HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඇමරිකාව පෘථිවිය බේරා ගැනීමට කළ අභ්‍යවකාශ මෙහෙයුම

‘ඩයිනසෝරයන් මිහිමත රජ කරද්දී, පෘථිවිය ජීවයෙන් පිරුණු සශ්‍රීක ග්‍රහලොවක් වුණා. ඒත්, අහසින් ආ කි.මී. 9.6ක (සැ.6 ක්) දිගු යෝධ පාෂාණ කුට්ටියක් ඒ සියල්ල වෙනස් කළා. ඒක පෘථිවියේ හැපුණේ න්‍යෂ්ටික බෝම්බ 10ක් එකවර පුපුරුවා හැරියාක් මෙන් බලයකින්. දැවැන්ත දූවිලි සහ පස් කන්දක්, පෘථිවි වායු ගෝලයට මුසුවී, පෘථිවිය වසා ගත්තා, වසර දහස් ගණනකට හිරු එළිය නොවැටෙන ආකාරයට. අතීතයේ, එවැන්නක් සිදුවූයේ නම්, යළිත් එවැන්නක් සිදුවිය හැකියි. ප්‍රශ්නය, ඒ කවදාද? යන්නයි.’ 

නාසා ආයතනය යැවූ ඩාට් යානය ගැටුණු මොහොත දැක්වෙන මේ ඡායාරූපය 
කියුබ්සැට් චන්ද්‍රිකාව විසින් එවන ලද්දක්.

1998 වසරේ තිරගත වුණු, අතිශය ජනප්‍රිය වූ ‘ආමෙගෙඩන්’ (Armageddon) නමැති හොලිවුඩ් චිත්‍රපටය ආරම්භ වන්නේ මෙවැනි හැඳින්වීමකින්. ‘ආමෙගෙඩන්’ චිත්‍රපටයට පාදක වන්නේ, පෘථිවියේ හැපීමට ඇදී එන යෝධ ග්‍රහයකින් පෘථිවිය බේරා ගැනීමේ කතාවයි. ඒක විද්‍යා ප්‍රබන්ධයක්. ඒත් ග්‍රහකවලින් පෘථිවියට එල්ල වන තර්ජන නම් ප්‍රබන්ධයක් නොවෙයි, සෑබෑවක්. පෘථිවියට තර්ජනයක් වන ආකාරයේ දැවැන්ත ග්‍රහක රැසක් විශ්වයේ සැරිසරනවා. ඒවායින් බොහොමයක් හඳුනා ගෙන ඒවායේ ගමන් මග ගණනය කර ගැනීමට නාසා ආයතනය සමත් වී සිටිනවා. 

ග්‍රහක කියන්නේ විශ්වයේ පාවෙන විශාල පාෂාණ කැබලිවලටයි. මේවා මෙසේ කැබැලි වී ඇත්තේ විශ්වය ආරම්භයේ දී සිදුවුණු ඝට්ටන සහ පිපිරීම් නිසයි. මෙවැනි ග්‍රහක 27,000ක් පමණ දැනටමත් විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තියෙනවා. ඒ අතුරින් පෘථිවියේ හැපී අනතුරක් සිදු විය හැකි යෝධ ග්‍රහක 8,000 ක් පමණ ඇතැයි පෘථිවි තාරකා විද්‍යාඥයන් කියනවා. ඒ අනුව, අවුරුදු මිලියන 65 කට පෙර ඩයිනසෝරයන් වඳවී ගිය අයුරින් ග්‍රහකයක් පෘථිවියේ ගැටී අපගේ විනාශය සිදුවීමට ඉඩ තියෙනවා. එසේ නම්, පෘථිවිය බේරා ගැනීමට කළ යුත්තේ කුමක්ද? නාසා විද්‍යාඥයන් ‘ඩාර්ට්’ නමැති මෙහෙයුම ආරම්භ කර ඇත්තේ මෙයට පිළියමක් ලෙසයි. ‘ඩාර්ට්’ විද්‍යා ප්‍රබන්ධයක් නොවෙයි. ගිය වසරේ ආරම්භ කළ ‘ඩාර්ට්’ මෙහෙයුම පසුගිය 26 වැනිදා සාර්ථකව ක්‍රියාත්මක වුණා. ‍

ඩාට් යානය හැපෙන්න තත්පර දෙකකට පෙර කි.මී. 12ක් දුර සිට ඩාට් යානයේ කැමරාවකින් එවූ ඡායාරූපයක්.

ඇමරිකාව සඳ ජය ගැනීමෙන් පසු ලද ලොකුම ජයග්‍රහණය එයයි. එය ඇමරිකාව මුහුණ දුන් ප්‍රථම ග්‍රහක යුද්ධයයි. ලෝක බලවතා හැටියට ඇමරිකාව මුළු ලෝකය වෙනුවෙන් ම සිය වගකීම ඉටු කිරීමට ඉදිරිපත් වීම ගැන කාගේත් පැසසුම ඔවුනට හිමිවිය යුතුයි. “දැන් ලෝකයාට සිත නිදහසේ රෑට නිදා ගන්න පුලුවන්. ඉස්සරහට ග්‍රහක ඇවිත් පොළොවේ හැපෙන්නේ නැහැ.” නාසා විශේෂඥයකු කීවේ සැනසුම් සුසුමක් හෙළමිනුයි. 

ඔහු එසේ කීවේ ඔවුන්ගේ ‘ඩාට්’ මෙහෙයුමේ සාර්ථකත්වයෙන් පසුවයි. ‘ඩාට්’ යනු ඇමරිකාවේ ග්‍රහක ප්‍රහාරක මෙහෙයුමයි. අක්නමක් වන ‘ඩාට්’ (DART) යන්න සෑදී ඇත්තේ Double Asteroid Redirection Test (‘ද්විත්ව ග්‍රහක මඟ වෙනස් කිරීමේ අභ්‍යාසය’) යන්නෙහි මුල’කුරුවලිනුයි. අත්හදා බැලීමක් ලෙස සිදුවන ‘ඩාට්’ මෙහෙයුමේ අරමුණ, නියමුවන් රහිත අභ්‍යවකාශ යානයක්, ග්‍රහකයක ගැටීමට සලස්වා, එම ග්‍රහකයේ ගමන් මග වෙන’තකට යොමු කිරීමයි. අනාගතයේ දිනෙක පෘථිවියේ හැපීමට යෝධ ග්‍රහකයක් ආවොත් ප්‍රහාරයක් එල්ල කොට ග්‍රහකයේ ගමන් මග වෙනස් කර, එය පෘථිවිය මග හැර යෑමට සැලැස්වීම ‘ඩාට්’ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ බව ඇමෙරිකාවේ නාසා ආයතනය කියනවා. ‍

2022 සැප්. 26 වැනි සඳුදා ඇමරිකානු සම්මත වේලාවෙන් 7:14ට හැපෙන්න ආසන්න මොහොතේ ඩාට් යානයේ කැමරාවකින් එවූ රූපයක්. (නාසා ආයතනයේ මෙහෙයුම් මැදිරියේ පිරිස ජය සැමරූ හැටි - වමේ)

නාසා විද්‍යාඥයන්, ‘ඩාට්’ මෙහෙයුම ආරම්භ කළේ වසර ගණනාවක් සැලැසුම් කිරීමෙන් පසුවයි. ඒ 2021 වසරේ නොවැම්බරයේයි. ‘ඩාට්’ මෙහෙයුමට අදාළ ‘ඩාට්’ රොබෝ යානය, ගිය වසරේ නොවැම්බර් 24 වැනිදා 'ෆෝල්කන් 9' රොකට්ටුවක ආධාරයෙන් පෘථිවි කක්ෂයට යවනු ලැබුවා. එතැන්සිට රොකට්ටුවෙන් මිදුණු යානය, විශ්වයේ ඈතට ගමන් ඇරඹුවා. එම ගමනේ අවසානය 2022 සැප්තැම්බර් 26 වැනිදාටයි, යෙදී තිබුණේ. ‘ඩාට්’ මෙහෙයුම සඳහා නාසා ආයතනය, 'ස්පේස් එක්ස්' පෞද්ගලික අභ්‍යවකාශ සමාගම සමඟ එක් වී කටයුතු කළා. 'ෆෝල්කන් 9' නම් මේ අධිබලැති රොකට්ටුව 'ස්පේස් එක්ස්' සමාගම නිපදවූ එකක්.

ඩිඩිමෝස් ග්‍රහකය හා ඒ වටා යන ඩිමෝෆස්. කි.මී. 920ක් දුර සිට ඩාට් යානයේ කැමරාවකින් එවූ ඡායාරූපයක්.

නාසා ආයතනය විශ්වය ගවේෂණයට රොබෝ යානා රැසක් යවා තියෙනවා. ඒවා ග්‍රහලෝකවල ගවේෂණයට පමණක් නොව ග්‍රහක ගවේෂණයට ද යොමු කළා. ඇතැම් යානා සාර්ථකව නියමිත මෙහෙයුම් සම්පූර්ණ කළා. ඇතැම් යානා අසාර්ථක වී ඒ ග්‍රහලෝක මතට කඩා වැටුණා. ඒත් ‍මේ ‘ඩාට්’ යානය විශේෂ වේගයකින් ග්‍රහකයක ගැටීමට සැලැස්වීම සඳහාම නාසා ආයතනය විසින් නිපදවූවක්. මේ අභ්‍යවකාශ අභ්‍යාසයට වැය වන මුළු මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 325 ක්. මෙය සැලැසුම් කළේ 2017 වසරේදී සිටයි. මෙයට යුරෝපානු, ඉතාලියානු සහ ජපන් අභ්‍යවකාශ ආයතනවල තාක්ෂණික සහාය ද ඊට ලැබුණා. 

‘ඩාට්’ යානය රැගත් 'ෆෝල්කන් 9' රොකට්ටුව අභ්‍යවකාශය බලා යෑම සිදුවූයේ කැලිෆෝනියාවේ 'වැන්ඩෙන්බර්ග් ස්පේස්ෆෝස්' අභ්‍යවකාශ කඳවුරෙන්. පෘථිවි කක්ෂයට ගිය පසු ‘ඩාට්’ යානය අදාළ ග්‍රහකය බලා ගමන් ඇරඹුවේ, පෘථිවියේ ගුරුත්ව බලය යොදා ගනිමින් හිරු වටා යමින්. එය වසරක පමණ කාලයක් තිස්සේ විශ්වයේ ඈතට ඈතට ගමන් කරමින් දැන් අදාළ ඉලක්කය බලා පැමිණ සිටී. ‘ඩාට්’ රොබෝ යානයේ ඉලක්කය ග්‍රහක දෙකකි. ‘ඩිඩිමෝස්’ සහ ‘ඩිමොෆස්’ වනු එම ග්‍රහක දෙකය. ‘ඩිමෝෆස්’ කුඩාය. ‘ඩිඩිමෝස්’ විශාලය. එකිනෙකට සමීප ලෙස පිහිටි මෙම ග්‍රහක යුගල හිරු වටා කක්ෂයක යන අතර, සැප්තැම්බර් 26 වැනිදා සිට ඔක්තෝබර් පළමු වැනිදා තෙක්, පෘථිවියේ සිට කිලෝ මීටර්  මිලියන 6.8 ක් දුරින් පිහිටනවා. ‘ඩාට්’ යානය සැලසුම් කර ඇත්තේ ‘ඩිමෝ‍‍ෆස්’ ග්‍රහකයේ අධි වේගයකින් ගැටෙන්නටයි. ඒ ඝට්ටනය සැප්තැම්බර් 26 වැනිදාට සිදුවීමටයි, සැලසුම් කර ඇත්තේ. 

‘ඩාට්’ මෙහෙයුමේ අරමුණ ‘ඩිමෝෆස්’ ග්‍රහකයේ ගමන් මග වෙනස් කිරීමයි. සිදුවන ඝට්ටනයෙන් ග්‍රහකයේ ගමන් මඟ මිලිමීටර් ගණනකින් වෙනස් කිරීමට නාසා විද්‍යාඥයන් අපේක්ෂා කරනවා. “මේක ඇත්තටම සමස්ත ලෝකයටම ඉතාමත් වැදගත් වන අභ්‍යවකාශ මෙහෙයුමක්. මෙය සාර්ථක වීම ගැන අප සතුටු වෙනවා” නාසා ආයතනය කියනවා. “දැන් පෘථිවියේ වෙසෙන අපට රාත්‍රියට නිදහසේ නිදා ගන්න පුළුවන්. අනාගතයේ ග්‍රහකයක් ගැටීමෙන් විය හැකි අනතුරකින් පෘථිවිය බේරා ගැනීමට හැකි සාර්ථක විසඳුමක් දැන් අප අතේ තියෙනවා.” යැයි නාසා ආයතනය වැඩිදුරටත් කියනවා. 

නාසා විද්‍යාඥයන් කී ආකාරයට අනුව හරියටම සැප්තැම්බර් 26 වැනිදා ඇමෙරිකා සම්මත වේලාවෙන්, 19.14ට ‘ඩාට්’ යානය, සැලසුම් කළ ආකාරයටම ‘ඩිමෝෆස්’ ග්‍රහකයේ ගැටුණා. ඒ ගැටුම අපට එවේම පෘථිවියේ අපට පෙන්වන්න වෙනම කියුබ්සැට් (Cubesat) නමින් කුඩා චන්ද්‍රිකාවක් ඩාට් යානය මත නංවා ඒ ස්ථානයට යවනු ලැබුවා. ඩාට් යානය ග්‍රහකයේ හැපෙන්න ඔන්න මෙන්න කියා තමයි, ඒ චන්ද්‍රිකාව ඩාට් යානයෙන් වෙන්වුණේ. එතැන් සිට එය එතැන සිදු වූ ගැටුමේ පින්තූර රැසක් අපට එවන්න පටන් ගත්තා. එයින් එකක් තමයි මෙහි පළ වෙන්නේ. 

කියුබ්සැට් චන්ද්‍රිකාව ඉතාලි අභ්‍යවකාශ අධිකාරිය විසින් නිපදවන ලද්දක්. කැමරා දෙකක් සවි කර ඇති එහි බර කි.ග්‍රෑ. 14ක් (රාත්තල් 31ක්). එය හසුරුවන්නේ ඉතාලියේ නගරයේ ඇති පාලක මැඳිරියකින්. ඩාට් යානයේ ඇති කැමරාවලින් හැපෙන මෙහොත තෙක් ඒ අවස්ථාව පොළොවේ සිටින අයට සජීවීව දැක ගත හැකිවුණා. පිටත සිට ගැටුම දැක ගත හැකි වන්නේ මේ කියුබ්සැට් එවන පින්තූරවලින්. මෙතැනින් පසු ඒ කියුබ්සැට් චන්ද්‍රිකාව වෙනම ගමනක් යමින් වෙනත් ග්‍රහකවල පින්තූර තවදුරටත් නොකඩවා මෙහි එවාවි. 

ඩාට් යානය ග්‍රහකයේ හැපෙන මොහොත පහත වීඩියෝවෙන් නරඹන්න 

මේ ඓතිහාසික අභ්‍යවකාශ මෙහෙයුමෙහි දසුන් දකුණු අප්‍රිකාවේ ස්ථාපිත කර ඇති අභ්‍යවකාශ නිරීක්ෂණ දුරේක්ෂ සහ ඉතාලියේ රෝමය කේන්ද්‍රකොට ගත් ‘වර්චුවල් ටෙලස්කෝප් ප්‍රෙජෙක්ට් (Virtual Telescope Project) නම් ව්‍යාපෘතිය එක් වී, පෘථිවියේ සිටින අපට දකින්න සැලැස්වූ අතර, එය සජීවීව නාසා ආයතනයේ නිල වෙබ් අඩවිය හා සම්බන්ධ ‘නාසා ටීවී’ යූ ටියුබ් නාළිකාව ඔස්සේ නැරඹිය හැකි වුණා. ඝට්ටනයේ දී ග්‍රහකයේ දීප්තිය වෙනස්වීම, පසුව එහි ගමන් මග වෙනස් වීම ‘නාසා ටීවී’ හරහා පෘථිවියේ සිටින හැමටම නැරඹිය හැකි වී යයි නාසා ආයතනය පවසනවා. ‘ඩිමෝෆස්’ ග්‍රහකය මෙම අත්හදා බැලීමේ මෙහෙයුම සඳහා තෝරා ගැනුනද, ඒ ග්‍රහකයෙන් හෝ ‘ඩිඩිමෝස්’ ග්‍රහකයෙන් හෝ පෘථිවියට අනතුරක් නොමැති බව ද නාසා විද්‍යාඥයන් පැහැදිලි කරනවා. 

-  ලුසිත ජයමාන්න 


Post a Comment

0 Comments