HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපට සුපුරුදු තීරුකේත (Barcodes) තැනූ හඳුනාගන්න

QR කේතය ගැන ඊයේ ‘මල් කැකුළු’වලින් කීවා. තීරුකේත මේ දවස්වල අපේ ජීවිතයේ හැම තැනක දී ම අපට හමු වෙනවා. සුපර් මාකට් එකකට ගියත් පොත් සාප්පුවකට ගියත් ඒ හැම තැන ම අපට තීරුකේත හමුවෙනවා. බැංකු කටයුතුවලදීත් මේ තීරුකේත අපට සහය වෙනවා. මුදල් නැතිව ගෙවීම් කරන්නත් එ්වා අපට උදවු වෙනවා. ‍ලොව පුරා අපට සහය වෙන මේ අපූරු කේත ලොවට දායාද කළේ කවුරුන්ද? මොනවද ඔවුන් හඳුන්වා දුන් මේ තීරුකේත කියන්නේ? 

තීරුකේත අදහස මුලින් ම දුන් ජෝශප් වුඩ්ලන්ඩ්

තීරුකේතයක් කියන්නේ රූපයක් ආකාරයෙන් යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි ආකාරයට දත්ත නිරූපණය කිරීමේ ක්‍රමයකටයි. ආරම්භ වූ මුල් කාලයේ දී, තීරු කේතවල දත්ත නියෝජනය කෙරුණේ සමාන්තර රේඛාවල පළල, හිස් පරතරය සහ ප්‍රමාණයන් වෙනස් කරමිනි. අද ඒවා පොදුවේ හැඳින්වෙන්නේ රේඛීය හෝ ඒක මාන (1D) ලෙස වර්ග කර දැක්වීමෙනි. මේ තීරුකේත කියවීමට ‘බාර්කෝඩ් රීඩර්’ නම් විශේෂ දෘෂ්‍ය ස්කෑනර අවශ්‍යයි. දැන් ඒවා භාවිතා කෙරෙන්නේ නැහැ. ඒ වෙනුවට අච්චු කේත (matrix codes) හෝ ද්විමාන තීරුකේත (2D barcodes) ලෙසින් හැඳින්වෙන සෘජුකෝණාස්‍ර, තිත්, ෂඩාස්‍ර සහ වෙනත් රටා භාවිතා කර ද්විමාන (2D) ප්‍රභේද ලෙස සකසා ගනු ලබන ඒවා තමයි භාවිත කෙරෙන්නේ. 2D තීරුකේත ආකාර කිහිපයකින් තියෙනවා. මේ වන විට ස්මාර්ට් ජංගම දුරකතනය වැනි ඇතුළත කැමරාවක් සහිත මෙවලමක් මගින් විශේෂිත යෙදවුමක් හෙවත් ‘ඇප් එකක්’ භාවිතයෙන් ඒ 2D තීරුකේත කියවිය හැකියි. 

තීරුකේතය හෙවත් බාර්කෝඩය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ඇමරිකන් ජාතික නෝමන් ජෝසප් වුඩ්ලන්ඩ් සහ බර්නාඩ් සිල්වර් යන දෙදෙනාටයි. ඒ තීරුකේතය සඳහා ඇමරිකා එක්සත් ජනපදඅයේ හිමිකම් බලපත්‍රය හිමි වුණේ 1951 දීයි. මේ නව නිපැයුම තනන ලද්දේ මෝර්ස් සංඥා පදනම් කර ගෙනයි. එහි තිත් හා කඩ ඉරි වෙනුවට තුනී සහ ඝන තීරු යොදා ගනු ලැබුවා. කෙසේ වුවත්, මේ නව නිපැයුම වාණිජමය වශයෙන් සාර්ථක වීමට වසර විස්සක් පමණ ගත වුණා. 

එක්සත් රාජධානියේ පළවූ 'මෝඩර්න් රේල්වේස්' 1962 දෙසැම්බර් කලාපයේ දක්වා ඇති ආකාරයට බ්‍රිතාන්‍ය දුම්රිය සේවය ඒ වන විටත්, පැයට සැතපුම් 100 (පැයට කිලෝමීටර 160) වේගයෙන් ගමන් කරන දුම්රිය මැදිරි නිවැරදිව කියවිය හැකි තීරුකේත කියවීමේ පද්ධතියක් සාර්ථකව භාවිත කර ඇති බවයි. එහෙත් එය පෞද්ගලීකරණය කරන විට ඒ පද්ධතිය අතහැර දැමූ බව සඳහන් වෙනවා. 

1960 දශකයේ අග හරියේ ඇමරිකානු දුම්රිය සංගමය එක් වර්ගයක තීරුකේතයක් භාවිතා කිරීමට අවසර දුන්නා. ස්වයංක්‍රීයව මෝටර් රථ හඳුනා ගැනීමේ ක්‍රමයක් ලෙස (KarTrak ACI) ජෙනරල් ටෙලිෆෝන් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික්ස් (GTE) විසින් වැඩි දියුණු කරන ලද මෙම යෝජනා ක්‍රමයට අනුව විවිධ වර්ණවල ඉරි යොදා තැනූ වානේ තහඩුවක් සෑම දුම්රිය මැදිරියක ම දෙපැත්තෙහි සවි කරනු ලැබුවා. වර්ණ ඉරිවලින් එහි හිමිකාරිත්වය, වර්ගය සහ හඳුනාගැනීමේ අංකය ආදී තොරතුරු කේතනය කෙරුණා. දුම්රිය මග දෙපස විශේෂයෙන් තෝරා ගත් තැන්වල, නිදසුනක් වශයෙන් දුම්රිය අංගනයක දොරටුවේ මග දෙපස ඒ කේත කියවිය හැකි ‘ට්‍රැක්සයිඩ් ස්කෑනරයක්’ සවි කරනු ලැබුවා. දිගුකාලීන භාවිතයට ඒ ක්‍රමය නුසුදුසු යැයි කියා වසර දහයකට පසු ඒ ව්‍යාපෘතිය අත්හැර දමනු ලැබුවා. 

බාර්කෝඩය වාණිජමය වශයෙන් වඩාත් සාර්ථක වූයේ ඒවා සුපිරි වෙළඳසැල්වල භාවිතයට ඒමත් සමඟයි. මුල දී ලොව පුරා සුපර්මාකට්වල පරීක්ෂණ පද්ධති ස්වයංක්‍රීය කිරීමට එය යොදා ගනු ලැබුවා. 1973 දී ජෝර්ජ් ලෝරර් (George Laurer) විසින් විශේෂයෙන් සැකසූ තීරුකේතයක්, යුනිෆෝම් ග්‍රොසරි ප්‍රොඩක්ට් කෝඩ් කවුන්සලය විසින් ඒ සඳහා තෝරා ගනු ලැබුවා. ලෝරර්ගේ ඒ තීරුකේතය, සිරස් තීරු සහිත වුණා. වුඩ්ලන්ඩ් සහ සිල්වර් දෙදෙනා නිර්මාණය කළ වෘත්තාකාර තීරුකේතයට වඩා එය පැහැදිලිව මුද්‍රණය කර තිබුණා. ලෝර්ර්ගේ තීරුකේතය සාමාන්‍යයෙන් ස්වයංක්‍රීය හඳුනාගැනීම් හා දත්ත ග්‍රහණය (AIDC) ඇතුළු බොහෝ කටයුතුවලට අදත් යොදා ගන්නවා. 

තීරුකේත ලොවට දුන් තුන් දෙනා - වුඩ්ලන්ඩ්, ලෝරර් හා සිල්වර්

1974 ජූනි මාසයේදී, ඔහියෝවල ට්‍රෝයිහි මාෂ් සුපිරි වෙළඳසැලකදී පළමු වරට රිග්ලි චුවිංගම් පැකට්ටුවක සලකුණු කර තිබූ විශ්ව නිෂ්පාදන කේතයක් (UPC) ස්කෑන් කරමින් මේ ක්‍රමය භාවිතයට ගැනුණා. ඒ සඳහා භාවිත කෙරුණේ ෆොටෝග්‍රැෆික් සයන්සස් කෝපරේෂන් විසින් සාදන ලද විශේෂ ස්කෑනරයක්. ස්මාර්ට් කැමරා ෆෝන් ලොව පුරා බහුලවීමත් සමඟ දැන් විශේෂ 2D තීරු කේතයක් වන, QR කේතය ඉතා ජනප්‍රිය වී තියෙනවා. 

ස්වයංක්‍රීය හඳුනාගැනීම් හා දත්ත ග්‍රහණය සඳහා තවත් එවැනි පද්ධති වෙළෙඳපොළට ආවත් ඒ සියල්ලට ම වඩා බාර්කෝඩ්වල ඇති සරල බව, විශ්වාසනීයත්වය සහ අඩු පිරිවැය නිසා අනෙකුත් පද්ධතිවලට, විශේෂයෙන් ම 1995 දී හඳුන්වා දෙන ලද ගුවන්විදුලි සංඛ්‍යාත මගින් හඳුනා ගැනීම වැනි තාක්ෂණික ක්‍රමවලට පවා වැඩි ඉඩක් ලැබුණේ නැහැ. 

ඇමරිකානු නව නිපැයුම්කරු නෝමන් ජෝසප් වුඩ්ලන්ඩ් (1921-2012) සිය ආයතනයේ සේවයට බඳවා ගත් අයිබීඑම් (IBM) ඔහුව නිෂ්පාදන ලේබල් කිරීම සහ පිටවීම සහතික කිරීම සඳහා විශ්ව නිෂ්පාදන කේතය (UPC) සංවර්ධනයට යොමු කළා. ඔහු උපන්නේ 1921 සැප්තැම්බර් 6 වන දා නිව් ජර්සියේ අත්ලාන්තික් සිටිහි පිරිමින් දෙදෙනකු සිටි යුදෙවු පවුලක වැඩිමලා ලෙසයි. අත්ලාන්තික් සිටි උසස් පාසලෙන් උපාධිය ලැබීමෙන් පසු ඔහු දෙවන ලෝක යුද්ධයේදී හමුදා සේවයට එක් වුණා. ඒ ටෙනසිවල ඕක් රිජ්හි මෑන්හැටන් ව්‍යාපෘතියේ තාක්ෂණික සහායකයෙකු ලෙසයි. ඔහු 1947 දී ඩ්‍රෙක්සෙල් තාක්ෂණික ආයතනයෙන් (පසුව විශ්ව විද්‍යාලයක් බවට පත් වූ) යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලැබුවා. 1948 සිට 1949 දක්වා ඔහු එහිම යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කළා. 

1948 දී, නෝමන් ජෝසප් වුඩ්ලන්ඩ් සමඟ ඩ්‍රෙක්සෙල් ආයතනයේ සේවය කළ උපාධිධාරී ශිෂ්‍යයකු වූ බර්නාඩ් සිල්වර් දවසක් ඔහු ඇසූ කතාබහක් ගැන අමුතු ආරංචියක් ගෙනාවා. කතාබහ ඇති වුණේ එහි ඉංජිනේරු පීඨාධිපතිවරයා හා සුපිරි වෙළඳසැලේ විධායක නිලධාරියකු අතරයි. 

“නිෂ්පාදන තොරතුරු ස්වයංක්‍රීයව ග්‍රහණය කර ගත හැකි ක්‍රමයක් ඇති කළ හැකිදැයි” සුපිරි වෙළඳසැලේ විධායක නිලධාරියා ඉංජිනේරු පීඨාධිපතිවරයාගෙන් ඇසුවා. 

ඉංජිනේරු පීඨාධිපතිවරයා එවැන්නක් කළ නොහැකි යැයි ඒ අදහස එක්වරම ප්‍රතික්ෂේප කළා.  ‍

ඒ දෙබස බර්නාඩ් සිල්වර්ගේ සිතෙහි කා වැදුණා. ඔහු මේ දෙබස ඒ අයුරින් ම ඔහුගේ අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයකු වූ නෝමන් ජෝසප් වුඩ්ලන්ඩ් සමග කීවා. 

ඉංජිනේරු පීඨාධිපතිවරයා ඒ සිසුවාගේ අදහස ප්‍රතික්ෂේප කළත් එහි යමක් ඇති බව ජෝසප් වුඩ්ලන්ඩ් වැටහුණා. ඒ ගැටලුව තමා වෙත ගෙන ඒම ගැන සිල්වර්ට ප්‍රශංසා කළා. මූලික අදහස් කිහිපයක් මත වැඩ කිරීමෙන් පසු, ජෝසප් වුඩ්ලන්ඩ් එහි නිෂ්පාදන ශක්‍යතාවක් ඇති බවට ඒත්තු ගැන්වීමට සමත් වුණා. 

ජෝසප් වුඩ්ලන්ඩ් කථිකාචාර්ය රැකියාවෙන් ඉවත් වී කොටස් වෙළඳපොළෙන් උපයා ගත් මුදල් රැගෙන, ෆ්ලොරිඩාවේ ඔහුගේ සීයාගේ මහල් නිවාසයට ගියා. මුහුදු වෙරළේදී, වුඩ්ලන්ඩ් නැවතත් මේ ගැටලුව ගැන සලකා බැලුවා. ඔහුගේ බාලදක්ෂ පුහුණුවේදී ඉලෙක්ට්‍රොනිකව තොරතුරු යැවීමට මෝර්ස් කේත තිත් සහ ඉරි භාවිතා කරන ආකාරය සිහියට නැඟුණා. ඔහු මෝර්ස් කේතයේ භාවිතා කළ හැඩයට සමාන තිත් සහ ඉරි ආදිය වැල්ලේ ඇන්දා. ඒවා තම ඇඟිලිවලින් පහළට ඇද, තිත්වලින් තුනී රේඛා සහ ඉරිවලින් ඝන රේඛා නිපදවීමෙන් පසු, ඔහු ද්විමාන, රේඛීය මෝර්ස් කේතයක් පිළිබඳ සංකල්පය ඉදිරිපත් කළා. මේ කාර්යය කිරීමට ඔහු බර්නාඩ් සිල්වර් සම්බන්ධ කර ගත්තා. 

පසුව 1951 දී IBM විසින් ජෝශප් වුඩ්ලන්ඩ් සේවයේ යොදවා ගෙන ඇති අතර, ඔහුට සහ සිල්වර්ට මේ කේත තාක්ෂණය දියුණු කිරීමට අවශ්‍ය වුවද, එය වාණිජමය වශයෙන් කළ නොහැකි වුණා, එබැවින් IBM 1952 දී පේටන්ට් බලපත්‍රය ඩොලර් 15,000 කට ෆිල්කෝ වෙත විකුණුවා, පසුව ඔවුන් එය 1952 දී RCA වෙත විකුණුවා. 1969 දී පේටන්ට් බලපත්‍රය අවසන් වන තෙක් ම RCA ආයතනය 60 දසකය පුරාම මෙහි වාණිජ යෙදුමක් සංවර්ධනය කිරීමට උත්සාහ කළා. හරි ගියේ නැහැ. 

1969 දී ජාතික ආහාර ද්‍රව්‍ය වෙළෙඳ දාම සංගමය මේ සඳහා උනන්දු කර වූයේ RCA ආයතනයයි. ඔවුන් ඇමරිකන් සුපිරි වෙළඳසැල් කමිටුවක් සඳහා එකාකාර සිල්ලර නිෂ්පාදන කේතයක් සකසා දුන්නේය. 1971 දී මේ පිළිබඳ අවධානය යොමු කළ IBM වුඩ්ලන්ඩ්ගේ කටයුතු ගැන සොයා බලා ඔහු වැඩි පහසුකම් ඇති උතුරු කැරොලිනාවේ පිහිටි ශාඛාවට මාරු කළා. එහිදී ඔහු RCA නිපැයුම අබිබවා යමින් මේ තාක්ෂණයේ වැදගත්ම නිමැවුම වූ විශ්ව නිෂ්පාදන කේතය (UPC) තැනීමට සමත් වුණා. එය මුලින් ම භාවිත කළේ 1974 දී ඔහියෝ සුපිරි වෙළඳසැලක චුයින්ගම් පැකට්ටුවකටයි. 

මුල් ම බාර්කොඩයේ නිර්මාතෘ ජෝශප් වුඩ්ලන්ඩ් 2012 දෙසැම්බර් 9 වන දින නිව් ජර්සිහි එජ්වෝටර්හිදී ඇල්සයිමර් වැළඳී මිය ගියා. 

ජෝර්ජ් ජෝසප් ලෝරර් III

ජෝර්ජ් ජෝසප් ලෝරර් III (සැප්තැම්බර් 23, 1925 - දෙසැම්බර් 5, 2019) උතුරු කැරොලිනාවේ පර්යේෂණ ත්‍රිකෝණ උද්‍යානයේ IBM සඳහා ඇමරිකානු ඉංජිනේරුවෙකි. ඔහු බුලටින් 20ක් ප්‍රකාශයට පත් කර, පේටන්ට් බලපත්‍ර 28ක් තබාගෙන, 1970 ගණන්වල මුල් භාගයේදී විශ්ව නිෂ්පාදන කේතය (UPC) සංවර්ධනය කළේය. ඔහු බාර්කෝඩ් සඳහා වුඩ්ලන්ඩ්ගේ වඩාත් පොදු අදහස මත පදනම්ව, UPC සඳහා භාවිතා කරන කේතීකරණය සහ රටාව නිර්මාණය කළා. 

ලෝරර් හඳුන්වා දුන් විශ්ව නිෂ්පාදන ‍තීරුකේතය

ජෝර්ජ් ලෝරර් 1925 සැප්තැම්බර් 23 වන දින නිව් යෝර්ක් නගරයේ උපත ලැබුවා. ඔහුගේ පවුල මේරිලන්ඩ්හි බැල්ටිමෝර් වෙත සංක්‍රමණය වුණා. ඔහුගේ පියා විදුලි ඉංජිනේරුවකු වූ අතර එක්සත් ජනපද නාවික හමුදාවේ සේවය කළා. ලෝරර් නව යොවුන් වියේදී ම පෝලියෝ රෝගයට ගොදුරු වූ නමුදු සුවය ලැබුවා. පාසල් වියේදී ම දෙවන ලෝක යුද්ධ සමයේදී එක්සත් ජනපද හමුදාවට බැ‍ඳ‍ෙන්නට ඔහුට සිදු වුණා. හමුදාවෙන් නිදහස් වූ පසු ඔහු කාර්මික විදුහලකට ඇතුළත්ව ගුවන්විදුලි හා රූපවාහිනී අලුත්වැඩියාව ඉගෙන ගත්තා. 

පසුව 1951 දී ලෝරර් මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයට බැඳී ඉංජිනේරු උපාධිය ලබා ගත්තා. ඔහු 1951 දී IBM ආයතනයට සම්බන්ධ වූයේ කනිෂ්ඨ ඉංජිනේරුවෙකු ලෙසයි. 1987 ජූනි මාසයේදී විශ්‍රාම යන තෙක්ම එහි වසර 36ක් සේවය කළා. 1969 දී ඔහු ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු පදවියට මෙන්ම විද්‍යාඥයකු ලෙස උසස් කර උතුරු කැරොලිනාවේ පර්යේෂණ ත්‍රිකෝණ උද්‍යානයේ පිහිටි සමාගමේ කාර්යාල වෙත මාරු කරනු ලැබුවා. 

IBM ආයතනය විසින් සිල්ලර වෙළඳසැල්වල භාවිතයට සුදුසු තීරුකේතයක් සංවර්ධනය කිරීමේ කාර්යය ලෝරර්ට පැවරුවා. මුලදී, IBM විසින් 1940 ගණන්වලදී ජෝශප් වුඩ්ලන්ඩ් විසින් යෝජනා කළ චක්‍රාකාර බුල්සයි මෝස්තරයක් වැන්නක් ඒ සඳහා සුදුසු යැයි කීවත් එය මුද්‍රණය කිරීමේදී ආලේප කිරීම නිසා රටාව අකාර්යක්ෂම බව ලෝරර්ට වැටහුණා. ඒ වෙනුවට, ඔහු 1971දී මුලින් යෝජනා කළ සිරස් ඉරි රටාවක් නිර්මාණය කළා. මෙම වෙනස IBM කළමනාකාරිත්වය විසින් පිළිගනු ලැබූ අතර ලෝරර් පසුව ජෝශප් වුඩ්ලන්ඩ් සහ ගණිතඥ ඩේවිඩ් සවිර් සමඟ එක්ව වැඩි දුරටත් පිරිපහදු කෙරුණු අතර. දෝෂ නිවැරදි කිරීම සඳහා වෙනම අංකයක් එක් කරනු ලැබුවා.1973 දී, IBM ගෙනා යෝජනාව සිල්ලර වෙළඳසැල් සමාගම්වල එකමුතුවක් වන ඒකාකාර සිල්ලර නිෂ්පාදන කේත කවුන්සිලයේ තේරීම් කමිටුව විසින් පිළිගනු ලැබුවා. 

බර්නාඩ් සිල්වර් (1924-1963) මුල්ම බාර්කෝඩය තැනීමට නෝමන් ජෝසෆ් වුඩ්ලන්ඩ් සමඟ එක්වූ නිර්මාපකයායි. ඔහු 1947 දී Drexel තාක්ෂණ ආයතනයෙන් විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලබා ගත්තා. වෘත්තීය ජීවිතය තුළ සිල්වර් ඩ්‍රෙක්සල්හි භෞතික විද්‍යා උපදේශකයකු ලෙසත් සහ ඉලෙක්ට්‍රොනික් නයිට් ඉන්කෝපරේෂන්හි උප සභාපති ලෙස සේවය කළා. ඔහු වයස අවුරුදු 38 දී උග්‍ර ලියුකේමියා තත්වයක් හා බ්‍රොන්කො නියුමෝනියාවත් 1963 අගෝස්තු 28 දින මිය ගියා. 

- පර්සි ජයමාන්න

Post a Comment

1 Comments