුවෙකු ලෙස නම් කර තිබේ. අද ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් නිලන්ත ජයවර්ධන වැරදිකරුවෙකු කර ඇතිවා පමණක් නොව ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ද නියෝග කර තිබේ. එබැවින් මෙම තීන්දුව නිසා එම මහාධිකරණ නඩුවද වෙනත් මගකට යොමු කෙරෙනු ඇත. 

 - පර්සි ජයම‍ාන්න 

  

Post a Comment

0 Comments