HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නූපන් දරුවන් ගැන කළ විස්මයජනක පර්යේෂණයක්

දරුවන්ගේ කොළ පැහැති එළවළුවලට ඇති අප්පිරියාව පටන් ගර්භාෂයෙන් යයි කීවොත් ඒ කතාව ඔබට විශ්වාස කළ හැකිද? අම්මා කෑමට ගන්නා දේවලට දරුවා ගර්භාෂයේ සිට ම ප්‍රතිචාර දක්වන බව අලුත්ම පර්යේෂණයක අධ්‍යයනයකින් දැන් හෙළි වී තියෙනවා. මේ ‍අධ්‍යයනය සිදුකර ඇත්තේ එක්සත් රාජධානියේ ඩර්හැම් විශ්ව විද්‍යාලයේ මනෝවෛද්‍ය පශ්චාත් උපාධි අපේක්ෂිකාවක් වන බෙයිසා උස්ටන් (Beyza Ustun) මෙණෙවියගේ ආචාර්ය උපාධි නිබන්ධනය සඳහායි. 

පර්යේෂණයට මුල් වූ බෙයිසා උස්ටන්

ඇයට මේ පර්යේෂණය සඳහා එක්සත් රාජධානියේ ඩර්හැම් (Durham) විශ්ව විද්‍යාලයේ පිරිසට අමතරව ප්‍රංශයේ බර්ගන්ඩි (Burgundy) විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ පිරිසකගේ සහයත් ලැබී තියෙනවා. 

මේ පර්යේෂණයට ඔවුන් යොදා ගෙන තියෙන්නේ සති 32ත් 36ත් අතර භ්‍රෑණයෙක් සහිත ගර්භාෂයක් ඇති, 18ත් 40ත් අතර වයස් කාණ්ඩවල අම්මලා 100ක පිරිසක්. පර්යේෂණය යටතේ කෑම කන්නට සලස්වා ඒ අම්මලාව ස්කෑන් (පරිලෝකනය) කරමින් පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. මේ සඳහා යොදා ගෙන තියෙන්නේ චතුර්මාන අතිධ්වනි තරංග (4D ultrasound scanner) භාවිත කරන ස්කෑනර් යන්ත්‍රයක්. මේ පර්යේෂණයෙන් හෙළි වී තියෙනවා, දරුවන් ගර්භාෂයේ සිටියදීම අම්මලා ගන්නා විවිධ ආහාර වර්ගවල රස අනුව ප්‍රතිචාර දක්වන බව. 

මේ සෑම අම්මා කෙනෙකුට ම ස්කෑන් කරන්න මිනිත්තු 20කට කලින් පිටි කළ කැරට් මයික්‍රො ග්‍රෑම් 400ක් හෝ බ්‍රකෝලි කොළ ගෝවා මයික්‍රො ග්‍රෑම් 400ක් හෝ අඩංගු කරලක් (කැප්සියුලයක්) බොන්න දෙනවා. ඊට අමතරව වෙනත් කිසිම ආහාරයක් හෝ රස කළ පැණි බීමක් හෝ ඔවුනට ලබා දෙන්නේ නැහැ, ඒ එවැන්නකින් බබා‍ දක්වන ප්‍රතිචාරවලට බලපෑමක් ඇති වෙතැයි සලකා ගෙනයි. ඒ අතර මේ අම්මලා අතරින් කොටසකට මේ කරල් දෙකෙන් එකක්වත් දෙන්නේ නැහැ. 

මේ පරික්ෂණවල ප්‍රතිඵලවලින් හෙළිවුණා මව්කුස තුළ සිටිය දී දරුවන්ට කැරට් හෝ කේලි කොළවල රසය යම්තම් දැනුනත් ඊට ප්‍රතිචාර දැක්විය හැකි බව. අම්මා කැරට් කන විට ස්කෑන් එකේ ඉන්නා බබා හිනා වෙන බවත්, බ්‍රකෝලි කොළ ආහාරයට ගන්නා විට මුහුණේ අප්පිරියාවක් පෙන්වන බවත් පැහැදිලිව ම දැක ගත හැකි වුණා. 

අම්මා කැරට් කන විට භ්‍රෑණයා හිනා වෙන බවත්, බ්‍රකෝලි කොළ කන විට මුහුණ හකුලා ගන්නා බවත් ස්කෑන් මගින් දැක ගත හැකි වුණා.

“ඇත්තටම හරිම පුදුමයි! නූපන් බබාලා මේ විදියට අම්මලා කෑමට ගන්නා බ්‍රකෝලි කොළවල හා කැරට් වැනි එළවළුවල රසවලට ප්‍රතිචාර දක්වන හැටි” යයි මේ අධ්‍යයනයේ ප්‍රධාන සංස්කාරක වූ බෙයිසා උස්ටන් මෙණෙවිය කියනවා. 

“මේ සොයා ගැනීම්වලින් අපට හිතා ගන්න පුලුවන් මව ගන්නා ආහාර ද්‍රව්‍යවල ඇති රසායනික උත්තේජනයන් බබාගේ ගර්භාෂ පරිසරයට සන්නිවේදනය වන බව” යයි මේ අධ්‍යයනයේ සම සංස්කාරක, මහාචාර්ය බිනොයිස්ට් ෂෝල් (Benoist Schaal) පවසනවා. ඔහුත් උස්ටන්ගේ උපදේශක වරයෙක්. ඔහු මේ සඳහා ප්‍රංශයේ බර්ගන්ඩි විශ්ව විද්‍යාලයෙන් සම්බන්ධ වුණු විශේෂඥයෙක්. 

“මෙයින් අපට අවබෝධයක් ලැබෙනවා, අප රස සහ සුවඳ ග්‍රහණය කර ගන්නා ආකාරයන් ගැන. ඒ වගේම ඒවා ආශ්‍රිත සංජානනයන් හා මතකයන් ක්‍රියා කරන ආකාරයන් ගැනත්.” ඔහු වැඩිදුරටත් කියනවා. 

“මේ සොයා ගැනීම්වලින් පෙනී යනවා, ගැබිණි මවුවරුන් තමන්ගේ ආහාර රසවලට දක්වන රුචි අරුචිකම් උපන්නාට පසුව දරුවන්ටත් බලපෑ හැකි බව. ඒ අනුව අපට පැහැදිලි වෙනවා, ගැබිණි කාලයේ දී මවුවරුන් යහපත් ආහාර රසවලට හුරුකරවීමෙන් ඉපදුනු පසු දරුවන් ඒ ආහාර ගැනීමට මැලිකම් දැක්වීම මඟ හරවා ගත හැකි බව.” උස්ටන් මෙණෙවිය කියනවා. “එවිට සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට බලපෑම් කරන්න අවශ්‍ය නැහැ, ළමයින් ඉබේම ඒ ආහාර ගන්නට පෙලඹෙනවා.” ඇය වැඩිදුරටත් කියනවා. 

මේ පර්යේෂක කණ්ඩායම දැන් සූදානම් වන්නේ ඒ දරුවන් ඉපදුනාට පසුව ගර්භාෂයේ දී දැක්වූ ප්‍රතිචාර ඒ ආකාරයෙන් ම තවදුරටත් දක්වනවාදැයි සොයා බලන්නයි. 

මෙම පර්යේෂණ අධ්‍යයනයේ අනික් සම සංස්කාරිකා මහාචාර්ය ජැකී බ්ලීසේ (Jackie Bliessett) කියන්නේ “පූර්ව ප්‍රසව කාලයේ දී හුරුවන රසවලට පසු ප්‍රසව කාලයේ දීත් ඒ අයුරින්ම නැඹුරු වන බව පිළිගත හැකි තර්කයක්” බවයි. “එසේ ම කේලි වැනි දරුවන් කෑමට අකමැති දේ දරුවා ගර්භාෂයේ සිටියදී මව ඒවා ආහාරයට ගැනීමෙන් හුරුකර විය හැකි බැව් මේ අධ්‍යයනයෙන් අපට පැහැදිලි වෙනවා.” යයි මහාචාර්ය ජැකී තවදුරටත් කියනවා. 

“ඊළඟට පිරික්සිය යුත්තේ භ්‍රෑණයාව සිටිය දී ඍණ ප්‍රතිචාර නොදැක්වූ රසවලට, ගර්භාෂයෙන් පිටතට ආපසු මුලින් ම හඳුනාගන්නා අවස්ථාවේ දී වැඩි කැමැත්තක් දක්වන්නේ දැයි කියායි” ඇය අවසාන වශයෙන් කියනවා. 

මේ සියල්ල පාලනය කරන්නේ අණු ක්ෂුද්‍රජීවීන් විසින්ද? 

පර්යේෂකයන් කියන්නේ සාමාන්‍ය මිනිස් සිරුරක මානව සෛල ට්‍රිලියන 30ක් හා බැක්ටීරියා ට්‍රිලියන 39ක් අඩංගු බවයි. අප ගන්නා ආහාරවලින් ශක්තිය නිපදවීමටත්, අපේ ප්‍රතිශක්ති පද්ධතිය පාලනය කරන්නත් අපේ ආහාර ජීර්ණ පද්ධතියේ අභ්‍යන්තර ආස්තරණය නිරෝගීව තබා ගන්නත් උපකාර කරන්නේ ‍මේ ක්ෂුද්‍රජීවී ගහණයන් හෙවත් මයික්‍රෝබයෝමි (microbiome) තමයි. 

අප ලබා ඇති අලුත්ම දැනුම අනුව මෑතක දී සොයා ගෙන තියෙනවා, මේ අණු ක්ෂුද්‍රජීවීන් මයික්‍රොබයෝටා (microbiota) අප තුළ නිරෝගී සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න කෙතරම් වැදගත් වෙනවා ද යන බව. 

නිරෝගී සමතුලිත මයික්‍රොබයෝමියක් අපට ආහාර දිරවීමටත්, ආසාදනවලින් ආරක්ෂා වීමටත්, අපේ ප්‍රතිශක්ති පද්ධතිය පුහුණු කිරීමටත්, විටමින් හා විටමින් වැනි විටමින් වර්ග නිපදවීමටත් උදවු වෙන බව. එය අපේ මොළයට පණිවිඩ ගෙන යන්නත්, අප තුළ ඇතිවන මනෝභාවයන්, කාංසාව හා ආහාර රුචිය පාලනය කරන්නත් අපට උදවුවෙනවා. 

බඩවැල්වල ඇති සම තුලිතතා බිඳී ගියොත් එය විවිධ සංකූලතා සිරුරේ ඇති කරවන්න පුලුවන්. පසුගිය වසරේ දී ඇමරිකාවේ කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබුවා, බඩවැල් හා පාකින්සන්ස් රෝගයේ ලක්ෂණ අතර සම්බන්ධයක් ඇති බව. අපේ බඩවැල්වල ඇති මයික්‍රෝබයෝටාවල සංයුතිය අපේ ජානවලින් තීරණය කෙරුණත් ඊට ජීවන රටාවේ යම් යම් සාධක, අපේ ආහාර, මත්පැන් භාවිතය, ව්‍යායාම් නැති වීම, ඖෂධ භාවිතය වැනි දේ නිසා ඊට යම් යම් බලපෑම් ඇති කළ හැකියි. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments