ලෝකය පිළිබඳ අනාවැකි කියන්නට ඕස්ට්‍රේලියානු හා කැනේඩියානු විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් සුපිරි පරිගණකයක් යොදා ගෙන තියෙනවා. දේශගුණික වෙනස්කම් හේතුවෙන් ඉදිරියේ දී පෘථිවියට සිදුවිය හැකි හානි ගණනය කිරීමෙන් අනාවැකි කිවහැකි ‘අතථ්‍ය පෘථිවිය’ ('virtual Earth') නම් විශේෂාංගයක් ඒ විද්‍යාඥයන් විසින් හඳුන්වා දී තියෙනවා.
එයින් ලැබුණු එක් අනාවැකියක් වන්නේ 2050 වන විට, එනම් තවත් අවුරුදු 27 කින්, ලෝකයේ ඇති සියලුම සතුන් හා ශාකවලින් සියයට 10ක් නැතිවී යනවා. මේ සියවස අවසාන වන විට සියයට 27ක් මිහිමතින් තුරන් වී යනවා. ඒ අනුව 2100 දී ලෝකයේ සමස්ත ජීවීන්ගෙන් සියයට 27 මිහිමතින් අතුගෑවී යන බවයි.
විද්‍යාඥයන් කියන්නේ මෙසේ වන්නේ පමණ ඉක්මවා පෘථිවි සම්පත් පරිභෝජනය, භූමි ප්‍රදේශ එළි පෙහෙළි කිරීම, අධික අස්වැන්න ලබා ගැනීමට කටයුතු කිරීම, දේශගුණික වෙනස්කම්, පරිසර දූෂණය, ජෛව විද්‍යානුකූල ආක්‍රමණ ආදිය නිසා බවයි. මේ පිළිබඳ අධ්‍යයනයක් කළා, යුරෝපා කොමිසමේ විද්‍යාඥයකු වූ ජියෝවන්නි ස්ට්‍රෝනා හා ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හී ෆලින්ර්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කෝරි බ්‍රැඩ්ෂෝ යන විද්වතුන් දෙදෙනා ප්‍රමුඛ විද්‍යාඥ පිරිසක්. මේ පර්යේෂණ අධ්‍යයනය පසුගිය දා කැනඩාවේ පැවති එක්සත් ජාතින්ගේ ජෛව විවිධත්වය පිළිබඳ කොප් 15 සමුළුව පැවති කාලයේ දි ප්‍රකාශයට පත් කෙරුණා. එයින් කියැවෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් හා දේශගුණික වෙනස්කම් නිසා පෘථිවි ග්‍රහයා සිය සය වැනි මහා වඳවීයාමේ ක්‍රියාවලියට ඇතුළුවෙමින් තිබෙන බවයි. විද්‍යාඥයන් කියන්නේ, අන්තර්ජාතික ස්වභාව සංරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට දැනටමත් වඳවීයාමේ තර්ජනයට ලක් වූ ශාක හා සත්ව විශේෂ 42,100ක් එක්වී ඇති බවයි. “අද උපදින දරුවන් වයස 70 ගණන් වනවිට, මේ දහස් ගණනින් සත්ව හා ශාක වඳ වී යනු ඔවුන්ගේම දෑස්වලින් දැක ගත හැකි වේවි. ඉතා කුඩා ඕකිඩ් වර්ගවල පටන්, ඉතා කුඩා කෘමි සතුන් දක්වාත්, අලි ඇතුන් වැනි දැවැන්තයන් මෙන්ම කෝආලා වැනි සතුන් ආදියත් නියත වශයෙන් ම මෙයට ඇතුළත් වේවි.” යැයි මෙහිදී මහාචාර්ය බ්‍රැඩ්ෂෝ අවධාරණය කරනවා.
සුපිරි පරිගණකයක් භාවිත කරමින් ජීවීන් විශේෂ අතර ඇති අන්තර් සම්බන්ධතා අනුව ආහාර දාම 15,000කට අධික ගණනක් යොදා ගෙනයි, මේ පර්යේෂණය සිදු කර ඇත්තේ. කලින් පැවති මෙවැනි පර්යේෂණවල දී බොහෝ විට ජීවීන් විශේෂ අතර ඇති සහජීවන සබඳතා යොදා ගත්තේ නැහැ. ඒත් මේ වතාවේ ඒවාත් සැලකිල්ලට ගත්තා. ඒ නිසා මෙවර අනාවැකි වඩාත් නිවැරදි බවයි, විද්‍යාඥයන් කියන්නේ. සහජීවන සබඳතා නිසා වඳවී යාම් සැලකිල්ලට ගත යුතු වන්නේ දේශගුණික වෙනස්කම් නිසා හෝ ජීවන පරිසරය අහිමි වීම නිසා හෝ ඇතැම් සතුන් වඳ වී යාම නිසා ඔවුන්ගෙන් යැපෙන සතුන්ට ආහාර නැති වීමෙන් ඔවුන් ද වඳ වී යන නිසයි.
“නිකම් සිතා බලන්න, විලෝපික සත්ව වර්ගවලට ගොදුරු වන සතුන් කිසියම් හේතුවක් නිසා වඳ වී යාම නිසා විලෝපිකයන් ද වඳ වී යාමට ඉඩ තියෙනවා” මහාචාර්ය බ්‍රැඩ්ෂෝ කියනවා. “අනික් අතට ගස් උඩ වැවෙන පරපෝෂිත ශාක විශේෂ ඒ ගස් කපා දැමීම නිසා වඳවී යා හැකියි. ඒ වගේ ම දේශගුණයේ උණුසුම වැඩි වීම හේතුවෙන් මල් පරාගණය කරන සතුන් නැති වීම නිසා සමහර ගස් වඳවී යා හැකියි.” ඔහු වැඩිදුරටත් කියනවා.
සහ-වඳ වී යාම් (co-extinctions) ගෝලීය ජෛව විවිධත්වයේ විනාශයට වැඩි හේතුවක් බව දැන් ජගත් විද්‍යාඥයන් පිළිගන්නවා. ඒ නිසයි, ඔවුන් දේශගුණික වෙනස්කම් වැඩි අවධානයක් යොමු කර තියෙන්නේ. මේ ඔවුන්ගේ ‘අතථ්‍ය පෘථිවිය’ අධ්‍යයනයෙන් පෙන්වා දෙනවා, ‘කවුරුන් කාවද ආහාරයට ගන්නේ ද’ කියා පෙන්වා දෙනවා. ඒ සඳහා දේශගුණික හා භූමි භාවිතයේ වෙනස්කම් යොදා ගත්තා අනාගත ප්‍රක්ෂේපයන් නිර්මාණය කරන්න.
ලෝකය පුරාම අපෘෂ්ඨවංශිකයන් වඳ වී යාම වේගවත්ව සිදුවන බවට පැහැදිලි සාක්ෂි තිබුණත් එහිදී කෘමීන් අඩු නොවන සම්පතක් සේ සලකා ඔවුන් කටයුතු කළා.
“ලෝක ගෝලය පුරා සැබැවින්ම වෙසෙන ජීවීන්ගේ දහස්ගණනකගේ ඉරණම කෙබඳු වේදැයි සොයන්නට ප්‍රධාන වශයෙන් ම අප නිර්මාණය කර ගෙන ඇත්තේ අථත්‍ය ලෝකය තුළ බිහිකළ ජීවි ගහණයක්” මහාචාර්ය ස්ට්‍රෝනා කියනවා. “ඒ අනුව අපට ඒවා විවිධ දේශගුණික පසුතලවලට යොදා ගෙන, අනෙක් සාධක සමඟ ඇති වන අන්තර් සබඳතා සැලකිල්ලට ගෙන වඳවී යාමේ රටාවන් ගැන අනාවැකි කියන්න හැකි වේවි.” ඔහු වැඩිදුරටත් කියනවා.
ඔවුන් ලෝකය වෙනස් විය හැකි විවිධ අවස්ථාවන් ගැන, දේශගුණික විපර්යාස පිළිබඳව අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) විසින් මෙතෙක් ප්‍රකාශ කර ඇති, අතරමැදි හරිතාගාර වායු විමෝචන දර්ශකයෙහි පෙන්වා දී ඇති, නිර්ණායකයන් සමග සසඳමින් තමන් ලබා ගත් දත්ත පරීක්ෂාවලට ලක් කළා. ඒ අනුව 2050 දී ලෝකයේ ජෛව විවිධත්වය තවත් සියයට හයකින් අඩු වන බව පර්යේෂකයන් විසින් සොයා ගෙන තිබුණා. ඒ වගේ ම 2100 දී එය තව දුරටත් සියයට 13කින් වැඩි වන බවටත් ඔවුන් නිගමනය කළා.
කෙසේ වෙතත්, මෙහි නරකම තත්වය ලෙස දක්වා ඇති දර්ශකයන්ට වඩා 2050 දී තවත් වැඩිපුර සියයට 10කින් ද, ඒ තත්වය 2100 දී තවත් සියයට 27කින් වැඩි වන බව පෙන්වා දී තියෙනවා. ඒ අනුව මුළු සහ-වඳවී යාම්වල අනුපාතය වඳ වී යාමේ තර්ජනය වැඩි විශේෂවල වඳ වී යාමේ වේගය මෙම සියවස අග වන විට සියයට 184ක අනුපාතයකින් වර්ධනය වන බව දක්වා තියෙනවා.
ඒ අනුව මේ පර්යේෂක කණ්ඩායම පවසා ඇත්තේ මේ තත්වය කලින් පුරෝකථනය කළ තත්වයට වඩා දරුණු විය හැකි බවයි. මෙය ස්වාභාවික ප්‍රජාවන්ට මුහුණ දීමට සිදුවන ඉතාමත් අඳුරු කාලයක් බවත් ඉදිරි දශක කීපය ගෝලීය ජෛව විවිධත්වයේ අනාගතය තීරණය කරන කාලවකවානුව ලෙස කිව හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා. මෙය ලෝකයට එල්ල වන හය වන දරුණු ව්‍යසනය ලෙස ඔවුන් හඳුන්වනවා.
මේ අධ්‍යයනය ‘සයනස් අඩ්වාන්සස්’ (Science Advances) හී පළ කෙරුණේ 2022දී කැනඩාවේ මොන්ට්‍රියල් හී පැවති එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සමුළුව (COP15) වෙනුවෙනුයි.
පෘථිවියේ ඉතිහාසයට අනුව මහා පරිමාණයට ජීවීන් වඳ වී ගිය අවස්ථා පහක් දැනට හඳුනා ගෙන තියෙනවා. විශේෂඥයන් කියන්නේ තවත් මහා ව්‍යසනයක් අත ළඟ ඇති බවයි. දැනට සොයා ගෙන ඇති පරිදි මුල්ම ලෝක වසංගතය සිදු වූයේ වසර මිලියන 540කට ඉහතදියි. ඕඩෝවිශියන් යුගය අවසානයේ දී සිදු වූ එම අවස්ථාවේ දී වැඩිපුර ම ජීවීන් වාසය කළේ සාගරවලයි. ඒ අවස්ථාවේදී ජීවී විශේෂවලින් සියයට 85ක් මිහිමතින් අතු ගෑවී ගියා.
පෘථිවි පරිසරයට විශාල බලපෑමක් සිදු කළ මහා වඳ වී යාම සේ සලකනු ලබන්නේ මීට වසර මිලියන 252කට පෙර ජීවීන් විශේෂවලින් සියයට 97ක්ම සදහටම මිහිමතින් තුරන් කළ පර්මියන් යුගය අවසානයේ දී සිදු වූ මහා විනාශයයි. ඒ වසර මිලියන 400කට පමණ පෙර පැවති ඩවෝනියන් යුගයේ අවසන් භාගයේ දී සිදු වූවක්. ඒවායේ පොසිල හමුවී තියෙනවා.
වසර මිලියන 200කට පමණ ත්‍රියාසික යුගයේ මුල් භාගයේ දී සිදු වූ මහා විනාශයෙන් ඒ යුගයේ ජීවත් වූ යෝධ උභයජීවින් ක්ෂීරපායී අරගයන් මිහිමත රජ කළ අතර ඔවුන් සහමුලින් ම වඳවී ගියා. වසර මිලියන 66කට පෙර ක්‍රීටේසිය යුයේ දී තමයි ඩයිනොසෝරයන් මිහිමතින් තුරන් වී ගියා.
- පර්සි ජයමාන්න
1 Comments
ඇත්තටම මෙවැනි අනාවැකි කියන්නට සුපිරි පරිගණක අවශ්‍ය නෑ. මේක අද සාමාන්‍ය දැනීම බවට පත්වෙලා තියනවා. අවශ්‍ය වන්නේ මේ තත්ත්වය වළකවා ගැනීමට ගතහැකි සාධනීය පියවර ගෝලීය වශයෙන්. ප්‍රධාන ගැටළුව වන්නේ මහබලවතුන් මේවාට සහය නොදැක්වීමයි.
ReplyDelete