HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඉන්දියාව ලෝකයට දායාද කළ රාජ්‍ය නායකයෝ

ඉන්දියානු සම්භවයක් ඇති අයෙකුට බ්‍රිතාන්‍ය අගමැති වීමට අවස්ථාවක් උදා වී තියෙනවා. ඒ රිෂී සුනාක්. ඔහුගේ ලබන 5 වැනිදා බ්‍රිතාන්‍යයේ කොන්සර්වටිව් පක්ෂයේ නායකත්වයට ලිස් ට්‍රස් සමඟ තරඟ වදිනවා. දැනටමත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දෙන් දිනලා තියෙන්නේ. අවසාන වටයට කොන්සර්වටිව් පක්ෂයේ සාමාජිකයන්ගේ ඡන්දය විතරයි ඉතිරි වෙලා තියෙන්නෙ. ඒක දිනුවොත් ඔහුට බ්‍රිතාන්‍ය අගමැති වීමට පුළුවන්. ඒක ලෝක වාර්තාවක් වේවි. 

ඇමරිකාවේ උප ජනාධිපති කමලාදේවී හැරිස්

මේ වන විට ඉන්දියාවෙන් ලෝකයට දායාද කරනු ලැබූ රාජ්‍ය නායකයන් රැසක් ඉන්නා බව ඔබ දන්නවාද? ඉන්දියාවෙන් සංක්‍රමණය වී රාජ්‍ය නායක පදවියට පත් වූ අය ගැන කතා කරන විට මුලින් මගේ මතකයට ආවේ අපේ රටේ මුල්ම රාජ්‍ය නායකයා වූ විජය රජතුමායි. අපේ අවසාන රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහත් ඉන්දියාවෙන් මෙරටට ආ අයෙකු බවත් අපට අමතක කරන්න බැහැ. ඒත් මා ලියන්න අදහස් කළේ ඉතිහාසයට එක් වූ අය ගැන නොවෙයි. වර්තමානයේ ලෝකයේ විවිධ රටවලට නායකත්වය දෙන ඉන්දියානු සම්භවයක් ඇති අය ගැනයි. 

ඇමරිකාවේ උප ජනාධිපති කමලාදේවී හැරිස් 

එයින් බලවත්ම තනතුර දරන්නේ කමලාදේවී හැරිස්. ඇය ඇමරිකාවේ උප ජනාධිපති පදවියට පත් ප්‍රථම කාන්තාවයි. 57 හැවිරිදි ඇය එම තනතුරට පත් වූයේ 2021දීයි. ඇගේ මව දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවෙන් ගිය කාන්තාවක්. 1964 ඔක්තෝබර් 20 වැනිදා කැලිෆෝනියාවේ ඔක්ලන්ඩ්හී උපන් කමලාදේවී හැරිස් ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ කාන්තාවක් ලැබූ ඉහළ ම තනතුරට පත් වූ අයෙක්. අමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ගේ උප ජනාධිපතිනිය ඇයයි. 

කමලාදේවිගේ මව, ශ්‍යාමාලා ගෝපාලන් 19 හැවිරිදි වියේ දී වැඩිදුර අධ්‍යාපනයට කැලිෆෝනියාවට ගිය උපාධි අපේක්ෂක තරුණියක්. ඇය කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් 1964 දී ආචාර්ය උපාධිය ලබා ගත්තා. කමලාදේවී ගේ පියා බ්‍රිතාන්‍ය ජැමෙයිකාවේ සිට ඇමරිකාවට ආවේත් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හදාරන්නයි. ඔවුන් දෙදෙනා හඳුනා ගෙන ඇත්තේ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ව්‍යාපාරයක කටයුතු කරද්දීයි. ඒත් ඒ විවාහය අතරමග දී දෙදෙරා ගියා. කමලාදේවී හත් හැවිරිදි වියේ දී ඇගේ පියා මවගෙන් දික්කසාද වුණා. එදා පටන් ඇයත් මවත් බාල සොහොයුරියත් ඔහුගෙන් වෙන්ව ජීවත් වුණා. ඒත් කමලාදේවී ඉන්දියාවේ ඇගේ මවගේ නෑදෑයන් වගේ ම ජැමෙයිකාවේ සිටින පියාගේ නෑදෑයන් සමඟ ද සම්බන්ධකම් පවත්වනා. ඔවුන්ට උදවු කරනවා. 

හාවඩ් විශ්ව විද්‍යාලයේ හා කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරිණියක වූ ඇය විවිධ තනතුරු දරා කැලිෆෝනියාවේ නීතිපති පදවියට පත් වුණා. 2016 දී සෙනෙට් මන්ත්‍රීවරියක ලෙස තේරී පත් වුණා. ඒ තනතුරට පත් ප්‍රථම දකුණු ආසියානු සම්භවයක් ඇති කාන්තාව ඇයයි. 2020 දී ඇය ඩෙමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස නාම යෝජනා සඳහා ඉදිරිපත් ව පසුව ඉල්ලා අස් වුණා. අනතුරුව ජෝ බයිඩන් ඇය සිය උප ජනාධිපති ලෙස නම් කළා. 2021 දී ජනවාරි 20 වැනිදා ඇය, ඇමරිකාවේ ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දුන් අවස්ථාවේ 49 වැනි උප ජනාධිපති ලෙස එම පදවියේ දිවුරුම් දුන්නා. 

සිංගප්පූරුවේ ජනාධිපතිනි හලීමා 

සිංගප්පූරු‍වේ ඉතිහාසයේ ජනාධිපති පදවියට පත් ප්‍රථම කාන්තාව ඇයයි. ඇය නමින් හලීමායි. 2017 දී ඇය අට වන ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා. ඒ තනතුරට පත්වන්නට පෙර ඇය සිංගප්පූරු පාර්ලිමේන්තුවේ කතානායක පදවිය හෙබවූවා. 

හලීමාගේ පියා ඉන්දියාවෙන් සිංගප්පූරුවට සංක්‍රමණය වූ අයෙක්; මව මැලේ ජාතික කාන්තාවක්. හලීමා උපන්නේ 1954 අගෝස්තු 23 වැනිදායි. ඇයට අවුරුදු අටක් වෙද්දී, මුරකරුවකු වශයෙන් රැකියාව කරමින් සිටි පියා හෘදයාබාධයකින් මිය ගියා. හලීමාත් සහෝදරියන් තුන් දෙනෙකුත් සමඟ මව රැකියාවක් නොමැතිව අන්ත අසරණ බවට පත් වුණා. හලීමා කුඩා කල සිටම ජීවිතය ගෙන යාමට මවට උදවු වුණා. අගේ මව සිංගප්පූරුවේ ප්‍රින්ස් එඩ්වඩ් වීදියේ බහුතාක්ෂණික ආයතනය අසල පදාන් බත් සපයන වීදි අවන්හලක් පවත්වා ගෙන ගියා. ඇය ළමා වියේදීම ඊට උදවු කළා. 

ඒ අතර ඇය පාසල් ගියා. මූලික අධ්‍යාපනය ලැබුවේ සිංගප්පූරු චීන බාලිකා විද්‍යාලයෙන් හා ටැංජොන් කාටොන් විදුහලෙන් අධ්‍යාපනය ලබා 2001 දී සිංගප්පූරු විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබා ගත්තා. 2016 දී ඒ විශ්ව විද්‍යාලයෙන්ම ඇයට නීතිය පිළිබඳව ආචාර්ය උපාධිය පිරිනැමුවා. 

සිංගප්පූරුවේ ජනාධිපතිනි හලීමා

2001 දී දේශපාලනයට එක් වූ ඇය පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ඇයට ප්‍රජා සංවර්ධනය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධූරය හිමි වුණා. පසුව පාර්ලිමේන්තුවේ කථානායක ලෙසට ද පත් වුණා. 2017 දී සිය දේශපාලන පක්ෂයෙන් ඉවත්ව නිදහස් අපේක්ෂකයකු වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. ඉදිරිපත් වූ අනෙක් අපේක්ෂකයන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ නිසා ඇයට නිතරඟයෙන් ජනාධිපති ලෙස පත් වීමට හැකි වුණා. 

සීෂ‍ෙල්ස් ජනාධිපති වෑවෙල් රාම් කලාවාන් 

වෑවෙල් රාම් කලාවාන් සීෂෙල්ස් දූපත්වලට අයත් මාහේ දූපතේ සාමාන්‍ය පවුලක දරුවෙක්. ඔහු උපන්නේ 1961 මාර්තු 15 වැනිදායි. ඔහුගේ සීයා ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයෙන් එහි සංක්‍රමණය වූ අයෙක්. ඔහුගේ පියා ටින්කරුවෙක්. මව ගුරුවරියක්. සීෂෙල්ස් විදුහලෙන් ඉගෙනගත් ඔහු ඉන්පසුව මොරිෂස්වල සාන්ත පාවුළු සෙමනේරියෙන් ඉගෙන ගෙන පූජකවරයෙකු වුණා. එයින් පසු ඔහු එංගලන්තයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයට  වැඩිදුර අධ්‍යාපනය සඳහා ගියා. ඉන්පසු සිය රටට විත් දේවස්ථාන ගණනාවක සේවය කළා. පසුව එරට ශුද්ධ වූ ගැලවුම්කරුගේ දේවස්ථානයේ ප්‍රධාන පූජකවරයා බවට පත් වුණා. 

සීෂ‍ෙල්ස් ජනාධිපති වෑවෙල් රාම් කලාවාන්

ලෝක ප්‍රකට ඩෙස්මන්ඩ් ටුටු පියතුමා‍ගේ අඩි පාරේ යමින් මිනිස් අයිතිවාසිකම් උදෙසා දේශනා කළ ඔහු පසුව සමාජ අසාධාරණයට එරෙහිව හා රජයේ ජන පීඩාවන්ට විරෝධය පාමින් ජනතාවගේ පැත්ත ගෙන කටයුතු කළා. ජනතාවගේ ඉල්ලීම මත 1993 දී දේශපාලනයට ආ ඔහු විරුද්ධ පක්ෂය වෙනුවෙන් මැතිසබය නියෝජනය කළා. ඔහු එහි විරුද්ධ පක්ෂ නායකයා ලෙසත් කටයුතු කළා. 2020 ඔක්තෝබරයේ පැවති ජනාධිපතිවරණයෙන් ජය ගෙන 26 වැනිදා සිට එම පදවියේ කටයුතු කරනවා. 

සුරිනාම් ජනාධිපති චන්ද්‍රිකාපර්සාද් චන් සැන්ටෝකී 

සුරිනාම් දේශයේ ජනාධිපති චන්ද්‍රිකාපර්සාද් චන් සැන්ටෝකී නිතරඟයෙන් තේරී පත් වූ අයෙක්. 2020 ජූලි 13 වැනිදා නාම යෝජනා කැඳවූ විට මැතිවරණයක් පැවැත්වීමට ආවේ ඔහුගේ යෝජනාව පමණයි. ඔහු එම පදවිය හොබවන්නේ 2020 ජූලි 16 වැනිදා සිටයි. අද වනිකා ලෙස හැඳින්වෙන එදා සුරිනාම් දිස්ත්‍රක්කයේ ලෙයිලි ‍ඩෝප්හී ඉන්දු-සුරිනාම් පවුලකට උපන් දරුවකු වූ ඔහු නව දෙනකු ගෙන් යුත් පවුල බාලයායි. ඔහුගේ පියා පාරාමැරිබෝ වරායේ සේවය කළ අතර මව ලෙයිලි ‍ඩෝප්හී සාප්පු සේවිකාවක්. 

සුරිනාම් ජනාධිපති චන්ද්‍රිකාපර්සාද් චන් සැන්ටෝකී

පාරාමැරිබෝහී පාසලකින් මුලික අධ්‍යාපනය ලැබූ ඔහුට නෙදර්ලන්තයේ ඉගෙනීමට ශිෂ්‍යත්වයක් ලැබුණා. 1978 සිට 1982 වන තෙක් නෙදර්ලන්තයේ ඇපල්ඩූන් පොලිස් ඇකඩමියේ ඉගෙන ගත් ඔහු ආපසු සුරිනාම්වලට පැමිණ එහි පොලිසියේ සේවය කළා. එහි විවිධ තනතුරු දැරූ ඔහු 1991 දී පොලිස් කොමසාරිස් තනතුරට උසස් කරනු ලැබුවා. 

ගුයානාහී නව වන ජනාධිපති මොහොමඩ් ඉර්ෆාන් අලි 

ගුයානා රාජ්‍යයේ ප්‍රථම මුස්ලිම් ජනාධිපතිවරයා වූ මොහොමඩ් ඉර්ෆාන් අලි උපන්නේ 1980 අප්‍රේල් 25 වැනිදායි. ඒ ඉන්දියාවෙන් පැමිණ ගුයානාහී බටහිර වෙරළබඩ දෙමාරාරා පළාතේ ලියනෝරාහී පදිංචියට ආ පවුලක දරුවකු ලෙසයි. මවුපිය දෙදෙනාම ගුරුවරුන් වු අතර අලි ඒ පවුලේ පිරිමි දරුවන් අතර දෙදෙනාගෙන් එක් අයෙක්. ලියනෝරාහී ප්‍රාථමික පාසලකින් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු අධ්‍යාපනයේ ඉතිරි කොටස සම්පූර්ණ කළේ ලෙගුවන් දූපතේ වන අතර පසුව ගුයානාවල අගනුවර වූ ජෝර්ජ් ටවුන්හි සැන්ට් ස්ටැනිස්ලෝස් විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කළා. බටහිර ඉන්දිය (කොදෙවු) විශ්ව විද්‍යාලයෙන් නාගරික හා ග්‍රාමීය සැලසුම්කරණය පිළිබඳ උපාධියක් ලබා ගත්තා.  


ගුයානාහී නව වන ජනාධිපති මොහොමඩ් ඉර්ෆාන් අලි

ඉන්පසු ඔහු කැරිබියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘති ක්‍රියාන්විත ඒකකයේ ව්‍යාපෘති කළමනාකරු ලෙස සේවය කළා. පසුව මුදල් අමාත්‍යංශයේ ප්‍රධාන සැලසුම් නිලධාරි වශයෙන් සේවය කළා. 2006 දී ගුයානා පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු වානිජ. නිවාස කටයුතු, ජලසම්පාදන හා සංචාරක කර්මාන්ත යන අමාත්‍යංශ භාරව කටයුතු කළා. මේ අමාත්‍ය ධූරය දරද්දී වෙන වෙනම අවස්ථා දෙකක දී ජනාධිපති හා අගමැති පදවි දෙකෙහිම වැඩ බැලීමට ද ඔහුට සිදු වුණා. පසුව 2020 දී මහජන පෙරටුගාමී පක්ෂයෙන් ජනාධිපති පදවියට තරග කළ ඔහු ඉන් ජයග්‍රහණය කළා. 

පෘතුගාලයේ අගමැති අන්තෝනියෝ කොස්තා 

වර්තමාන පෘතුගාලයේ 119 වැනි අගමැති පදවිය උසුලන අන්තෝනියෝ කොස්තා ඉන්දියාවේ ගෝවේ දේශයට නෑකම් ඇත්තෙක්. ඔහුගේ පියා ඕලැන්ඩෝ ද කොස්තා සුප්‍රකට ලේඛකයෙක්. ඔහු ඉන්දියාවේ ගෝවෙන් මොසැම්බික් දේශයේ මපුටෝ නගරයේ පදිංචියට ආ අයෙක්. ඔහු විවාහ වූයේ පෘතුගීසි ජාතික මාරියා අන්තෝනියා පල්ලා නම් පුවත්පත් කලාවේදිනියක් සමඟයි. මේ දෙදෙනා පෘතුගාලයට සංක්‍රමණය වී ලිස්බන් නගරයේ පදිංචියට ආවා. ඔවුන් පළමු දරුවා වූ අන්තෝනියෝ කොස්තා උපන්නේ 1961 ජූලි 17 වැනිදායි. ඒ සාවෝ සෙබැස්ටියෝ ද පෙද්රේරාහිදීයි. 

පෘතුගාලයේ අගමැති අන්තෝනියෝ කොස්තා ඉන්දීය අගමැති මෝදි සමඟ

පෘතුගාලයේ ලිස්බන් අගනගරයේ හැදුණු වැඩුණු ඔහු ලිස්බන් සරසවියේ නීති උපාධියක් ලබා ගත් අයෙක්. 1987 අනිවාර්ය හමුදා සේවයට ගිය ඔහු 1988 දී කෙටි කලක් නීතීඥයකු වශයෙන් සේවය කළා. පසුව පූර්ණකාලීන දේශපාලනයට ඇතුළු වුණා. ඔහු සමාජවාදී පක්ෂයෙන් දේශපාලනයට ඇතුළු වී මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වුණා. පසුව මැති සබයට ගිය ඔහු අගමැති ඇන්තෝනියෝ ගුටරේස්ගේ ඇමති මණ්ඩලයේ සේවය කළා. 2004 දී යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වුණා. එහි දී යුරෝපා පාර්ලිමේන්තුවේ උප ජනාධිපතිවරුන් 14 දෙනා අතරට තේරුණා. අගමැති ජෝසේ සොක්‍රටීස්ගේ රජයේ අමාත්‍ය ධූරයක් දැරීමෙන් පසුවයි, 2015 දී පළමු වරට අගමැති පදවියට පත් වුණේ. එදා සිට අද දක්වා ඔහු ඒ පදවිය හොබවනවා. 

මොරිෂස් දිවයිනේ ජනාධිපති ප්‍රිතිවිරාජ්සිං රූපුන් 

2019 වසරේදී මොරිෂස් රාජ්‍යයේ ජනාධිපති පදවියට ප්‍රිතිවිරාජ්සිං රූපුන් තේරී පත් වුණා. ඔහු එරට හත්වන ජනාධිපතිවරයායි. ඔහු එරටට ඉන්දියාවෙන් සංක්‍රමණය වූ ඉන්දු ආර්ය සමාජ හින්දු පවුලකට උපන් දරුවෙක්. ඔහු උපන්නේ 1959 මැයි 24 වැනිදායි. ඔහු මොරිෂස්වල ක්වටේ බෝනේ පළාතේ මෝසෙලමන්ට් සාන්ත ජීන්හි හැදුණු වැඩුණු අයෙක්. ඔහු රොස් හිල්වල නිව් ඊටන් විදුහලෙන් අධ්‍යාපනය ලබා ඊඩන් විදුහලේ ගණිත ගුරුවරයකු ලෙස සේවය කළා. පසුව නීතිය හදාරා 1986 වන තෙක් නීතිඥයකු වශයෙන් කටයුතු කළා. ඔහු එංගලන්තයේ මධ්‍යම ලැන්කැෂයර් විශ්ව විද්‍යාලයෙන් අන්තර්ජාතික වානිජ නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලද්දෙක්. ඉන්පසු මොරිෂස් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළා. 

මොරිෂස් රාජ්‍යයේ ජනාධිපති ප්‍රිතිවිරාජ්සිං රූපුන්

රූපුන් දේශපාලනයට ආවේ 1983දියි. 1995 දී මන්ත්‍රීවරයකු ලෙස මැතිසබයට ගියා. 2000 දී යළිත් තේරී පත්වුණු ඔහු මැතිසබයේ ආණ්ඩු පක්ෂයේ සංවිධායක ලෙස කටයුතු කළා. 2005 දි පළාත් පාලන හා අපද්‍රව්‍ය පාලනය පිළිබඳ අමාත්‍යවරයා වුණා. 

මොරිෂස් රාජ්‍යයේ අගමැති ප්‍රාවීන්ද් කුමාර් ජග්නෝත් 

ප්‍රාවීන්ද් කුමාර් ජග්නෝත් උපන්නේ 1961 දෙසැම්බර් 25 වැනිදායි. ඔහු 2017 දී මොරිෂස් රාජ්‍යයේ අගමැති පදවියට පත් වුණා. ඔහු 2003 සිට එරට සමාජවාදී සටන්කාමී ව්‍යාපාරයේ නායකයායි. වරින් වර ඇමති පදවි කීපයක් හා විපක්ෂ නායක පදවියත් හොබවා ඇති ඔහු එරට වර්තමාන අගමැති වරයායි. 

මොරිෂස් රාජ්‍යයේ අගමැති ප්‍රාවීන්ද් කුමාර් ජග්නෝත්

ජග්නෝත් එරටට ඉන්දියාවෙන් සංක්‍රමණය වූ හින්දු අහීර් පවුලකට අයත් වන අතර ඔහුගේ පියා වූ අනිරුද් ජග්නෝත් නීතිඥවරයෙක්. මව සරෝජිනී බල්ලාහ් ගුරුවරියක්. ආර්යන් වේදික පාසලෙන් මූලික අධ්‍යාපනය ලත් ඔහු රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. පසුව එංගලන්තයට ගොස් බකින්හැම් විශ්ව විද්‍යාලයෙන් නීති හැදැරුවා. එහි නීති සමාජය හා එක්ව බැරිස්ටර්වරයකු ලෙස වැඩ කළා. ඉන්පසු ප්‍රංශයේ ඇක්ස් ම‍ාසේයි විශ්ව විද්‍යාලයෙන් සිවිල් නීතිය පිළිබඳ විශේෂ ඩිප්ලෝමාවක් ගබා ගත්තා. 

 - පර්සි ජයමාන්න 

 

 

Post a Comment

0 Comments