HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රොබොට්ටන් නිසා සිදු වුණු මාරක අනතුරු

ඔබට මතකද? පසුගිය ජූලි 26 වැනිදා ‘මල් කැකුළු’ තුළින් රුසියාවේ චෙස් ක්‍රීඩා තරඟයත දී චෙස් අදින්න ආ විශේෂඥ රොබොට්ටකු හත් හැවිරිදි ළමා චෙස් ශූරයකුගේ ඇඟිල්ලක් කැඩුව කතාවක් අප කීවා. අපට හිතුණා ඒ වගේ තවත් සිද්ධි ගැන හොයන්න. අපට වාර්තා වුණු කීපයක් ම තියෙනවා. ඉතිහාසයේ රොබොට්ටන් නිසා සිදුවුණු ඇඟ කිලිපොළා යන අනතුරු කීපයක් ඔබ ඉදිරියේ තියන්නයි, අපි මේ හදන්නේ. මේ කතා ගොන්නට රෝගියකු මැරූ රොබෝ ශල්‍ය වෛද්‍යවරයකුගේ පටන් පාර හරහා යන මගියකු යට කර මරා දැමූ රොබෝ කාරයක් දක්වා විහිදුණු මේ කතා ඇත්තෙන් ම ත්‍රාසජනකයි. 

චීනයේ චෑන්ෂා ෂියැංයා රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් මේ කූරු සාර්ථකව ඉවත් කළා.

රොබෝ රියක් පාර හරහා ගිය කාන්තාවක යට කරයි! 

2018 මාර්තු මාසේ දවසක ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ටෙම්පේ නගරයේ වීදියක මගීන් සඳහා වූ හරස් පාරක බයිසිකලයක් තල්ලු කර ගෙන කාන්තාවක් ස්වයංක්‍රීය ‘රොබෝ’ මොටෝරියක් විසින් යටකර දරුණු ලෙස තුවාල සිදු කරනු තැබුවා. එලීන් හර්ස්බර්ග් (Elaine Herzberg) නම් ඒ කාන්තාව 49 හැවිරිදි වියේ පසුවුණා. 

උබර් කුලී රථ සේවයට අයත් මේ රොබෝ කාරය හදිසියේ වරදක් සිදුවුණොත් වළකා ගන්න උබර් ඉන්ජිනේරුවරියක් ද රියැදුරු අසුනේ සිටියා. වාර්තාවුණු අන්දමට රැෆීලා වැස්කූවස් (Rafaela Vasquez) නම් ඇය රිය ස්වයංක්‍රීය පදවනයට යොදවා තමාගේ ස්මාට් ‍ෆෝනයෙන් වීඩියෝවක් බලමින් තමයි ඉඳලා තියෙන්නෙ. 

බරපතල තුවාල ලත් කාන්තාව රෝහල් ගත කළ පසු මිය ගියා. ඒ තමයි, ස්වයංක්‍රීය ‘රොබෝ’ මොටෝරියක් මගින් මගියකු යට කිරීම සම්බන්ධව පළ වූ පළමු සිදුවීම. 

පසුව වැස්කූවස්ට චෝදනා කරනු ලැබුවා නොසැලකිලිමත් කම නිසා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම ගැන. ඒත් අනතුර අපරාධ නීතිය යටතේ උබර් ආයතනය වගකිවයුතු නැතැයි තීරණය කරනු ලැබුවා. 

ලෝක ප්‍රකට ජාත්‍යන්තර කුලී රථ සේවාවක් වූ උබර් අත්හදා බැලීමක් ලෙසයි, උතුරු ඇමරිකාවේ ටෙම්පේ, සැන් ෆ්‍රැන්සිස්කෝ, පිට්ස්බර්ග් හා ටොරොන්ටෝ නගර අතරේ ආරම්භ කළේ. මේ මාරක අනතුරෙන් පස්සේ ඒ සේවාව අත්හිටෙව්වා. 

2020 දී උබර් ඔවුන් සතුව තිබූ ස්වයංක්‍රීය ‘රොබෝ’ මොටෝරිය සියල්ල විකුණා දැම්මා. ස්වයංක්‍රීය ‘රොබෝ’ මොටෝරිය පද්ධතියක් සංවර්ධන කිරීමේ අදහස අත්හැර දැම්මා. 

සැත්කම් රො‍බෝට වැරදුණු තැනක්! 

2015 පෙබරවාරියේ දරුවන් තිදෙනකුගේ පියකු වූ ස්ටීවන් පෙටිට් (Stephen Pettitt) නම් සංගීත ගුරුවරයකු මයර්ටල් කපාටයේ රෝගී තත්වයක් නිසා රොබෝ ශල්‍ය වෛද්‍යවරයකු යෙදෙව්වා, ඒ සැත්කමට. මේක සිද්ධ වුණේ ඊසානදිග එංගලන්තයේ ටයින් ගඟ බඩ නිව්කාසල් නගරයේ ෆ්‍රීමන් රෝහලේදියි. 

ඩා වින්චි රොබෝ ශල්‍ය වෛද්‍ය වරයා.

සැත්කම කළේ ඩාවින්චි සැත්කම් රෝබෝ යොදා ගෙන, රෝහලේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය සුකුමාරන් නායර්ගේ මෙහෙයවීම මතයි. පරිගණක පද්ධතියකට අයත් කොන්සෝලයක් මගින් මෙහෙය වූ රොබොටික අත් තමා සැත්කමට භාවිත කළේ. මේ කටයුත්තට නායර් සහය වුණා, සහාය ශල්‍ය වෛද්‍යවරයකු වූ තාසි පිල්ලෙයි සහ හෙදියන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක්. 

ඒක පැය 6ක් සැත්කමක්. ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා හා සහායක වෛද්‍යවරයා සැත්කම අතරතුර එකිනෙකා සමඟ දැඩි වචන හුවමාරුවක යෙදුණු බව පසුව පැවති පරීක්ෂණයේ දී කියවුණා. ඒ නායර් භාවිත කළ කොන්සෝලය නිකුත් කළ හ‍ඬ‍ෙහි අඩු ‍ශබ්දය නිසා සන්නිවේදනයේ අපහසුවක් ඇති වුණා ඒ ගැන තමයි, දෙදෙනා අතර වචන හුවමාරුව සිදු වුණේ. ඒ අපැහැදිලි හඬ නිසා නායර්ට නිසි ලෙස සැත්කම් රොබෝ හැසිරවීම කළ නොහැකි වුණා. 

අන්තිමේදී සැත්කම් රොබෝගේ අත් නිසි ලෙස ක්‍රියාත්මක නොවූ නිසා නිවැරදිව මැහුම් වැටුණේ නැහැ. ඒ මදිවාට එක් අතක් වැදී හෙදියක් අනතුරට ලක්වුණා. සැත්කම අසාර්ථක වී රෝගියා මිය ගියා. රෝගියාගේ මරණ පරීක්ෂණයේ දී තමයි මේ බව හෙළිවුණේ. 

නායර් ඉන්දියාවේ හා ලන්ඩනයේ පුහුණුව ලත් දක්ෂ ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක්. කලින් සේවය කළේ කේම්බ්‍රිජ්ෂයර්වල පැප්වර්ත් රෝහලේ. දැන් වැඩ කරන්නේ ස්කොට්ලන්තයේ. ඔහු දැන් සම්පූර්ණයෙන් ම රොබොටික සැත්කම් අත්හැර දමලා. 

එදා ඒ රොබෝ ශල්‍ය මෙවලමට වැරදුණු සැත්කම රෝබෝ භාවිත නොකර ශල්‍ය වෛද්‍යවරුන් විසින් කළා නම් ඒ සැත්කමෙන් පෙටිට්ගේ ජීවිතය බේරා ගැනීමට සියයට 98ත් 99ත් අතර ඉඩක් තිබූ බව එහි පැවති මරණ පරීක්ෂණයේ දී කියැවුණා. 

සේවකයකුට වානේ කූරු 10ක් විද්ද රොබොට්ටෙක්! 

රොබොට්ටන්ගෙන් වන අනතුරුවලින් ඉතාමත් බියකරු අනතුරක් චීන කර්මාන්ත ශාලාවක සිදු වුණා. ඒ කතාව ඇඟ හිරිවැටෙන එකක්. ඒ පිළිබඳ පින්තූරයක් මෙහි ඇතුළත් කළේ කැමැත්නේ නෙමෙයි. 2018 දෙසැම්බරයේ මෙසේ අනතුරට ලක්වුණේ ශවු (Zhou) නම් 49 හැවිරිදි සේවකයෙක්. 

ඔහු වැඩ කළ කම්හලේ රොබොට්ටෙක් තමයි, හදිසියේම මේ අනතුර සිදු කළේ. රොබොට්ටාගේ ක්‍රියා කිරීම හදිසියේ බිඳ වැටුණා. රොබොට්ටා එක්වරම තියුණු වානේ කූරු 10 එක එක අතට විද්දා. අඩියක් විතර දිග මේ වානේ කූරු ඔහුගේ අත්වලට, පපුවට වෙඩිල්ල වේගෙන් ඇවිත් වැදුණා. මේ වානේ කූරු ඒ රොබොට්ටාගේ කොටස්. ඔහුට සිහි නැති වුණා. 

මස් පැලහීමට ගන්නා කූරුවලට සමාන මේවා හතරක් ඔහුගේ දකුණු අතටත්, එකක් දකුණු බාහුවටත්, එකක් පපුවටත්, හතරක් දකුණු අතේ ඉදිරි කොටසටත් වැදී තිබුණා. මේ විස්තර ඒ අවස්ථාවේ දී චීනයේ පීපල්ස් ඩේලි ඔන්ලයින්හි පළ වුණා. 

වාසනාවකට ඔහුගේ ජීවිතය බේරුණා. චීනයේ චෑන්ෂා ෂියැංයා (Xiangya Hospital) රෝහලේ වෛද්‍යවරුන් තමයි, සැත්කමක් මගින් මේ කූරු සාර්ථකව ඉවත් කළේ. 

ෆෝක්ස්වාගන් කම්හලේ රොබෝ සේවකයකු මරයි! 

2015 ජූනි මාසයේ දවසක මේ අනතුර සිදුවුණේ ජර්මනියේ බොනාටල් (Baunatal) නගරයේ පිහිටි ෆෝක්ස්වගන් (Volkswagen) මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ රොබොට්ටකුගේ අතින්.‍ 

ඒ කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර කොටස් ඔසවන්නට යොදා ඇති රොබොටික අතක් එක්වරම ඒ අසල සිටි සේවකයකු ඔසවා විශාල ලෝහ තහඩුවක ගසා මරා දැම්මා. 

තහඩුව මත හැප්පූ ඔහුගේ පපු පෙදෙසට දරුණු ලෙස තුවාල වී තිබුණා. ඒ අවස්ථාවේ ඔහුට සිහිය තිබුණත් ඒ තුවාලවල දරුණුකම නිසා රෝහලට ඇතුළත් කළ පසු මිය ගියා.

ෆෝක්ස්වගන් ආයතනයේ ප්‍රකාශකයක් කීවේ ඒ පිළිබඳව කළ පරීක්ෂණයේ පෙනී ගියේ ඒ අවස්ථාවේ සේවය කළ තැනැත්තකු අතින් සිදුවූ අත්වැරැද්දක් නිසා රොබෝ ඒ ක්‍රියාව ක්ෂණිකව කර ඇති බවයි. “කොටස් එකලස් කිරීමට සැකසූ ක්‍රමලේඛයකට අනුව ක්‍රියා කරන මේ රොබෝලා ඒවාට අයත් එක එක රාජකාරි නිවරදිව කරනවා. ඒ රොබෝ අතට ගැනීමට නියමිත තැන වැරදීමෙන් මිනිසකු සිට ගෙන සිටීම නිසා තමයි මේ වැරදීම සිදුවී ඇත්තේ” යයි ඒ ප්‍රකාශකයා කීවා. 

රො‍බොට්ටකු අතින් ජපානයේ සිදු වූ ප්‍රථම මරණය 

1981 ජූලි මාසයේ ජපානයේ අකාෂි නගරයේ කවසාකි බර නිෂ්පාදන කම්හලේ නඩත්තු සේවකයකු වන කෙන්ජි උරදා (Kenji Urada ) හයිඩ්‍රොලික් රො‍බොට් යන්ත්‍රයක හදිසි අකර්මන්‍ය වීමකට පිළියම් යොදමින් සිටිය දී හදිසි අනතුරකට ලක්ව මිය ගියා. එය රො‍බොට්ටකු අතින් ජපානයේ සිදු වූ ප්‍රථම මරණය ලෙස දැක්වෙනවා. 

37 හැවිරිදි කෙන්ජි උරදා යන්ත්‍රය විවෘතව ඇති විට එහි විදුලිය විසන්ධි කිරීම සඳහා නිර්මාණය කර ඇති ආරක්ෂිත බාධකයක් හරහා පැන යාමේ දී ඔහුගේ අත වැදීම නිසා රොබෝ යන්ත්‍රය හදිසියේ ම ක්‍රියාත්මක වෙලා තියෙනවා. 

යන්ත්‍රයේ ක්‍රියාත්මක වූ අතක් ඔහුව තවත් යන්ත්‍රයකට හිර කිරීම නිසයි, ඔහුගේ මරණය සිදුවී තියෙන්නේ. එහි වැඩ කරමින් සිටි අනෙක් සේවකයන් හදිසියකදි ඒ යන්ත්‍රය අක්‍රිය කරන්නේ කොහොමද කියා දැන සිට නැහැ. ඒ නිසා ඔවුන් උදවු ඉල්ලා එන විටත් කෙන්ජිගේ මරණය සිදු වී අවසානයි. මෙය රොබොට්ටකු නිසා සිදු වූ ප්‍රථම මරණය නොවෙයි. 

රොබොට්ටකු නිසා සිදු වූ ප්‍රථම මරණය 

1979 දී සිදු වූ රොබට් විලියම්ස් නම් ඇමරිකන් කම්හල් සේවකයාගේ මරණය තමයි, රොබොට්ටකු නිසා ලොව සිදු වූ ප්‍රථම මරණය ලෙස සැලකෙන්නේ. ඒක සිදුවුණේ මිචිගන් ජනපදයේ ෆ්ලැට් රොක්හී කර්මාන්ත ශාලාවක. 

25 හැවිරිදි විලියම්ස් ඒ කර්මාන්ත ශාලාවේ රාක්කවල තැන්පත් කර තිබූ කොටස් ගෙන ඒමට යෙදවූ රොබෝ අතක් හදිසියේ ම ඔහුගේ හිසෙහි තදින් වැදීම නිසයි, මරණය සිදුවුණේ. වාර්තා වුණු විදියට පැය භාගයක පමණ කාලයක් තිස්සේ ඔහු පෙනෙන්නට නො සිටීම නිසා සොයා බැලූ සේවකයන්ට එහි රාක්කයක තිබී ඔහුගේ මළ සිරුර හමුවී තියෙනවා. 

විලියම්ගේ පවුලේ උදවිය ඒ මරණය ගැන ඒ රොබොට්ටා නිෂ්පාදනය කළ ලිටන් ඉන්ඩස්ට්‍රීස් ආයතනයට එරෙහිව උසාවි ගියා. ඒ මරණයට වන්දි වශයෙන් ඩොලර් මිලියන 10ක් ගෙවන්න ඒ ආයතනයට සිදුවුණා. එහි වේන් ප්‍රාන්ත අධිකරණය සිය තීන්දුව දෙමින් සඳහන් කර ඇත්තේ එය ප්‍රමාණවත් ආරක්ෂක පියවර යොදා නොතිබීම නිසා සිදුවූ මරණයක් බවයි. 

ස්වයංක්‍රීය ටෙස්ලා කාරයක් නිසා සිදුවූ මරණයක්! 

ඇමරිකා එක්සත් ජනපදයේ නේවි සීල් (Navy SEAL) විශේෂ බලකායේ හමුදා භටයකුව සිටි අයෙකු 2016 මැයි මාසයේ දිනක ස්වයංක්‍රීය ටෙස්ලා කාරයක යමින් සිටියදී අනතුරකට ලක්වී මිය ගියා. ඒ අනතුර සිදු වූයේ ෆ්ලෝරිඩාවේ වින්ස්ටන් නගරයේ මාර්ගයකයි. 

40 හැවිරිදි ජොෂුවා බ්‍රව්‍රන්, පරිගණකයෙන් පැදවෙන ටෙස්ලා එස් මොඩලයේ කාරයකින් එහි ස්වයං නියමු පාලකය ක්‍රියාත්මක කර 27A අධිවේගී මාර්ගයේ යමින් සිටියා. ඒ පාර හරහා වැටුණු වෙනත් පාරක ගිය ට්‍රැක්ටරයක මහ ට්‍රේලරයක වැදී අනතුරට ‍ලක් වුණා. ට්‍රේලරය පාර හරහා යද්දී ඔහුගේ කාරය ඒ නුදුටුවා සේ ඒ දෙසට කඩා වැදුණා. ට්‍රේලරයේ යට ඇති පොඩි ඉඩෙන් රිංගා යද්දී වාහනයේ වහලය සම්පූර්ණයෙන් ම කඩා ගෙන ගියේ එහි ගමන් කළ ජොසුවාගේ හිසටත් තුවාල කරමින්. ගිනි නිවන කණඩායම එන විට ටෙස්ලා කාරය තිබුණේ අනතුර වූ තැනට අඩි 100ක් තරම් දුරකින්. 

ට්‍රේලරයට සුදු පැහැය ආලේප කර තිබූ නිසා ටෙස්ලා කාරයේ ස්වයංපාලන නියමු පද්ධතිය ඒක හඳුනා ගෙන ඇත්තේ දීපතිමත්ව ඇති ආකාශය කියායි. රියැදුරු අසුනේ හුන් මගියාගේ නෙත් වෙතක තියෙන්න ඇති. ඔහු බ්‍රේක් පෑගුවා නම් වාහනය නවතා ගන්නත් ඒ අනතුර වළක්වා ගන්නත් තිබුණා කියලයි, එලාන් මස්ක් සමාගම කියන්නේ. ඒ මදිවාට ඔවුන් කියනවා අනිත් කාර්වලට වඩා ඔවුන්ගේ ඒ ස්වයංපාලන නියමු රථ විශ්වාසයි කියලයි. 

වෙල්ඩින් රොබෝ සේවකයකුට උල් කූරකින් මරලා! 

2015 ජූලි මාසයේ රොබොට්ටකු විසින් මරා දමන ලද ඉන්දියාවේ ප්‍රථම මිනිසා 24 හැවිරිදි රාම්ජී ලාල් ය. ඔහු මරණයට පත් වූයේ ස්වයං පාලිත වෙල්ඩින් රොබොට්ටකු අතින්. මෝටර් රථ උපාංග තනන ගුර්ගෝවන්වල මනේසාහි එස්කේඑච් මෙට්ලස් ආයතනයට අයත් ස්වයංක්‍රියව ක්‍රියාකරන වෙල්ඩින් යන්ත්‍රයක ලෝහ තහඩුවක් සකස් කරද්දී තමයි, ලාල් මේ අනතුරට ලක් වුණේ. එකපාරටම එහිදි ක්‍රියාත්මක වූ රොබෝ අතක් ඔහුව හිර කරගෙන වෙල්ඩින් කූරක් ඔහුගේ සිරුරුට ඇතුළු කරලා තියෙනවා. ‍

මෙවැනි වෙල්ඩින් රොබෝ යන්ත්‍රයක ක්‍රියාවක් නිසයි, ඉන්දියාවේ ප්‍රථම මිනිස් ඝාතනය සිදුවුණේ.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පුතට ඒ පිළිබඳව ප්‍රකාශයක් කරමින් ලාල්ගේ මිතුරෙකු කියා ඇත්තේ, “ඒ රොබෝ ලෝහ තහඩු තමන්ම අරගෙන, ස්වයංක්‍රීයව පාස්සන්න ක්‍රමලේඛගත කරලයි, තිබුණේ. ඒ විධියට ගත්තු ලෝහ තහඩුවක් පොඩ්ඩක් පිට පැනලා තියෙනව දැකලා යන්ත්‍රය පිටි පස්සෙන් ඉඳලා ඒක හරි ගස්සන්න තමයි, ලාල් හදලා තියෙන්නෙ. ඒ වෙලාවෙදි තමයි, වෙල්ඩින් යන්ත්‍ර‍ය අත්වලින් අල්ලා ගෙන තිබූ වෙල්ඩින් කූරුවලින් ඔහුගේ උදරය සිදුරු කරලා තියෙන්නෙ.” කියලයි. 

ඇමසන් රොබොට්ටෙක් කළ වැරදීමකින් 24කට තුවාල! 

2018 දී ඇමරිකාවේ නිව් ජර්සිවල රොබින්ස්විල්හී ඇමසන් වෙළෙඳ සංකීර්ණයක සේවයට යොදා තිබූ රොබො‍ට්‍ටකු අත්වැරදීමකින් බීර විකර්ෂකයක් අඩංගු කළ සම්පීඩක ඒරෝසෝල කැනිස්ටරයක් හදිසියේම සිදුරු කිරීම නිසා පුපුරා ගොස් එහි සිටි 30 දෙනකුට තුවාල සිදු කෙරුණා. 

බීර ගඳ වහනය වීම වළක්වන්න යොදන, මිරිස්වල ඇති කැපිසිකම් සාරයෙන් තැනූ ඉසින ද්‍රව්‍යයක් තමයි, මේ බීර විකර්ෂකයට ඇතුළත් කර තිබුණේ. අපේ දිවට දැවිල්ල හැදෙන්නේ ඒ ද්‍රව්‍යය නිසයි. අවුන්ස නවයේ මේ කැනිස්ටරය පුපුරා ගොස් ඇත්තේ බෝම්බයක් ආකාරයටයි.  ‍

එයින් නිකුත් වූ දුමාරයට එහි සිටි පිරිසගේ මුහුණු ඇස්, තොල් හා උගුරු පිච්චිලා; හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙලා. එක් සේවකයකු තත්වය බරපතල වුණා. රොබට් වුඩ් ජොන්සන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට පවා ඇතුළත් කිරීමට සිදුවුණා. 

මේ රො‍බොට්ටන් ‍සේවයට යොදා ගන්නේ මිනිසාට කළ නොහැකි දේ කරන්නයි; ඒ වගේ සේවය වේගයෙන් හා හොඳින් සලසන්නයි. හදිසියේ සිදුවන අනතුරු වළක්වා ගන්න හැටි මිනිසාට වගේ ක්‍රියා කරන්න රො‍බොට්ටන්ට උගන්වන්න ක්‍රමයක් නැහැ. ඒ වුනත් ඇතැම් අවස්ථාවල රොබොට්ටන් නිසා මිනිසාට එරෙහි දේ සිදුවෙනවා. ඒ නිසා කළ යුත්තේ ඒවා වළක්වා ගැනීමට කටයුතු යෙදීමයි. 

    - පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments