HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විප්ලවයකින් ඇමරිකා එක්සත් ජනපදය බිහිවුණු හැටි!

1783 වසරේ දී ලෝකයට අලුත් රාජ්‍යයක් බිහිවුණා; ඒ සමඟම අලුත් ජාතියක්ද බිහිවුණා. මේ නව ජාතියේ ඉතිහාසය අවුරුදු 246කට වඩා නැහැ. මේ අලුත් රාජ්‍යය, අනෙකක් නොව ලොව බලවත්ම රාජ්‍යය ලෙස දැන් සලකනු ලබන ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයයි. ඇමෙරිකා එක්සත් ජනපදය (කෙටියෙන් ‘ඇමෙරිකාව’) බිහිවූයේ නිදහස් අරගලයක ප්‍රතිඵලයක් ලෙසයි. මෙම නිදහස් අරගලය ‘ඇමෙරිකන් විප්ලවය’ කියා ද හැඳින්වෙනවා.

ඇමරිකා නිදහස් සටන සිත්තරකුගේ ඇසින්

ඇමෙරිකන් විප්ලවය ආරම්භ වූයේ 1775 වසරේදීයි. ඒ, ඇමෙරිකන් කොලනි (ජනපද) 13 ක් එක්ව තමන්ව දුර සිට පාලනය කළ බ්‍රිතාන්‍ය රජයට එරෙහිව යුද වැදීමත් සමඟයි. ලොව පුරා රටවල් අල්ලාගෙන, ‘හිරු නොබසින අධිරාජ්‍යය’ ලෙස යටත්විජිත පවත්වා ගෙන ගිය මහා බ්‍රිතාන්‍යය උතුරු ඇමරිකා මහාද්වීපයට සිය ජනතාව යවා එහි ඉංග්‍රීසි ජනාවාස ඇති කොට ඒවායේත් පාලනය ගෙනි ගියේත් සිය යටත් විජිත ලෙසයි. ඒවා පාලනය කළේ බ්‍රිතාන්‍යය රජය විසින් පත් කළ ආණ්ඩුකාරවරුන් පිරිසක්. ජනපදවාසීන්ගේ ආරක්ෂාව සඳහා යැයි කියා ඉංග්‍රීසි හමුදා ද එ් ජනාවාසවල නවත්වනු ලැබුවා. 

මේ ආණ්ඩුකාරවරුන් ප්‍රධාන වශයෙන් කළේ සිය මව්රට වූ බ්‍රිතාන්‍යය වෙනුවෙන් බදු එකතු කිරීමයි. ඒ බදු ප්‍රමාණයන් තීරණය කළේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවයි. ජනපදවැසියන් බ්‍රිතාන්‍ය ජාතිකයන් වුවද ඔවුන්ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත් කිරීමට ඡන්ද බලය තිබුණේ නෑ. ඒ නිසා තමන්ට වෙනුවෙන් බ්‍රිතාන්‍ය මැති සබයෙහි හඬක් නඟන්නට ඔවුන්ට ඉඩක් තිබුණේ නෑ. එ නිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තීරණය අනුව ආණ්ඩුකාරවරයා මගින් පැන වූ බදු කලින් ඉවසා සිටි ඔවුන් පසුව බදු මිල වැඩියෙන් ඉහළ දැමීමත් සමඟ විරෝධය පළ කරන්නට පටන් ගත්තා. 

මේ ජනපදවාසීන් ඉංග්‍රීසි ජාතිකයන් වුවද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තේරීමේදී ඔවුන්ට ඡන්දය දුන්නේ නැහැ. ඔවුන්ට ඔවුන්ගේ ගැටලු කියා පාන්නට ක්‍රමයක් තිබුණේ නෑ. ඒ නිසා ඔවුන් ඇමෙරිකාවේ සිට ඒ ඉහළ බදුවලට විරෝධය පළ කළා. එ් විරෝධය මුලින් උද්ඝෝෂණවලටත් පසුව නව ජන අරගලයක් බවටත් පත් වුණා. 

17 වන සියවස ආරම්භයේ දී ඇමරිකාව තුළ ජනපද පිහිටුවන්නට ආ රටවල් අතරින් ප්‍රංශය හා ස්පාඤ්ඤය යන රටවලින් ආ වැසියන් පිහිටවූ ජනපදවල වැසියනට බ්‍රිතාන්‍ය බදු ක්‍රමය බලපෑවේ නෑ. ඒ නිසා ඔවුන් මේ අරගලයට එක් වූයේ නෑ. ඍජුවම මේ අරගලයට එක්වූයේ ඉංග්‍රීසි ජනාවාස 13 ක වැසියන් විතරයි. 

මුලින් ම මේ ජනාවාස වැසියන් එක්ව බ්‍රිතාන්‍ය රජය සමඟ සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් ‘මහද්වීපික කොංග්‍රසය’ (Continental Congress) නමින් එකමුතුවක් ඇති කර ගත්තා. ඊට ජනාවාස දහතුනෙහිම නියෝජිතයන් සහභාගි වුණා. එහෙත් බ්‍රිතාන්‍ය රජයේ දරදඬු ප්‍රතිපත්ති නිසා ඒ සාකච්ඡා අසාර්ථක වුණා. එතැන්සිට ජනපදවාසී ඉංග්‍රීසීන් මව්බිමේ ඉංග්‍රීසීන්ට වඩා වෙනස් විධියට හිතන්න පටන් ගත්තා. අනතුරුව බදු බරෙන් නිදහස් වෙන්නට ඇරඹූ අරගලය බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස දිනා ගැනීමේ සටනක් දක්වා දුරදිග ගියා. 

ජෝර්ජ් වොෂින්ටන්

නිදහස වෙනුවෙන් අරගල කළ ජනපද වැසියන්ට එරෙහිව බ්‍රිතාන්‍යය යුද්ධ ප්‍රකාශ කළා. නිදහස් සංකල්පවලින් පන්නරය ලබා සිටි ඇමෙරිකන් ජනපදවාසීන්, 1776 වසරේදී, නිදහස ඒක පාක්ෂිකව ප්‍රකාශයට පත් කළා. 1781 වසරේ දී බ්‍රිතාන්‍ය රජයට පරාජය පිළිගන්නට සිදු වුණා. ඉන් වසර දෙකකට පසු එනම් 1783 දී නව රාජ්‍යයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සිතියමට එක් වුණා. එදා ආරම්භයේ දී මේ ඇමෙරිකා එක්සත් ජනපදයට තිබුණේ ජනපද 13ක් විතරයි. 

අද ඇමරිකාවේ සිතියම දකින ඕනෑම කෙනෙකුට පැහැදිලිව පෙනී යන දෙයක් වන්නේ ලෝකයේ හැම රටකම නගරවල හා ගම්මානවල නම් එහි තිබීමයි. අලුත් බිමකට විත් පදිංචි වන විට ඊට නමක් ගමක්, අනන්‍යතාවක් අවශ්‍ය වුණා. ඒ නිසා බොහෝ විට ජනපදවල පදිංචියට ආ මුල් වැසියන් තමන් පැමිණි ප්‍රදේශයේ නම ඉදිරියෙන් ‘නව’ යන්න යොදා ඒ අලුත් ගම හෝ නගරය හෝ නම් කළා. ඊට පස්සෙ ඔවුන් තමන් පැමිණි රටේ අනන්‍යතාව අමතක කොට සියලු දෙනාම ‘ඇමරිකන්’ වුණා. අපේ පැරණි නම වූ ‘සිලෝන්’ (Ceylon) යන්න යෙදූ නගර 10කට වැඩිය ඇමරිකාව පුරා තිබෙනවා. එත් ඒ මේ අපේ ලංකාවෙන් ගිය අය නිසා නොවෙයි, ලංකාවේ තේවල රස නිසා නම් තැබීමේ දී එකවරම ඔවුන්ට ඒ නම මතකයට ආ නිසයි. ඒ ගම් සියල්ලට ම ගිය ශ්‍රී ලාංකික විද්වතකු වූ කාවන් රත්නතුංග ඒ ගැන පසු කලෙක මෙරට ටයිම්ස් ඉංග්‍රීසි පුවත්පතට ලිපියක් ලියමින් ඒ ගැන සඳහන් කර තිබුණා. 

ජෝර්ජ් වොෂින්ටන් සටන් බිමේ දී (චිත්‍රයක්)

නව ජාතියක් බිහි කළ, ඉංග්‍රීසි ජනපද 13ක් ආරම්භ ,කළ ඒ ඇමරිකන් විප්ලවයට අදාළ වැදගත් කරුණු කීපයක් කෙටියෙන් පහත දැක්වෙනවා. 

මුල්ම විරෝධය - බොස්ටන් ටී පාටි 

ඇමෙරිකාවේ සිටි ඉංග්‍රීසි ජනපදවාසීන් ඔවුන්ගේ පොදු කටයුතුවලට අවශ්‍ය වියදම් සඳහා ආදායම් ලබා ගැනීමට ඔවුන්ගේ ම බදු ක්‍රමයක් පවත්වා ගෙන ගියා. ඒත් 1765 වසරේ දී බ්‍රිතාන්‍ය රජය ඒ ජනපදවලට මුද්දර බද්දක් හඳුන්වා දුන්නා. ඒ, ඔප්පු තිරප්පු සැකසීම හා දිවුරුම් පෙත්සම් වැනි නීතිමය ලියවිලිවලට අදාළවයි. මෙයට ජනපදවාසීන් දැඩිව විරෝධය පෑවා. ඔවුන්ගේ කෝපයට හේතු වුණේ ඔවුන්ගේ නියෝජනයක් නැති පාර්ලිමේන්තුවකින් ඔවුන් වෙනුවෙන් එවැනි තීන්දුවක් ගැනීම ගැනයි. ඔවුන් එය දුෂ්ට ක්‍රියාවක් ලෙසයි සැලකුවේ. ඒ නිසා ඔවුන් බ්‍රිතාන්‍ය භාණ්ඩ මිලදී ගැනීම වර්ජනය කළා. ඒ විරෝධය කෙමෙන් ඇවිළී ගියා. 

බ්‍රිතාන්‍යය ඒ මුද්දර බද්ද අකුළා ගත්තා. එහෙත් තේ සහ වීදුරු සම්බන්ධයෙන් පැනවූ බදු තවදුරටත් පවත්වා ගෙන ගියා. එක් රාත්‍රියක රහසේ ම විරෝධතාකරුවන් කණ්ඩායම් තුනක් ‘මොහෝක්’ රතු ඉන්දියානුවන් මෙන් වෙස්වළා ගෙන අවුත් බොස්ටන් වරායේ නැංගුරම්ලා තිබුණු බ්‍රිතාන්‍ය පෙරදිග සමාගමට අයත් තේ ප්‍රවාහන නැව්වලට ගොඩවී, එහි වූ තේ කොළ අඩංගු පෙට්ටි සියල්ල මූදට විසි කර දැම්මා. එයින් බ්‍රිතාන්‍ය පෙරදිග සමාගමට වූ අලාභය වර්තමාන මුදලින් නම් ඩොලර් මිලියනයකට වැඩියි. බොස්ටන් ටී පාටි (Boston Tea Party) යනුවෙන් හැඳින්වෙන්නේ මෙම විරෝධයයි. 

පෙට්ටි සියල්ල මූදට විසි කළ බොස්ටන් ටී පාටිය

ලෙක්සින්ටන් හා කොන්කෝඩ් අතර සිදු වූ ප්‍රථම සටන 

ඇමරිකන් විප්ලවයේ ප්‍රථම සටන ඇති වූයේ 1775 අප්‍රේල් මාසයේ දීයි. එය බ්‍රිත‍ාන්‍ය හමුදා සහ ඇමරිකන් දේශප්‍රේමීන් අතර මුහුණට මුහුණලා කළ සටනක් වුණා. ලෙක්සින්ටන් හා කොන්කෝඩ් අසල සිදු වූ ඒ සටන්වලදී ඇමෙරිකන් දේශප්‍රේමීන් නිර්භීතව සටන් වැදුණු බැවින්, බ්‍රිතාන්‍ය හමුදාවට ලෙක්සින්ටන්වලට පසුබැසීමට සිදුවුණා. එතැනින් පලා ගිය ඔවුන් ආපසු බොස්ටන්වලට ගියේ දේශප්‍රේමීන්ගේ අඛණ්ඩ වෙඩි වරුසා මැදයි. 

පෝල් රිවියර්ගේ වීරකම 

ඇමරිකන් නිදහස් සටනේ වීරයකු ලෙස සැලකෙන පෝල් රිවියර් (1735-1818) බ්‍රිතාන්‍ය විරෝධී ‘සන්ස් ඔෆ් ලිබර්ටි’ Sons of Liberty (නිදහසේ පුතුන්) නමැති විප්ලවීය සටන්කරුවන්‍ අතර සිටි සාමාජිකයෙකි. ඔහු 1775 අප්‍රේල් 18 වැනිදා මුළු රැයක් පුරා එක හැල්මේ අසු මෙහෙයවමින් බ්‍රිතාන්‍ය හමුදා පැමිණෙන බවට අනතුරු හඟවමින් මැසචුසෙට් ජනපදය හරහා ගමින් ගමට ගියා. 

නිදහස් ප්‍රකාශනයේ පුරෝගාමියා - තෝමස් ජෙෆර්සන් 

තෝමස් ජෙෆර්සන් (1743-1826) ඇමරිකන් විප්ලවයේ එක් පුරෝගාමිකයෙක්. ඔහු වර්ජීනියා ප්‍රාන්තයේ වැවිලිකරුවෙක්. ඔහුත් 1775 දී මහද්වීපික කොංග්‍රස (Continental Congress) සමුළුවට සහභාගී වුණා. ඒ අවස්ථාවේ දී ඔහු තමයි, නිදහස් ප්‍රකාශනයට අදාළ ලියවිල්ල සකස් කිරීමට පුරෝගාමී වුණේ. ඔහුගේ ප්‍රාන්තය වූ වර්ජීනියාවේ නීති ප්‍රති සංස්කරණය සිදු කෙරුණේද ඔහු අතින්. ඔහු රාජ්‍ය තාන්ත්‍රික දූත කටයුතු වෙනුවෙන් විවිධ අවස්ථාවල දී යුරෝපයටද ගියා. 1801 දී ඇමෙරිකන් එක්සත් ජනපදයේ තුන් වැනි ජනාධිපතිවරයා ලෙසට පත් වූ ඔහු 1809 තෙක් එම පදවිය හෙබවුවා. 

තෝමස් ජෙෆර්සන්

අවසාන සටන - යෝක්ටවුන් යටත්වීම 

බ්‍රිත‍ාන්‍ය හමුදා සහ ඇමරිකන් දේශප්‍රේමීන් අතර සටන් 1781 වසරේ වසන්ත කාලය දක්වා පැවැතුණා. බ්‍රිතාන්‍ය හමුදාවට අවි ආයුධ ආහාර ඇතුළු සියලු සැපයුම් ලැබුණේ යෝක්ටවුන් හරහායි. ජනපදවාසීන් ඒ සැපයුම් මාර්ග මුළුමනින්ම අවහිර කිරීමට සමත් වුණා. ඒ අනුව අවසානයේ දී ඔක්තෝබර් 19 වැනිදා බ්‍රිතාන්‍ය හමුදාවලට සම්පූර්ණයෙන් ම යටත් වීමට සිදු වුණා. 

ඇමරිකාවේ නිදහසේ ප්‍රකාශනය 

1776 ජූලි 4 වැනිදා ජනපද 13ක් එක් වී, ‘නිදහසේ ප්‍රකාශනය’ නම් ලියවිල්ලට අත්සන් තැබුවා. මෙම ලියවිල්ලේ දැක්වෙන්නේ සියලු දෙනාටම සම අයිතීන් ලැබිය යුතු බවයි. නිදහසේ ජීවත් වෙන්නට, සතුට සොයා යන්න සමාන අවස්ථා හිමි විය යුතු බවයි. පසුව ප්‍රංශ විප්ලවයට අනුප්‍රාණයක් වූයේ ද මෙම සංකල්පයයි. ඇමරිකා එක්සත් ජනපදය නිදහස් දිනය ලෙස සලකන්නේ මේ ‘නිදහසේ ප්‍රකාශනය’ සඳහා අත්සන් තැබූ දිනයයි. 

නිදහස් සටන ගෙන ගිය මේ මුල්ම ජනපද 13 

විප්ලවයෙන් පසු, බ්‍රිතාන්‍යය යටතේ පැවැති කොලනි 13 ම, ජනපද ලෙස නම් කෙරුණා. ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු ජනපද ලෙස සැලකෙන්නේ එම 13 යි. ඒවා නම්, මේන්, මැසචුසෙට්, නිව් හැම්ස්ෂයර්, නිව්යෝක්, පෙන්සිලිවේනියා, රෝඩ් අයිලන්ඩ්, කනෙනිකට්, නිව් ජර්සි, මේරිලන්ඩ්, ඩෙලවෙයාර්, වර්ජීනියා, උතුරු සහ දකුණු කැරොලිනා සහ ජෝර්ජියා ජනපදයි. 

නිදහස් සටනේ නායකයා - ජෝර්ජ් වොෂින්ටන් 

ඇමරිකන් ජනපද හමුදාවට නායකත්වය දෙමින් ඒ සටන් මෙහෙය වූ නායකයා ජෝර්ජ් වොෂින්ටන් (1732-1799). යුද්ධය ආරම්භයේ දී ලද පරාජයන් කීපයක් හමුවේ නොසැලී සිටිමින්, යුද්ධය ඉදිරියට ගෙන යන්නට, නිවැරදි නායකත්වය දෙමින්, ජනපද සොල්දාදුවන් ධෛර්යමත් කළේ ජෝර්ජ් වොෂින්ටන් තමයි. 1778 වසරේ දී ප්‍රංශ හමුදා ද ඇමරිකන් ජනපද හමුදා සමඟ එක් වුණා. පසුව 1779 දී ස්පාඤ්ඤයත් එක් වුණා. එයින් තමයි, ජයග්‍රහණය තහවුරු වුණේ. ජෝර්ජ් වොෂින්ටන් ඇමෙරිකාව ගොඩනැගීමේ පියා ලෙස සැලකෙනවා එපමණක් නොව, ඔහු පසුව ඇමෙරිකාවේ පළමු ජනාධිපති වරයා ද වුණා. ඒ, 1789 සිට 1797 දක්වා කාලයේදියි. 

මිනසෝටාහී ඇති සිලෝන් නගරයේ පුවරුව

මෙම නිදහස් සටන වසර 6 ක් තිස්සේ පැවැතුණා. ඇමෙරිකාව ලැබූ ජයග්‍රහණයේ විශේෂී කාර්යභාරයක් ඉටු කළේ ජෝර්ජ් වොෂින්ටන්ගේ නායකත්වයයි. 1777 දී බ්‍රැන්ඩිවයින් හිදීත්, 1781 දී යෝක්ටවුන්හිදීත් ජයග්‍රාහීව සටන් මෙහෙයවනු ලැබුවේ ජෝර්ජ් වොෂින්ටන්ගේ නායකත්වය යටතේයි. බ්‍රිතාන්‍ය හමුදාව මනා පුහුණුවක් ලත් අය වුනත්, අවි ආයුධවලින් ඔවුන් හොඳින් සන්නද්ධ වුවත්, ඔවුන්ට නිසි නායකත්වයක් ලැබුණේ නෑ. ඔවුන්ට අණ ලැබුණේ කිලෝ මීටර් 4,000 ක් දුරින් පිහිටි මහා බ්‍රිතාන්‍යයේ සිටයි. එහෙත් ඇමෙරිකානු ජනපද හමුදාවන්ට මනා යුද පුහුණුවක් නොලැබුණත්, ප්‍රමාණවත් තරම් අවි ආයුධ නොතිබුණත්, ඔවුන්ට හොඳ නායකත්වයක් ලැබුණා. එසේ ම ඔවුන් සටන් කළේ ඔවුන්ට හුරුපුරුදු භූමියේයි. 

ඇමරිකන් විප්ලවය පියවරෙන් පියවර 

1765 - බ්‍රිතාන්‍යය මුද්දර බද්ද ඇතුළු බදු කීපයක් පැනෙව්වා. ඊට විරෝධතා පැන නැඟුණා. බ්‍රිතාන්‍යය මුද්දර බද්ද හකුළා ගත්තා. එහෙත් අනෙක් බදු ඉවත් කර ගත්තේ නෑ. 

1773 - බොස්ටන් ටී පාටි මෙහෙයුම: බදුවලට විරෝධය පාමින් රතු ඉන්දියානුවන් සේ වෙස්වළා ගත් ඇමරිකානුවන් පිරිසක් බොස්ටන් වරායට පිවිස එහි නැව්වල තිබූ තේ පෙට්ටි මුහුද දැම්මා. 

1774-75 - මහද්වීපික කොංග්‍රස සමුළුව: එහි සාමාජිකයන් විසින් තමන්ට පාර්ලිමේන්තු නියෝජනයක් නොමැතිව බදු පැනවීමට එරෙහිව පෙත්සමක් බ්‍රිතාන්‍යයට ඉදිරිපත් කළා. 

1775 - ලේක්සින්ටන්ටන් සටන: කොංග්‍රසය විසින් ජනපද පාලනය පවරා ගෙන එහි ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස ජෝර්ජ් වොෂිංටන් පත් කරනු ලැබුවා. 

1777 - බ්‍රිතාන්‍ය හමුදා ජනරාල්වරයා වූ ජෝන් බර්ගොයින් සරටෝගාවල දී යටත් වුණා. 

1778 - යුද්ධයේ දී ප්‍රංශ හමුදා ඇමරිකානු ජනපද හමුදා සමඟ එක් වුණා. 

1781 - යෝක්ටවුන්හිදී බ්‍රිතාන්‍යය හමුදා යටත් වුණා. 

මීළඟට - සිවිල් යුද්ධයකින් පසු ඇමරිකන් ජාතිය බිහි වූ හැටි 

- ලුසිත ජයමාන්න   

 

Post a Comment

0 Comments