HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 15ක් තිස්සේ ක්ලියෝපැට්ට්‍රා‍ සෙ‍ාහොන සොයන කැත්ලීන්

පසුගිය කාලෙ පුරාවිද්‍යාඥයන් ගණනාවක් ම වෙහෙසුණා, ක්ලියෝපැට්ට්‍රා රැජිනගේ සොහොන සොයන්න ඒත් හරි ගියේ නෑ. ඒත් දැන් ඒ කටයුත්ත සාර්ථක කර ගන්න ආසන්නයි කියලා ආරංචියි. ක්ලියෝපැට්ට්‍රාගේ සොහොන සොයා ගත හැකි වුවහොත් එය මේ විසි එක්වැනි සියවසේ සොයා ගත් විශිෂ්ටතම සොයා ගැනීම වෙනවාට සැකයක් නැහැ. 

‘ක්ලියෝපැට්ට්‍රා’ චිත්‍රපටයේ එලිසැබත් ටේලර් රඟපෑ අයුරු

මේ දවස්වල පුරාවිද්‍යාඥයන් පිරිසක් ගවේෂණයක යෙදෙනවා, ක්ලියෝපැට්ට්‍රා රැජිනගේ සොහොන ඇතැයි කියන ඉසව්වක. මේ ස්ථානය ඇත්තේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ පුරාණ අගනුවර අසල ඇති ටැපෝසයිරිස් මැග්නා දෙවොල අසල පෞරාණික නටබුන් සහිත ප්‍රදේශයකයි. දැනට ඔවුන්ට අඩි හයක් උස අඩි 4,800ක් දිග උමඟක් හමුවී තියෙනවා. ඔවුන් විශ්වාස කරනවා, මේ උමඟ විහිදී ඇත්තේ ක්ලියෝපැට්ට්‍රා රැජිනගේ සොහොනට කියලයි, ඔවුන් විශ්වාස කරන්නේ. 

මේ ගවේෂණ කටයුතුවලට නායකත්වය දෙන සැන් ඩොමින්ගෝ විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥවරියක වන කැත්ලීන් මාර්ටිනස් කියන්නේ මිසරයේ අවසාන පාරාවෝ වන ක්ලියෝපැට්ට්‍රා‍ රැජිනගේ හා ඇගේ පෙම්වතා වන මාක් ඇන්ටනිගේ සිරුරු තැන්පත් කර ඇත්තේ මේ දෙවොල බවට තමාට විශ්වාස බවයි. දැනට හමු වී ඇති උමං මඟ කෙළවර ඒවා ඇතැයි තමන් විශ්වාස කරන බවයි. 

පුරාවිද්‍යාඥ ආචාර්ය කැත්ලීන් මාර්ටිනස්

මේ ටැපෝසයිරිස් මැග්නා දෙවොලෙහි නමේ අරුත ‘ඔසයිරිස් මහා සාමධිය’ යන්නයි. එය ඇත්තේ ඊජිප්තුවේ කලක් අගනගරයව තිබූ ඇලෙක්සැන්ඩ්‍රියා අසලයි. 

“පළමුවන වතාවටයි, මේ පුරාවිද්‍යාඥයකුට මෙවැනි බිම්ගත උමඟක් දෙවොලක පවුරු ඇතුලේ දී හමු වන්නේ. ඒ නිසා මෙතෙක් දැන සිටි වාස්තු විද්‍යාත්මක දැනුමත් මේ නිසා වෙනස් වෙනවා.” මාර්ටිනස් කියනවා. 

ක්ලියෝපැට්ට්‍රා‍ හා මාක් ඇන්ටනි පෙම්පුවතට අනුව ඔගස්ටස් සීසර් හෙවත් ඔක්ටේවියන් අධිරාජයාට පරාජය වීමෙන් පසුව මාක් ඇන්ටනි දිවිනසා ගත් අතර ක්ලියෝපැට්ට්‍රා‍, ඉල්ලීමක් කර තිබුණා, ඔවුන් දෙදෙනාව ම එකම තැනක තැන්පත් කරන්නැයි කියා. පුරාවිද්‍යාඥයන් ඒ නිසා විශ්වාස කරනවා එකම තැනක මේ මමී හමුවෙයි, කියා. 

කැතලීන් මාර්ටිනස් මේ ටැපෝසයිරිස් මැග්නා දෙවොලෙහි කැණීම් කරන්නේ වසර 15ක් තිස්සෙයි. ඇය මේ වන විටත් වටිනා කෞතුක රැසක් සොයා ගෙන තියෙනවා. කලින් මේ ගැන විස්තරයක් ‘මල්කැකුළු’වල කියෙව්වා ඔබට මතක ඇති. එදා ඇය නැෂනල් ජ්‍යොග්‍රෆික් වෙබ් අඩවියට කියා තිබුණේ, “ක්ලියෝපැට්ට්‍රා‍ ඔක්ටේවියන් අධිරාජයා කැමති කරවාගෙන තිබුණා, මාක් ඇන්ටනි මිසරයේ ම මිහිදන් කරන්නට ඇයට අවසර දෙන ලෙසට ඉල්ලීමක් කරමින්” කියායි. 

“ඔසයිරිස් දේවකථාවෙහි සැබෑ අරුත අමරණීය වීමයි. ඒ නිසා අයිසිස් හා ඔසයිරිස් දේව කථාවේ තියෙන ආකාරයට ඔවුන් දෙදෙනා එක තැන මිහිදන් කිරීමෙන් ඔවුන් දෙදෙනාට ද මරණින් මතු ‍දෙවියන්ගේ අනුග්‍රහයෙන් අමරණීය ජීවිතයක් ගත කරන්නට ලැබේවි යැයි ඇය විශ්වාස කරන්නට ඇති” යැයි මාර්ටිනස් වැඩිදුරටත් කියනවා. 

තවමත් මෙහි කැණීම් සිදු වෙනවා. ක්ලියෝපැට්ට්‍රා හා ඇන්ටනි දෙදෙනාගේ සිරුරු මේ උමඟ කෙළවර ඇතැයි සැලකෙනවා.

දෙවොල යට අඩි 43ක් යටින් මේ උමඟ හමු වූ නිසා ඇය විශ්වාස කරනවා, දැන් ඇය හරි මඟට වැටී ඇති බව. මෙහි කැණීම්වල යෙදුනු ඇගේ කණ්ඩායම දුටුවා, මේ උමං මාර්ගයෙහි කොටසක් මධ්‍යධරණී මුහුද යටින් විහිදෙන බව. එහිදී ඔවුන්ට මඩ යට තිබී හමුවුණා, ගිලුණු මැටි භාණ්ඩ හා ඒවා පැටවූ මැටි කරත්ත ආදියත් ඒ වගේ ම චතුරස්‍රාකාර හුනුගල් කුට්ටියක් හා ගලින් කළ ආවරණයක් වැනි දේත්. පර්යේෂණ කණ්ඩායම විශ්වාස කරනවා, වසර ගණනාවක් මේ ටැපෝසයිරිස් මැග්නා දෙවොලෙහි පාදමත් ජලයෙන් යට වී තියෙන්න ඇති කියා. ඔවුන් කියන්නේ ක්‍රි.ව. 320 සිට 1303 දක්වා කාලය තුළ අඩු තරමන් භූකම්පන 23ක් වත් ඒ කාලය තුළ මිසර වෙරළට කඩා වදින්න ඇතැයි කියායි. 

වසර දෙකකට පෙර දී ඔවුන්ට මේ කැණීම්වලදී හමු වුණා, පුරාණ මිසර රාජකීය යුවළකගේ යැයි සිතිය හැකි රන්පත්වලින් වැසූ මමි දෙකක්. වසර 2000ක් විතර නිරුපද්‍රිත තිබුණත් ඒ සොහොන්වලට පසු කලෙක දිය කාන්දු වී තිබීම නිසා ඒවා හොඳ තත්වයෙන් තිබුණේ නැහැ. ඔවුන් ඒවා ක්ලියෝපැට්ට්‍රා‍ගේ හා මාක් ඇන්ටනිගේ යැයි සිතුවත් පසුව හෙළිවුණා එසේ නොවන බව. 

ලෝකයේ මුල් ම කීර්තිමතිය ලෙස සැලකෙන ක්ලියෝපැට්ට්‍රා‍, මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගෙන් පැවත එන, මිසරය දිගු කලක් පාලනය ටොලමික් රජපරම්පරාවේ අවසන් පුරුකයි. ක්‍රිස්තු වර්ෂ 51 සිට 30 දක්වා ඇය මිය යන තෙක් ම රාජ්‍ය පාලනය කළා. ඇගේ පියා වූ 12 වැනි ටොලමිගේ අභාවයෙන් පසු, පිය නියමය අනුව, ඇය 7 වැනි ක්ලියෝපැට්ට්‍රා මිසර රාජිනියත්, ඇගේ සොහොයුරා 13 වැනි ටොලමි අධිරාජයා ල‍ෙසත් එක විට මිසරයේ රජකමට පත් වුණා. ඒ එරට සිරිත් ප්‍රකාර රාජකීය අඹුසැමියන් ලෙසයි. 

ඒ නිසා පසුව ක්ලියෝපැට්ට්‍රාට තමාත් මාක් ඇන්ටනිත් මිසර පාලකයන් ලෙස එරට වැසියන්ගේ සිත්සතන් තුළ රැඳවීමට දැඩි වෙහෙසක් ගන්නට සිදුවුණා. ඒ වෙනුවෙන් ඇය තමාත් මාක් ඇන්ටනිත් ජනප්‍රිය ග්‍රීක ප්‍රවාදයේ එන අයිසිස් හා ඔසිරිස් සමග බද්ධ කරන්නට තැත් කළා. ඒ වගේ ම මිසර වැසියන්ගේ සහය ලබා ගන්නට ඇය තමා මිසර හිරු දෙවියා වූ රාගේ දියණිය ලෙස හැඳින්නුවා. 

ක්‍රි. පූ. 69 සිට 30 දක්වා වූ ඇගේ මුළු ජීවිතකාලය තුළ ම ඇය හඳුන්වනු ලැබු‍වේ මනමෝහන රැජිනක හා ඉතා ආකර්ෂණීය තැනැත්තියක ලෙසයි. 1963 දී තැනූ  ‘ක්ලියෝපැට්ට්‍රා’ චිත්‍රපටයේ ඇගේ චරිතය රඟපෑවේ එවැනිම ආකර්ෂණයක් තිබූ නිළියක වූ එලිසැබත් ටේලර් විසිනුයි. 

ක්ලියෝපැට්ට්‍රා මුලින් ම ජුලියස් සීසර් ඇගේ වසඟයට ගත්තේ මිසරයේත් රෝමයේත් සබඳතා තර කිරීමට අවශ්‍ය බව කියායි. ඉන් අනතුරුව ඇය ඔහුගේ දෙවැනියා වූ මාක් ඇන්ටනි සෙනෙවියා තම වසඟයට ගත්තා. 

කෙසේ වෙතත් මාක් ඇන්ටනි විවාහ වූයේ ඔක්ටේවියා නම් වෙනත් කතක් සමඟයි. ඒ පාලකයා වූ ජුලියස් සීසර් අධිරාජයාගේ දියණියයි; ඔක්ටේවියන්ගේ නැඟණියයි. ඔහුගේ අරමුණ වුණේ අධිරාජයාගේ හොඳ හිත පවත්වා ගෙන යාමයි. 

පසුව මාක් ඇන්ටනි, සිය නව බිරිඳ අත හැර ක්ලියෝපැට්ට්‍රා සොයා ගියා. ඒ දෙදෙනා විවාහ වුණා. රෝම නීතියට අනුව රෝමන්වරුන්ට විදේශිකයන් හා විවාහ වීම තහනම්. ඔක්ටේවියන් ඒ අනුව ක්ලියෝපැට්ට්‍රා හා මාක් ඇන්ටනි දෙපළට එරෙහිව යුද්ධ ප්‍රකාශ කොට ඔවුන් පරාජය කළා. 

ක්ලියෝපැට්ට්‍රා පලා ගොස් තමා වෙනුවෙන් ඉදිකළ සොහොන් ස්මාරකයක සැඟවුණා. ඇගේ මෙසේ සැඟවී යාම නිසා කවුරුත් විශ්වාස කළේ ඇය දිවි නසා ගත්තාය කියලයි. පසුව මාක් ඇන්ටනි දිවි නසා ගැනීමේ අදහසින් තමාට ම තියුණු ආයුධයකින් ඇන ගත්තා. ක්ලියෝපැට්ට්‍රා ඒ මොහ‍ොතේ ඔහු ඇකයට අර ගෙන තියෙනවා. ඇය දිවි නසා ගෙන ඇතැයි සිතා තමයි ඔහු දිවි නසා ගන්න තැත් කර තියෙන්නෙ. ඔහු මියගිය පසු ඇයත් සර්පයකු ලවා දෂ්ඨ කර ගෙන දිවි නසා ගෙන ඇති බව කීවත් එය විවාදාපන්නයි. 

පැරණි වාර්තාවලට අනුව ක්‍රි.පූ. 30 අගෝස්තු 12 වැනිදා සිදුවූ ඇගේ මරණයට හේතුවූ සර්පයා ගෙනවුත් ඇත්තේ ගම්බද පෙදෙසකින්. ඒත් විද්වතුන් කියන්නේ එය විශ්වාස කළ නොහැකි බවයි. මිසරයේ ඉන්නා නාගයන් හා පොළොඟුන් වැනි විෂ වැඩිම සර්පයන් විශාල එවුන් නිසා සොරෙන් මාලිගයට ගෙන ඒම කළ නොහැක්කක් බවයි. 

ඔක්ටේවියන් අධිරාජයා ඉතාලියට විත් රෝමයේ ප්‍රථම අධිරාජයා බවට පත් වුණා. ඒ අතර ක්ලියෝපැට්ට්‍රා හා ඇන්ටනි දෙදෙනාගේ සිරුරු මිසරයේ කොතැනක හෝ මිහිදන් කර තිබෙනවා. ඒවා මේ අලුතින් සොයා ගත් උමඟ ඔස්සේ යන තැනක ඇතැයි ඔවුන් විශ්වාස කරනවා. 

ටැපෝසයිරිස් මැග්නා දෙවොලෙහි පෞරාණික නටබුන්

එහෙත් ක්ලියෝපැට්ට්‍රා හා ඇන්ටනි දෙදෙනාගේ සිරුරු මේ ටැපෝසයිරිස් මැග්නා දෙවොලෙහි මිහිදන් කර ඇතැයි මතයට විරුද්ධ මත දරන අයත් ඉන්නවා. ඒ වගේ ම සමහර විශේෂඥයන් කියන්නේ මිසරය පාලනය කළ ඇය වයස අවුරුදු 39 දී, ක්‍රි. පූ. 30 දී. සිදු වූ ඇගේ මරණයෙන් පසු කඩිමුඩියේ ම ඇලෙක්සැන්ඩ්‍රියාවේ තැනක වළ දමා ඇති බවයි.

 අයිසිස් හා ඔසයිරිස් දේව කථාවට අනුව ඔසයිරිස් ඝාතනය කර කැබලිවලට කපා මිසරය පුරා විසුරුවා හැර තියෙනවා. අයිසිස් දෙවඟන සැමියාගේ කැබලි සියල්ල එකතු කර ඔහුගේ සිරුර පියවි තත්වයට පත් කර පණ දෙනවා. 

මාර්ටිනස් විශ්වාස කරන්නේ ටැපෝසයිරිස් මැග්නා දෙවොලෙහි නමට ‘ඔසයිරිස්ගේ සොහොන් ගැබ’ යන අරුත දෙන නිසා එහි දේව කථාවෙහි ඔසයිරිස්ගේ සිරුර කැබලි කළ තැනක් එය සැලකිය හැකි බවයි. 

එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ පුරාණ ඉතිහාසය හා සම්භාව්‍ය සාහිත්‍යය දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය මෙයිකින් මොස්ලෙත් කිං කියන්නේ, ‘ක්ලියෝපැට්ට්‍රා හා ඇන්ටනි දෙදෙනාගේ සිරුරු ටැපෝසයිරිස් මැග්නා දෙවොලෙහි මිහිදන් කළේ යැයි යන්න පිළිගත හැකි දේශපාලන හා ආගමික ප්‍රකාශයක් බව’යි. 

“ටොලමිවරුන් මිසරයේ සාම්ප්‍රදායික පරාවෝවරුන් ලෙස ඔවුන්ගේ රාජකීයත්වය, බල පරාක්‍රමය පෙන්වූයේ මිසර දෙවියන්ට ඇති සමීප සම්බන්ධතා දක්වන අත්‍යාලංකාර දෙවොල රැසක් මිසරය පුරා ඉදිකරමිනුයි. 

“ටොලමික රැජිනක් ලෙස හත් වන ක්ලියෝපැට්ට්‍රාත් අයිසිස් දෙවඟන සෙවණේ මේ දෙවොලෙහි තැන්පත් කර ඇති බව නිසැකයි. ක්ලියෝපැට්ට්‍රා හා ඇන්ටනි දෙදෙනාත් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ අයිසිස් හා ඔසයිරිස් දෙදෙනා ජීවමානව මිහිමත පහළව ඇති අකාරයටයි. 

“ක්ලියෝපැට්ට්‍රා හා ඇන්ටනි දෙදෙනා මේ දෙවොල තුළ මිහිදන් කර ඇත්නම් එය බරපතල දේශපාලන හා ආගමික ප්‍රකාශයක් වෙනවා. ඇන්තනිගේ මරණය ඔසයිරිස් ගේ මරණයට සමාන වෙනවා. 

“ඒ සමගම ක්ලියෝපැට්ට්‍රා, සිය සැමියා වෙනුවෙන් වැලපුණු පතිනියක වූ අයිසිස්ගේ තත්වයට පත් වෙනවා. එයින් පරාවෝවරුන් සතු දෙවියන්ට සමාන බලය රෝමන්වරුන් ගේ අමානුෂික ක්‍රියා මගින් යටපත් කළ නොහැකි බව කියැවෙන පණිවිඩයක් මිසර ජනතාවට යැවෙනවා.” යැයි මොස්ලෙත් කිං අවසාන වශයෙන් කියනවා. 

මෙහි කැණීම් තවමත් සිදු වෙනවා. යම්හෙයකින් ක්ලියෝපැට්ට්‍රා හා ඇන්ටනි දෙදෙනාගේ සිරුරු එහි තිබී හමු වුවහොත් එය ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් වේවි. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments