HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සුවහසක් දෙනා ගීතයෙන් පිනවූ නිහාල් නෙල්සන් හංස ගීතය ගයයි.

මොරටුව ගායක ගායිකාවන් රැසකට නිජබිම විය. එයින් ලක්දිව මහා ගන්ධර්වයා වූ අමරදේවයන් ප්‍රධානය. සම්භාව්‍ය ගායකයන්ගේ ඉහළම තැන වැජඹුණේ අමරදේවය. ඔහු අසමසමය. එවැනිම තවත් අසමසමයෙක් මොරටුවෙන් මතු වුණේය. ඒ, නිහාල් නෙල්සන්ය. මා මේ හදන්නේ ඔහු අමරදේව හා සසඳන්නට නොවේ. අමරදේව එක අන්තයක ඉහළ ම තලයේ සිටින්නෙකි. එතැනට ළඟා විය හැකි අයෙකු තවමත් පහළ වී නැත. නිහාල් නෙල්සන් අනිත් අන්තයේ ඉහළම තැනක වැජඹෙන්නෙකි. සකල ලක්දිව ජනතාව පිනවූ ගායකයෙකි. ඒ අතින් ඔහු වාර්තා ගණනාවක් තබා ඇත්තෙකි. 

නිහාල් නෙල්සන්

වසර 60ක් ම ගීත ලෝකයේ කරලියේ සිටි ඔහු 2022 දෙසැම්බර් 13 වැනිදා හෘදයාබාධයකින් නිවසේ දී මිය යන විට 76 හැවිරිදි වියේ පසු විය. ප්‍රසංග වේදිකාවේ අංක එකේ ගායකයා වූයේ ඔහුය. ඒ බව දිවංගත කරුණාරත්න අබේසේකරයන් මීට වසර 60ක පමණ පෙර ලංකා ගුවන්විදුලියෙන් ‍තරුණ නිහාල්ගේ මුල්ම ගීතය වූ ‘ලස්සනට පිපුණු වනමල්’ හඳුන්වා දෙමින් ඒ ගැන මෙසේ අනාවැකියක් කීවේය. “මම අද ඔබට ගෙනාව මල් වෙඩිල්ලක්. මල් වෙඩි ලස්සනට පුපුරලා බලන අයට චමත්කාරයක් පෙන්නලා බිමට විසිවෙලා යනවා. මම අද ගෙනාව මල් වෙඩිල්ල කවදාවත් බිම වැටෙන්නේ නැහැ” එදා කරුණාරත්න අබේසේකරයන් කතාව අදටත් වලංගුය නිහාල් ඔහුගේ ජනප්‍රියත්වය මියයනතුරුම රැක ගත්තා පමණක් නොව මතුද ඒ ගීතවල ජනප්‍රියත්වය අපේ නැඟී එන ගායක ගායිකාවන් තම හැකියාවන් පෙන්වීමට තරඟවලදි ගායනා කිරීමෙන් ම පෙනේ. 

1962 වර්ෂයේ දී, එවකට 16 වියේ පසු වූ නිහාල් තමාම ලියා තනුවක් යොදාගත් ගීතයක්, මොරටුවේ ලක්ෂපතියේ යුවළකගේ විවාහ මංගල්‍යයේ දෙවන ගමන වෙනුවෙන් පැවති උත්සවයකදී ගායනා කරමින් තම සිහිනය සෑබෑ කර ගන්නට මඟ පාදා ගත්තේය. එම උත්සවයේ සංගීතය මෙහෙය වූ, ඒ.ජේ. කරීම් සංගීතවේදියා මේ ගැටවරයාගේ හැකියාව ගැන පැහැදී, ප්‍රවීණ සංගීතවේදි ආර්. ඒ. චන්ද්‍රසේනට ඔහුව හඳුන්වා දුන්නේය. ඉන්පසු තමාම රචනා කළ ගීයක් මිතුරකු වූ සරත් මුණසිංහ ලවා සංස්කරණය කරවා ගත්තේය. ඒ ගීතය ආර්. ඒ. චන්ද්‍රසේන සංගීතඥයාගේ සංගීතයෙන් හැඩ ගන්වා, 1963 වර්ෂයේ පෙබරවාරියේ දිනයක කොල්ලුපිටිය සරසවි චිත්‍රාගාරයේදී, මර්වින් රුද්‍රිගු අතින් පටිගත කෙරිණ. එම ගීතය 'ලස්සනට පිපුණු වන මල්' නම් විය. එහි සංගීතය සැපයූ කණ්ඩායමට එවකට වයලින වාදකයකු ලෙස වික්ටර් රත්නායක ද සහභාගි විය. 

1963 මාර්තු 31 දා ඔහුගේ මුල්ම ගීතය ගුවන්විදුලියෙන් ප්‍රචාරය වීමත් සමග ඔහුට මහනුවර ‘කැන්ඩි ලේක් ක්ලබ්’හී ගී ගයන්නට අවස්ථාව ලැබුණේය. ඒ, එඩී ජයමාන්න, රුක්මණී දේවි, මොහිදීන් බෙග්, සී.ටී. ප්‍රනාන්දු වැනි ප්‍රවීණයන් සමඟය. එක ගීයකට ලැබුණේ රුපියල් 5කි. පසුව එය 20ක් දක්වා වැඩි කිරීමට ඔහු ගැන පැහැදුණු එහි ලේක් ක්ලබ් අයිතිකරු බාලසූරිය පියවර ගත්තේය. නිහාල් එහි ගී ගයන්නට නුවර බස්රියෙනි. 

ශ්‍රී ලංකාවේ මුල්ම කැසට් පටයේ හා මුල්ම සී ඩී. පටයේ සිට මේ දක්වා ඔහු ගීත ඇල්බම් 113ක් නිකුත් කර ඇත. ඒ වාර්තා කවුරුත් මෙතෙක් බිඳ දමා නැත; බිඳ දමන්නේ නැත. ගායන ශිල්පියෙකු, ගීත රචකයෙකු සහ තනු නිර්මාපකයෙකු පමණක් ප්‍රාසාංගික ශිල්පියකු ද වූ නිහාල් නෙල්සන් ශ්‍රී ලංකාවේ ප්‍රසාංගික වේදිකාවේ ලොකුම පෙරළිකාරයා විය. අඩ සියවසක් තිස්සේ ලං‍කාවේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව තෙක් සෑම ප්‍රසංග වේදිකාවකම ගී ගැයුවේය. ඔහු ගී නොගැයූ නගරයක්, ගම්මානයක් නොවීය. ඔහු සිය අතට පත් මයික්‍රෝෆෝනය එහාට මෙහාට දඟකවමින් ගීත ගායනා කරන හැටි සිත්ගන්නාසුලු විය. ඔහුගේ ගීත ජනප්‍රිය වර්ගයට අයත් වුවත් ඒවායින් සමාජ පණිවිඩ සරලව ඉදිරිපත් කර ජනතාව අතරට හොඳින් සන්නිවේදනය කරන්නට සමත් විය. සංගීත ලෝකය ජය ගත්තේ බොහෝ විට ඔහුගේම සංගීත නිර්මාණ හරහාය. 

1946 ජනවාරි 6 වැනිදා මොරටුවේදී පවුලේ එකම දරුවා ලෙස නිහාල් නෙල්සන් උපන්නේය. ඔහුගේ පියා ජී.ඩී. හෙන්ද්‍රික් නම් ව්‍යාපාරිකයෙකි. මව හේමා වීරවර්ධන ඉංග්‍රීසි ගුරුවරියකි. ඔහු මුලින්ම පාසල් ගියේ ඉනොසන්ට් මරියා මිශ්‍ර පාසල (වර්තමානයේ රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලය) ටය. 8 ශ්‍රේණිය සමත්වීමෙන් පසු ඔහු මොරටු මහා විද්‍යාලයට ඇතුළත් විය. එහිදී ඔහු 1960 දී උසස් පෙළ සම්පූර්ණ කළේය. එහිදී ඔහුගේ වැඩි අවධානයක් යොමු වුණේ සංගීතයටයි. ඔහු තමන්ම නිර්මාණය කළ ගීත පාසල් වේදිකාවේ ගැයුවේය. නිහාල් නෙල්සන් ගායකයෙකු ලෙස පාසල් වේදිකාවේ මෙන්ම මොරටුවේද ඉතා ජනප්‍රිය විය. 

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන්විදුලියෙන් උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසුව අනිවාර්යයෙන් ම ප්‍රචාරය විය යුතු යැයි නම් කළ එකම ගීතය නිහාල් නෙල්සන්ගේය. ඒ ‘කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ එපා එපා මස් කන්ට කිරි අම්මාගේ’ යන ගීතයයි. එහි රචනය මුල් කාලයේ ඔහුගේ බොහෝ ගීත රචනා කළ මිතුරකු වූ සරත් මුණසිංහ අද මීගහවෙල සුමනශාන්ත හිමි ලෙස පැවිදි දිවියට ඇතුළත් ව සිටියි. 

ඔහුගේ ගී අතරින් ඔහුගේ මව්ගුණ ගීතය වූ ‘කරුණා සුවඳ තවරා ලූ’ ගීතවත් ඊට හාත්පසින් වෙනස් ගීතයක් වූ ‘මේක ගුණේ අයියගේ බජව් දාන කාමරේ’ යන ගී අතිශය ජනප්‍රිය විය. ‘සල්ලි මිටි ගණන්’, ‘පත්තරවල විස්තර’, ‘රෝස මලකුයි නෙළුම් මලකුයි’, ‘අම්මා නැති කාලේ’ , ‘ලස්සනට පිපුණ වන මල්’, ‘කිරි දුන්නේ දරුවන්ටයි’ වැනි ගීත ඔහු ගැයූ 5000ක් අතරින් කීපයකි. මේ ගීත නිහාල් නෙල්සන් නමින් යූ ටියුබ් එකෙන් ඇසිය හැකිය. ඔහු විත්‍රපට 25 පසුබිම් ගායනා කර තිබේ. ‘පෙම් කුරුල්ලෝ’, ‘සක්විති සුවය’, ‘ලෝක හොරු’, ‘හරි යනකොට ඔහොම තමා’ ඉන් කීපයකි. 

ඔහුගේ 50 වසරක ගායන දිවිය සමරමින්

2013 මාර්තු මස 15 වන දින ඔහුගේ 50 වසරක ගායන දිවිය සමරමින් "අවුරුදු 50යි, නිහාල් ඇවිත්" ප්‍රසංගයක් මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 2015 දී නෙල්සන්ට 'මොරටුපුර රත්නවිභූෂණ' සම්මානය පිරිනමන ලදී. 2021 ජනවාරි මාසයේදී ප්‍රවීණ ගායකයාගේ නමින් ඔහුගේ උපන් ගම වන මොරටුව රාවතාවත්තේ තුන්වන පටුමග නම් කර තිබේ. 

පිළියන්දල, සුවාරපොළ අලුත්ගේ ශ්‍රියාලතා මාලිනි පෙරේරා සමඟ 1974 මැයි මස 16 වන දින විවාහ දිවියට ඇතුළත් වන, ඔවුනට තරංග නෙල්සන් නමින් එක් පුතණුවකු විය. 2020 වසරේ ජූලි 01 වන හදිසියේ, නිහාල්ගේ ආදරණීය බිරිඳ දිවියෙන් සමුගත්තාය. එයින් පසුව ඔහුගේ ලෝකය වූයේ, එකම පුතු තරංග සහ පුතුගේ බිරිඳ ගයනිත්, සිඟිති මිනිපිරිය කයිලි අමේලියාත් පමණි. ඔහුගේ දේහය අවසන් ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ තැන්පත් තැබූ අතර අවසන් කටයුතු රාවතාවත්තේ ලුනාව කලපු ක්‍රීඩාංගනයේ දී 16 වැනිදා සිදු කිරීමට නියමිතය.

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments