HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අන්තර්ජාලයෙන් පසු එන මහා ජංජාලය - මෙටාවර්ස්

අන්තර්ජාලයෙන් පසු ඔබ හමුවට එන්නේ කුමක්ද? ඒ තමා ‘මෙටාවර්ස්’(metaverse). “මෙටාවර්ස් කියන්නේ න්‍යෂ්ටික අවි නිර්මාණය කළාට පසුව අපට ලැබෙන වඩා භයානක තාක්ෂණයක්” යැයි අන්තර්ජාලය පිළිබඳ ප්‍රවීණයකු කියනවා. ඔහු තවදුරටත් කියන්නේ, ‘මෙටා ආයතනයේ විධායක ප්‍රධානියා වූ මාක් සකර්බර්ග් (Mark Zuckerberg) වැනි අයකුට එමගින් මුළු ජනගහනයක් ම බුද්ධිශෝධනයට (මොළ සේදීමට) ලක්කළ හැකි වෙනව‍ා” කියලයි. 

යුදර්වර්ස් විධායක බ්‍රයන් ෂස්ටර්

මෙසේ කියන්නේ යුදර්වර්ස් නිර්මාතෘ බ්‍රයන් ෂස්ටර්. “මේ ‘මෙටාවර්ස්’ වැරදි අතකට පත්වුනොත් මුළු ජනගහනයකගේම මොළ සෝදා රූකඩ පාලකයකු යටතට පත් කරන්න එයට පුලුවන්.” කියන ඔහු වැඩිදුරටත් කියන්නේ, “මේක අහම්බයක් නෙවෙයි. පරිගණක ඇල්ගොරිතම මගින් නිර්මාණය කළ දෙයක්. පරිශීලකයන්ට අත්දැකීම් ලබා දීමට යාමෙන් තමයි, මෙය ඉබේටම සිදු වන්නේ. අප දැනටමත් මේක අත් විඳලා තියෙනවා, ෆේස් බුක් (Facebook) එකෙන්.” 

මෙටාවර්ස් කියන්නේ අලුත්ම දෙයක් නෙවෙයි. පරිගණක ක්‍රීඩා තුළින් ඔබ නොදැනුවත්වම අත්දුටු දෙයක්. මෙටාවර්ස් කියන්නේ එක් කෙනෙකුට අයිති දෙයක් නෙවෙයි. නිකම් ඇප් එකක් එහෙමත් නෙමෙයි. අන්තර්ජාලය වාගේ හාත්පස පැතුරුණු දෙයක්. ඒ නිර්වචනයට අනුව ‘මෙටාවර්ස් යනු පරිශීලකයින්ට පරිගණකයෙන් ජනනය කරන ලද පරිසරයක් තුළ හිඳිමින් අනෙකුත් පරිශීලකයින් සමඟ අන්තර් ක්‍රියා කළ හැකි අතථ්‍ය-යථාර්ථ අවකාශයකි’ කියා දැක්වෙනවා. 

සකර්බර්ග් දැනටමත් මෙටාවර්ස් යටතේ ඉදිරිපත් කරලා තියෙනවා, විස්මයජනක පරිගණක ක්‍රීඩා පෙළක්. මෙටාවර්ස් ගැන හොඳින් හඳුනා ගන්න ඒ ක්‍රීඩා වුනත් ප්‍රමාණවත්. නිදසුන් වශයෙන් Axie infinity, Decentraland, Sandwax, illuvium ආදිය දක්වන්න පුලුවන්. මෙටාවර්ස්වලින් ඔබට ක්‍රීඩා කරනවාට වඩා වෙනත් දේවල් කරන්නත් පුලුවන්. අතථ්‍ය සාප්පු සවාරියක් ගිහින් ඇඳුමක් තෝරන්න, තෝරලා ඇඳලා බලන්න ඒ ඇඳුම ඔබට හරියනවද කියලා. මුහුද යට සවාරියක් යන්න එහි අසිරිය කිමිදෙන අතර නරඹන්න පුලුවන්. හෙඩ් සෙට් එකක් දාගත්තාම ලෝකයේ යන්න බැරි තැනක් නෑ. 

මේ බ්‍රයන් ෂස්ටර්ට මෙටාවර්ස් ගැන 17 අවුරුද්දක පලපුරුද්දක් තියෙනවා. ඔහුත් තමන්ගේ ඩිජිටල් ලෝකයක් නිර්මාණය කළ අයෙක්. ඔහු එය හඳුන්වන්නේ යුදර්වර්ස් (Utherverse) කියලයි. ඔහු කියන්නේ ‘යමකුට තමන්ගේ පුද්ගලික වාසියට මෙටාවර්ස් යොදා ගත හැකියි’ කියලයි. ‍

“මං හිතන්නෙ නැහැ, සකර්බර්ග් හරි ෆේස්බුක් එක හරි තමන්ට ලැබෙන මුදලේ වාසිය අත් ඇරලා මිනිසාගේ යහපත හා චිරජීවනය ගැන හිතයි කියලා. මිනිසාට සතුට හෝ දුක හෝ ලබා දීම තුළින් තමයි, මුදල් ගලා එන්නේ. ඒක සතුට ද දුක ද යන්නෙන් කුමන මඟ තෝරා ගන්නේ කියන එක තීරණය කිරීම ඔබට අයත් දෙයක්. අප දුටුවා ෆේස්බුක් තෝරා ගත් මඟ. ඒ මඟම මෙටාවර්ස්වලටත් තෝරා ගනීවි.” ෂස්ටර් කියනවා. 

මෙටා විධායක, ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්

සකර්බර්ග් වරක් කීවා, මෙටාවර්ස් කියන්නේ ‘මොබයිල් ඉන්ටර්නෙට්වලට එන අලුත් ම ආදේශකය’ කියලයි. ඒ කියන්නෙ ඔබට ක්‍රීඩා කරන්න, වැඩ කරන්න, කායිකව ඔබ අසල නැති, වෙනත් අය සමඟ සන්නිවේදනය කරන්න තියෙන අතථ්‍ය අවකාශයක්. 

මෙයින් කියවෙන්නේ අපි සැබෑ ජීවිතයට වඩා වැඩි කාලයක් අතථ්‍ය ලෝකයේ ගත කරනවා කියන එකයි. අප අවදිවුන වෙලාවෙදි හෙඩ්සෙට් එක දා ගත්තා ම ඒක නැතුව ඉන්නවාට වැඩි වේලාවක් ඒක දාගෙන ඒකත් සමඟ වැඩ කරනවා කියන එකයි. සාප්පු යාම, මිතුරු මිතුරියන් මුණ ගැසීම, වැඩි කිරීම, පාසල් යාම ආදිය සියල්ලක් ම අතථ්‍ය ලෝකය තුළ කරන්න ඔබට පුළුවන්. 

මෙටා විධායක සකර්බර්ග් කියන්නේ මිනිසා සිය තථ්‍ය ලෝකයේ කටයුතු කිරීම අත් හැර අවසානයේ දී තමන්ට පහසුවෙන් පාලනය කළ හැකි ඔහුගේ මෙටාවර්ස් තෝරා ගනිවි කියලයි. 

“මේක ඉබේ සිදුවන්නක් නොවෙයි, සැලසුම් සහගතව කරන දෙයක්. හැම දෙයක් ම ඇල්ගොරිතම ගණිත ක්‍රමය යොදා ගෙන පරිගණකය ඔස්සේ සිදුවන දෙයක්. ”ෂස්ටර් කියනවා. 

“අපි හිතමු ඔබ මෙටාවර්ස් ලෝකයෙන් ඔබේ පෙම්වතිය සොයනවා කියලා. එතනදි සකර්බර්ග් තමා තීරණය කරන්නේ ඔබට වඩාත් ගැළපෙන්නේ කවුද කියලා. මෙහිදී ඔබ කටයුතු කරන්නේ එක මතයකටම විතරක් සවන්දීගෙනයි. ඒ ඔබ බද්ධ වී සිටින පරිගණක පද්ධතිය වඩාත් වාසිදායක යයි ඔබට කියා දෙන මතයයි. මෙතැන දී තමයි, මෙටාවර්ස් එකට හැකියාව ලැබෙන්නේ මුළුමනින් ම ඔබේ මොළය හෝදන්න. මෙහිදී සකර්බර්ග් විතරක් නෙවෙයි, බලපෑම් කරන්නේ. ජනතාවගෙන් විශාල ප්‍රතිලාභයක් බලාපොරොත්තු වන ඕනැම කෙනකුට එතෙන්ට එන්න පුලුවන්.” ෂස්ටර් කියනවා. 

මෙටාගේ මෙටාවර්ස්වල පෙරගමන්කරු ‘හොරයිසන් වර්ල්ඩ්’හිදී අපට හමුවන්නේ උඩුකය විතරක් ඇති ජනයාගෙන් පිරි ලෝකයක්.

ඔහු බිය පළ කරන්නේ මිනිසුන්ගේ මොළ හෝදන්න මෙටාවර්ස්වලට හැකියාව ලැබෙන්නේ වැරදි අතකට මෙය පත් වුනොත් විතරයි කියලයි. ඒත් මෙටාවර්ස්වලට පුලුවන් පරම්පරා ගණනක් හුදෙකලා වුණු ජනතාවක් නිර්මාණය කරන්න, හරියට ෆේස්බුක් දැනටමත් කරලා තියෙනවා වාගේ. 

“මේ ෆේස්බුක් එක නිසා අපට දැන් කොච්චර ටික ද සැබෑ ලෝකයෙන් අත්විඳින්න ලැබෙන්නේ. ඔබට දැනටමත් තිරය පසුපසට වී ඔබ කවුද නොකියා සැඟවී ඉන්න පුලුවන්. මේ තත්වය සකර්බර්ග් එයාගෙ මෙටාවර්ස් එකටත් ගෙන යන එක සිකුරුයි.” ෂස්ටර් කියන්නේ බය හිතෙන විධියටයි. 

“සකර්ගේ මෙටා ආයතනයේ මෙටාවර්ස්වලදි අපට හමුවන්නේ ‘අවතාර’ (avatars) විතරයි. (ඔබ ඒ නමින් යුත් චිත්‍රපටය බැලුවා නම් ඒ ගැන යම් වැටහීමක් දැනටමත් ඇති.) ඒ වගේ හිසත් අත් දෙකත් විතරක් තියෙන උඩුකයක් විතරයි, පරිශීලකයකුට අවශ්‍ය වන්නේ. ඒත් මනුස්සයන් හැටියට අපට හැඟීම් දනවන, දැනෙන සබඳතා අවශ්‍යයි. ආලිංගන නැටුම් නටන්න, අසලින් වාඩි වී කතා කර කර ඉන්න පුද්ගලයින් අවශ්‍යයි. ඒත් ඔහුගේ ‘හොරයිසන් ලෝකයේ’ ඉන්න අවතාර අපට අඩි කීපයක් දුරින් තමයි ඉන්නෙ. අපි කොහොම ඔහු වැළඳ ගෙන හග් එකක් දෙන්නේ.” 

මෙටා (Meta) ආයතනයේ ‘හොරයිසන් ලෝකය’ මේ දිනවල ඔවුන්ගේ මහා මෙටාවර්ස් ජාලය අත්හදා බලමින් යනවා. දැනට ඇප් එකක් හැටියට නිර්මාණකරුවන්ට ඔවුන්ගේ ඩිජිටල් ලෝකය හරහා අතථ්‍ය අයිතම හා ක්‍රියාවන් අලෙවි කරමින් සිටිනවා. 

ෂස්ටර් කියන විධියට සකර්බර්ග් හොරයිසන් හරහා කරන දේ ඔහුට වාසි ගෙනාවත් මානව සමාජයට විශාල හානියක් කරනවා. “මං වසර 19කට විතර ඉස්සරයි, මෙටාවර්ස් ගැන විමසා බලන්න පටන් ගත්තේ. මං එහෙම කරන්න පටන් ගත්තේ මට හැඟුණා, අනාගතයේ එය මිනිස් මැට්රික්ස් එකක් (මිනිසුන් තනන අච්චුවක්) වේවි කියා.” ෂස්ටර් ඩේලිමේල් ඔන්ලයින් එකට කියලා තිබුණා. 

“මෙය මානව සමාජය පාලනය කළ හැකි උපරිමයයි. ඊට අයත් මෙවලම් හා උපාංග එක්ක ඒ තවත් ෆේස්බුක් එකක් වේවි.” ෂස්ටර් කියනවා. 

මෙටා ආයනනය නිකුත් කළ ‘හොරයිසන් වර්ල්ඩ්’ වීඩියෝව පහතින් නරඹන්න 

තාමත් සකර්බර්ග්ගේ මෙටාවර්ස් එක ළදරු අවස්ථාවෙයි තියෙන්නෙ. දැනටමත් එය අනතුරුදායක තැනක් විය හැකියි කියලා ප්‍රසිද්ධ වෙලා ඉවරයි. මැයි මාසයේ දී හොරයිසන් වර්ල්ඩ්ස්වල දී නාඳුනන අයෙක් අතින් කාන්තාවක් දූෂණයට ලක් වුණා. ඒ අතර තවත් එකෙක් ඒක දැකලා වොඩ්කා බෝතලයක් තෑගි කළා. මේ බව හෙළිවුණේ ‘සම්ඔෆ්අස්’ (SumOfUs) නම් සුබ සාධක ආයතනයක වාර්තාවකින්. ‍ඔවුන් ඒ වගේ දේවල් වළක්වන්න සමාජ සේවා ආයතනවල සහයෝගය ඉල්ලලා තියෙනවා. 

මේකට පිළියමක් හැටියට මෙටා ආයතනය කියන්නේ මෙහි Personal Boundary නමින් පුද්ගල සීමාව තීරණය කරන විශේෂ අංගයක් තියෙනවා. ඒකෙන් පුලුවන්, අකමැති හෝ සතුරු අය පරිශීලකගෙන් අඩි හතරක් ඈත් කරලා තියන්න. 

“ඒ වගේ ‍දෙයක් වළක්වන්න ක්‍රම ගණනාවක්ම තියෙනවා. ඒත් මෙටා කරන්න හදන්නේ බලය යොදවල‍ා පුද්ගලයන් ළංවෙන එක වළක්වන්න. දෙපා ඇතුළු ඉණෙන් පහළ ඇති හැමදෙයින් ම ඈත් කරන්න. ඒකෙන් වෙන්නේ එක අවතාරයකට හානියක් වෙයි කියලා මිනිසුන් තවතවත් හුදෙකලා කිරීමයි. ඒක හරිම උත්තරයක් නෙවෙයි.” ෂස්ටර් කියනවා. 

ඔහු පැහැදිලි කළා, ඔහුගේ යුදර්වර්ස් එකෙන් මෙවැනි ගැටළුවකට උත්තර හොයන හැටි. “අපි ඕක විසඳන්නෙ ප්‍රජා මට්ටමෙන්" ඔහු කියනවා. “අපි හිතමු කරදරකාරයෙක් නිතරම ඔබට අන්තර්ජාලය හරහා මුණ ගැහෙනවා කියලා. ඔබ ඔහුව නොසලකා හරින ලැයිස්තුවකට දාලා තියෙද්දිත් ඔබට තවදුරටත් වදයක් වෙනවා නම් යුදර්වර්ස් මගින් පුළුවන් ප්‍රජා මට්ටමෙන් ඒක වළක්වා ලන්න.” 

“මේ වගේ තාක්ෂණයකදි සැබෑ මිනිසුනට ගැළපෙන්න ඒක කරන එක ලේසි නැහැ. එතෙන්දි මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක් අවශ්‍ය වෙනවා. ඒකට මිනිස් ස්වභාවය ගැන පුළුල් දැක්මක් තියෙන්න ඕනෑ. මං හිතෙන්නේ නැහැ ඔහුට (සකර්බර්ග්ට) ඒ විධියෙ හැකියාවක් ඇතැයි කියා.” ඔහු වැඩිදුරටත් කීවා. 

ඉන්ටර්නෙට් එකට පස්සේ එන මෙටාවර්ස් ලෝකයට ඇතුළුවීම ඔබ විසින් පරිස්සමින් කළ යුත්තක්. පහසුව නිසා මෙටාවර්ස් කෙරෙහි ඇලුනත් ඒ අතථ්‍ය ලෝකයෙන් මිදී වැඩි වෙලාවක් හෙඩ්සෙට් එක ඉවත් කර ඉන්න, හැකිතාක් දුරට සැබෑ ලෝකයේ කටයුතුවල යෙදෙන්න, ඔබට හැකි නම් ඒක ජංජාලයක් වෙන එකක් නැහැ. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments