HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දෙවන එලිසැබත් මහරැජිනගේ වාසනාව පෑදුණු හැටි!

පසුගියදා ස්කොට්ලන්තයේ දී ඇබර්ඩීන් අගනුවර බැල්මොර්ල් මාලිගයේ දී සමාදානයේ සැතැපුණු එංගලන්තයේ දෙවන එලිසැබත් මහ රැජින තරම් දිගු කලක් සිහසුන හෙබ වූ රජෙක් හෝ රැජිනක් හෝ වත්මන් ලෝකයේ ඇත්තේ ම නැහැ. ඒ අනුව ඇය වසර 70කුත් දින 214ක කාලයක් රාජ්‍යත්වය හෙබැවූ පළමු බ්‍රිතාන්‍ය අධිරාජිනිය හැටියට ලෝක ඉතිහාසයට එක් වෙනවා. ඇය ඇගේ මිත්තණිය වූ වික්ටෝරියා මහරැජිනට වඩා වසර 6ක් වැඩියෙන් රජකම් කර තියෙනවා. ඇයට මේ වාසනාව හිමි වුණේ බලාපොරොත්තු නොවූ ආකාරයේ සිදුවීම් කීපයක් නිසයි. 

දිගුම කලක් රජකම් කළ දෙවන එලිසැබත් රැජින

රැජින වීමට පෙර එලිසැබත් කුමරිය දෙවන ලෝක යුද සමයේ දී හමුදාවේ ස්වේච්ඡා සේවයේ යෙදී තියෙනවා. ඒ ට්‍රක් රථ රියැදුරෙකු හා මිකෙනික් කෙනකු හැටියටයි. ඒ අනුව හමුදා සේවයේ යෙදුණු රජ පවුලේ එකම සාමාජිකාව ඇයයි.

එලිසැබත් කුමරිය දෙවන ලෝක යුද සමයේ 
යුද හමුදාවේ ට්‍රක් රියැදුරියක ලෙස සේවය කරද්දී.

වත්මන් ලෝකයේ ඉතා දිගු කලක් සිහසුන දරා සිටියේ තායිලන්තයේ භූමිබෝල් අතුල්තේජ් රජුයි. එතුමාගේ අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුවයි, දෙවන එලිසැබත් රැජින ලොව දිගු කලක් සිහසුන දැරූ රාජ්‍ය නායිකාව බවට පත්වුණේ. 2022 සැප්තැම්බර් 8 වැනි දා ස්කොට්ලන්තයේ දී අභාවප්‍රාප්ත වීමෙන් පසු ඇගේ ඒ දිගු රාජ්‍ය කාලය අවසන් වුණා. ඒ වන විටත් දිවියේ 96 වසර ගෙවමින් සිටි ඇය සක්‍රියව රාජ්‍ය කටයුතුවලට දායක වුණා. සැප්තැම්බර් 5 වැනි දා තෝරා ගනු ලැබූ නව බ්‍රිතාන්‍ය අගමැතිවරිය ලෙස එලිසැබත් ට්‍රස් පත් කිරීම මහරැජිනගේ අවසන් වැදගත්ම රාජකාරිය වුණා. 

එලිසැබත් රැජිනගේ අවසන් රාජකාරිය 
එලිසැබත් ට්‍රස් නව අග්‍රාමාත්‍යවරිය පත් කිරීම.

ඇය යටතේ වින්ස්ටන් චර්චිල්, ඇන්තනි මාගරට් තැචර්, හැරල්ඩ් මැක්මිලන්, ඇලෙක් ඩග්ලස්-හෝම්, ජෝන් මේජර්, ටෝනි බ්ලෙයා, ඩේවිඩ් කැමරන්, ගෝඩ්න් බ්‍රවුන්, ස්කොට් මොරිසන් ඇතුළු බ්‍රිතාන්‍ය අගමැතිවරුන් 15 දෙනකු සේවය කර තියෙනවා. එක්සත් රාජධානියේ පමණක් නොව කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රාජ්‍ය 32ක රාජ්‍ය නායිකාව වූ ඇය මිය යන විට රාජ්‍ය 15ක මහ රැජින ලෙස පිළිගනු ලැබුවා. 

දෙවන එලිසැබත් රැජින උපත ලැබුවේ රජ මාලිගාවක නොවේ. ඇය උපදින විට එංගලන්තයේ සිටි කිසිවකු ඇය රාජ්‍යත්වයට පත්වේ යැයි සිතුවේ නැහැ. නමුත් ඇගේ දෛවය විස්මයජනක ලෙස ඇයව සිහසුනට කැන්දා ගෙන ආවා. දෙවන එලිසැබත් රැජින උපත ලැබුවේ 1926 වසරේ අප්‍රේල් 21 වැනි දායි. ඒ ලන්ඩනයේ මේෆෙයාහි බෲටන් මාවතේ අංක 17 ස්ථානයේ දියි. එය මාලිගාවක් හෝ, විශාල වතුයායක මන්දිරයක් හෝ, රෝහලක්වත් නොව, ලන්ඩනයේ ජනාකීර් ණ වීථියක පිහිටි නාගරික තට්ටු නිවාසයක්. මේ තට්ටු නිවාසයේ පදිංචිය සඳහා ඇගේ දෙමාපියන් පැමිණියේ ඇය ඉපදීමට සති කීපයකට පෙරයි. මේ නිවාසය අයත් වූයේ, ඇගේ මුත්තණුවන් වූ ස්කොට්ලන්තයේ ස්ට්‍රැත්මෝර් හි ආදිපාදවරයා හා එම දේවියටයි. ඒ කාලේ කුමරියගේ මාපියන්ට අතමිට සරු නොවූ නිසා මෙසේ මුත්තණුවන්ට අයත් තට්ටු නිවාසයට පදිංචියට යාමට ඔවුන්ට සිදු වුණා. ඇය එකල බ්‍රිතාන්‍ය කිරුළ දරා සිටි රජුගේ දෙවැනි පුතාගේ දියණිය වූ නිසා බ්‍රිතාන්‍ය කිරුළ ඇයට හිමිවෙතැයි ලොව කිසිවකු එදා සිතුවේ නැත. ඒ නිසා දෙවන එලිසැබත් රැජින උපන් නිවස රැක ගන්නට අවශ්‍යතාවක් ඒ කාලයේ කිසිවකුටත් තිබුණේ නැහැ. 

එලිසැබත් රැජිනගේ වසර 70 රාජ්‍යත්වය සමරන අවස්ථාවේ ඇය උපන් තැන ගැන සොයන්නට උනන්දුවක් මතුවුණා. ඒ අනුව ඒ අවස්ථාවේ ඒ ගැන විවිධ මත පළ වුණා. හකාසන් නම් චීන අවන්හල ඇත්තේ ඒ ස්ථානයේ යන්න එක් මතයක්. එහි ලිපිනය වන්නේ බෲටන් වීථියේ අංක 17 යි. ඒ අංකයම ඇති කාර්යාල සංකීර්ණයක් ද එහි තියෙනවා. ඊට ආයතනික පරිශ්‍රයකට සම්බ්න්ධ ඉදිරිපස වීදුරුවලින් නිමවුණු පිවිසුමක් ද, පිළිගැනීමේ ශාලාවක් ද තියෙනවා. ඒවාට අයත් වන්නේ ද එම අංකයමයි. 

ඒ වගේ ම අන්තර්  ජාලයේ, හුවමාරු වන මතයක් ද තියෙනවා. ඉන් කියැවෙන්නේ වන්නේ දෙවන ලෝක සමයේ සිදු වූ ගුවන් ප්‍රහාර නිසා එය විනාශ වූ බවයි. ඒ පිළිබඳ ව විකිපිඩියා විශ්ව කෝෂයෙහි සඳහන් කර ඇත්තේ යුද ගුවන් ප්‍රහාරවලින් නිවාසයට හානි වූ අතර පසුව එය කඩා ඉවත් කර ඇති බවයි. 

එහෙත් බ්‍රිතාන්‍ය පුස්තකාලයේත්, තවත් ලේඛනාගාරවලත් ඇති ලියකියවිලිවල දක්වා ඇත්තේ 18 වැනි සියවසේ ඉදිකරන ලද එම නිවෙස විනාශයට පත් වූයේ දෙවන ලෝක යුද්ධය ඇරඹීමට ද පෙර දී බවයි. ඒ අනුව දැන් පිළිගෙන ඇති මතය වන්නේ දේපළ සංවර්ධකයන් මේ නිවාසය කඩා බිඳ දැමීමට වගකිවයුතු බවයි. 

දෙවන ලෝක යුද්ධයට පෙර, එනම් 1937 දී, උස් තොප්පියක් හා දිගු ලෝගුවක් හැඳි මිනිසකු බෲටන් වීථියේ 17 වැනි නිවසත්, ඒ අසල බර් ක්ලි චතුරස්‍රය තෙක් විහිදුණු ගොඩනැගිලි කඩා බිඳ දමනු දුටු බව එකල පුවත්පත් වාර් තාවක පළ වී තිබුණා. තවත් වාර් තාවක ඒ බිම්කඩෙහි කැනේඩියානු පැසිෆික් දුම්රිය සමාගම සඳහා හෝටලයක් ඉදිකිරීමට සැලසුම්කර තිබුණු බවත් එහෙත් පසුව එහි ඉදිවූයේ විශාල කාර් යාලයක් සහ වෙළඳ සංකීර් ණයක් යැයිද සඳහන් වුණා. එකල වාස්තු විද්‍යාත්මක උරුමය පිළිබඳව සංවේදී වූ යුගයක් නොවූ නිසා, 'ලන්ඩනයේ වඩාත් ඓතිහාසික වටිනාකමක් ඇති නිවාස 20' යනුවෙන් එකල වාර් තාවකින් විස්තර කෙරුණු ඒ ස්ථානය, ගොඩනැගිලි විනාශ කරන්නන් විසින් නිර් දය ලෙස බිමට සමතලා කෙරුණු බව සඳහන් වුණා. එකල විසූ දියසායම් චිත්‍ර ශිල්පියෙකු වූ ශ්‍රීමත් මියර් හෙඩ් ඇඳි සිතුවමක, අලංකාර පැරණි ගොඩනැගිලි ඉදිරිපස කම්කරුවන් ඒවා කඩා බිඳ දමන අයුරු සිත් කාවදින ලෙස චිත්‍රණය කර තිබෙනවා. 

මේ කරුණු තවදුරටත් තහවුරු කෙරෙන ලේඛනයක් ලන්ඩන් මහනගර ලේඛනාගාරයේ තියෙනවා. 1939 මැයි මාසයේ දී මිනින්දෝරුවකු තබන ලද එම සටහනෙන්, දක්වා ඇත්තේ 'බෲටන් වීථියේ අංක 17හි පිහිටි පැරණි නිවස කඩා ඉවත්කර, එය පැවැති භූමියෙන් කොටසක් 'බර් ක්ලි චතුරශ්‍ර නිවාස ගොඩනැගිල්ල' ඉදිකිරීමට ලබා දී ඇති බවයි. 

වත්මන් බර් ක්ලි චතුරශ්‍ර නිවාස ගොඩනැගිල්ල පිහිටි භූමිය පවත්වාගෙන යන ඇස්ට්‍රියා සමාගම කියන්නේ, දෙවන ලෝක යුද්ධයට ආසන්න කාලයේ දී ගුවන් අමාත්‍යංශය විසින් එම ස්ථානයේ පිහිටි නව ගොඩනැගිල්ලක් අත්පත්කර ගත් බවයි. 

මහරැජින සිය පවුලේ සාමාජිකයන් සමග බකින්හැම් මාලිගයේ සඳලු තලයේ සිට ජනතාවට ආචාර කරයි. වම් පසින් නව රජු තුන්වැනි චාල්ස් හා දකුණු පසින් ඔටුන්න හිමි විලියම් කුමරු, බිරිය හා දරුවන්.

වෙස්ට්මිනිස්ටර් නගර සභාව විසින් තහවුරු කර ගෙන ඇති පරිදි චීන අවන්හලේ එක් කෙළවරක් මුල් නිවසටත්, වීදුරුවලින් නිමවා ඇති දොර සහිත අසල්වැසි ආයතනය නිවසේ අනික් කොටසටත් ඇතුළත් ව තිබෙන්නට ඇති බවයි. මෙහි බිත්තියක රැජින උපන් ස්ථානය සලකුණු කරමින් පිහිටවූ ඵලකයන් දෙකක් ද සවිකර තියෙනවා. මින් එක් ඵලකයක් වෙස්ට්මිනිස්ටර් නගර සභාවෙන් සවිකරන ලද්දක්. 

රැජිනගේ මවගේ දෙමාපියන්ට අයත්ව. තිබූ බෲටන් වීථියේ අංක 17 ස්ථානයට සුප්‍රසිද්ධ වැදගත් පුද්ගලයන්ට සම්බන්ධ ඓතිහාසික ස්ථාන විශේෂයෙන් සලකුණු කරන අලංකාර නිල් ඵලකයක් ලබා දී නැහැ. එවැන්නක් තීරණය කරන 'ඉංග්‍රීසි උරුමය' (English Heritage) පිළිබඳ ආයතනයේ මාධ්‍ය ප්‍රකාශිකාව කියන්නේ මුල් ගොඩනැගිල්ල මේ වන විට දක්නට නැති නිසා ඒ ස්ථානයට නිල් ඵලකයක් නොදුන් බවයි. 

1926 දී අනාගත රැජින ඉපදුණු විට, ඇගේ රාජකීය මිත්තණිය සහ මුත්තණුවන් පළමු දිනයේ දීම ඇය දකින්නට පැමිණි බවට සටහනක් මේරි රැජිනගේ දිනපොතෙහි තියෙනවා. “සිය මිණිපිරිය, අලංකාර සමකින් ද, පැහැපත් කදිම කෙස් කළඹකින් ද යුත් පුංචි සුන්දරියක්”යැයි එහි දැක්වෙනවා. 

ඒ උපත ලියාපදිංචි කරන්නට එකල ස්වදේශ කටයුතු ලේකම් විලියම් ජොයින්සන්-හික්ස්ට හදිසියෙන්ම පැමිණෙන්නට සිදුවූ ස්ථානය වූයේ ද එයයි. එකල එවන් රාජකීය උපතක් ලියාපදිංචි කිරීම ස්වදේශ කටයුතු ලේකම්වරයා අතින් සිදු කිරීම එකල පැවති සිරිතයි. 

රැජිනගේ මව වූ එලිසැබත් බෝව්ස් ලයන් 1923 වසරේ අප්‍රේල් මාසයේ යෙදුණු ඇගේ විවාහ මංගල දිනයේ දී, ඈ විවාහ ගිවිස සිටි 'ගොතගහන' ලැජ්ජාශීලී තරුණයා වූ එකල යෝක්හි ආදිපාදවරයා වෙත යෑමට පිටත්වූයේ මෙම නිවෙසේ සිටයි. ඉන් හරියටම තෙවසරකට පමණ පසු, සිය පළමු දරුවාගේ උත්පත්තිය සඳහා යුවළ නැවතත් එම නිවසට පැමිණියා. 

 හාලි වීථියේ, භාෂණ චිකිත්සක ලයනල් ලෝග්ගේ පුද්ගලික චිකිත්සාගාරය පිහිටා තිබුණේ ද මෙම නිවසේ සිට ඇවිද යන දුරකිනුයි. 1926 වසරේ සිට අනාගත රජුගේ ගොත ගැහීමට ශායනික ප්‍රතිකාර කළේ ඔහුයි. 

මහරැජින 96 දී රජකමට පත් වී 70 සැමරූ දින

එම වසරේ දීම එලිසැබත් කුමරියත්, ඇගේ දෙමාපියනුත් පිකැඩිලියේ පිහිටි වඩාත් විශාල නිවසක පදිංචියට ගියා. "පළමු තට්ටුවේ පිහිටි, පුංචි කුමරිය ඉපදුණු කාමරය, සියලු කාමර අතරින් අඩුම අලංකාරයක් ඇති කාමරයක් වුනත් හිරු එළියෙන් පිරී ඉතිරී ගිය තැනක්," යැයි එකල ලියැවුණු පුවත්පත් වාර් තාවක සඳහන් වුණා. 

එය අද එවන් ඓතිහාසික ස්ථානයක් සඳහා නොගැළපෙන තරමට අප්‍රසිද්ධව පවතිනවා. අනාගත රජකුට සහ රාජිණියන් දෙදෙනකුට පවුලේ නිවහන වූ මෙවැනි පුද්ගලික නිවසක් ලන්ඩනයේ තවත් ඇත්තේ නැති තරම්. මෙය තවමත් රාජකීය දේපළක කොටසක් වන නමුත් මේ වන විට එය අයත් වන්නේ අබුඩාබි රාජකීය පවුලටයි. ලන්ඩනයේ මෙම කොටසේ දේපොළ සම්බන්ධ ලේඛනයක දැක්වෙන්නේ එය පවුම් බිලියන 5ක් පමණ වටිනා බවයි. 

පුංචි එලිසැබත් කුමරියට ඇය විසූ නිවසෙන් යන්නට ඇගේ දෛවය ඉඩ සැලසුවේ 1931 දී සිදුවූ එක්තරා සිදුවීමක් නිසයි. 1931 දී ඔටුන්න හිමි එඩ්වඩ් කුමාරයා, වොලීස් සිම්ප්සන් නම් ඇමරිකන් කාන්තාවක් සමඟ හාදකමක් ඇති කර ගැනීම ඒ සිදුවීමයි. ඒ වන විට ඇය කලින් විවාහයකින් දික්කසාද වී අර්නස්ට් සිම්ප්සන් නම් ඇමරිකානුවකු හා විවාහ වී සිටියා. 

එඩ්වඩ් කුමරු එංගලන්තයේ ඊළඟ රජු වීමට බලා සිටි නිසා ඔහු මේ සම්බන්ධය පිය රජුගෙන් වසං කළා. 1934 දී ඒ ගැන රජ ගෙදර කසකුසුවක් ගියා. පියා වූ පස් වැනි ජෝජ් රජතුමා ඒ ගැන දැන ගත් වහාම තදින් උදහස් වුණා. ඒත් ඒ අවස්ථාවේ එඩ්වඩ් කුමරු එය ප්‍රතික්ෂේප කළ නිසා සිද්ධිය යටපත් වී ගියා. 

ඒ අතර 1936 ජනවාරි 20 වැනිදා පස් වැනි ජෝජ් රජු මිය යාමත් සමඟ 42 හැවිරිදි එඩ්වඩ් කුමාරයා අට වැනි එඩ්වඩ් රජු ලෙස පත් කෙරුණා. ඔටුනු පැලඳවීමේ මෞලිමංගල්‍යය යෙදී තිබුණේ වසරකට පසුවයි. මේ අතර ඔහුගේ පැරණි ආදරයට පණ ආවා. ඒ අනුව රජතුමා තමා වොලීස් සිම්ප්සන් මහත්මිය විවාහ කර ගැනීමට කැමති යයි බ්‍රිතාන්‍ය අගමැතිවරයාට කීවා. රාජ්‍යත්වය පිළිබඳ අර් බුදය ආරම්භ වූයේ ඉන් පසුවයි. ඒ අදහස නිසා එංගලන්තයේ ක්‍රිස්තියානි සභාවත්, බ්‍රිතාන්‍යයත්, ගිනි ගත්තා. එයින් කිරුළට අපකීර් තියක්, අගෞරවයක් අත්වන්නේ යැයි ඒ හැමගේම මතය වුණා. ඒ අතර සිම්ප්සන් මහත්මිය තමා ළඟදීම බ්‍රිතාන්‍ය රැජින වන්නේ යැයි ඇමරිකන් පුවත්පතකට කියා තිබුණා. එපමණක් නොව ඒ වන විට ඇය දෙවන විවාහයෙන් ද දික්කසාද වී සිටියා. ඒ පුවත මුළු ලොවම කැලඹුවා. 

එංගලන්තයේ ක්‍රිස්තියානි සභාවට අනුව දික්කසාද වූ කාන්තාවකට ඇගේ සැමියා ජීවතුන් අතර සිටී නම් නැවත විවාහයකට යාම පාපයක්. ඒ අනුව සිම්ප්සන් මැතිනියගේ විවාහයේ සැමියන් දෙදෙනා ම ජීවතුන් අතර සිටියා. මේ නිසා බ්‍රිතාන්‍ය ජනමතය පමණක් නොව, ඔස්ට්‍රේලියාව, නවසී‍ලන්තය, කැනඩාව වැනි ඉංග්‍රීසි කොඩිය යටතේ ඇති පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන රටවල් ඔටුනු පලඳින්නට පෙර ඇති වූ මේ ගැටලුව නිසා එඩ්වඩ් රජුගේ අදහසට එකහෙළා විරුද්ධ වුණා. 

අන්තිමේ දී එඩ්වඩ් රජු හිත හදා ගෙන සිම්ප්සන් මැතිනිය වෙනුවෙන් රජකම අත්හරින්නට තීරණය කළා. ඒ අනුව 1936 දෙසැම්බර් 11 වැනිදා ඔහු සිහසුනෙන් බැස්සා. එලිසැබත් කුමරියට සහ ඇගේ දෙමාපියන්ට බකිංහැම් මාලිගයේ ස්ථිර පදිංචියට යාමට සිදු වූයේ මේ අනපේක්ෂිත සිදුවීම නිසයි. එලිසැබත් කුමරියගේ පියා වූයේ එඩ්වඩ් රජුගේ මල්ලීයි. ඔහු හයවැනි ජෝජ් රජු ලෙස සිහසුනට පත් වුණා. 

එලිසැබත් කුමරියගේ දෛවය එතැනින් නතර වූයේ නැහැ. ඇගේ පියා රජකමට පත් වූයේ 1936 දීයි. යම්කිසි විධියකින් අට වැනි එඩ්වඩ් රජු සිම්ප්සන් මැතිනිය අත්හැර සිහසුනෙහි රැඳී සිටියේ නම්, ඔහුගේ අභාවයෙන් පසු 1972 දී රජකම හිමි වීමට උරුමය තිබුණේ ද එලිසැබත් කුමරියටමයි. ඇගේ පියා වූ හය වැනි ජෝජ් රජතුමා පිළිකා රෝගයකින් හදිසියේ 1952 පෙබරවාරි 6 වැනිදා දිවංගත වූ නිසා ඇයට අවුරුදු 26 දී ම රජකමට පත් වීමට අවස්ථාව උදා වුණා. ඒ නිසා අද ඇය ලෝකයේ වැඩි ම කාලයක් කිරුළ දැරූ තැනත්තිය වීමට වාසනාව ලැබුවා. 

රාජකීය නිවසක නැතිව සාමාන්‍ය තට්ටු නිවාසයක ඉපිද, අනුප්‍රාප්තික රාජාවලියට නිතරඟයෙන් ම පත් වී, නිසි විය සපිරූ මොහොතේම සිහසුනට පත් වී, මියෙන තුරා රජ කිරුළ දරමින් රාජ්‍යත්වයේ ප්ලැටිනම් ජුබිලිය සැමරූ එකම බ්‍රිතාන්‍ය රාජකීයයා වීමේ ගෞරවය ද ඇය ලැබුවා. 

මහරැජිනගේ අභාවයෙන් පසු සිදුවන්නේ කුමක්ද? 

සැප්තැම්බර් 9 වැනිදා - සිකුරාදා 

• තුන්වැනි චාල්ස් රජතුමා හා රජ බිසව සමඟ ලන්ඩනයට සැපැමිණීම. 
• තුන්වැනි චාල්ස් රජතුමාගේ රාජ්‍යතාන්ත්‍රික හමුව. නව අගමැතිනි ලිස් ට්‍රස් නව රජතුමා බැහැදැකීම. 
• මහ රැජින වෙනුවෙන් ඊයේ සිට සත් දින ශෝක කාලයක් තුන්වැනි චාල්ස් රජු විසින් ප්‍රකාශයට පත්කිරීම. 
• වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ ඝණ්ටා නාද කිරීම. හයිඩ් පාක්හී රාජකීය ආචාර වෙඩි මුර පැවැත්වීම. 

• සවස් භාගයේ දී තුන්වැනි චාල්ස් රජු රූපවාහිනියෙන් ජාතිය ඇමතීම. 
• සවස 6ට සාන්ත පාවුළු දේවස්ථානයේ 6000ක් ජනතාව සහභාගිවන අනුස්මරණ දේව මෙහෙය පැවැත්වීම. 
• දවල් 12ට රැස්වෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන්ගේ ශෝක පළ කිරීම. මෙය රාත්‍රි 12 වන තෙක් පැවත්වීම. 

සැප්තැම්බර් 10 වැනිදා - සෙනසුරාදා 

• නිල වශයෙන් චාල්ස් කුමරු සිංහාසනාරූඪ කිරීමට විශේෂ රාජප්‍රාප්ති කවුන්සිලය සාන්ත ජේම්ස් මාලිගයට රැස්වීම. (ඊට ප්‍රීවි කවුන්සල නියෝජිතයන්, රාජ්‍යවල ප්‍රධානීන්, ලන්ඩනයේ නගරාධිපතිවරයා හා පොලිස්පති වරයා, රාජ්‍යයේ මහ කොමසාරිස්වරුන්, ජ්‍යෙෂ්ඨ සිවිල් සේවා නිලධාරීන් ඇතුළු විශේෂ පිරිසක් අයත් වෙයි.) 
• රජුගේ සහභාගිත්වය නැතිව ප්‍රීවි කවුන්සලය රැස්වී රාජප්‍රාප්තිය ප්‍රකාශ කිරීම. 
• තුන්වැනි චාල්ස් රජතුමා අගමැති ප්‍රමුඛ කබිනට් මණ්ඩලය මුණ ගැසීම. 
• සවස 2කට ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් නව රජුට පක්ෂපාත වන බවට දිවුරුම් දීම එංගලන්න මැතිසබයේ දී. 

සැප්තැම්බර් 11 වැනිදා - ඉරිදා 

• මහ රැජිනගේ දේහය රැගත් පෙරහර එඩින්බරෝහී හෝලිරූඩ් හවුස් මාලිගය වෙත පැමිණීම. 
• එඩින්බර් ග්, කාඩිෆ් හා බෙල්ෆාස්ට් මැතිසබවල රැස්වීම් අත්නොහිටුවා නව රාජප්‍රාප්තිය ගැන ප්‍රකාශයට පත් කිරීම. 

සැප්තැම්බර් 12 වැනිදා - සඳුදා 

• මහ රැජිනගේ දේහය රැගත් පෙරහර රෝයල් මයිල්හී සිට සාන්ත ගිල්ස් දේවස්ථානය දක්වා පැමිණීම. 

• රාජකීයයන් හා රජ පවුලේ සාමාජිකයන් සහභාගි වන දේව මෙහෙය. 
• මේ දේවස්ථානයේ දී මහ රැජිනගේ දේහයට ගෞරව කිරීමට මහජනයාට අවස්ථාව සැලසෙනු ඇත. 
• එංගලන්ත මැති සබය හා සාමි මණ්ඩලය එක්ව ශෝකය පළ කිරීමේ ‍යෝජනාවක් සම්මත කර ගැනීම. 

 සැප්තැම්බර් 13 වැනිදා - අඟහරුවාදා 

• දේහය රැගත් දෙන ගුවනින් ලන්ඩනයට ගෙන යනු ඇත. ඒ බකින්හැම් මාලිගයේ තැන්පත් කිරීම සඳහායි. 

අවමඟුල් පෙරහැර වෙස්ට්මිනිස්ටර් දේවස්ථානය තෙක් යන මඟ.

• දේහය වෙස්ට්මිනිස්ටර් මාලිගය වෙත ගෙන යාමේ පෙරහුරුවක්ද පැවැත්වෙනු ඇත. 

සැප්තැම්බර් 14 වැනිදා - බදාදා 

• මහ රැජිනගේ දේහය රාජ්‍ය ගෞරව දැක්වීම පිණිස වෙස්ට්මිනිස්ටර් ශාලාවේ දින හතරක් තැන්පත් කර තැබීම.
 

• දේහය පැමිණි මොහොතේ කැන්ටබරිහී ප්‍රධාන බිෂොප්වරයා විසින් විශේෂ දේව මෙහෙයක් පැවැත්වීම. 
• මෙහිදී එහි පැමිණ ගෞරව දැක්වීමට මහජනතාවට අවස්ථාව සැලසෙයි. 

සැප්තැම්බර් 15 වැනිදා - බ්‍රහස්පතින්දා 

• දේහයට මහජන ගෞරව දැක්වීම ආරම්භ වෙයි. ඉරිදා තෙක් නොකඩවා සිදුවෙයි.‍ 

සැප්තැම්බර් 16 වැනිදා - සිකුරාදා 

• දේහයට මහජන ගෞරව දැක්වීම නොකඩවා සිදුවන අතර ලෝක රාජ්‍ය නායකයන් ගෞරව දැක්වීම සඳහා පැමිණීම ආරම්භ වීම. ‍ 

සැප්තැම්බර් 19 වැනිදා - සඳුදා 

• මහරැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ දී සිදුවෙයි. 
• මහරැජිනගේ දේහය රැගත් දෙණ ගජනා රියක තැන්පත් කොට නාවික භටයන් විසින් ඇද ගෙන යනු ලබයි. 
• රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨයන් ඒ පසුපසින් යනු ඇත. 
• මේ අවස්ථාව හා දේව මෙහෙය රූපවාහිනියෙන් විකාශය කෙරෙනු ඇත. 
• මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් මේ අවස්ථාවේ දී රටපුරා පැවැත්වෙනු ඇත. 
• රාජ්‍ය අවමංගල උත්සවයෙන් පසු එදිනම මහ රැජිනගේ දේහය රැගත් දෙණ ශාන්ත ජෝර් ජ් දේවස්ථානයට ගෙන යනු ඇත. 
• එදින සන්ධ්‍යාවේ ජ්‍යෙෂ්ඨ රාජකීයයන් සහභාගි වන පෞද්ගලික විශේෂ දේව මෙහෙයක් පැවැත්වෙනු ඇත. 
• අවසානයේ දී මහරැජිනගේ දේහය හයවන ජෝර්ජ් රජුගේ අනුස්මරණ දේවස්ථානයේ තැන්පත් කෙරෙනු ඇත. 

 - පර් සි ජයමාන්න 


Post a Comment

0 Comments