HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපේ ජාතික පුෂ්පය කුමක් ද? මහනෙල් මල ද? නිල් මහනෙල් මල ද?

අපේ ජාතික පුෂ්පය කුමක් ද? මහනෙල් මල ද? නිල් මහනෙල් මල ද? දම් මහනෙල් මල ද? එක පාට මහනෙල් මල් තියෙනවා. ඒ අතරින් අපට ජාතික පුෂ්පය වශයෙන් තෝරා ගත යුතු මල කුමක් විය යුතු දැයි තීරණය කරන්න අපේ අගමැති තුමා ආයිත් වතාවක් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒක උඩ කාටූන් ශිල්පියකු සිය කාටුන් චරිතයක් මගින් අගමැති තුමාගෙන් පාට ගැන ප්‍රශ්නයක් ඇසුවා. ‘සීයේ සීයගෙ දැන් පාට මොකක්ද ? රතු ද? කහ ද? කොළ ද?’ යන්න ඒ ප්‍රශ්නයයි. දේශපාලනයෙත් තියෙනවා නෙ පක්ෂ පාට බේදයක් ද? 

මේ මල් අතරින් මොන පාට මල ද අපේ ජාතික පුෂ්පය විය යුත්තේ?

ඒ ගැන අගමැතිතුමාට කිසි නිනව්වක් නෑ. එතුමා මානෙල් මලක් බදාගෙන කමිටු දාල ජනතාවට තියෙන ප්‍රශ්න අමතක කරන්න හදනවා කියලා විරුද්ධ පක්ෂයෙ අය කෑ ගහනවා ඇති. එහෙම කියන්නත් හොඳ නෑ. අවුරුදු 36ක් තිස්සේ මානෙල් මලේ පාට වගේ පුංචි ප්‍රශ්නයක් විසඳන්නෙ නැතුව සිටියට එතුමාට ලජ්ජා ඇති. ඒකයි මේ කඩිමුඩියේ කමිටුවක් දාලා මේක ඉවරයක් කරන්න හදන්නෙ. එතුමා නායකත්වය ගත්තු කොට්ඨාස නිර්ණය කමිටුව වගේ නොවී මේ කමිටුව ඉක්මනින් ම මේක විසඳලා දේවි කියලා අපි හිතනවා. ඊට පස්සෙ පුළුවන් නෙ රටේ තියෙන දැවෙන ප්‍රශ්න විසඳන්න. 

ඒ නිසා තමයි මේ නව කමිටුව පත් කෙරුණේ. ඒ කමිටුව ඉදිරියේ මේ ගැන විවිධ අය අදහස් දැක්වුවා. අතීතයේ දෙවතාවක් ම මේ සම්බන්ධයෙන් ගත් වැරදි තීරණ ගැනත් ඊට හේතු සාධක වූ දේත් විවිධ අය ඒ කමිටුව ඉදිරියේ අදහස් දැක්වුවා. 

එහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දීප්ති යකන්දාවල සහ වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල යකන්දාවල යන මහත්ම මහත්මීන් විසින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්‌ ද යන මැයෙන් වසර ගණනාවක් තිස්සේ නොවිසඳුණු හා මතභේදයට තුඩු දී තිබු ගැටලුව පිළිබඳ දීර්ඝ ලෙස විස්තර කරනු ලැබුවා. 

මහාචාර්ය යකන්දාවල ඉදිරිපත් කළ පරිදි මෙරට ජාතික පුෂ්පය ප්‍රකාශයට පත් කරන ලද්දේ 1986 පෙබරවාරි 26 සිටයි. එනම් ජාතික පුෂ්පය නිල් මානෙල් බවට නිල වශයෙන් කැබිනට්‌ පත්‍රිකාවක් මගින් ප්‍රකාශයට පත් කොට තියෙනවා. නමුත් එහි නිල් මානෙල් මල දැක්වීමට යොදා ගෙන ඇත්තේ දම් පැහැති මානෙල් මලක ඡායාරූපයක් බවත්, එය සැබෑ නිල් මානෙල් මල නොවන බවත් මහාචාර්ය යකන්දාවල එහිදී පැහැදිළි කළා. 

එහිදී, මහාචාර්ය දීප්ති යකන්දාවල සඳහන් කළේ මුද්දර කාර්යංශය නිල් මහනෙල් මලෙහි පිංතූරයක්‌ සහිත මුද්දරයක් නිකුත් කර ඇති අතර එහි ඇත්තේ ද සැබෑ මල නොව වැරැදි මලක පිංතූරයක් බවයි. එමෙන්ම පෙළ පොත්වල ඇත්තේ ද වැරදි මලක රූපයක් බවත් පාසල්වල පමණක්‌ නොව ඇතැම් උසස්‌ අධ්‍යාපන ආයතනවල ද උගන්වන්නේ වැරදි මලක රුව පෙන්වමින් බවත් ඇය පෙන්වා දුන්නා. එමෙන්ම, පොත්පත්වල පමණක්‌ නොව ආගමික ස්‌ථාන අසල නිල් මානෙල් ලෙස නම් කොට අළෙවි කෙරෙන්නේ ද සැබෑ නිල් මානෙල් නොවන බව මේ පර්යේෂකයන් දෙපළගේ අදහසයි. එසේම ආගමික ස්‌ථාන අසල නිල් මානෙල් නමින් අලෙවි කෙරෙන්නේ ද සැබෑ නිල් මානෙල් නොවන බව මේ මහාචාර්ය දෙපළ පැහැදිලි කරනවා. 

1986දී ජාතික පුෂ්පය තෝරා ගැනීමේ කමිටුව විසින් සලකා බලන ලද නිර්ණායක වන ස්වදේශිය වීම හා ආවේණික වීම, උපයෝගීතාව, ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම, පෙනුම හා ව්‍යාප්තිය, මෙන්ම අතිරේක නිර්ණායක වන වර්ණය හා ස්වරූපය, ප්‍රතිනිෂ්පාදනය, වෙනත් රටක ජාතික පුෂ්පයක් හෝ වෘක්ෂයක් නොවීම යන සියලු නිර්ණායකයන් සපුරා ඇත්තේ නිල් මානෙල් බවද මහාචාර්යවරයා පැවසුවා. එදා සුදුසු මල තෝරා ගත්තත් ඒ සඳහා තෝරා ගත් මලේ රූපය වැරදි බවයි. 

ඒ අනුව, 1986දී සිදුවූ මේ වරද මහාචාර්යවරයා ඇතුළු පිරිස විසින් 2010 වසරේදී එවකට සිටි ජනාධිපතිවරයාට, පරිසර අමාත්‍යවරයාට, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට, හා ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරියටත් දැනුම්දී තිබෙනවා. එහෙත් එයින් පලක් වී නැහැ. බලධාරී කමිටුවක් මගින් නිවැරදි පින්තූරය තෝරා ගෙන යළිත් එහි නම වෙනස් කළා. ඒ ‘නිල් මානෙල්’ වෙනුවට ‘මානෙල්’ කියායි. ඒ විස්තර යළිත් නව කමිටුව ඉදිරියේ ප්‍රකාශ කෙරුණා. 

පරිසර අමාත්‍යාංශ නිලධාරීන් කියන්නේ නිල් මානෙල් නම මානෙල් ලෙස වෙනස් වූයේ සිංහල භාෂා ප්‍රවීණයකු වන මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතා පළ කළ මතයක් අනුව බවයි. මානෙල් යන්නෙහි අර්ථය වන්නේ ‘උතුම් වූ නිල් පුෂ්පය’ බැවින් ජාතික පුෂ්පයේ සිංහල නාමය ‘මානෙල්’ ලෙස යෙදීම සුදුසු බවට එදා ඔහු යෝජනා කළේ යැයි ඒ නිලධාරීන් වැඩිදුරටත් කියනවා. 

පසුව 2015 දී ජාතික පුෂ්පයේ නිවැරදි ඡායාරූපයක් ඇතුළත් කොට තියෙනවා. නමුත් 2015දී පරිසර අමාත්‍යාංශය විසින් නිවැරදි මලෙහි ඡායාරූපයක් ප්‍රකාශයට පත් කරන අතරම ලංකාවේ ජාතික පුෂ්පයේ සිංහල නාමය ‘මානෙල්’ ලෙසත් ඉංග්‍රීසි නාමය ‘බ්ලූ වෝටර් ලිලී’ සහ දමිළ නාමය ලෙස ‘නීලෝත්පලම්’ වශයෙන් ප්‍රකාශයට පත් කර තියෙනවා. 

2016 වර්ෂයේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ එතෙක් ජාතික පුෂ්පය ලෙස හැඳින්වූ නිල් මානෙල් මල වෙනුවට මානෙල් මල ජාතික පුෂ්පය ලෙස හඳුන්වාදීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇති බව ජාතික ජෛව විවිධත්ව කාර්යාලයේ අධ්‍යක්ෂිකා පද්මා අබේකෝන් සඳහන් කළා. 

එදා විශේෂඥ මණ්ඩලයක් මගින් ජාතික පුෂ්පය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු අධ්‍යයනයකින් අනතුරුව මානෙල් මල ඒ සඳහා යෝජනා වුණා. මානෙල් මල, ප්‍රමාණයෙන් නිල් මානෙල් මලට වඩා ප්‍රමාණයෙන් කුඩායි‍; ළා නිල් සහ සුදු පැහැයෙන් යුක්තයි. නිල් මානෙල් මලට වඩා පෙති ගණනත් අඩුයි. එහි පෙති 9 – 15 අතර ගණනක් ඇති අතර ඒවා පළලින් අඩු දිගැටි හැඩයක් ගන්නවා. කහ පැහැයෙන් යුතු මෙහි රේණු සංඛ්‍යාව ද නිල් මානෙල් මලට වඩා ගණනින් අඩුයි. රවුම් හැඩයක් ගන්නා මානෙල් මලේ පත්‍ර දිදුලන කොළ පැහැයෙන් යුක්තයි. 

මේ වන විට මානෙල් ශාකය ගෙවතු අලංකරණය සඳහා බහුලව වගා කෙරෙනවා. ඊට හේතුව මානෙල් ශාකය වගා කිරීම සීමිත ඉඩ කඩක වගා කළ හැකි නිසයි. නෙළුම්, ඕලූ වගා කරන අකාරයටම මානෙල් ශාකය ද මඩ ආශ්‍රිතව වගා කළ හැකියි. 

මානෙල් ශාකයේ මල් වසර පුරා ම හටගන්නා අතර වියළි කලාපයේ නොගැඹුරු දිය කඩිතිවල, පොකුණු සහ වැව් ආශ්‍රිත ව සුලබ ව දැක ගත හැකියි. ශ්‍රී ලංකාව නිජබිම වුණ ද ශ්‍රී ලංකාවට ආවේණික නොවන එය ඉන්දීය උප මහාද්වීපය, දකුණු ආසියාව, තායිලන්තය, මියන්මාරය සහ ඇෆ්ඝනිස්ථානයේ දී ද දැක ගැනීමට හැකියි. 

මෙහිදි මහාචාර්ය යකන්දාවල මහතා අවධාරණය කරන ලද්දේ ගෝලීයව පිළිගත් ශාක වර්ගිකරණය පිළිබඳ සම්මතයන්ට අනුව, විද්‍යාත්මක නාමය වෙනස් කිරීමට යටත් විය හැකි නමුත් ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන පොදු ජන වහරේ භාවිතා වූ පොදු නම් වෙනස් නොකළ යුතු බවයි. මෙහිදි මහාචාර්ය දෙපළ දක්වා සිටියේ මානෙල් යනු පොදු නාමයක් වන අතර ශ්‍රී ලංකාව තුළ දම් මානෙල්, සුදු මානෙල්, නිල් මානෙල් ආදී මානෙල් වර්ග රාශියක් පවතින නිසා ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් ලෙස නිවැරදී වියයුතු බවයි. 

සීගිරි අප්සරාවක අත නිල් මානෙල් මලක්

ඈත අතීතයේ සිටම නිල් මානෙල් මල අපගේ සංස්කෘතියට සමීපව පැවතුණා. ක්‍රි.ව. 5වැනි සියවසට අයත් කාශ්‍යප රජතුමා විසින් ඉදිකරවන ලද සීගිරියේ ඇති සිතුවම්වල දැක්වෙන සීගිරි අප්සරාවක අත නිල් මානෙල් මලක් දැක ගන්න පුලුවන්. අතීතයේ රාජකීය උත්සවවල දී එය කැපී පෙනුනා. ඒ හැරෙන්නට බුදුරදුන්ගේ පාදයේ ඇති මඟුල් ලකුණුවලින් එකක් ලෙසත් එය සැලකෙනවා. 

විවිධ වර්ණයන්ගෙන් යුත් මානෙල් මල් අතුරින් දම් පැහැයට හුරු මානෙල් විශේෂය ශ්‍රී ලංකාවට ආවේණිකයි. මානෙල්වල අල හා ඇට ඖෂධීය ගුණයෙන් යුතුයි. මානෙල් ඇට ආහාරයට එක් කර ගැනීමෙන් හෘද රෝග ඇති වීමේ අවදානම පාලනය කර ගත හැකියැයි දේශීය වෙදකමෙහි දැක්වෙනවා. එසේ ම මානෙල් මලේ ඇති සංයෝග අක්මාවේ සෛල විනාශ කිරීමේ වේගය අඩුකරන බවත් නවතම සොයා ගැනීමකින් හෙළි වී තියෙනවා. 

දැන් ජාතික පුෂ්පය කුමක් විය යුතුද යන්නට පිළිතුරක් ලෙස කළ යුත්තේ එය නිල් මහනෙල් ලෙස නම් කිරීම කියලයි. ඒත් අපේ මහදැනමුත්තලා මේක තවත් අවුල් කරන්නත් බැරි නැහැ. ඔබ හිතන්නේ කුමක් වේවි ද? 

 - පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments