HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝක ප්‍රකට බුකර් සම්මානය දිනූ ශ්‍රී ලංකික ලේඛකයා

‍2022 වසරේ බුකර් සම්මානය දිනා ගැනීමට තවත් ශ්‍රී ලාංකිකය‍ෙ කු සමත් වුණා. ලෝක ප්‍රකට මේ බුකර් සම්මානය ශ්‍රී ලංකාවේ ලේඛකයකුට දිනා ගත හැකි වුණේ වසර 30කට පසුවයි. මෙවර සම්මානලාභියා වූයේ ෂෙහාන් කරුණාතිලකයි. මීට කලින් බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවේ ශ්‍රී ලාංකික මයිකල් ඔන්ඩච්චියි. ඒ 1992 වසරේදී ඔහු විසින් රචිත ‘ද ඉංග්‍ලිස් පේෂන්ට්’ කෘතියටයි. මෙවර ෂෙහාන් කරුණාතිලක බුකර් සම්මානය දිනා ගන්නේ ඔහු විසින් රචිත, ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ (මාලී අල්මේදාගේ දවස් හත) නවකතාව වෙනුවෙනි. මෙය ෂෙහාන් කරුණාතිලකගේ දෙවැනි නවකතාවයි. 

ලන්ඩන් නගරයේ පැවති සම්මාන ප්‍රදානයේදී කැමිලා පාකර් රැජින අතින් ෂෙහාන් සම්මානය ලබා ගත් අයුරු.

‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ නවකතාව මෙවර ‘ද බූකර්’ විනිසුරු මඬුල්ල විසින් තෝරාගත් ‍දේශපාලන ප්‍රහසන නවකතා අතරින් එකක්. අනෙක් කෘතීන් අතර නොවයලට් බුලාවයෝ නම් සිම්බාබ්වේ නවකතාකරුවා ලියූ කතා කරන සතුන් නිරූපණය කෙරෙන අප්‍රිකානු ඒකාධිපතියකු පිළිබඳ උපමා කතාවක් වූ ‘ග්ලෝරි’ නම් කෘතියත්, මනුෂ්‍ය ඝාතන මාලාවක් විමර්ශනය කරන කළු ජාතික රහස් පරීක්ෂකවරුන් දෙනෙකු පිළිබඳ සිත කීරි ගස්සන ත්‍රාසජනක, එහෙත් උපහාසය දනවන බසකින් ලියූ පර්සිවල් එවරට්ගේ ‘ද ට්‍රීස්’, ඇලන් ගානර්ගේ ‘ට්‍රිකල් වෝකර්’, ශෙහාන් කරුණාතිලකගේ ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ සහ ක්ලෙයා කීගන්ගේ ‘ස්මෝල් තින්ග්ස් ලයික් දීස්’ යන කෘතීන් අවසන් වටයට තේරුණ කෘති අතරට ඇතුළත් වුණා. 

‘ද බුකර්’ (The Booker) සම්මානය පිරිනැ‍මෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියා බ්‍රිතාන්‍යයේ හා අයර්ලන්තයේ ප්‍රකාශයට පත් ‌කෙරෙන වසරේ හොඳ ම නවකතාව සඳහායි. මේ සඳහා වාර්ෂිකව පවුම් 50,000ක මුදල් ත්‍යාගයක් (ශ්‍රී ලංකා රුපියල් 20,465,650 ක් පමණ) සමග සම්මානයක් හා සහතික පත්‍රයක්ද හිමි වෙනවා. මෙතෙක් මේ සම්මානයට පාත්‍ර වූ අතීත සාහිත්‍යධරයන් අතර වී. එස්. නායිපෝල්, කාසූ ඉෂිගුරෝ, සල්මන් රෂ්ඩි, මාගරට් ඇට්වුඩ්, ඉයන් මැක්එවන්, හිලරි මැන්ටල්, ඩග්ලස් ස්ටුවර්ට්, මයිකල් ඔන්ඩච්චි, අරුන්දතී රෝයි සහ අරවින්ද් ආදිගා වැනි ප්‍රකට ලේඛක ලේඛිකාවන් රැසක් ම ඉන්නවා. 

මීට පෙර මෙම ත්‍යාගය සඳහා ඇතුළත් කර ගැනුණේ, බ්‍රිතාන්‍ය, අයර්ලන්තය, පොදුරාජ්‍ය මණ්ඩලය සහ සිම්බාබ්වේ යන රටවල ලේඛකයින්ගේ පමණක් වූ අතර, විනිසුරුවරුන් 2014 දී එහි නීතිරීති වෙනස් කර, බ්‍රිතාන්‍යයේ හෝ අයර්ලන්තයේ පළ කෙරෙන, ඉංග්‍රීසි භාෂාවෙන් පොත් ලියන සියලුම කතුවරුන්ට එය විවෘත කරනු ලැබුවා. 

බොහෝ නවකතා ලියැවෙන්නේ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙනි; නැත්නම් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙනි. මධ්‍යම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කතා ලියැවෙන්නේ කලාතුරකිනි. මේ එවැනි දුර්ලභ අවස්ථාවකි. මේ නවකතාව ලියා ඇත්තේ මධ්‍යම පුරුෂ දෘෂ්ටි කෝණයෙනි. ඒ අතින් ෂෙහාන් කරුණාතිලකගේ මේ ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ නවකතාව හරි අපූරු නිර්මාණයකි. එය ශ්‍රී ලාංකික අනන්‍යතාව රැගත් හොල්මන් කතාවකි. ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ නවකතාවට පාදක වන්‍නේ 90 දශකයේ ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයයි. නවකතාවේ ප්‍රධාන චරිතය වන මාලි අල්මේදා යුද්ධය වාර්තා කළ ඡායාරූප මාධ්‍යවේදියෙකි. 

නවකතාව ආරම්භ වන්නේ ඔහුගේ මළ සිරුර බේරේ වැවෙන් හමුවීමත් සමඟය. යළි මනුෂ්‍ය ලෝකය හා සම්බන්ධ වෙමින්, තමන්ගේ ඝාතකයන් කවුරුන්ද, තමා ඝාතනයට ලක් වූයේ ඇයිදැයි සෙවීමට දවස් හතක කාලයක් මාලි අල්මේදාට ලැබෙනවා. යුද සමයේ සිදුවුණු අපරාධ දැක්වෙන ඡායාරූප රැසක් සොයා ගනිමින්, ඒ ඔස්සේ තමන් ආදරය කළ අය වෙත සමීප වීමට මාලි අල්මේදාට හැකිවෙනවා. 

එහි දී ඔහුට හෙළි වන්නේ ඔහුගේ ‘පුපුරායනසුලු’ ඡායාරූප නිසා ඔහුව ඉලක්කයක් වූ බවයි. අල්මේදා වන ඔහුගේ පුනර්භවය සූදු අන්තුවකු, අදේවවාදියකු සහ සමලිංගිකයකු වන සමීපතමයකු විසින් මෙහෙයවනු ලබනවා. ඔහුට අවශ්‍ය වන්නේ තමාව මරා දැමුවේ කවුද, තමාගේ ඡායාරූප ගබඩාව ඇත්තේ කොහේ ද යන්න අනාවරණය කර ගැනීමටයි. ඒ යන අතර මගදී ඔහුට නොයෙක් කල්ලිවල ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වී ආබාධිත වූවන් හා මනස විකෘති වූවන් ද හමු වෙනවා. 

“‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ නවකතාව බුකර් සම්මානය සඳහා තෝරාගත්තේ එම නවකතාවේ ඇති, පාඨකයන්ට සමීප කරවන ජීවිතය සහ මරණය පිළිබඳ අත්දැකීම බව” බුකර් සම්මාන විනිසුරු මඬුල්ලේ ප්‍රධානියා වූ, බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂ නීල් මැක්ග්‍රෙගර් පැහැදිලි කළා. “‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ පාඨකයන් හමුවට ඉදිරිපත් කරන්නේ පුදුමය, සතුට, මෘදු මොළොක් බව, ආදරය, සෙනෙහස, පක්ෂපාතීත්වය සහ ලැදිකමයි” යැයි නීල් මැක්ග්‍රෙගර් පවසනවා. වැඩිදුරටත් ඔහු සඳහන් කළේ ‘මේ‍ කෘතිය, පාඨකයා රෝලර් කෝස්ටරයක් මත ජීවිතයත් මරණයත් අතර දුවවන පොතක්’ ලෙසයි. 

මේ විනිසුරු මඬුල්ලට එක් වූ අනෙක් සාමාජිකයන් වන්නේ නවකතාකරණයේ විද්වතුන් වන ෂහීදා බාරි, හෙලෙන් කාස්ටර්, එම්. ජෝන් හැරිසන්, මහාචාර්ය ඇලන් මබන්කු යන අයයි. ෂෙහාන් කරුණාතිලකගේ කෘතියට බුකර් සම්මානය ලබාදීම විනිශ්චය මණ්ඩලයේ ඒකමතික තීරණය වූ බව ද විනිශ්චය මණ්ඩලයේ මුලසුන හෙබ වූ මැක්ග්‍රෙගර් පැවසුවා. 

බුකර් වෙබ් අඩවියේ පළ වන වීඩියෝවක කරුණාතිලක සඳහන් කර ඇත්තේ ‘ශ්‍රී ලංකාව ඛේදවාචකයෙන් ඛේදවාචකයට යන්නේ ඇයි ද යන්නට පිළිගත හැකි පැහැදිලි කිරීමක් මේ පොතෙන් ලැබෙනු ඇති’ කියායි. ‘එසේම මේ කතාවෙන් දැක්වෙන්නේ, කළ යුත්තේත්, නොකළ යුත්තේත් කුමක් දැයි නොදැන, ව්‍යාකූල වූ නොසන්සුන් ආත්ම සහ අවතාර මිනිසුන්ගේ කන්වලට කැත කතා කොඳුරමින් ඒ මේ අත සැරිසරමින්, විනෝද වන බව’යි. එහිදී ෂෙහාන් මෙහෙමත් කියනවා: ‘මං හිතුවෙ මේක මේ වගෙ දරුණු විෂය කරුණු ගවේෂණය කිරීමට ප්‍රයෝජනවත් ක්‍රමයක් කියලයි, ඒ වගේ ම තරමක සැහැල්ලු බවකුත්, සෙල්ලක්කාර බව චුට්ටකුත් මේකෙ තියෙනව.’ ඔහු කියනවා. 

ෂෙහාන් සිය සම්මානලාභී කෘතිය සමග.

මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර, රවුන්ඩ්හවුස් රඟහලේ පැවැති විශේෂ සම්මාන ප්‍රදාන උළෙලේදී ෂෙහාන් කරුණාතිලකට සම්මානය පිරිනැමීම සිදුවූයේ බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ බිසව‍ වූ කැමිලා පාකර් රැජින අතිනි. දෙවැනි එලිසැබත් මහ රැජිනියගේ අභාවයෙන් පසු, බ්‍රිතාන්‍ය සිහසුනට පත් වීමෙන් පසු චාල්ස් රජුගේ අග බිසව වූ කැමිලා පාකර් රැජින වීමෙන් සහභාගි වූ පළමු ප්‍රධාන පෙළේ උත්සවය මෙයයි. 

බුකර් සම්මානය දිනාගැනීමෙන් පසු ඉංග්‍රීසි බසින් උත්සව සභාව ඇමතූ ෂෙහාන් කීවේ, ‘මේ බුකර් සම්මානයට නම් කිරීම ම අප හැම ලැබූ ජයග්‍රහණයක්. ඒ නිසා වෙන ම නම සඳහන් කර පිරිනැමන මුදල් ත්‍යාගය මම සාක්කුවේ දා ගන්න එක හරිද මන්දා’ යැයි සිනාසෙමිනි. 

ඉන්පසු ඔහු සිංහල හා දෙමළ භාෂාවලින් ද උත්සව සභාව ඇමතුවා. ඔහු සිංහලෙන් කීවේ මෙහෙම දෙයක්: “මං මේ පොත ලියුවේ ලාංකික ඔබ සැම වෙනුවෙන්. මේක ජයග්‍රහණයක්. අපේ රට පරාජය වෙලා ඉන්න වෙලාවක මේක අපට හොඳ ජයග්‍රහණයක්. මේ ළඟදි අප නැමීබියාවට පැරදුණා. කමක් නෑ. අද ලංකාවේ මිනිස්සු හුඟක් දුක් විඳිනවා. ඒ දුක් මඬින්න දෙන්න මට ආයුධ නෑ. ඒත් මේ ජයග්‍රහණය අපි පිළිගමු. අපි කොහොම හරි ලෝක ටී20 විස්සයි විස්ස කුසලානයත් දිනාගමු. ඒක අපට බැරි නැහැ”යැයි කියමින් ෂෙහාන් එසේ අප ඇමතුවේ සැතපුම් දහස් ගණනක් දුර ලන්ඩන් නගරයේ සිටයි. 

ෂෙහාන් මේ පොත ගැන තමා තුළ ඇති බලාපොරොත්තුව මෙහෙම පැහැදිලි කරනවා: ‘නුදුරු අනාගතයේ දී, දස වසරක් හෝ ඊට වැඩි කලක් ගත වූ දිනෙක, දූෂණ, ජාති වශයෙන් කා කොටා ගැනීම් සහ ගජමිතුරුකම් පිළිබඳ අවලාද නොනැගෙන ශ්‍රී ලංකාවක මේ පොත කියවෙනු මිස නැතිනම් පලක් නොවනු ඇති බවයි. තමා සිතනුයේ මෙය එවැනි කතන්දර වලින් ඉගෙන ගන්නා ශ්‍රී ලංකාවක කියවෙනු ඇති බව’යයි කරුණාතිලක පවසයි. 

1975 දී, ගාල්ලේ උපන් ෂෙහාන් කරුණාතිලක හැදුණේ වැඩුණේ කොළඹ නගරයේයි. කොළඹ කොල්ලුපිටියේ ශාන්ත තෝමස් ප්‍රාථමික පාසලෙන් පසුව, වැඩිදුර ඉගෙනුම ලබන්නට ඔහු නවසීලන්තයට ගියා. එහිදී ෆන්ගනූයි විදුහලෙන් මූලික අධ්‍යාපනය ලත් ඔහු ඉන්පසු මැසෙයි විශ්ව විද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය ලැබුවා. ඉංග්‍රිසි සාහිත්‍යය හා ව්‍යාපාර පරිපාලනය ඔහුගේ විෂයයන් වුණා. ඉන්පසු ඔහු රැකියාව සඳහා විදෙස් රටවල් කීපයකටම ගියා. ලන්ඩනය, ඇම්ස්ට්‍රඩෑම් සහ සිංගප්පූරුව ඉන් කීපයක්. ඔහු වැඩි වශයෙන් නිරත වූයේ වෙළඳ දැන්වීම් පිටපත් රචකයෙකු ලෙසයි. ඔහු, ඉඳහිට නිදහස් චතුරශ්‍රයේ රොක් වාදක කණ්ඩායමක ගිටාර් වාදකයකු ලෙස ද කටයුතු කළා. දැනට කොළඹ නගරයේ වෙසෙන ඔහු ජීවනෝපාය ලෙස කරන්නේ වෙළඳ දැන්වීම් සඳහා අත්පිටපත් රචනයෙහි යෙදීමයි. ඔහු, සිය ලේඛන කාර්යයෙහි යෙදෙන්නේ හිමිදිරියෙහියි.‍ 

ඔහුගේ පළමු නවකතාව වන ‘චයිනමන්, ද ලෙජන්ඩ් ඔෆ් ප්‍රදීප් මැතිව්’ (2011) හරහා ෂෙහාන් කරුණාතිලක සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ විචාරක පැසැසුමට පවා ලක් වෙමිනුයි. එයට පොදු රාජ්‍ය මණ්ඩල සම්මානය ඇතුළු සම්මාන කීපයක් හිමි වුණා. එය ‘චයිනාමන්, ප්‍රදීප් මැතිව්ගේ ක්‍රිකට් ප්‍රවාදය’ යනුවෙන් දිලීප අබේසේකර විසින් සිංහලට නඟා ඇති අතර ක්‍රිකට් ක්‍රීඩාව විෂය කර ගනිමින් ලියවුණු ලොව දෙවැනි හොඳ ම නවකතාව ලෙස ද විස්ඩන් ක්‍රිකට් සඟරාව හඳුන්වා දී තියෙනවා. ‍ 

46 හැවිරිදි ෂෙහාන්, ලේඛන කලාවට පිවිසීමට පෙර, දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ රැකියාවක් කළා. ඔහු ළමා පොත් රචකයකු, තිරපිටපත් රචකයකු මෙන්ම ගීත පද රචකයකු ද වෙනවා. ඔහු 'ද ගාඩින්', 'නිව්ස්වික්', 'රෝලිංස්ටෝන්', 'ජීකියු', 'නැෂනල් ජියෝග්‍රැපික්', ද' ක්‍රිකටර්', ‘විස්ඩන්’ සහ 'ඉකොනොමික් ටයිම්ස්' ආදී පුවත් සඟරාවලට මෙන්ම පුවත්පත්වලට ද ලිපි සම්පාදනය කරනවා. තමන් මීළඟට ළමයින් වෙනුවෙන් නිර්මාණ කීපයක් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පවසනවා. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලොව පුරා සුබදායී පණිවිඩයක් ගෙන යන ෂෙහාන් කරුණාතිලක අපට මහත් අභිමානයක්. අපේ තරුණයන්ගේ ගාලුමුවදොර අරගලයටත් පැමිණ ඔහු අපේ තරුණයන් දිරිමත් කළා මට මතකයි. 

 - පර්සි ජයමාන්න 

 

Post a Comment

1 Comments

  1. හරිම ආසාවෙන් කියෙව්වා . ලංකාවට හොද නමක් ගෙනා කෙනෙක්.

    ReplyDelete