HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සොඳුරු ගී පද රචකයකු ගැන මිතුරු කලාකරුවකු තැබූ සටහනක්

කණ්ඩායම් ගීත කලක් ජනප්‍රිය අංගයක්ව පැවතුණේය. ඒ කාලයේ ‘ධර්මරත්න සහෝදරයෝ’ සිත් බැඳ ගත් ගායක කණ්ඩයමක් විය. එහි කැපී පෙනෙන සාමාජිකයකු වූ මිල්රෝයි ධර්මරත්න ගායකයකු, වාදකයකු, සංගීතඥයකු පමණක් නොව ගීත රචකයකු හා ලේඛකයකු ද වෙයි. පෑන හැසිරවීමේ දී ඔහු ගායනයේ දී මෙන් දස්කම් පායි. ගීතවලින් දැන හඳුනාගෙන තිබූ ඔහු මා රූපකායෙන් හඳුනා ගත්තේ විජය පුවත්පත් ආයතනයේ ආරම්භයේ දී ය. ඔහු මට හඳුන්වා දුන්නේ එකල එහි බෙදා හැරීමේ කළමනාකරු වූ අද අප අතර නැති සරත් ටෙනිසන් මිතුරාය. මිල්රෝයි ඔහු සමග එම අංශය දියුණු කිරීමට සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරමින් සිටියේය. කලක් තිස්සේ දුරින් ඉඳ රස විඳි, අප හඳ බැඳි මිතුරකුගේ සමීප ඇසුරක් ලැබීම ගැන එදා මා ලද සතුට අපමණය. 

එදා සිට මා ඒ ආයතනයෙන් ඉවත්ව යන තෙක්ම, ඔහු විවේකව සිටින විට නිතර ඔහු වෙත ගොස් කතාබස් කිරීම පුරුද්දක් කර ගෙන සිටියෙමි. ළමා වියේ සිට ම ලේඛන කලාවෙහි නිරතව සිටි, එසේ ම කලාකරුවන්, සාහිත්‍යධරයන් ඇසුරු කළ ඔහුගේ අත්දැකීම් මට මගේ කටයුතුවලට රුකුලක් විය. ඔහු අද විශ්‍රාම ගෙන සිටියද ඔහු පවත්වා ගෙන මුහුණු පොතේ පිටු අතරින් ඔහුගේ ලේඛන කුසලතා තවමත් ප්‍රදර්ශනය කරමින් සිටියි. ඒ අතරින් ගීත රචකයන් ගැන ඔහු ලියන ලිපි හරබරය; රසවත්ය. මේ පසුගියදා අප අතැර ගිය ආනන්ද පද්මසිරි නම් ප්‍රතිභාපූර්ණ ගීත රචකයා පිළිබඳ ඔහු තැබූ සටහනයි. 


ගීත ලොවට ආනන්දයක් වූ අභීත සොඳුරු ගීත රචකයා - ආනන්ද පද්මසිරි 

ගීත රචකයින්ගේ සංගීතවේදීන්ගේ ගායන ශිල්පින් ශිල්පීන්ගේ සැබෑ අයිතිය වෙනුවෙන්, ඔවුනට සිදුවූ අසාධාරණයන් වෙනුවෙන්, ඔවුන්ට කෙරෙන කෙනෙහිලිකම්වලට එරෙහිව අභීතව නො පැකිළව පෙනී සිටි ඔහු වන් කලාකරුවකු මගේ කලා ජීවිතය තුළදී මට මෙතෙක් මුණ ගැසී නැත. සැබැවින්ම ඔහුගේ පන්හිඳ කගපතකි. අයුක්තිය අසාධාරණය දුටු තැන ඔහු තරාතිරම නොබලා, තමන්ට සිදුවන පාඩුව, අවාසිය නොතකා එම කලාකරුවා හෝ කලාකාරිනිය වෙනුවෙන් හැමවිටම පෙනී සිටියේය. 

මාගේ ගීත ඇතුළු තවත් මෙරට කලාකරුවන්ගේ නිර්මාණ රැසක් වෙනුවෙන් පෙනී සිටි ඔහු විශිෂ්ට නීතිඥයකුට සම කළ හැකිය. මේ හේතුව නිසාම ඔහුට බොහෝ මාධ්‍ය ආයතනවල දොරටු පවා වැසුණේය; තහංචි වැටුණේය. එහෙත් සිය අවසන් හුස්ම වැටෙන තුරාම ඔහු ඒ සටන අත් නොහැර කරගෙන ගියේ විශිෂ්ට සෙබලකු පරිද්දෙනි.  

ඔහුගේ ගීත රචනා අතර, ‘වතුර හිතවතා’ (මේරියන්ස්), ‘රන් සමනල ජෝඩුව වාගේ’ (රන්ජන් රාමනායක), ‘ලස්සන ලෝකයේ-මට හිමි ආදරේ’ (ජිප්සීස්), ‘සීතල හිම රටේ’ (මිල්ටන් මල්ලවආරච්චි), ‘එනවා යනවා මේ පාරේ’ (සමන් පුෂ්පවර්ණ), ‘නිල් තරු නෙතු හිනැහේ’ (රූකාන්ත/චන්ද්‍රලේඛා), ‘දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ’ (විජය කුමාරතුංග), ‘පාළු හැන්දෑවේ’ (එච්. ආර්. ජෝතිපාල), ‘බිතුසිතුවම් රූ වාගේ’ (මිල්ටන් පෙරේරා), ‘කොවුලා කොහේදෝ ඉගිලී ගියාදෝ’ (ක්ලැරන්ස්), ‘සඳේ සුසුමට’ (සුජාතා අත්තනායක), ‘දම්මි සුගත් තනිකලාට’, ‘සාමේ ඉරේ රැස් දහරාවේ’, ‘ඇස් දෙකෙන් ඔයා’, ආදී නිර්මාණ තුළින් ඔහුගේ විවිධත්වය හඳුනා ගත හැකිය. 

ආනන්ද තුළ පැවැති විශිෂ්ටත්වය ගීත රචනයට පමණක් ලඝු කළ නොහැකිය. ඔහු මෙරට සිනමාව, ගීතය, සංගීතය, පමණක් නොව පොදුවේ කලාව සාහිත්‍යය පිළිබඳ පුස්තකාලයකි. ඔහු සතුව ඉහතකී විෂයයන් පිළිබඳ වූ දැනුමද මතකයද බොහෝ දුරට නිවැරදි විය. 

කලාවෙහිදී පමණක් නොව මෙරට දේශපාලනය විෂයයෙහි දී ඔහු කළ ඇතැම් විචාර, පළ කළ මත හා ප්‍රකාශ අදීන කාලානුරූපී හා බුද්ධිමත් ඒවා විය. කලාවෙහිදී මෙන්ම දේශපාලනයේ දී ද ඔහු කිසිවකුට, කිසිම විටෙක තමන්ගේ ‘වාසියට කඩේ නොගිය’, ඉන්ද්‍රඛීලයක් මෙන් සෘජු ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළ අයකු විය. 

ආනන්ද, සරල, සුන්දර, පුංචි මිනිසකු මෙන්ම, සෑම විටෙකම එසේ හැසිරුණ මිනිසෙකි. ඔහු ඇතැමකු මුණ ගැසීමට ගිය අවස්ථාවලදී නිවසෙහි පුටුව පෙනි පෙනී තිබියදී පියගැට පෙළෙහි වාඩි වූ තැනැත්තෙකි. ඇතැම් විට මිදුලේ ගහක් යට හෝ ලෑලි බංකුවක වාඩි වී' මෙතැන හොඳයි' කියමින් ඕනෑම තත්ත්වයකට අනුගත වූ අයෙකි. 

ඔහුගේ කතාබහ ද ක්‍රියාව මෙන්ම අතිශයින් සරල විය. හිතට එන බොහෝ දේ සෘජුව ප්‍රකාශ කරන ගතියක් ඔහුට තිබිණ. එපමණක්ද නොව අනුන් ලියූ ගී රචනයන් පවා ප්‍රසිද්ධියේ අගය කරන පරාර්ථකාමී ගුණයක්ද ඔහු සතු විය. ඔහුට කැමැති මිතුරන් රැසක් විවිධ උසස් තනතුරු හොබවමින් පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සිටියද ආනන්ද බොහෝ විට ඔවුන් පසු පස්සේ යමින් වරදාන වරප්‍රසාද සිඟා කෑමට ඉදිරිපත් නොවූ පුද්ගලයෙකි. 

    - මෙල්රෝයි ධර්මරත්න  

අවුරුදු 63ක් ආයු වළඳා පසුගිය සැප්. 16 වැනිදා අවසන් ගමන් ගිය ආනන්ද පද්මසිරි සහෘදයා ගැන මට ද මතකයන් රැසක් තිබේ. ඔහු මට හඳුන්වා දුන්නේ අපේ සුමිතුරු බන්දුල පත්මකුමාරයි. එදා සිට දිගු මිතුරුදමක් පවත්වාගෙන යාමට මට සිදු විය. ඒ ඔහුගේ කලා ක්ෂේත්‍රය පිළිබඳ දැනුම නිසාය. බොහෝ විට ගීත රචකයකුගේ නමක් මා සැක හැර දැන ගත්තේ ඔහුගෙනි. 

ආනන්ද පද්මසිරි (ඡායා- දයාන් විතාරණ) - ආනන්ද ජෝති හමුව

ඔහු එච්. ආර්. ජෝතිපාලට අසීමිතව ආදරය ‍කළේය. පාසල් යන කාලයේ සිට ජෝතිට ලියුම් ලියූ ඔහු ගීත රචනයට පිවිසියේ ජෝති නිසාය. ඔහුට ඒ සඳහා ඇති හැකියාව ජෝති දුටුවේ පිටු 80 එක්සයිස් පොතක් පුරා එවකට ජනප්‍රිය හින්දි ගීවලට අනුකාරක පද යොදා ඔහු නිර්මාණය කළ ගීත ගොන්න දැකීමෙනි. ඔහු චිත්‍රපට ගීත රචනයට පිවිසෙන්නේ 1979 වසරේ දී ‘අපේ ආදරේ රස ගීතිකා’ නම් ගීතයෙනි. ඒ ජෝති ඔහු ලෙනින් මොරායස්ට හඳුන්වා දීමෙන් පසුවය. ඒ ‘යුගයෙන් යුගයට’ චිත්‍රපටයෙනි. 

ජෝති සමග ලොකු මිතුදමක් ඇති කර ගත් ආනන්ද ජෝතිගේ මරණයෙන් පසු ඔහු වෙනුවෙන්ද ගීතයක් ලීවේය. ඒ ගීය පිළිබඳ ඔහු ලියූ කතාව ඔහුගේ වචනවලින් ම ඔහු ගැන ලියැවෙන මේ ලිපිය අගට එක්ක කරන්නට කල්පනා කළේ ඔහුට උපහාරයක් හැටියටය. 

“ජෝති මිය ගිය පසුව ඔහු ගැන ගීතයක් ලියා එය ගයන්නට මිල්ටන්ට ඇරයුම් කළෙමි. ඊට එකපයින් කැමති වූ ඔහු මට එය පටිගත කිරීම සඳහා දිනයක් දීමට කල් ගත්තේය. 1991 වසර අග භාගයේ දී හදි‍සියේ ම මට හමුවූ වේලේ, එක්වරම ‘හෙට කරමුද?’ කියා මගෙන් ඇසුවේය. ඒ අනුව ඒ සඳහා පටිගත කිරීමක් වෙන් කර ගත්තෙමි. 

“බිතු සිතුවම් රූ වාගේ
දුක සැප දෙකෙහිම පැවතී 
හිත මිතුරු මගේ ජෝති 
ඔබ ඇයිද ගියේ වෙන් වී 

“මේ පද මාලාව රැගෙන මයික්‍රෆෝනය වෙත ගිය මිල්ටන් පද මාලාවෙන් භාගයක් ගයා කඳුළු සලමින් පිටතට ආවේ කඳුළු සලමිනි. ‘යාළුවා මතක් වෙන කොට අමාරුයි’ ඔහු කීවේය. මධුවිතකින් පසු ඔහු යළිත් දිරි ගෙන වැඩේට බැස්සේය. ‘හරි දැන් ගන්න’ ඔහු ශබ්ද පරිපාලක නාමල් ප්‍රනාන්දුට කීවේ ය. කිසිවකුත් නොසිතූ අයුරින් මිල්ටන් එක හුස්මට එය ගායනා කර අවසන් කළේය. එය මිල්ටන්ගේ අවසාන ගීතය විය. ඔහුට අවසාන ගීතය ලියූ ‘අ’වාසනාවන්තයා බවට පත්වන්නට මට සිදුවිය.” 

ආනන්ද ඒ ලිපිය අවසන් කළේ මෙසේය: “ජෝති වෙනුවෙන් එදා මා ලියූ, මිල්ටන් ගැයූ, ඒ ගී පද අද ඔහු වෙනුවෙන් ද වලංගුය.” ඒ සමග ජෝති ගැන ලියූ ගීයේ ඉතිරි පද මිල්ටන් සිහි කොට මේ පළ කළේය: 

“ආදරයේ ගී රාවේ
සිහිනෙන්ද ඇසෙනු වාගේ 
ඔබ නැති ලොව තනිවූදා 
මිතුදම කඳුලක් වූවේ 
සසරේ උපදින වාරේ 
ඔබ හමුවේවා ආයේ” 

මේ පදමාලාව එය ලියූ ආනන්ද පද්මසිරි සහෘදයාටත් වලංගුයයි මට සිතේ. 

- පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments