HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකයේ මිනිස් ගහනය බිලියන අටක් කළ විනිස්

රෑ මැදියම පසුවුණා පමණි. වේලාව සටහන් වූයේ අලුයම 1.29 ලෙසය. පිලිපීනයේ, මැනිලා අගනුවර, ටොන්ඩෝ පළාතේ, ඩෙල්පෑන් නුවර පිහිටි ‘වෛද්‍ය හෝසේ ෆෙබෙල්ලා’ අනුස්මරණ රෝහලේ මාතෘ වාට්ටුවේ දකින්න ලැබුණේ වෙනදාටත් වඩා කලබලකාරි ස්වරූපයකි. සිඟිති දියණියක උපත ලබා සිටියාය. ඇගේ මව මේරි මාගරට් විලිරොන්ත්ය. විනිස් මබන්සාග් ලෙස බිලිඳියට නම් තැබුණි. උපත ලැබීමත් සමඟ, තමන් සුවිශේෂී තැනැත්තියක වූ බව පුංචි විනිස් තවම දන්නේ නැත. එය දැනගන්නට හෝ වටහා ගන්නට හෝ ඇය තවමත් පුංචි වැඩිය. දිනෙක ඇයට එය දැනගන්න ලැබෙනු ඇත. විනිස් සහ ඇගේ මව මාගරට් ගැන පිලිපීන මාධ්‍ය පමණක් නොව; ලෝක මාධ්‍ය ද පුවත් පළ කරන්න විය. විනිස් නමැති මෙම සිඟිත්තිය සුවිශේෂී තැනැත්තියක බවට පත්වූයේ ඇගේ උපත සමඟ ලෝක ජනගහනය මිලියන අටේ සීමාව පසු කිරීමය. 

බිලියන අටේ සීමාව පසු කළ බිලිඳිය විනිස්

නොවැම්බර් 15 වැනිදා වන විට ලෝක ජනගහනය මිලියන අටේ සීමාව ඉක්මවා යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේ පසුගිය සති අන්තයේදීය. ඒ අනුව, 15 වැනිදාට එළිවෙද්දී සිදුවන දරු උපත් සම්බන්ධයෙන් මුළු ලොවම උනන්දුවෙන් පසුවිය. ලෝකයේ සෑම රටකම රෝහල් පද්ධති, එම රටවල සෞඛ්‍ය අමාත්‍යංශ හරහා සම්බන්ධ වී සිටින අතර, දරු උපත් පිළිබඳ දත්ත සැණින් වාර්තා කෙරිණ. ඒ අනුව, ලෝක ජනගහනය මිලියන අටේ සීමාව පසු කරමින් ඒ ගෞරවය දිනා ගත්තේ විනිස් බිලිඳියයි. ඇගේ උපත මෙසේ නම් කළේ ඒ සමඟ ම උපන් අනික් දරුවන්ට අසාධාරණයක් නොවන ආකාරයටයි. 

ලෝක ජනගහනය බිලියන අටේ සීමාව පසු කරමින් සිදුවුණු විනිස් මබන්සාග් සිඟිත්තියගේ උපත පිළිබඳ විස්තර මාධ්‍ය හමුවේ වාර්තා කළේ පිලිපීන ජනගහන සංවර්ධන කොමිසම ය. ඔවුන් සිය ෆේස්බුක් ගිණුම හරහා බිලිඳියගේ සහ ඇගේ මවගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කළේය. ඒ, මවට සහ දියණියට සුබ පතමිනි. ‘ලෝකයේ බිලියන අටවන පුද්ගලයා සංකේතාත්මකව සනිටුහන් කිරීමට මැනිලාහි ටොන්ඩෝහි උපත ලද බිලිඳියක තෝරා ගැනීමත් සමඟ ලෝකය තවත් ජනගහන සන්ධිස්ථානයකට ළඟා වී තිබේ’ යැයි පිලිපීන ජනගහන සහ සංවර්ධන කොමිෂන් සභාව සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කළේය. 

විනිස් බිලිඳිය සහ ඇගේ මව.

ලෝක ජනගහනය බිලියන හතේ සීමාව පසු කළේ 2011 වසරේ දීය. ලෝක ජනගහනයට තවත් බිලියනක් එක් වී එයට බිලියන අටේ සීමාව පසු කිරීමට ගත වූයේ වසර 11ක් පමණය. දැනට ලොව වැඩිම ජනගහනයක් ඇති රාජ්‍යය ලෙස සැලකෙන්නේ චීනයයි. එහි ජනගහනය බිලියන 1.4කි. ලොව බිලියනයේ සීමාව පසු කළ අනෙක් රාජ්‍යය වන්නේ ඉන්දියාවයි. එහි ජනගහනය බිලියන 1.3කි. අනාගත පුරෝකථනය අනුව 2023 දී ඉන්දියාව චීනය පසු කර යනු ඇත. 

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පෙන්වා දෙන ආකාරයට, 2037 වසර වෙද්දී වැඩිවන ලෝක ජනගහනයට දායක වන්නේ ආසියානු සහ අප්‍රිකානු රටවල්ය. ජනගහන වර්ධනයට යුරෝපා රටවලින් ලැබෙන දායකත්වය අවම වනු ඇත. ලෝක ජනගහනය බිලියන හතේ සිට අට වන තෙක් වර්ධනය වීමට වසර 11 ක කාලයක් ගත වී ඇති නමුත් ඉදිරියේ දී ගෝලීය ජනගහන වර්ධනයේ මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කරනු ඇති බැවින්, මීළඟ බිලියනය පසු කිරීම සඳහා වසර 14 හමාරක් ගත වනු ඇතැයි ‘එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල’ පුරෝකථනය කර තිබේ. 

එසේ නම්, ලෝක ජනගහනය බිලියන නවයේ සීමාව පසු කරනු ඇත්තේ වසර 2037 දීය. වසර 2080 වෙද්දී, ලෝක ජනගහනය බිලියන 10.4 ක උපරිමයකට ළඟා වනු ඇති බවත්, වසර 2100 දක්වා එම මට්ටම වෙනසක් නොවී පවතිනු ඇති බවත් ‘එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල’ අපේක්ෂා කෙරේ. ඉන්දියාවට අමතරව, 2050 වසර වෙද්දී, ගෝලීය ජනගහන වර්ධනයට සෘජුව දායකත්වය ලබා දෙන සෙසු රටවල් ලෙස ‘එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල’ හඳුනා ගෙන ඇත්තේ කොංගෝව, ඊජිප්තුව, ඉතියෝපියාව, නයිජීරියාව, පාකිස්තානය, පිලිපීනය සහ ටැන්සානියාව ය. 

- ලුසිත ජයමාන්න 

UNFPA වාර්තාවක් ඇසුරිනි 

Post a Comment

0 Comments