HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රියැදුරන්ට එරෙහිව විස්මිත රොබෝලා වැඩට බැහැලා!

පසුගියදා නිව්යෝක් නගරයේ ඌබර් කෑම (UberEats) බෙදෙන මිනිස් රියැදුරන් වැඩි පඩි ඉල්ලා වර්ජනයක් කළා. රියැදුරන්ට තර්ජනයක් එල්ල වෙලා තියෙනවා, රොබෝ රියැදුරන්ගෙන්. ඒ ආයතනය දැන් කෑම බෙදන්න රොබෝ රියැදුරන් යොදා ගන්නටයි, ලෑස්ති වෙන්නෙ. ඌබර් සමාගම දැන් කාට්කන්ස් (Cartken) සමාගම එක්ක හවුලේ කටයුතු කරන්නට යන්නේ ආහාර බෙදන්න රෝද හයේ රොබෝ රියැදුරන් යොදා ගෙනයි. 

දැන් කෑම බෙදන්න රොබෝ රියැදුරන්

ඌබර් මේ වෙනක‍ොටත් රොබෝ රියැදුරන් යොදා ‍ගෙන අත්හදා බැලීමක් කරලා තියෙනවා, ඇමරිකාවේ කැලිෆෝනියාවේ හා මැදපෙරදිග ඩුබායිවල. 

ඌබර් බලාපොරොත්තු වෙනවා, දැනට වැඩි පඩි ඉල්ලා උසාවියේ පවරා ඇති නඩු විභාගයෙන් පසු ආහාර ද්‍රව්‍ය බෙදන්න රොබෝ රියැදුරන් යොදා ගන්න. දැනට ඒ අය ෆ්ලොරිඩාවේ මියාමි නගරයේ තෝරාගත් ආහාර වෙළඳුන්ගෙන් ඇණවුම් කරන ආහාර ගෙනගොස් දෙන්නට රොබෝ රියැදුරන් භාවිතයට ගන්නටත් ලබන වසරේදී ඒ සේවාව අනිත් නගරවලට ව්‍යාප්ත කරන්නත් ඔවුන් අදහස් කර ගෙන සිටිනවා. 

කලින් ගූගල් සමාගමේ සේවය කළ ඉංජිනේරුවන් පිරිසක් විසින් ආරම්භ කර ඇති කාට්කන් සමාගමෙන් තමයි, ඔවුන් රොබෝවන් ලබා ගන්න අදහස් කරලා තියෙන්නෙ. ඒ රොබෝවන්ට රාත්තල් 24ක් බර ආහාර පෙට්ටියක් වුනත් ග‍ෙන යන්න පුලුවන්. 

2022 දෙසැම්බර් 15 වැනිදා තමයි, මේ පිළිබඳ ගිවිසුමකට එළඹුණේ. ඊට දින දෙකකට කලින් මෑන්හැටන් අධිකරණය ඉදිරියේ පැවති නඩු විභාගයක දී ගමන් ගාස්තුවෙන් කොටසක් ගෙවීමට බඳවාගෙන ඇති රියැදුරන්ගේ ඊළඟ සතියේ වැඩි කිරීමට නියමිතව තිබූ වැටුප් වර්ධකය ලබා දීම තාවකාලිකව අත්හිටුවීමට දුන් තීන්දුවකින් පසුවයි. සැතැපුමකට අය කරන ගාස්තුව සියයට 23.93කින් වැඩි කිරීමටත් රියැදුරන්ගෙන් සියයට 25ක කොමිස් මුදලක් අයකිරීමටත් ඌබර් සමාගම තීරණය කර තිබුණා. ඒ නිසා ඌබර් සමාගම හා රියැදුරන් අතර මතභේදයක් නිර්මාණය වුණා. 

ඌබර් සමාගම කෘත්‍රිම බුද්ධිය සහිත මෙවැනි රොබෝ ප්‍රවාහන සේවාවක් 
දැනටමත් ෆ්ලොරිඩා ජනපදයේ මියාමි නගරයේ පවත්වා ගෙන යනවා.

ඒ කෙසේවෙතත් ඌබර් සමාගම දැනටමත් අනාගතය සඳහා රොබෝ රියැදුරන් යෙදවීම ගැන අවධානය යොමු කරලයි තියෙන්නේ. ඌබර් විතරක් නොවෙයි වෙනත් සමාගම් පවා රොබෝ ටැක්සි සේවයට යොදවා ගැනීමට දැනටමත් පටන් අරන්. රොබෝ දූතයන් භාවිතය ගැන සිත යොදවලයි තියෙන්නේ. 

ඌබර් සමාගම පසුගිය මැයි මාසයේ පටන් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්, සැන්දියේගෝ හා මැදපෙරදිග ඩුබායි වැනි නගරවල පිහිටි ශාඛාවල භාණ්ඩ ප්‍රවාහනය සඳහා සර්ව් රොබොටික්ස්වල රොබෝවන්ගේ සේවය භාවිත කරනවා. ‍

දැන් ඔවුන් කාට්කන් ආයතනයේ කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් නිපදවා ඇති කැමරා පද්ධතියක් යොදා ගෙන ස්වයංක්‍රීයව මඟ සොයා ගෙන යන රොබෝ වාහන තම සේවාවන් සඳහා එක් කරගෙන තියෙනවා. මගීන් සමඟ නොගැටී පදික වේදිකාවල මේ රොබෝ ප්‍රවාහකයන් සාර්ථකව සේවය කරන අයුරු විස්මයජනකයි. 

මේ රොබෝලා පැයට සැතැපුම් තුනක වේගයකින් ගමනේ යෙදෙනවා. දැනටමත් මියාමි-ඩේඩ් කවුන්ටියේ ඩේඩ්ලන්ඩ් ප්‍රදේශයේ තමයි, මුලින් ම මේ සේවාව පටන් ගත්තේ. 2023 දී අනිත් නගරවලටත් මේ සේවාවන් ව්‍යාප්ත කිරීමට ඌබර් සමාගම බලාපොරොත්තු වෙනවා. 

කෑම බෙදා හරින සිනාසෙන රොබෝලා 
මියාමි නගරයේ සැරිසරණ අයුරු.

කාට්කන් ආයතනයේ ප්‍රධාන විධායක හා සම-ආරම්භක ක්‍රිස්ටියන් බර්ස්ක් කියන්නේ, “ඌබර් සමාගම හා එක්ව කරන මේ සේවාව නිසා අපට හැකියාව ලැබුණා, කෑම බීම ඇතුළු ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමට සුදුසු කෘත්‍රිම බුද්ධිය ඇති රොබෝවන් නිපදවන්නට. මේ නිසා නගරයේ වාහන තදබදය අඩු කරන්නත්, ප්‍රාදේශීය වෙ‍ළඳුන්ට ඔවුන‍්ගේ බඩු බෙදා හැරීම විධිමත්ව, කඩිනමින් ඉටු කරන්නටත්, වාහනවලින් නඟින දුමාරයෙන් වන පරිසර හානි වළක්වන්නත් ඉඩ සැලසෙනවා. 

මේ රොබෝ සේවාව නිසා ඌබර් සමාගමට සේවකයන්ගේ වෘත්තීය ආරවුල්වලට මුහුණ දීමට ඉදිරියේ දී සිදුවන්නේ නැහැ. මේ රොබෝ සේවකයන් වැඩි පඩි ඉල්ලන්නේ නැහැ. වාහන පහසුකම් ඉල්ලන්නෙත් නැහැ. වාහනයත් සේවකයාත් දෙන්නාම එක්කෙනෙක් වන නිසා. 

කෙසේ වෙතත් මේ රොබෝ සේවාවන් යොදා ගන්නට බලාපොරොත්තු වන්නේ 2023 ජනවාරි 31දා අසන්නට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවෙන් පසු ලැබෙන තීන්දුව අනුවයි. පවතින උද්ධමනය අනුව මිනිස් රියැදුරන්ට තම වියදම් දරා ගැනීම අපහසු නිසයි, ඔවුන් කම්කරු දෙපාර්තමේන්තුවේ සහය ඇතිව නඩු මගට බැස්සේ. 

ඌබර් සමාගම කියන්නේ මිනිත්තුවකට සියයට 7.42ක් හා සැතැපුමකට 23.93ක් වශයෙන් ගෙවීම් වැඩි කළොත් ඔවුන්ට මසකට මිලියන 23ක් වැඩිපුර ගෙවන්න වෙනවා. ඒ නිසා ප්‍රවාහන ගාස්තු සියයට 10කින් වැඩි කිරීමට සිදුවන බවයි. 

රොබෝ රියැදුරු සේවාව සිදුවන අයුරු මේ වීඩියෝවෙන් නරඹන්න! 

කම්කරු කොමසාරිස් ඩේවිඩ් ඩෝ කියන්නේ “බිලියන ගණන් උපයන දැවැන්ත සමාගම් ඔවුන් යටතේ සේවය කරන රියැදුරන්ට උද්ධමනය නිසා ඇතිවන මිල වැඩිවීම්වල සහනයක් වන පරිදි ගෙවීම් නොකොට ඒවා දරාගෙන සේවය කරන්න යැයි කීම අසාධාරණයි. ඒ නිසයි අප රියැදුරන් වෙනුවෙන් නීතියේ සහය පතා ඇත්තේ” කියායි. 

අර්බූදවලට පිළියමක් හැටියට රොබෝ ප්‍රවාහන ක්‍රමයට මාරු වීමට ඌබර් හදන්නේ මේ නිසයි. ඒ සමාගම පිළිගන්නවා සේවකයන්ගේ අසීරුතා ගැන. ඒ නිසා ගෙවීම් වැඩි කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒත් පාරිභෝගිකයන්ටත් සාධාරණ මිලකට සේවා සැපයීම කළයුතු වෙනවා. මේ නිසයි රොබෝ ප්‍රවාහන සේවාවට මාරු වෙන්න ඔවුන් අදහස් කරන්නේ. 

මෙය රොබෝවන් නිසා මිනිස් සේවකයන්ට තර්ජනයක් එල්ලවන අවස්ථාවක් ලෙස සලකන්න පුලුවන්. 

- පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments