HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දිළිඳුකම දුරු කරන්නට සාක්ෂරතාව වැඩි කරමු!

අද ලෝක සාක්ෂරතා දිනය (World Literacy Day) යි! සෑම වසරකම සැප්තැම්බර් 8 වැනි දා ජාත්‍යන්තර සාක්ෂරතා දිනය ලෙස නම් කර තියෙනවා. එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනය විසින් තමයි, මේ සාක්ෂරතා දිනය ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව යොදා ගත් තේමාවත් යටතේ ලෝක ප්‍රජාව තුළ සාක්ෂරතාව පුළුල් කිරීම සඳහා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක වෙනවා. මෙවර ඒ සඳහා තේමාව ලෙස යොදා ගෙන ඇත්තේ ‘සාක්ෂරතා ඉගෙනුම් අවකාශයන් වැඩි දියුණු කිරීම’ (Transforming Literacy Learning Spaces) යන්නයි. 


සාක්ෂරතාව (Literacy) යනු අකුරු කියවීමේ ලිවීමේ හැකියාවයි. යමකුට තම භාෂාවක් කථාකරන්නට හා ලියන්නට ඇති හැකියාව හැඳින්වීමට යොදන මේ වදන දැන් වෙනත් විෂයයන් සඳහා මූලික දැනුම ඇති බව දැක්වීමටත් විශේෂණයක් ලෙස යොදා ගන්නවා. නිදසුනක් වශයෙන් පරිගණකය ගැන මූලික අවබෝධයක් තිබීම පරිගණක සාක්ෂරතාව (Computer Literacy) ලෙස හඳුන්වනවා. භාෂා දැනුමෙහි දී සාක්ෂරතාව යනු එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි කර ගෙන යාමට සිය බස භාවිත කිරීමේ හැකියාව, තවත් විධියකින් කිවහොත් පාසල් අධ්‍යාපනය 2, 3 ශ්‍රේණිවලට ලබා තිබීම දැක්විය හැකියි. 

මෙවර සාක්ෂරතා දිනයේ තේමාව ලෙස දක්වා ඇති ‘සාක්ෂරතා ඉගෙනුම් අවකාශයන් වැඩි දියුණු කිරීම’ යන්නෙන් අපේක්ෂා ප්‍රජාවගේ සාක්ෂරතාව වැඩි කිරීමට පහසුකම් ඇති කිරීම හා නව මානයන් සෙවීම ආදිය වෙයි. රටක හෝ ප්‍රජාවක සාක්ෂරතාව මනින්නේ ප්‍රතිශතවලිනි. එය වැඩි කිරීම තමයි මෙහිදී සිදුවිය යුත්තේ. මානව ප්‍රගතිය මනින එක් ප්‍රධාන මිම්මක් ලෙස මෙය සැලකේ. 

ලෝකයේ සාක්ෂරතාව වැඩිම රට ලෙස සැලකෙන්නේ උස්බෙකිස්ථානයයි (Uzbekistan) 2018 දී එරට සාක්ෂරතාව 99.99%කි. වයස අවුරුදු 15 සහ ඉන් වැඩි පිරිමින්ගේ සාක්ෂරතාව 100%කි. ඊළඟට එන්නේ යුක්රේනයයි (Ukraine). එරට 99.97%කි. අඩු ම සාක්ෂරතාව ඇත්තේ චාඩ් (Chad) රාජ්‍යයේයි. එය 22.31%කි. USA, UK, ජපානය ආදී රටවල 99.00%කි. පින්ලන්තය, නෝර් වේ, ලක්ෂම්බර් ග්, ඇන්ඩෝරා, ග්‍රීන්ලන්තය, ලීච්ටෙන්ස්ටීන් වැනි රටවල සංක්ෂරතාව 100%කි. ඉන්දියාව 84.1%කි. ඉන්දියාවට අයත් ලක්ෂදීප් හා කේරළය යන ප්‍රාන්තවල 91.8%කි. ශ්‍රී ලංකාව 92.38%කි. ලොව කුමන හෝ භාෂාවක් කථා කිරීමේ හා ලිවීමේ හැකියාව මානවයකු සතු ප්‍රධාන ගුණාංගයකි. මෙසේ භාෂාවක් ඉගෙනීමට ඇති ලොකුම බාධාව ලෙස සැලකෙන්නේ දුප්පත්කමයි. ඒ කරුණු දෙක එකට ගැට ගැහී ඇති නිසා එකක් අනෙකට තදින් බලපායි. මේ නිසා දිළිඳු අයට සාක්ෂරතාව ඇති කර ගැනීම අපහසු වෙයි. එසේ ම සාක්ෂරතාව නොමැතිකම නිසා දිළිඳු බවින් ගොඩ ඒමට නොහැකිවෙයි. 

පාසල් අධ්‍යාපනය සාක්ෂරතාව වැඩි කළ හැකි හොඳම මඟයි.

ලෝකයේ කුමන රටක ජීවත් වුනත් මිනිසකුට අඩුම තරමින් ඒ රටේ නිල භාෂාව පිළිබඳ සාක්ෂරතාව තිබීම අත්‍යවශ්‍යයි. එයින් ඔහුගේ ජීවත්වීම පහසු කරවයි. සමහර රටක නිල භාෂා ගණනාවක් තිබෙන අතර ඉන් එකක් දැන සිටීම අත්‍යවශ්‍ය වෙනවා. 

ලෝකයේ භාෂා කොපමණ ගණනක් තිබෙනවාද ? 

ලෝකයේ භාවිත වන භාෂා ගණන නිරන්තරයෙන් ම වෙනස් වෙනවා. එය 7,099 ලෙස පසුගියදා දක්වා තිබුණා. දැන් එය 7,102ක් ලෙස දැක්වෙනවා. දිළිඳු රටවල මේ භාෂා භාවිතය ජනගහනය විසින් අත් හැරීම නිසා අභාවයට යනවා. දිළිඳු බවින් ගොඩ ඒමට තමන් භාවිත කරමින් සිටි භාෂාව අත හැර ඒ වෙනුවට වෙනත් භාෂාවක් භාවිතයට ගැනීම නිසා භාෂාවක් අභාවයට යා හැකියි. ඒ වගේ තම දියුණුව පතා රටකින් තවත් රටකට සංක්‍රමණය වීම නිසා එහි භාෂාවට අනුගත වෙමින් සිය බස අතහැරීම නිසා ද යම් භාෂාවක් අභාවයට යා හැකියි. 

ලොව පුරා භාෂාවන් පැතිර ඇති ආකාරය විමසා බලමු. ප්‍රතිශතයක් වශයෙන් ආසියාව, වැඩියෙන් භාෂා ගණනක් කථා කරන මහාද්වීය වෙනවා. එය 32%ක්. ආසියා මහාද්වීපය පුරා කථා කරන භාෂා ගණන 2,300ක් පමණ වෙනවා. ඊළඟට එන්නේ අප්‍රිකා මහාද්වීපයයි. එය 30%ක්. අප්‍රිකා මහා ද්වීපය පුරා භාෂා 2000ක් පමණ කථා කරනවා. පැසිපික් සාගරය ආශ්‍රිත රටවල මේ ගණන 18.5%ක්. උතුරු හා දකුණු ඇමරිකා මහා ද්වීපවල 15%ක්. අවසානයට එන්නේ යුරෝපයයි. එය 4%ක්. 

ලෝකයේ භාෂා ව්‍යාප්ත වී තිබෙන අන්දම හරිම පුදුමයි. ඒවා එකාකාර නැහැ. සමහර රටවල භාවිත වෙන කථා කරන භාෂා ගණන සියයකටත් වැඩියි. එසේ වෙනස් වෙන්නේ ගෝත්‍ර අනුවයි. විවිධ භාෂා වැඩිම ගණනක් කථා කරන රාජ්‍යය ලෙස වාර් තා වෙන්නේ පැපුවා නිව් ගිනියාවයි. ඒ භාෂා ගණන 840ක්. එයින් භාෂා දුසිමක් විතර කතා කරන අය ඉන්නේ ඉතා සුළු සංඛ්‍යාවක්. එහි වඩාත් ජනප්‍රිය භාෂාව වුනත් ලක්ෂ දෙකක ජනගහනයක් විතර ගණනක් තමයි පාවිච්චි කරන්නෙ. සමහර භාෂා කථා කරන්නේ 1000ක් පමණ දෙනෙක් විතරයි. පැපුවා නිව් ගිනියාවේ දේශීය භාෂා ඔස්ට්‍රොනේෂියා ඔස්ට්‍රොනේෂියා නොවන වශයෙන් වර් ග දෙක කට බෙදෙනවා. එරට නිල භාෂා වන්නේ ‍ටොක්, හිරි මිටු, ඉංග්‍රීසී හා සංඥා භාෂාව යන ඒවායි. 

ඊළඟට වැඩි භාෂා ගණනක් කථා කරන්නේ ඉන්දුනීසියාවෙයි. ඒ ගණන 709කි. එහි නිල භාෂාව ‘භාෂා ඉන්දුනීසියා’යි. ප්‍රධාන වශයෙන් කථා කරන අනෙක් ප්‍රාදේශීය වන්නේ ජාවා, සුන්ඩා, මිනැන්කාබෝ හා මූසි යන ඒවායි. 

තුන්වැනියට භාෂා වැඩි ගණනක් කථා කරන්නේ ඉන්දියාවේ ජනතාවයි. ඔවුන්ගේ භාෂා ගණන 454ක්. එරට ප්‍රධාන නිල භාෂා වන්නේ ඉංග්‍රීසි හා හින්දි යි. හින්දි භාෂාව එහි හොඳින් ම ව්‍යවහාර වෙයි. එය ලෝකයේ වැඩියෙන් ම ව්‍යප්ත වී ඇති භාෂා අතරින් හතර වැනි තැන ගනියි. ඉන්දියාවේ විතරක් 422,048,642කක ජනගහනයක් හින්දි කථා කරනවා. එහි ප්‍රාන්තවල නිල භාෂා ලෙස ගැනෙන භාෂා 22ක් තියෙනවා. එය ලෝකයේ වැඩිම නිල භාෂා ගණනක් ඇති රාජ්‍යයයි. එහි වැඩිම ප්‍රජාවක් කථා කරන අනෙක් භාෂා වන්නේ බෙංගාලි, තෙළිඟු, ඔඩියා ඇතුළු ඒවායි. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ ද භාෂා වැඩි ගණනක් ව්‍යවහාර වෙනවා. ඒ ගණන 347ක්. එහි ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි යි. නිල භාෂා ලෙස කිසිවක් නම් කර නැත. මැක්සිකෝව, ජර් මනිය, අරාබිය, ස්පාඤ්ඤය, රුසියාව ආදී රටවලින් විශාල ලෙස ජනතාව සංක්‍රමණය වී ඇති නිසා ඒ රටවල භාෂා එහි භාවිතයට පැමිණ තිබෙනවා. 

දුප්පත්කම පිටු දකින්නට නම් අඩු පහසුකම් යටතේ හෝ ඉගෙන ගතයුතුයි

චීනය තුළ ද විශාල භාෂා ගණනක් භාවිතා වෙනවා. එය ගණනින් 300ක් පමණ වෙනවා. ඒ භාෂා වැඩි හරියක් භාවිත වන්නේ ටිබෙටය, තායිවානය, හොංකොං හා මහජන චීනය ආදී ප්‍රදේශවලයි. වැඩි දෙනා භාවිත කරන භාෂාව වන්නේ මැන්ඩරීන් චීන බසයි. එය ජනගහනයෙන් මිලියන 955ක් විතර විත කරනවා. කෙසේ වෙතත් එහි නිල භාෂාව වන්නේ සම්මත චීන බසයි. ඒ වගේ කැන්ටන් බසත් නිල බසක් ලෙස සැලකෙනවා. ප්‍රාදේශීය නිල භාෂා වශයෙන් සැලකෙන්නේ වූ චීන, සංඥා භාෂාව හා ඉංග්‍රීසියි. 

වැඩි භාෂා ගණනක් කථා කරන රටවල් අතරට මෙක්සිකෝව (290ක්), කැමරූන් (280ක්), ඕස්ට්‍රේලියාව (259ක්), බ්‍රසීලය (227ක්) වැනි රාජ්‍යයන් වැටෙනවා. ඒ අතරින් මෙක්සිකෝවේ වඩාත් ප්‍රචලිත භාෂාව ස්පාඤ්ඤයි. එහෙත් එරට මුල් බසක් ලෙස ඇමෙරින්දියානු බස සැලකෙනවා.අනික් අතට බ්‍රසීලයේ ප්‍රධාන භාෂාව පෘතුගීසි වන අතර එය හැඳින්වෙන්නේ බ්‍රසීලියානු පෘතුගීසි කියායි. 

- පර් සි ජයමාන්න 


Post a Comment

0 Comments