HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 156කට පසුවත් අපේ පොලීසිය වෙනස් කළ හැකි ද?

අතීතයේ ග්‍රීකයන් ‘පෞරරාජ්‍යය’ යන වදන පාවිච්චි කළේ ඔවුන් එකල ජීවත්වූ ආරක්ෂක ප්‍රාකාරයකින් හෙවත් පවුරකින් වට කළ නිවාස ගණනාවකින් යුත් ගම්මානයකටයි. ‘පුරයක්’ කියා එකල හැඳින්වූයේ ‘පොලිස්’ (polis, ptolis) යන වදනිනි. අපට පුරය යන වදන ආවේ සංස්කෘත භාෂාවේ පුර (පුර්, පුරම්) යන වදනිනි. 

පොලිස් (Police) යන්න 1530 දශකයේ දී ආරම්භ වූ වදනක්. ‘ප්‍රජාවක් තුළ ක්‍රමවත් සිවිල් පාලනයක් පවත්වා ගෙන යාම’ යන්න තමයි, එයින් අර්ථ දැක්වූවේ. පොලිස් යන වදන ඉංග්‍රීසියට බිඳී ආවේ ලතින් බසෙහි ‘පොලිෂියා’ (politia) යන වදනිනි. එය ලතින් බසට ආවේ පොලිස් යන ග්‍රීක වදනිනි. සිංහලයට පොලීසිය එක්වූයේ යටත් විජිත සමයේ දී ඉංග්‍රීසියෙනි. 

ර්ධම චක්‍ර ලංඡනය

අප පාසල් යන කාලේ ධර්මරාජ විදුහලේ පොලිස් දින වෙනුවෙන් දේශනයකට ආ ඉහළ පෙළේ පොලිස් නිලධරයෙක් ‘පොලිස්’ (POLICE) යන වදන ‘අක්නම’(acronym)ක් ලෙස සෑදුන එකක් කියා හඳුන්වා දෙමින් අපට මෙහෙම නිර්වචනයක් ඉදිරිපත් කළා මට මතකයි. P – Politeness (විනීත බව) O – Obedience (කීකරුකම) L – Loyalty (නීති ගරුකත්වය) I – Intelligence (බුද්ධිමත් බව) C – Courtesy (ආචාරශීලීත්වය) E – Efficiency (ක්‍රීයාශීලීත්වය) යන වදන්වල මුල් අකුරුවලින් හැඳුණු එකක් කියලයි එතුමා එදා අපට කියා දුන්නේ. 

ශ්‍රී ලංකා පොලිසිය නම් වෙබ් අඩවියේ හැටියට පොලිසිය පිහිටුවන ලද දිනය වශයෙන් දක්වා ඇත්තේ 1866 සැප්තැම්බර් 03 වැනිදාය. එවකට අපේ රට, ලංකාව (Ceylon) ඉන්දියාවේ යටත්විජිතයක් ව පැවතුණි. ඒ අනුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනය විසින් ඉන්දියාවේ රත්නගිරි පළාතේ පොලිස් ප්‍රධානියා වූ විලියම් රොබට් කැම්බෙල් මෙරට පොලිස් සේවය සංවිධානය කිරීම සඳහා ප්‍රධානියා වශයෙන් පත් කර එවනු ලැබීය. ඔහු ප්‍රධාන ලංකාවේ පොලිස් අධිකාරිවරයා ලෙස වැඩ බාර ගත්තේ ඒ දිනය මෙරට පොලිස් සේවයේ ආරම්භක දිනය ලෙස සැලකේ. 

පොලිස් රාජකාරිය කියා කෙළින් ම නොකිව්වාට ඊට සමාන කාර්යයක් කිරීමට මෙරට ඉංග්‍රීසි පාලකයන් පිස්කල් නිලධරයකු පත් කළා. 1797 දී පිස්කල් කාර්යාලයක් විවෘත කර ‍ෆෙඩ්රික් බැරන් මයිලියස් කොළඹ පිස්කල්වරයා ලෙස පත් කරනු ලැබුවා. 1806 දී ප්‍රදේශීයව අපරාධ හඳුනා ගැනීමට හා වැළක්වීමට සෑම ගමකට ම විදානේ ආරච්චි කෙනකු පත් කරනු ලැබුවා. 1832 දී ආණ්ඩුකාරයා විසින් පොලිස් බලකායක් පිහිටුවීම සඳහා නි‍ර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරනු ලැබුවා. නව පොලිස් බලකායක් පිහිටුවා එහි බර පැන ජනතාවගෙන් ගන්නා බදු මුදල්වලින් ගෙවීමට කමිටුව නිර්දේශ කළා. ඒ පොලිස් බලකායට එක් අධිකාරිවරයෙක්, ප්‍රධාන කොස්තාපල් වරයෙක්, කොස්තාපල්වරුන් පස් දෙනෙක්, සාජන්ට්ලා 10ක්, අත් උදවුකරුවන් 150ක් ඇතුළත් වුණා. ඔවුන්ට බාර වුණේ ‍කොළඹ අග නගරය තුළ නීතිය හා සාමය ආරක්ෂාකර පවත්වා ගෙන යාමයි. 

පොලිස් කාන්තාවන් පිරිසක් පෙළපාලියක යන අයුරු

 මුලින් පිහිටුවූ පොලිස් බලකාය කොළඹට, විශේෂයෙන් වෙරළබඩ කලාපයට පමණක් සීමාවූ නිසා 1844 දී දෙවන පොලිස් බලකායක් පිහිටෙව්වා, රටෙහි ඇතුළත ප්‍රදේශවලට වෙනම. 1858 දී මේ බලකා දෙකම එක්කොට එක් බලකායක් බවට පත් කරනු ලැබුවා. 1864 දී පළමු පොලිස් භටයා රාජකාරියකට ගොස් සිටියදී ඝාතනයට ලක්වුණා. ඒ සරදියෙල් අල්ලන්නට ගොස් සිටි ඔහු අතින් මරුමුවට පත් වුණා. 1865 දී පොලිස් භටයාට වැඩි බලයක් වගකීමක් පැවරෙන ආකාරයට පොලිස් ආඥා පතන සංශෝධනය කෙරුණා. 1867 දී පොලිස් අධිකාරි විලියම් රොබට් කැම්බෙල් මෙරට ප්‍රථම පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබුවා. එ වන විට පොලිස් මූලස්ථානය තිබුණේ මරදානේ. 


එදා 1903 දී සුද්දන්ගේ පොලිස් නිලධාරින් දෙදෙනෙක් වලිසිංහ හරිචශ්න්ද්‍ර මැතිඳුන් 
අත්අඩංගුවට ගත් අයුරු. වසර 156කට පසු අදත් ඒ විධියටම අත්අඩංගුවට ගැනීම් කරනවා.

1870 දී මුස්ලිම් කැරලිකරුවන් පොලිස් මූලස්ථානයට පහර දුන්නා. එය සාර්ථකව මැඩපැවැත්තුවත් ගොඩනැගිල්ලට හානි සිදුවුණා. ඒ වසරේම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පිහිටෙව්වා. 1879 දී පොලිස් බලකාය තුන් ගුණයකින් වැඩි කරනු ලැබුවා. 585ක්ව තිබුණු 1528ක් දක්වා වැඩි කෙරුණා. ප්‍රථම පොලිස් වෙඩි බලකාය, පුහුණුව සඳහා පොලිස් විදුහල හා වාර්ෂික පරිපාලන වාර්තාව පළ කිරීම ආදිය ඇරඹුවේ ඒ වසරේදියි. 

1892 දී බම්බලපිටියේ දී පොලිස් ක්ෂේත්‍ර බලකා මධ්‍යස්ථානය ඇරඹුවා. ඒ සමගම සියලුම පොලිස් නිලධාරින්ට නිවාස පහසුකම් හා නිල ඇඳුම් ආදිය දෙනු ලැබුවා. ඒ වගේ ම යහපත් කල්ක්‍රියාව උදෙසා දීමනාවක් ද දුන්නා. 1908 දි පළමුවරට අපරාධකරුවන්ගේ ඇඟිලි සලකුණු හා ඡායාරූප ගැනීම ඇරඹුණා. 

1913 දී හර්බට් ලෙයාඩ් ඩවුබිගින් අටවන පොලිස්පතිවරයා‍ ලෙස වැඩ බාරගත් පසු පොලිස් ස්ථාන ගණන 119ක් දක්වා සේවාව පුළුල් කරන ලද අතර බලකාය 2306ක් වුණා. 1916 දී සාමාන්‍ය තුවක්කුව වෙනුවට රයිපලය භාවිතයට ආවා. 1920 දී රථවාහන හැසිරවීමට පොලිසිය ප්‍රථම වරට යොදවනු ලැබුවා. 1923 දී පොලිසිය විසින් අනුගමනය කළයුතු රාජකාරි දැක්වෙන දෙපාර්තමේන්තු ආඥා පොතක් නිකුත් කෙරුණා. 1926 දී පොලිසියේ ක්‍රීඩා අංශය බිහිවුණා. 1930 දී රථවාහන රාජකාරියේ යෙදෙන පොලිස් නිලධරයන්ට මාර්ග නීති රීති ඇතුළත් අත්පොතක් නිකුත් කරනු ලැබුවා. 

1932 දී පොලිස් මූලස්ථානය මරදානේ සිට කොළඹ කොටුවේ දැනට තියෙන ස්ථානයට ගෙනාවා. 1945 දී සියලුම ප්‍රධාන රෝහල්වල පොලිස් ඒකක පිහිටුවනු ලැබුවා. 1952 දී පොලිස් සේවයට කාන්තාවන් බඳවා ගනු ලැබුවා. පොලිස් සන්නිවේදනයට VHF ගුවන්විදුලි සේවාව එක්වුණා. ඒ වගේ ම ‍රාජකාරියේ යෙදී සිටිය දී මරණයට පත් වන අයට පූර්ණ ගෞරව සහිත අවමඟුලක් හා දිවයින පුරා පොලිස් ධජය අඩකුඹු කර ගෞරවය දැක්වීමක් සහතික කෙරුණා. 1974 දී පොලිස් කොස්තාපල්වරුන්ගේ හා සාජන්ලාගේ නිල ඇඳුම වෙනස් වුණා. 1983 දී පොලිසියට වෙනස් ඇඳුමක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) එක් වුණා. අද අප දකින්නේ ඒ වෙනස් මුහුණුවරක් ගත් පොලිසියයි. 

ඒ හැරෙන්නට තවත් වෙනස්කම් කිපයක් කළා. එකක් පොලිසියේ ආදර්ශ පාඨය වෙනස් වුණා. ‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී’ (ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරනු ලබයි) ඇඳුමේ අත් දෙපැත්තට ‘ධර්ම චක්‍රය’ ආවා. ඒ ධර්ම චක්‍රය දෙපැත්තේ තියාගෙන උද්ඝෝෂණයට ආ තරුණ හාමුදුරුවන්ට ගහන හැටි දැක්කාම උපාසක අම්මලා මුළු පොලිසියට ම ශාප කළා. එවැනි කතාවක් කී අම්මා කෙනකුට මා කීවේ ‘ඒවා ගැන වද වෙන්න එපා ඒ කරත්ත රෝද දෙකක්. මැද ඉන්න කෙනා කවුද කියන්න ඕනෑ ක්‍රියාවෙන් පේනවා නේ’ කියලයි. 

පොලිසිය මේ මාසේ 156 වසර සැමරුවා. 1866 දී පොලිස් ආඥා පතන සංශෝධනය කොට පොලිසියට වැඩි බලතල ලැබෙන පරිදි සකස් කර පොලිස් අධිකාරි විලියම් රොබට් කැම්බෙල් යටතේ පොලිස් සේවය විධිමත් කළ අවස්ථාව පොලිසියේ ආරම්භක වසර ලෙස සලකන නිසයි. 

පොලිස් විශේෂ කාර්ය බලකාය

සී. ඩී. වික්‍රමරත්න වර්තමාන පොලිස්පතිවරයා 156 වසර සැමරූ අවස්ථාවේ දී මෙසේ ප්‍රකාශ කළා: “වර්තමානයේ වැඩි වශයෙන් මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතා බහට ලක්වන අතර ශ්‍රී ලංකා පොලීසිය වශයෙන් අප විසින් සිදු කරන සම්ප්‍රදායික රාජකාරියෙන් ඔබ්බට ගොස් භාෂණයේ නිදහස ඇතුළු සමස්ත මහජනතාවගේ අයිතීන්ට ගරු කරන රාමුවක් තුළ නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා පොලිස් නිලධාරීන් හැඩගැස්වීම අවශ්‍ය වන අතර ඒ සඳහා දැනටමත් අපි විවිධ ක්‍රියාමාර්ග දියත් කර ඇති බවට ප්‍රකාශ කරනවා. අප සියලු දෙනා මෙම සමාජයේ කොටස්කරුවන් බවත් සමාජයේ සියල්ලන්ට අයත් බවත් හා සමාජය සියල්ලන්ට එක හා සමානව සලකන බවත් අවධාරණය කර ගනිමින් පොලිස් නිලධාරියා ක්‍රියාකළ යුතු අතරම. මෙම තත්ත්වය අවබෝධ කර ක්‍රියා කළ යුතු මට්ටමට සමාජය පත් කිරීමට පොලීසියට අයත් රාජකාරියක් ද වෙනවා.” 

පොලිස්පතිතුමා කියන විධියට නව තත්වය තේරුම් අරන් හැඩගැසෙන්නට පොලිසිය ගත් තීරණය ඉතා හොඳ එකක්. මොකද පොලිසිය කියන්නේ යුද හමුදාවක් නොවෙයි. පොලිසිය කරන්නේ කරන්නේ ප්‍රතිවාදින්ට මුහුණ දීමක් නොමෙයි. සිවිල් වැසියන් හෙවත් පුරවැසියන් එක්ක එකතුවෙලා හැම පුරවැසියකුගෙම අයිතිවාසිකම් ආරක්ෂා කර දීමයි. යටත් විජිත යුගයේ පොලිසිය පිහිටෙව්වේ ඉංග්‍රීසි පාලකයන්ට යටත්වැසියන් පාලනය කර ගත හැකි යාන්ත්‍රණයක් හැටියටයි. ඒ නිසා කළ යුත්ව තිබුණේ, අපි නිදහස ලත් විගසම පොලිසිය ඒ තත්වයෙන් මුදා ගෙන නව ආකාරයක පොලිසියක් බිහි කිරීමයි. නමුත් ඒ කාලයේ රටේ බලය පවරා ගත් කළු සුද්දන්ටත් ඕනෑ වුණේ ඉංග්‍රීසි පාලකයන්ගේ තැන අරගෙන රට ඒ විධියටම පාලනය කරන්නයි. ඒ නිසා එවැනි වෙනසක් කිරීමට අවධානයක් යොමු කළේ නැහැ. 

දැන් පොලිස්පතිතුමා බලාපොරොත්තු වන වෙනස ඇති කර ගන්න නම් මේ රටේ ‘සිස්ටම් චේන්ජ් එකක් සිදුවෙන තුරු ඉන්න වෙනවා. මොකද ඔය වෙනස කරනවා දැන් මේ සිස්ටම් එකේ ඉන්න පාලකයො කැමති වෙන්නේ නැහැ. දැනුත් ‍පොලිසිය කරන්නේ එදා සුද්දන්ගේ කාලේ පොලිසිය කළ දේවල්මයි. එදා වලිසිංහ හරිශ්චන්ද්‍ර වැනි අය පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේ කටහඬින් ආණ්ඩු විරෝධී අරගලයක් කළා කියලයි. අදත් ඒක තමයි, අපේ පොලිසිය කරන්නේ. නිරායුද උද්ඝෝෂකයන්ව අත්අඩංගුවට ගන්නවා. ඔවුන් දන්නවා ඒක හරි නැති බව. ඒත් දැන් ඉන්නා පාලකයන්ටත් එදා අයට වගේම මර්ධනය ඕනැ නිසයි ඔවුන් එහෙම කරන්නේ. 

පසුගිය දවසක පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවශ්‍ය වන්නේ යමකුට චෝදනා කිරීමට පෙර එවැනි කරුණුවල දී පරීක්ෂණවලට කාලය අවශ්‍ය නිසයි කියලා. ඒ පනතින් මිසක් සාමාන්‍ය නීතිය යටතේ සැකකරුවකු දින 90ක රැඳවුම් නියෝගයක් ලබා ගෙන ප්‍රශ්න කරන්න බැහැ. ඒත් ඒ පනත යටතේත් පොලිසියට නඩු පවරන්න බැරිව වසර 30 ක් විතර සිරමැදිරිවල තාමත් දිවි ගෙවන අය ඉන්නවා. එහෙම ඉඳලත් සමහර අය වසර 30කට පස්සේ නිදොස් කොට නිදහස් කෙරෙනවා. වරදක් නොකළ අයකුගේ ජීවිත කාලෙන් තුනෙන් පංගුවක් නිකරුණේ හිරගෙදරක ගත කරන්න වී අවාසනාවක්. නීති තියෙන්නේ මිනිසුන්ට හිරිහැර කරන්නවත්, පාලකයන් විරුද්ධවාදීන්ගෙන් පළිගන්නවත් නොවෙයි. පොලිසිය බළල් අත් වෙන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට අභිමානයෙන් කටයුතු කළ හැකි තත්වයක් ඇති කරන්න ඕනෑ. ඔය විධියේ දේවල් වළක්වා ගන්නයි, අපි ශිෂ්ට සමාජයක් හැටියට කටයුතු කරන්න ඕනෑ. 

 - පර්සි ජයමාන්න 


Post a Comment

2 Comments

  1. අර කියපු ගුණාංග වලින් loyalty නම් අඩු නැතිව තියනවා. හැබැයි නීතියට නෙමෙයි.

    ReplyDelete
  2. ඔබට තුති! ඔබ ඒක හරියටම දැක්කා.

    ReplyDelete