බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදීමට කළ විප්ලවකාරී යුද්ධයෙන් පසු නිදහස ලබා ගෙන වසර 80 ක් ගෙවී ගිය පසු, වහල්සේවය හේතුකොට ගෙන ඇමෙරිකා එක්සත් ජනපදය දෙකඩ වුණා. ඇමරිකාව ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබීමෙන් එහි ඇති කර ගත් ව්‍යවස්ථාවෙන් තහවුරු වූ, සියලු දෙනාට ම සමාන අයිතිවාසිකම් ලබා දීමේ අදහස පෙරට ආවා. ඒ අනුව ඇමෙරිකාවේ උතුරේ පිහිටි කර්මාන්තවලින් පිරුණු ධනවත්, වත්පොහොසත්කම්වලින් පිරුණු ජනපද වහල්ක්‍රමය අහෝසි කිරීමට පියවර ගත්තා. එහෙත් තවදුරටත් දකුණේ ජනපදවල පිහිටි වගාවන්ට හා වතුවල සේවයට වහලුන් යොදා ගැනීම අවශ්‍ය යැයි විශ්වාස කළ දකුණේ ජනපද වාසීන් නිසා උතුර දකුණ බෙදී ගියා.
ඒ අතර 1860 වසරේදී ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති ධුරයට පත් වුණා. එතුමා වහල් ක්‍රමය අහෝසි කළ යුතු යැයි හඬක් නැඟූ අයෙක්. ඒ නිසා එතුමා බලයට පත්වීමෙන් පසු වහල් ක්‍රමය සම්පූර්ණයෙන් ම තහනම් කරතැයි බියක් ඇති කර ගත් දකුණේ ජනපදවාසීන් එක්සත් ජනපද සංගමයෙන් හෙවත් ‘යුනියන්’ (Union) සංවිධානයෙන් ඉවත් වී වෙනත් හවුලක් හදා ගත්තා. එය හැඳින්වූයේ ‘ඇමෙරිකා ජනපද එකමුතුව’ හෙවත් ‘කොන්ෆිඩරේට් ස්ටේට්ස් ඔෆ් ඇමෙරිකා’ (Confederate States of America) කියායි. විශාල වගාවන් සඳහා මිනිස් ශ්‍රමය ලබා ගැනීමට ඒ දැවැන්ත වතුයායන්ට ප්‍රශ්නයක් වූ නිසා ගැටලුව විසඳුණේ අප්‍රිකාවෙන් ගෙනා වහලුන් ගෙනුයි. ඒ නිසා වහල් ක්‍රමය අහෝසි කළොත් ඔවුන්ගේ වගා ව්‍යාපාර විනාශ වී යා හැකි යැයි බියක් ඒ ජනපදවාසීන් අතර පැවතුණා. ඒ නිසා ඔවුන් වහල් සේවය අත්‍යවශ්‍ය යයි යන දැඩි මතයේ එල්බගෙන සිටියා.
මෙසේ මතවාදී වෙනස්කම් නිසා සතුරන් වූ ‘කන්ෆිඩරේට්’ සහ ‘යූනියන්’ සංවිධානවලට අයත් හමුදා අතරේ 1861 වසරේ දී සිවිල් යුද්ධයක් හට ගත්තා. එය සිවු වසරක් තිස්සේ පැවැතුණා. ආරම්භයේ දී දෙපැත්ත අතර කරට කර සටන් පැවැතුණ ද කල්යාමේ දී ‘කන්ෆිඩරේට්’ බලය බිඳ දැමීමට ‘යූනියන්’ හමුදා සමත් වුණා. අවසානයේදී ‘යූනියන්’ ජනපද ජයගත් අතර ‘කන්ෆිඩරේට්’ ජනපදවලට පරාජය බාර ගැනීමට සිදු වුණා. ඉන්පසු දෙපාර්ශ්වයේ ම ජනපද එක් වී, ඇමෙරිකා එක්සත් ජනපදය යළිත් ශක්තිමත් කර ගත හැකි වුණා. වහල්ක්‍රමය සම්පූර්ණයෙන් ම තුරන් කෙරුණේ ඉන්පසුවයි.
නව ජාතිය භේදභින්න කළ, වහල් සේවය අහෝසි කිරිම මත ඇති වූ ඒ ඇමරිකන් සිවිල් යුද්ධයට අදාළ කරුණු කීපයක් කෙටියෙන් පහත දැක්වේ.
ලෝකයේ පළමු නවීන යුද්ධය
ඇමරිකන් සිවිල් යුද්ධය ‘ප්‍රථම නූතන යුද්ධය’ (First Modern War) ලෙස සැලකෙනවා. නව සොයා ගැනීම් රැසක්, මේ යුද්ධයට දායක වුණා. ප්‍රථම වරට යුද බිමට සොල්දාදුවන් සහ අවශ්‍ය බඩුබාහිරාදිය ප්‍රවාහනය සඳහා රේල්ලුව යොදා ගනු ලැබුවා. ආරක්ෂාව සඳහා නැව් බඳට යකඩ තහඩු යොදා තනා ගත් නැව් පළමු වරට යුද්ධයකදී භාවිතයට ගැනුණා. එසේ ම හමුදා අණ දෙන නිලධාරීන් අතර පණිවුඩ හුවමාරුවට ටෙලිග්‍රාෆ් පණිවුඩ ක්‍රමය යොදා ගත්තා. යුද බිමේ සිදුවන දේ ඡායාරූප ලෙසින් පුවත්පත්වල තරගකාරීව පළ කරනු ලැබුවා. ලොව පළමු වරට යුද පුවත් වාර්තාකරණය සිදු කෙරුණේ ද මේ යුද්ධයෙන් තමයි.
භේදභින්න වුණු ජාතිය
එක්සත්ව සිටි නව ඇමරිකන් ජාතිය තුළ බෙදීමක් ඇති වූයේ මේ වහල් ක්‍රමය නිසයි. වහල් ක්‍රමය පවත්වාගෙන යාමට දැඩිව කැමැත්ත පළ කළ දකුණේ ජනපද 11 ක් ‘යූනියන්’ ජනපද සමූහයෙන් කැඩී යමින්, තමන් ‘කොන්‍ෆිඩරේට්’ නමින් ස්වාධීන ප්‍රාන්ත ලෙස කටයුතු කරන බව ප්‍රකාශයට පත් කළා. ඒ සමග ම වහල් ක්‍රමය පැවති ජනපද 4 ක් ‘යූනියන්’ ජනපද සමූහය අත් නොහැර දිගටම එක්ව කටයුතු කිරීමට එකඟ වුණා. බටහිර වර්ජීනියා ජනපදය ‘කොන්‍ෆිඩරේට්’ සන්ධානයෙන් වෙන් වී ‘යූනියන්’ ජනපද සමූහය සමඟ එක් වුණා. ඉන්පසු ප්‍රතිවාදී දෙපිලේ හමුදා දෙපසට බෙදී යුද්ධ කරන්න පටන් ගත්තා. මේ සිවිල් යුද්ධයට මිලියන තුනකට වැඩි පිරිසක් එක් වුණා. ඉන් බහුතරය වූයේ පාබල හමුදාවයි.
ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්
ඒබ්‍රහම් ලින්කන් උපන්නේ 1809 වසරේදී කෙන්ටකි ජනපදයේදියි. වෘත්තියෙන් නීතීඥයකු වූ ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවට 1834 වසරේදී තේරී පත්වුණා. 1860 දී ජනාධිපති ධුරයට පත්වුණා. ඉන්පසු ඇති වූ සිවිල් යුද්ධයේදී, ‘යූනියන්’ හමුදාව ජයග්‍රහණය කරා මෙහෙය වීමට ඔහු සමත් වුණා. 1865 දී ඔහු වහල් සේවය සහමුලින්ම තහනම් කරන නීති සම්මත කර ගන්නට සමත් වුණා. අවසානයේ 1865 වසරේදී ම ලින්කන් ඝාතනයට ලක් වුණා.
මෙරිමැක් හා මොනිටර් නැව් අතර ගැටුම
1862 මාර්තු 9 වැනිදා ප්‍රථමවරට බඳ යකඩින් තැනූ නැව් දෙකක් අතර සටනක් ඇති වුණා. එකක් කොන්ෆිඩරේට් හමුදාවට අයත් මෙරිමැක්. එය පසුව වර්ජිනියා ලෙස නම් කරනු ලැබුවා. අනෙක යුනියන් හමුදාවට අයත් මොනිටර් ය. මේ සටන ජයපරාජයෙන් තොර එකක් වුවත් මෙය වැදගත් වන්නේ යකඩින් තැනූ යුද නැව් දෙකක් ලොව පළමු වතාවට එකට ගැටුණු අවස්ථාව වීම නිසයි.
ලින්කන්ගේ ගෙටිස්බර්ග් දේශනය
ලින්කන්ගේ හරබර, ආකර්ෂණීය දේශන යුද ජයග්‍රහණයට රුකුලක් වුණා. 1863 දී ගෙටිස්බර්ග් යුද පිටියෙහි රණවිරුවන් සඳහා සුසාන භූමියක් කැප කරමින් ඔහු කළ දේශනය එයින් එකක්. එහි දී, “මේ රණවිරුවන් දිවි දුන්නේ නිෂ්ඵල අරමුණකින් නොවෙයි. ඔවුන් නිසා දේවාශිර්වාදයෙන් අපට නව නිදහසක් උදා වුණා. ඒ අනුව ‘ජනතාව වෙනුවෙන්, ජනතාව විසින් පිහිටුවා ගන්නා ලද ජනතාවගේ ආණ්ඩුව’ යන සංකල්පය කිසිදාක මිහිමතින් තුරන් නොවනු ඇත.” කියමින් එදා ලින්කන් පැවසූ වදන් අද ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය විග්‍රහ කිරීමට භාවිත කරන රුවන් වැකියක් බවට පත් වී තියෙනවා.
අපොමැටොක්ස්හිදී යටත් වීම
1865 අප්‍රේල් 9 වැනිදා වර්ජීනියාවේ ඇපොමැටොක්ස්හිදී කොන්ෆිඩරේට් හමුදා ජනරාල් රොබට් ඊ. ලී යුනියන් හමුදා ජනරාල් යුලිසිස් එස්. ග්‍රාන්ට් ඉදිරියේ යටත් වුණා. මෙසේ අවසන් වූ සිවු අවුරුදු යුද්ධය නිසා ඇමරිකානුවන් 600,000ක් දෙනා මියගියා; ඊට වඩා විශාල පිරිසක් තුවාල ලැබුවා.
ඇමරිකන් සිවිල් යුද්ධය පියවරෙන් පියවර
1861 අප්‍රේල් - ජනපද 11ක් යුනියන් සමූහයෙන් වෙන් වී ගොස් ‘කොන්‍ෆිඩරේට්’ නමින් පිහිටුවා ගත් පාර්ශ්වයේ හමුදා භට පිරිසක්, යුනියන් ජනපද සමූහයට අයත් දකුණු කැරොලිනාවේ පිහිටි සම්ටර් ආරක්ෂක බලකොටුවට ප්‍රහාරයක් එල්ල කළා.
1861 - ජැක්සන් හා බියුරෙගාඩ් යන ජනරාල්වරුන්ගේ ‘කොන්‍ෆිඩරේට්’ හමුදාව වොෂිංටන් අසල බුල් රන්හිදී පැවති ප්‍රධාන සටනෙන් යුනියන් හමුදා පරදා ජය අත්පත් කර ගත්තා. 1862 - ‘කොන්‍ෆිඩරේට්’ දින හතක් තිස්සේ, වර්ජිනියාවේ රිච්මන්ඩ් හා ෆ්‍රෙඩ්‍ර්ක්ස්බර්ග් ආදි තැන්වල පැවති යුද්ධවලින් ජය අත් කර ගත්තා.
1863 - යුනියන් හමුදා ගෙටිස්බර්ග්හිදී පැවති ප්‍රථම මහ සටන ජය ගත්තා; වහල් භාවය අහෝසි කිරීමේ ප්‍රකාශනය අනුව ‘කොන්‍ෆිඩරේට්’ ජනපදවල සේවය කළ වහලුන් වහල්භාවයෙන් නිදහස් කරනු ලැබුවා.
1864 - යුලිසිස් එස්. ග්‍රාන්ට් යුනියන් හමුදා නායකත්වයට පත් වුණා.
1864 - ජනරල් ෂර්මන්ගේ යුනියන් හමුදාව ජෝර්ජියාව හරහා ගොස් ඇට්ලැන්ටා අත්පත් කර ගත්තා; ‘කොන්‍ෆිඩරේට්’ හමුදා දුර්වල වුණා.
1865 අප්‍රේල් - වර්ජීනියාවේ ඇපොමැටොක්ස්හිදී ‘කොන්‍ෆිඩරේට්’ හමුදාව යටත් වුණා. 1865 මැයි - අවසාන ‘කොන්‍ෆිඩරේට්’ හමුදාවත් යටත් වුණා.
1865 දෙසැම්බර් - 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇමරිකන් එක්සත් ජනපදය තුළ වහල් ක්‍රමය මුළුමනින් ම තහනම් කරනු ලබයි.
- ලුසිත ජයමාන්න
History.com ඇසුරිනි
0 Comments