HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සිසුවකුගේ විශිෂ්ට නිර්මාණයක්! රජ්ජුරුවෝ තාමත් හෙළුවෙන්!

මට හදිස‍ියේ අමුතු අත්දැකීමක් ලැබුණා. අමුතු උපමා කතාවක් මට හමු වුණා. ඒ කතාව හමුවුණේ, සාහිත්‍ය මාසය වෙනුවෙන් පාසල් ළමුන් අතර පැවැත්වූ නිර්මාණ තරඟයකට කනිෂ්ඨ අංශයට ඉදිරිපත් කරලා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පළමුවැනියා වූ නිර්මාණශීලී ළමයකු ලියූ එකක්. ළමයාගේ නම තවම ප්‍රසිද්ධ කරලා නැහැ. ඉදිරියේ දී මට දැන ගන්න ලැබුණු වහාම මම ඒක ප්‍රසිද්ධ කරනවා. ඒත් ඒ කතාව ප්‍රසිද්ධ කරන්න මට තවත් බලා ඉන්න බැහැ. ඒ නිසා මේ ආකාරයට ඒක පළ කරන්න හිතුවා. 

මේ සමඟ පළවෙන්නේ හැන්ස් ඇන්ඩර්සන්ගේ කතාවට පළ වූ පැරණි චිත්‍රයක්. 
මේ කතාව ඊට වඩා වෙනස් එකක්.

මේක ලෝක ප්‍රකට හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ ජනකතාවකට එක් කළ අලුත් දිගුවක්. අමුතුම නිර්මාණයක්. ඒ වගේම අද අප රටේ පවතින තත්වයට ඉතාමත් ගැළපෙන උපහාස කතාවක්. පාසලක අටේ හෝ ඊට පහළ පන්තියක ළමයකුගේ නිර්මාණයක් කියලා හිතන්නවත් බැහැ. මට මේක කියවන විට මතක් වුණේ කීර්තිමත් ඇමරිකන් උපහාස රචක ජේම්ස් තර්බර්ගේ ‘අපේ කාලයට ගැළපෙන උපමා කතා’යි. ජේම්ස් තර්බර් 1961 දී මියගියත් ඔහු අපේ රටේ යළි ඉපදී ඇතැයි මට මේ කතාව කියද්දී සිතුණා. ඔබටත් එහෙම හිතෙයි ද කියා මෙය කියවා බලන්න. 

රජ්ජුරුවෝ තාමත් හෙළුවෙන්! 

සීතාම්බර පට සළුව ඇඳ ගෙන යද්දී පොඩ්ඩෙක් කෑ ගහලා “අන්න රජතුමා හෙළුවෙන්!” කියපු කතාව හැමෝම දන්නවානෙ. 

හැබැයි පොඩි වැරැද්දක් වෙලා තියෙනවා. කතාව එතැනින් ඉවර වුණේ නැහැ. අපේ අවාසනාවට ‘හෙළුව’ පෙන්නපු ගමන් හැමෝම රජ්ජුරුවො දිහා බැලුව නිසා පොඩ්ඩට වෙච්ච ඇබැද්දිය කවුරුවත් දැක්කෙ නෑ. ඒ වුනත් කතාවෙ ඉතිරි හරිය පස්සෙ ආරංචි වුණා. ඒක පසුකාලීනව ප්‍රසිද්ධ වුණ නිසා ඒක නූතන ජන කතාවක් විදියටයි එන්නෙ. මෙන්න මේකයි කතාව. 

සීතාම්බර පට සළුව ඇඳ ගෙන මහත් උජාරුවෙන් සෙනඟ අතරින් ඇවිද ගෙන ගිය රජතුමා “හෙළුවෙන්” කිව්ව පොඩි එකා නිසා රජ්ජුරුවන්ට වඩා අමාරුවක වැටුණෙ ඇමැත්තො ටික. මෙච්චර දුරක් තමන් ආවේ ඇඳුමක් නැතුව බව තමන්ට නො කිව්වේ ඇයි කියලා රජ්ජුරුවො ඇමති මණ්ඩලේට ගෝරනාඩු කළා. කීප දෙනෙකුගෙම ඇමති තනතුරු එහෙමත් වෙනස් කළා. දඬුවමක් හැටියට භාණ්ඩාගාර ඇමති අශ්ව ඉස්තාල භාර ඇමති කළා. විදේශ ඇමති සංදේශ ඇමති කළා. මඟුල් බෙර ඇමති අණබෙර ඇමති කළා.

රජ්ජුරුවන්ගේ කේන්තිය නිවෙන්න කාලයක් ගත වෙන බව ඇමැත්තන්ට තේරුණා. හැම උදේකම රජ්ජුරුවො කවුරු හරි ඇමතියෙක්ව මාරු කළා. දවසක් බොහොම ගරු ගාම්භිරෙට හිටපු මහ ඇමතිගෙ වැඩ බලන්න රජ්ජුරුවන්ගේ පුත් කුමාරයෙක් පත් කළා. කුමරයාට වයස අවුරුදු තුනයි! වැඩ බාර ගත්ත ගමන් ම කුමාරයා මහ ඇමතිගෙ ඔඩොක්කුවට පැනලා මූත්‍රා කළා. 

මේ සේරම අකරතැබ්බවලට මුල ‘හෙළුව’ පෙන්නපු පොඩි එකා බව ඇමති මණ්ඩලේට වැටහුණා. සේරම දෙනා එකතු වෙලා පොඩ්ඩාව හොයා ගෙන ගියා. මහා ඇමති මණ්ඩලයක් තමන් අභියසට එනව දැකලත් පොඩ්ඩා පොඩ්ඩක්වත් කලබල වුණේ නැහැ. 

“මං හෙළුව පෙන්නාදීපු නිසා ‍හැමෝම අමාරුවෙ වැටුණා නේද?” පොඩ්ඩා ඇහුවා. 

තමන් කට අරින්නත් කලින් පොඩ්ඩා හේතුව කිව්ව එක ගැන ඇමතිවරුන්ට හරි පුදුමයි. ඒත් පුදුමය නොපෙන්නා මහ ඇමති කතා කළා. 

“දරුවා! මේ දරුවා හරිම ඤාණවන්තයි! කොහොමද එක පාරටම දැන ගත්තේ මහ රජතුමා හෙළුවෙන් කියලා? අපි ඒක දැන ගන්නයි ආවෙ.” 

“අයියෝ ඒක සුළු දෙයක් නෙ. කෙනෙකුගේ ඇඳුමෙන් වැහිලා තියෙන්න ඕනෙ අවයව සේරම එළියෙ නම්, ඒකෙන් කියවෙන්නෙ, ඒ තැනැත්තා හෙළුවෙන් කියලා තමා. මම පාඨශාලාවට ගිය පළවෙනි දවසෙම නෙ ගුරුතුමා ඕක කියලා දුන්නෙ!” 

ඇමති මණ්ඩලේ තම තම නැණ පමණින් කාරණේ තේරුම් ගත්තා. හැමදේට ම මුල ගුරුතුමන්ලා බව සියල්ලන්ම ඒකමතිකව තීරණය කළා. ගුරුතුමන්ලා දරුවන්ට මෙවැනි දේ කියා දෙන තරමට තමන්ගේ රාජකාරි අමාරුවෙන බව ඒ හැමෝටම පෙනී ගියා. හැමෝ ම ඇඟිල්ල දික් කළේ පාඨශාලා ඇමති දිහාටයි. ඒ හිටපු ඇමති කෙනා වෙනුවට රජතුමා කෝපවෙලා ඒ තනතුරට දාලා තිබුණේ හිටපු ගව පට්ටි භාර ඇමතිවරයාවයි. 

“ඒ සිද්ධිය වෙන කොට මම මේ තනතුරේ හිටියෙ නැහැ. ඒ නිසා මට වගකීමක් බාර ගන්නත් බැහැ. ඒත් ඉස්සරහට මේ දේ නොවෙන්න මම වැඩ කරන්නම්. මගේ ගව පට්ටි පාලන දැනුම මෙතෙන්දි හරි වැදගත්!” බුද්ධිමත් විදිහට ඇමතිවරයා පැහැදිලි කළා. 

“අපේ ගව පට්ටිවල මස් අඩු වෙන කොට අලුතෙන් තණකොළ, පුනක්කු දෙනවා. ඒ වගේමයි, උන් වැඩිලා තෙල් පිරිලා මස්වල ගුණය පහළ යද්දී අපි හරකුන්ගෙ කෑම පාලනය කරනවා. ඒ වගේ ම ගැළපෙන මස් වර්ග ආසන්න රාජධානිවලින් ගෙන්වනවා. මෙතෙන්දි කරන්න ඕනෑ ඒක. මේ ගුරුවරු පමණට වඩා ළමයින්ට දැනුම දෙනවා. ඒක පාලනය කරන්න ඕනෑ.” 

පාඨශාලා ඇමති සිය තීරණය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. කෙළින් ම ගුරුවරුන්ට උගන්වන ප්‍රමාණය අඩු කරන්න කියන්න බැරි නිසා ඒ සඳහා විවිධ උපක්‍රම යෙදුවා. ඇතැම් පාඨශාලා වසා දැමුවා. ගුරුවරුන් දුර්මුඛ කරන්න ඔවුනගේ දීමනා අඩු කළා. ඔවුන් එහාට මෙහාට මාරු කළා. දුනු විදින්න දක්ෂ ගුරුවරු වෙණ වයන්න උගන්වන්න යැව්වා. වෙණ වයන අය කෘෂිකර්මය උගන්වන්න යැවුවා. ඒත් එක්කම පාඨමාලාවල ‘හෙළුව’ පිළිබඳ ලියැවුණු පොතපත ඉවත් කළා. ඉතිහාසයේ දවසක රජතුමා හෙළුවෙන් ගිය කතාව දැන ගන්න නිසා ඉතිහාසය උගන්වන එකත් නතර කරලා දැම්මා. 

කාලය එහෙම ගත වුණා. අඩු දීමනා නිසා වේදනාවට පත් ඇතැම් ගුරුවරු පාඨමාලා හැර දමා ගිහින් වෙළඳාම, ගොවිතැන වගේ ජීවන මාර්ග තෝරා ගත්තා. තවත් අය කලකිරීමෙන් වෙනත් දේශ දේශාන්තරවලට ගියා. ඒත් එක දක්ෂ ගුරු පිරිසක් මේ තත්වය වෙනස් කරන්න තීරණය කරලා ඒ ගැන සාකච්ඡා කළා. 

“උඹලාගේ දරුවන්ට හොඳ ඥානයක් ලැබෙන්නේ නැහැ. පාඨමාලා පිරිහෙනවා. හොර තක්කඩි අකුරු උගන්වන්න එනවා. ඉතිහාසය අයින් කරලා. පාඨශාලා දිරාපත් වෙන්න ඇරලා.” ඔවුන් ගම්බිම් කරා යමින් රටවැසියන් දැනුවත් කළා. බුද්ධිමත් රටවැසියන් කලබල වුණා. ඒත් ඒක තේරුම් ‍නොගත් අනුවණ පිරිස් ඒ ගුරුවරුන්ට උසුළු විසුළු කළා.

කොහොමින් හරි සිද්ධ වෙමින් පවතින දෙය රජතුමාටත් ආරංචි වුණා. “කුමක් ද මේ සිදු වන්නේ? වහාම කරුණු සොයා බලා මට දැනුම් දෙනු!” රජු ඇමති මණ්ඩලයට නියෝග කළා. 

තමන් සැලසුම් කළ මොහොත පැමිණ ඇති බැව් ඇමති මණ්ඩලය වටහා ගත්තා. පසුදා උදේ ඔවුන් සියලු දෙනාම සීතාම්බර පට සළුවලින් සැරසිලා රාජ සභාවට ගියා. 

“රජතුමනි, අතීතයේ දිනක අප ඇඳ සිටින වටිනා සළුවෙන් සැරසී ඔබතුමා ජනතාව ඉදිරියට යද්දී එක් මෝඩ කොලුවෙක් ඔබට අවමන් කළා. මෝඩයින් වූ රටවැසියනුත් ඒ කොලුවාගේ බහ පිළිගෙන ඔබතුමාට සිනාසුණා. එහෙත් වරද අපි වැරදි කළා. දැන් යළිත් මේ සළුව අඳින්නට කාලයයි!” 

මෝඩයාට නොපෙනෙන ඒ සළුව හැඳ ගත් රජතුමා ද ඇමති මණ්ඩලයත් සමඟ මහත් ආඩම්බරයෙන් වීදි සංචාරයේ යෙදුණා. 

‘හෙළුව’ යන වදන නොදන්න අලුත් දරුවන් ඒ පැරණි වචනය කීවේ නැහැ. තේරුණු ගුරුවරුන් ඒ බව කියන්න හැදුවත් මෝඩ මිනිස්සු එ්ක වැළැක්වූවා. “හෙළුව? ඒ මොකක්ද?” රජතුමා හෙළුවෙන් බව පෙන්වන්න හදපු ගුරුතුමන්ලාගෙන් ඒ පිරිස් ප්‍රශ්න කළා. ඉතිහාසය නූගන්වන නිසා රටවැසියන්ටත් ඒ වචනය අමතකව ගොස් තිබුණා. 

කවුරුත් කිසිත් නොකීම ගැන රජතුමා සතුටු වුණා. “ප්‍රීතියි! ප්‍රීතියි! ඇමතිවරුනි, ප්‍රීතියි!” රජතුමා උද්දාමය පළ කළා. 

ජනතාව නිසි තැනට ගෙන ඒමේ ඇමතිවරුන්ගේ ක්‍රියා පිළිවෙත රජතුමාගේ පැසසුමට ලක් වුණා. රජු ඇතුළු ඇමති මණ්ඩලයම සීතාම්බර පට සළු ඇඳ ගෙන යන්න පටන් ගත්තා. තවමත් ඔවුන් නිර්භයව ඒ ඇඳුම ඇඟලා ගෙන ඉන්නවා. ඒත් ගුරුතුමන්ලා සුසුම් හෙළනවා. 

(ත්‍රිකුණාමලයේ කනිෂ්ඨ සිසුවකුගේ නිර්මාණයක්.) 

ඔබ ජේම්ස් තර්බර්ගේ කතා කියවා නැති නම් ඒ උපහාසයෙන් පරිපූර්ණ කතා කීපයක් ඉදිරියේ දී ‘මල් කැකුළු’ වලින් ඔබට අවස්ථාව සලසන්නට බලාපොරොත්තු වෙනවා. 

- පර්සි ජයමාන්න 

Post a Comment

4 Comments

  1. Adahanna bari tharam wishishta nirmanayak!Sinhala pela pothata athulath karanna watinawa.

    ReplyDelete
  2. හොඳ උපහාසාත්මක කථාවක් වගේම මර්ධන නීති වලින් මාධ්‍ය වල හඬ වසන්නට සැරසෙන අයටත් පිළිතුරක්!

    ReplyDelete
  3. මං හිතන්නේ මේ කියන්නේ පර්සි රජපස්සයි එයාගේ පුතාලයි ගොලයෝයි කියල, අර ඇමටියෙක් වෙනුවට අවුරුදු තුනේ පුතෙක් දැම්ම කිව්වම මතක් උනේ නාමල් බෙබිව.

    ReplyDelete