සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාග 1901 සිට මේ දක්වා 115 වතාවක් පිරිනමා තියෙනවා. ඒ සම්මානය මේ වන තෙක් දෙදෙනකු අතරේ බෙදී ගියේ 4 වතාවක් පමණයි. නොබෙල් සම්මාන ලද්දන් අතර කාන්තාවන් 17 දෙනෙකු සිටිනවා. මෙතෙක් නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ලද ළා බාලම ලේඛකයා 41 හැවිරිදි රඩ්යාඩ් කිප්ලිං වන අතර ඔහුට එම සම්මානය හිමි වුණේ ‘ද ජංගල් බුක්’ (The Jungle Book) නම් කෘතියටයි. ඒ කෘතියට පාදක වී ඇත්තේ ඔහු ඉන්දියාවේ දී ලත් අත්දැකීම්ය. ඉන්දියාව සම්බන්ධ තවත් කෘතියකට නොබෙල් සාහිත්‍ය සම්මානය හිමි වුණා. ඒ මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් ලියූ ‘ගීතාංජලී’ කෘතියටයි. නොබෙල් සාහිත්‍යය ත්‍යාගය ලද වයෝවෘද්ධතම සම්මානලාභියා වන්නේ 2007 දී ඒ සම්මානය හිමිකර ගත් 88 හැවිරිදි ඩොරිස් ලෙසිං ලේඛිකාවයි.
නොබෙල් සම්මානය හිමි කරගත් ඇනී ඇත්නෝ
2022 සාහිත්‍යය සඳහා වූ නොබෙල් සම්මානය හිමි වී ඇත්තේ ඇනී ඇත්නෝ (Annie Ernaux) ප්‍රංශ ලේඛිකාවටයි. ‘සමාජයේ සමූහික ක්‍රියාකාරකම් නිසා පුද්ගලයන් කොන් කිරීම්වලට, කෙනෙහිලිකම්වලට, ලක් වන අයුරු තම පුද්ගලික අත්දැකීම් ඔස්සේ නිර්මාණශීලීව, විචාරශීලීව, විචක්ෂණ අයුරින් සිය කෘතීන් තුළින් නිර්දය ලෙස හෙළිදරවු කිරීමට ගත් ප්‍රයත්නයන් නිසා ඇයට නොබෙල් සම්මානය පිරිනැමෙන බව’ සාහිත්‍යය සඳහා වූ නොබෙල් කමිටුව විසින් ඇය පිළිබඳ හේතු පාඨයෙහි දක්වා තියෙනවා.
ඇය උපන්නේ 1940 සැප්තැම්බර් 1 වැනිදා නොමැන්ඩි ප්‍රාන්තයේ ලිලීබෝන්හිදියි. ඇය හැදුණේ වැඩුණේ අසල පිහිටි යවීටෝ නම් කුඩා නගරයෙහියි. ඒ එහි කම්කරුවන් සේවය කළ කොටසෙහි ඇගේ දෙමාපියන් කුඩා අලෙවි හලක් හා තේ පැන් හලක් පවත්වා ගෙන ගිය නිසයි. 1960 දී ලන්ඩනයට ගිය ඇය එහි දී ගෘහ සේවිකාවක ලෙස කටයුතු කළාය. 2016 දී ඇය රචනා කළ ‘දැරියකගේ කතාව” (Mémoire de fille) නම් කෘතියට පාද වී ඇත්තේ ඒ අත්දැකීම්ය.
ආපසු ප්‍රංශයට ආ ඇය රෝවන් හා බූඩ්‍රෝ යන විශ්ව විද්‍යාලවලින් ගුරුවරියක වීමට අධ්‍යාපනය ලැබුවා. අනතුරුව 1971 දී නවීන සාහිත්‍යය පිළිබඳ උපාධියක් ලබා ගත්තා. 70 දශකයේ මුල් හරියේ ඇය පාසල් ගණනාවක ආචාර්යවරියක ලෙස සේවය කළා. පසුව පොන්‍ටොයිස් නගරයට ආ ඇය එහි දුරස්ථ අධ්‍යාපනය පිළිබඳ ජාතික ආයතනයේ රැකියාවකට බැඳුණා. ඇය වසර 23ක් එහි රැකියාව කළා. ඇය සිය අත්දැකීම් ලියුවේ ප්‍රංශ භාෂාවෙන්. සිය අත්දැකීම් ඇතුළත් කර ඇය කෘති රැසක් ලියා තියෙනවා.
- පර්සි ජයමාන්න
0 Comments