ශ්‍රී ලංකාවේ සිටියදී ‘සිළුමිණ’ පත්තරයටත්, ‘නවයුගය’ සඟරාවටත්, උර දුන්, දිරි දුන් අපේ සුමිතුරු හෙළයා ගැන මීට කලිනුත් මා වෙසෙස් පැසසුම් ඇතිව මා ඔබට කියා තිබෙනවා. පැරණි කතාවල රස උරා බොන්නත්, අලුත් කතාවලින් රස මතු කරන්නත් ඔහු දස්සයෙක්. ඔහුගේ බස් ආරත් අපගේ මෙන් නොව වෙනම රස මඟක ගමන් කරන්නක්. ඔහු පසුගිය දා මුහුණු පොතේ පළ කළ ඉතා අපූරු ඉතාලි ජන කතාවක් මා යළි මෙහි පළ කරන්න සිතුවේ ඊට යමක් එකතු කරන්න මට අවශ්‍ය වූ නිසයි.
ඉතාලියේ ඉපැරණි ජන කතාවක්
("ජනකතාව වූකලී ජාතියකට උරුම වූ අනන්‍යතා ජාන ලක්ෂණ පෙන්වන දර්පනයෙකි" යි කීමේ වරදක් නෑ. ජාතියක සැබියාවේ හැඩතලත් හැදියාවේ හැටිපාටත් චින්තන ආරේ ගැඹුරත් ජනකතාවේ සුවඳ ඉඹ දැනගන්නට පුළුවනි. ඉතාලි ජනකතා කියවද්දී මා හද ගබේ තැන්පත් ව දිදිලන මේ කතාව නො ලියා ම නොහැකි යැ'යි මට හිතුණා. ඉතින් ඔන්න ඒ කතිත්ත (කතා පුංච) මා අද ඔබේ කනට හලනවා. ඔබ ද කියවා රස විඳ අනුසැලෙනවා ඇත කියා මා හිතනවා.)
(මේ කතාව කියන්නට කලින් කියන්න තියෙනවා පුංචි විස්තරයක්. ඉතාලි ජාතිකයන් තම පවුලේ සියලු දෙනා ම එක ම කෑම මේසයේ හිඳ ආහාර ගැනීම සිරිතක්. ඔවුන් හැම කෑම වේලක් පාසා ම සිය කෑම මේසයට වෙනස් වෙනස් මෝස්තරවල මේස රෙදි අන්දවනවා. නත්තල් කාලයේ එන මේස රෙදි අත් පිස්නා ඈ සියල්ල නත්තල් සිරිය දෙන වර්ණ ද මෝස්තර ද ගෙන හැඩ වෙනවා. මේ කෑම මේසයේ ගෙදර හැම දෙනා ම වාඩි වෙනවා. සේවකයන් පවා කොන් කරන්නේ නෑ. ඉතින් මේ කෑම මේසයට මූලාසනයක් ද තියෙනවා. මූලාසනයට වාඩිවෙන්නේ ගෙදර ගහපතියා වූ පියා යි. පළමු ව ආහාර බෙදන්නේ මුලාසනයට යි. අලංකාර පිඟන් කෝප්ප ද හැඳි ගෑරුප්පු මේසපිහි ද පැන් පාන වීදුරු වයින් පාන වීදුරු ආදියෙන් ද මේසය අලංකාර වෙනවා. ඇතැම් විට වයින් බෝතලය පවා වර්ණවත් ඇඳුමක් පැලැඳ මේසයට එනවා. බොකු පිඟාන මුලින් ම මේසයට එනවා පාස්තා නම් ප්‍රධාන ආහාරය ද කැටුව. දෙවෙනියට තැටි පිඟාන මස් හෝ මාළු හෝ කැන්දනවා. බොහෝ විට තව ද තැටි පිඟානක් එළවලුවක රස ද ගුණ ද ප්‍රදානය කරනවා. ඊ ළඟට තැටි පිඟානිත්ත (කුඩා පිඟාන) පලතුරු කැන්දනවා. දැන් එනවා රස කැවිලි පිඟානිත්ත ගෑරුප්පුයිත්තක් (කුඩා ගෑරුප්පුවක්) සමඟ. කෑම දිරවීම පිණිස ලෙමන් මත්පැන් ඇඟිලි පුරුකක් පමණ ගන්නේ ඔසුවක් හැටියට යි. කෑම හමාර කරනු පිණිස ඔවුන් ගේ සාම්ප්‍රදායික කෝපි උණුකරන යන්ත්‍රය විසින් සැර කෝපි සාර ඇබිත්තක් ද මේසයට ළඟා වෙනවා. ඇත්තට ම ඉතාලි ජාතිකයන් ගේ කෑම මේසය පවුලේ සමගිය ද සමානාත්මතාව ද පවත්වා ගෙන යන අපූරු උපකරණයක්.)
ලොකු ලී පාත්තරේ
තිලක නවමිණි විසිනි
ඔන්න එකෝමත් එක කාලයක ඉතාලියේ ගමක එක්තරා මහල්ලෙක් වාසය කළා.ඒ මහල්ලා කොයි තරම් අබල දුබල ද කීවොත් ඔහුට පිඟානෙන් පිටතට කෑම හලාගන්නේ නැති ව කෑම කන්නට පවා බැරි වුණා.
කෑම මේසයේ අනෙක් අය කෑම කා නිම වෙද්දී ඔහුට තම කෑම පිඟානෙන් අඩක් වත් නිම කර ගන්නට බැරි වුණා. මහල්ලා ගේ තලු ගසන හඬ අමීරි වුණා. අංශබාගය නිසා ඇද වුණු කටේ තැනින් තැන වූ දුඹුරු ගැහුණු දත් කීපය දුන් අජූත පෙනුමත් කෑම කෑමේ මන්ද ගාමි ලයත් නිසා අනෙක් අයට ඔවුන් අනුයමින් කෑම හිරිහැරයක් බවට පත් වුණා. තවමත් තරුණ වියේ පසු වුණු තම පුතා තාත්තා ගේ අජූව ලොඹු කට දකිමින් ඉබි ගමනේ තාත්තා සමඟ කෑම කන්නට තවදුරටත් කැමැති වුණේ නැහැ. මේ තරුණ පුතා දවස පුරා ම කොන්ද කඩා ගෙන සිය ගොවිපළේ දාඩිය හලන කෙනෙක්. ගෙදර පැමිණි කල සිය බිරිය සහ කුඩා දරුවන් සමඟ වුවමනා ම වචන කිහිපයක් හුවමාරු කරන මඳ දෙඩුම් ඇත්තෙක්.
එක් දවසක් මේ පුතා තම බිරිය ද සමඟ කතාකර තීරණයකට එළැඹුණා. "තාත්තා පවුලේ අය සමඟ එකට හිඳ කෑම කෑම තවදුරටත් නුසුදුසු"ය යන්න යි ඒ තීරණය.
ඉතින් මේ ගොවි පුතු විසින් මහලු පියාට කෑමෙන් පිණිස ගිනි උඳුනට සමීප ව වෙන ම තැනක් ද ලොකු ලී පාත්තරයක් ද පිළියෙළ කළා. මේ ලී පාත්තරය දවල් ආහාරය ද රෑ ආහාරය ද දෙක ම එකට බෙදිය හැකි පතහක්. ඉතින් දැන් නම් මහලු පියා කෑම කද්දී කෑම අපතේ හැලෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට පුතු විසින් පිය මහල්ලා කෑම මේසයෙන් බැහැර කළා.
ගෙදර අනිත් අයත් පුතාත් අලංකාර මේස රෙදි පැළැන්දූ මේසය දිදිලෙන හැඳි ගෑරුප්පුවෙන් ද සුන්දර පිඟන් කෝප්පයෙන් ද මනහර වීදුරු බඳුනින් ද සරසා එක් එක් අහර බඳුන වෙන වෙන පිඟන්හි වෙන වෙන හැඳි ගෑරුප්පුවෙන් සතුටින් රස වින්දා.
එක් දවසක් දා මේ ගොවි පුතු ගෙදර එද්දි දක්නට ලැබුණා, අමුතු දෙයක්. තමන් ගේ පුංචි ම එකා අවුරුදු පහක් පමණ වයසැති සිඟිත්තා පොඩ්ඩා ගේ තරමට ද වඩා ලොකු ලී කොටයක් සමඟ වඩු උපකරණ ද ළංකැරගෙන ඔට්ටුවෙනවා. එය කැපීමටත් හැඩ ගැන්වීමටත් තතනනවා.
"පුතේ උඹ ඔය මොකද කරන්නේ?"ගොවි පියා සිඟිත්තන් විමසුවා.
"තාත්තේ! මං උඹට ලොකු පාත්තරයක් හදනවා. කෑම වේල් සියල්ල එක වර ම බෙදන්න සෑහෙන එකක්. අපේ සීයා වාගේ උඹ වයසට ගිය දවසක ගිනි උදුන ළඟ තියලා එදාට උඹට කන්න දෙන්න තමයි මේක හදන්නේ. සිඟිත්තා කීවා. මිනිහා නිරුත්තර ව බැල්මක් හෙළා නිහඬ වුණා.
එදායින් පස්සේ මහලු පියා නැවතත් පවුලේ කෑම මේසයට පැමිණුණා. අර ලොකු ලී පාත්තරය ගේ උණුසුම දෙන්නට උඳුනට දර සේ වැටී දැවී අළු වී ගියා. පවුල එකමුතු වුණා. භෝජනය එක මේසයේ රසවත් වුණා. (2022 නොවැම්බර මස 25දා කිවි දා, ඉතාලියේ නාපොලි නුවර දී යැ.)
පසු සටහන: අපේ සුමිතුරු තිලකේ අපට මුල කොටසින් මතක් කර දුන්නේ ගෙදරක සමගිය, සමාදානය රැකෙන්නේ පවුලේ සියලු දෙනා එක ම මේසයක, විසිතුරු පරිසරයක හිඳ එකට ආහාර ගැනීමෙන් බවයි. ඒක ඔය ඉතාලියේ තරම් අලංකාරව නැතත් අපේ තරමේ හැටියට අපේ සමාජයේත් ඉස්සර තිබුණා. ඒත් දැන් නැති වී ගිහින්. ජීවත්වීමට දරණ තැත නිසා ගෙදර අය යන එන වෙලාවන් වෙනස්. ඒ නිසා එක වෙලාවට කෑම මේසෙට වාඩි වෙන්න විදියක් නෑ. ඒ වගේ ම ‘රූප පෙට්ටිය’ හින්දා කන බොන දේ දිහා බලන්නවත්, රස විඳින්නවත් විදියක් නෑ. ඒ හින්දා ඒ සමයවත්, සාමයවත් නැවත ගේන්න විදියක් නෑ.
ඔබේ උපමා කතාව නම් හරබර ජනකතාවක්. මීට දසක හතකට විතර අප කුඩා කල පාසල් පොතක තිබූ කතාවක් මතක් වුණා. එ කතාවෙදි සීයාට කන්න දුන්නේ පතුරු ගිය බෙලෙක් පිඟානක. ගෙයි මුල්ලක තියපු බංකුවක තමයි, සීයා කෑම කෑවෙ. ගෙදර අනිත් අය, ඒ කියන්නේ සීයගේ පුතා, ලේලි, මිනිපිරියන්, හා කුඩා ම මුණුපුරා කෑම කෑවෙ වෙනම කෑම කාමරයක, මේසෙට ඇරලා, මහ ජයට.
අන්තිමේදි ඒ සීයා මැරුණා. සීයගෙ බඩුමුට්ටු ටික විනාස කරන්න ගෙනියනකොට පුංචි මුණුපුරා ‘සීයාතාත්තා’ කෑම කෑව පිඟාන ඉල්ලලා එක පොරයයි. ‘ඒක මොකටද ඔයාට. ඒකට වඩා හොඳ පිඟානක් බල්ලටත් තියෙනවා. ඔයාට මං අලුත් එකක් ගෙනත් දෙන්නම්’ කියලා අම්මා කිව්වා. ඒත් දරුවා ඒකම ඉල්ලලා ඇඬුවා. ‘මට ඒකමයි ඕනෙ වෙන එකක්වත් එපා!’ කියලා බෙරිහන් දුන්නා.
ඊට පස්සේ අම්මා දරුව ව පැත්තකට අරන් සන්සුන් කරලා ඇහුවා, ‘ඇයි පුතේ මොකද ඔයා ඕකම ඉල්ලන්නේ?’ කියලා.
දරුවා දුන්නෙ මෙහෙම උත්තරයක්: ‘අපේ තාත්ත නාකි වුණාම කන්න දෙන්න මට ඒ සීයාතාත්තගෙ පිඟාන ඕනෙමයි’
මේ කතාවට වඩා ඉතාලි කතාව වටිනවා. මොකද වැරැද්ද හදා ගන්න ඒ තාත්තට අවස්ථාවක් ඒ කතාවෙන් දෙනවා. මේ කතාවෙ අවස්ථාව දෙන්නේ කතාව අහන අනෙක් තාත්තලාටයි.
- පර්සි ජයමාන්න
0 Comments