HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

2022 නොබෙල් රසායන විද්‍යා සම්මානය ඔසු නිපදවීමේ නව මංවලට

රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය මේ වන විට 114 වතාවක් පිරිනමා තියෙනවා. ‍ඒ අනුව 1901 සිට 2022 දක්වා දැනට නොබෙල් සම්මාන 191ක් සම්මානලාභීන්ට ලබා දී ඇති බවයි, නොබෙල් සම්මාන මණ්ඩලය කියන්නේ. ඒත් රසායන විද්‍යාවට නොබෙල් සම්මාන ලාභීන් ඉන්නේ 189යි. මේ වෙනසට හේතුව කලින් රසායන විද්‍යා නොබෙල් සම්මානය හිමි කර ගත් දෙදෙනකුට දෙවැනි වරටත් රසායන විද්‍යා සම්මානය පිරිනැමීමයි. ඒ ෆ්‍රෙඩ්රික් සැන්ජර් හා කාල් බැරී ෂාප්ලස් ඒ දෙදෙනායි. එයින් ෆ්‍රෙඩ්රික් සැන්ජර්ට 1958 දීත් 1980 දීත් රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දෙවරක් හිමි වූ අතර මෙවර නොබෙල් සම්මානය ලබන කාල් බැරී ෂාප්ලස්ට කලින් 2001 දී රසායන විද්‍යාවට නොබෙල් සම්මාන හිමි වුණා. මෙවර 2022 දී යළිත් නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබුවා. 

2022 නොබෙල් රසායන විද්‍යා සම්මාන ලත් කැරොලින් බර්ටොසි, මෝට්න් පී. මෙල්ඩල් හා කාල් බැරී ෂාප්ලස්

ඔහුත් සමඟ 2022 රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගයට හිමිකම් කියන්නේ ඇමරිකන් ජාතික කැරොලින් බර්ටොසි හා ඩෙන්මාක් ජාතික මෝට්න් පී. මෙල්ඩල් යන දෙදෙනායි. මේ සඳහා නොබෙල් සම්මානය වෙනුවෙන් පදක්කම සමඟ මුළු ත්‍යාග මුදලින් තුනෙන් එක බැගින් ඔවුන් තිදෙනාට හිමිවෙනවා. මේ තිදෙනාට නොබෙල් රසායන විද්‍යා සම්මාන ලැබුණේ “‘ක්ලික්’ රසායන විද්‍යාව හා ජෛව ප්‍රලම්භක රසායන විද්‍යාව අංශවලින් කරන ලද පර්යේෂණ සඳහා”යි. ක්ලික් රසායන විද්‍යාව අයත් වන්නේ කෘත්‍රිම අණු දෙකක් ඉක්මනින් හා යළි වෙනස් කළ නොහැකි ලෙස ඒකාබද්ධ කරන ප්‍රතික්‍රියායි. මෙම ප්‍රතික්‍රියාවලින් සමහරක් ජීව රසායනික ක්‍රියාවලීන් කඩාකප්පල් නොකර ජීව සෛල තුළ සිදු කළ හැකි අතර ඒවා ජෛව ප්‍රලම්භක (bioorthogonal) ලෙස හැඳින්වෙනවා. 

මෙවර සම්මාන ලබන ඇමරිකන් ජාතික කැරොලින් රූත් බර්ටොසි උපන්නේ 1966 ඔක්තෝබර් මස 10 වැනිදායි. සමරිසි කාන්තාවක් වන ඇය අවිවාහකයි. ඇමරිකාවේ හවාඩ් විශ්ව විද්‍යාලයෙන් උපාධි ලත් රසායන විද්‍යාවේදිනියක වූ ඇය රසායන විද්‍යාවට පමණක් නොව ජීව විද්‍යාවටත් සිය ප්‍රවීණතාව ප්‍රකට කළ අයෙක්. 

ඒ විෂයයන් දෙකෙහිම සම්බන්ධකම් ඇති ‘ජෛවප්‍රලම්භක රසායන විද්‍යාව’ (bioorthogonal chemistry) යන ඉංග්‍රීසි වදන තැනීමේ ගෞරවය හිමි වන්නේත් ඇයටයි. 2003 දී ලොවට පළමු වරට හඳුන්වා දුන් එම යෙදුමෙන් හැඳින්වෙන්නේ සාමාන්‍ය ජෛව රසායනික ක්‍රියාවලීන්ට බාධා නො වන පරිදි ජීව පද්ධති තුළ ඇති විය හැකි ඕනෑම රසායනික ප්‍රතික්‍රියාවන්ට අදාළ රසායන විද්‍යාවයි. 

ඇගේ මෑතකාලීන පර්යේෂණ අතරට, සඳහා රසායනික මෙවලම් තනාගෙන ග්ලයිකන් නම් සෛල මතුපිට ඇති සීනිවල ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීමයි. එසේම ඒවා සිරුරේ ඇති වන පිළිකා, ප්‍රදාහයන් සහ කොවිඩ්-19 වැනි වයිරස ආසාදන වැනි රෝග‍ තත්වවලට බලපාන ආකාරයත් ඇතුළත් වුණා. 

ඩෙනිෂ් ජාතික මෝට්න් පී. මෙල්ඩල් 1954 ජනවාරි 16 වැනිදා ඩෙන්මාක්වල උපන් රසායන වේදියෙක්. ඩෙන්මාකයේ කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්ය ධුරය දරන්නේ ඔහුයි. 

රසායනික නොබෙල් සම්මානය දිනූ තුන්වැන්නා වූ කාල් බැරී ෂාප්ලස් 2001 දීත් රසායන විද්‍යා නොබෙල් සම්මානයක් දිනූ බව මා කීවා. ඒ රසායන විද්‍යා පර්යේෂණවල දී චිරලි උත්ප්‍රේරක යෙදූ ඔක්සිකරණ ප්‍රතික්‍රියාවලින් ඔහු කළ නව සොයා ගැනීම් නිසයි. මෙවර 2022 රසායන විද්‍යා නොබෙල් සම්මානය දිනා ගත්තේ රසායනික ප්‍රතික්‍රියා පහසුකරවන ‘ක්ලික්’ රසායන විද්‍යාවට අදාළ පර්යේෂණවලටයි. ඒ ‘ක්ලික් රසායනික විද්‍යාව (click chemistry) සංකල්පය හා ඉංග්‍රීසි නාමය පවා ඔහු විසින් තබන ලද්දක්. 

කාල් බැරී ෂාප්ලස් උපන්නේ 1941 අප්‍රේල් 28 වැනිදා ඇමරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ ෆිලඩෙල්ෆියාවේදියි. ඔහු කුඩා කල සිටම මසුන් ඇල්ලීම විනෝදාංශය කර ගත් අයෙක්. ඔහු සාමාන්‍ය උපාධිය නිම කොට වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවීමට යද්දී ඔහුගේ මහාචාර්යවරයා කීවේ ඔහු අනාගතය සඳහා රසායන විද්‍යාවම දිගට ම තෝරා ගැනීමටයි. ඒ නිසා තමයි ඔහුට දෙවරක් ම ඔහුගේ පර්යේෂණ සඳහා නොබෙල් සම්මාන දෙකක් ම දිනා ගත හැකිවුණේ. 

 - පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments