HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බ්‍රිතාන්‍ය අගමැති පදවිය ‘ඉන්දියානුවකු’ අතට?

අද හෙටම එංගලන්තයේ ඩවුනින් වීදියේ අංක 10 නිවසට ඉන්දියානුවකු එතැයි යන ආරංචිය නිසයි, මා ඒ ගැන සොයා බලන්න පෙලඹුණේ. මේ නිවස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස බව ඔබ සමහර විට දන්නවා ඇති. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාව සිටි බොරිස් ජොන්සන් කොන්ස’වර්ටිව් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුවට දැන් තරඟ වදින රිෂී සුනාක් ඉන්දියානු සම්භවයක් ඇති අයකු වීම නිසයි, මගේ අවධානයට එසේ ලක් වුණේ. 

රිෂී සුනාක්

රිෂී සුනාක් 2020ත් 2022 අතර බ්‍රිතාන්‍යයේ චාන්සලර්වරයා (මුදල් ඇමති) ව සිටියදී ඔහුගේ නිල නිවස වූයේ ඩවුනින් විදියේ අංක 11 නිවසයි. අගමැති බොරිස් ජොන්සන්ගේ රජයේ මුදල් ඇමතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මුලින් ම ඔහුගේ ක්‍රියාකලාපයට එරෙහිව ඉල්ලා අස්වූ කැබිනට් අමාත්‍යවරයා රිෂී සුනාක් වන අතර ඔහු සමග පක්ෂ නායකත්වයට තරඟ වදින ප්‍රතිවාදිනිය, ලිස් ට්‍රස් වත්මන් ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරියයි. ඇය ඩේවිඩ් කැමරන්, තෙරේසා මේ හා බොරිස් ජොන්සන් යන අගමැතිවරුන්ගේ අමාත්‍ය මණ්ඩලවල විවිධ තනතුරු දැරූ අයෙක්. 

2022 පක්ෂ නායකත්වය සඳහා කොන්ස’වර්ටිව් මන්ත්‍රීන්ගේ ඡන්දයේ වට පහෙන් ම ජය ගත්තේ රිෂී සුනාක් තමයි. ජූලි 20 වැනිදා පස්වැනි අවසාන වටයේ දී සුනාක් 137ක් ලබා ගත්තා. ලිස් ට්‍රස්ට ලබා ගත්තේ ඡන්ද 113ක් පමණයි. තුන්වැනි තරඟකාරිය වූ මෝඩොන්ට්ට හිමි වුයේ ඡන්ද 105කි. දැන් අවසාන වටයට සුනාක් හා ට්‍රස් කොන්ස’වර්ටිව් පක්ෂ සමාජිකයන්ගේ ඡන්දයට මුහුණ දිය යුතුයි. පාක්ෂිකයන් එක් ලක්ෂ හැට දහසක් තැපෑලෙන් ඡන්දය පාවිච්චි කරන අතර එයින් ජය ගන්නා තැනැත්තා හෝ තැනත්තිය තමයි, නව බ්‍රිතාන්‍ය අගමැතිවරයා වශයෙන් පත් වන්නේ. 

රිෂී සුනාක්, බිරිඳ හා දියනියන් දෙදෙනා සමග

රිෂී සුනාක්ගේ සීයා සහ ආච්චි ඉන්දියාවේ පන්ජාබයේ සිට අප්‍රිකාවට සංක්‍රමණය වූවෝ වෙති. පසුව සුනෑක්ගේ දෙමාපියන් 1960 දශකයේදී නැගෙනහිර අප්‍රිකාවේ සිට එක්සත් රාජධානියට සංක්‍රමණය වුණා. සුනාක්ගේ පියා යෂ්වීර් සුනාක් වෛද්‍යවරයකු වන අතර මව වූ ඌෂා ඖෂධවේදිනියකි. සුනාක් උපන්නේ 1980 මැයි 12 වැනිදා සදර්ම්ටන්වලදියි. විදෙස්ගත වන ඕනෑම ඉන්දීය පවුලක් සාමාන්‍යයෙන් කරන අයුරින්, සුනාක්ගේ මාපියෝ ඔහුගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප වූහ. 

සුනාක්, වින්චෙස්ටර් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ අතර, ඔහුට ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඔහුට ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් හිමි විය. සුනාක්ට, බිරිඳ වූ අක්ෂාතා මූර්ති හමුවූයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දීයි. බ්‍රිතාන්‍යයේ සුදු ජාතික වැසියකුගේ මෙන් ඉංග්‍රීසි උච්චාරණය කරන සුනාක්ගේ මුහුණ, සමේ වර්ණය සහ සංස්කෘතිය ඉන්දියානුයි. භගවත් ගීතාවට අනුව ජීවිතය ගත කරන සුනාක්, ගව මස් අනුභව නොකරයි. එසේ වුවත් බේකන් අනුභව කිරීමට ප්‍රිය කරයි. ‘මා හින්දු භක්තිකයෙක්. සති අන්තයේ මා කෝවිලට යනවා. ඒ වගේ ම පාපන්දු තරඟ නරඹනවා’ සුනාක් කියනවා. 

බ්‍රිතාන්‍යයට පමණක් නොව ලෝකයට අගමැතිවරුන් බිහි කිරීමෙහිලා නමක් දිනූ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරද්දී, ඔහුගේ මිතුරන් නිතරම ඔහුට විහිළු කළේ අනාගතයේ කොන්ස’වර්ටිව් පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය අගමැති ධුරයට පත් විය හැකියි කියායි. ඒත් සුනාක්ට එය විහිළුවක් වුණේ නැහැ. ඒ ගැන ඔහු ගැඹුරින් හිතුවා. ඔහු ආයෝජන බැංකුකරුවකු ලෙස රැකියාවට ගියා. ඉතා ඉක්මනින් ධනවතකු වූ ඔහු තරුණ කාලයේ සිට ම බැඳී සිටි කොන්ස’වර්ටිව් පක්ෂයෙන් දේශපාලනයට එන්නට තීරණය කළා. 

ඔහු 2015 වසරේ දී මැතිසබයට තරග කළා. කොන්ස’වර්ටිව් පක්ෂ බළකොටුවක් ලෙස සැලෙකන උතුරු යෝක්ෂයර් ප්‍රාන්තයේ රිච්මන්ඩ් අසුන දිනා ගනිමින් සුනාක් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. ඔහු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන්නේ භගවත් ගීතාවට අත ගසමිනි. 

ලිස් ට්‍රස්

රිෂී සුනාක්ගේ ප්‍රතිවාදිනිය වූ මේරි එලිසැබත් ට්‍රස් 2010 සිට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක්. ඇය 1975 ජූලි 26 වැනිදා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්හිදී උපන්නා. ඇගේ පියා ශුද්ධ ගණිතය පිළිබඳ මහාචාර්යවරයෙක්. මව හෙදියක්. ඇය පසුගිය කාලයේ න්‍යෂ්ටික අවිහරණය ගැන උද්ඝෝෂණ කළ කමිටුවේ සාමාජිකාවක් ද වුණා. ට්‍රස්ගේ මාපියන් කම්කරු පක්ෂයේ අනුගාමිකයන් වන අතර ඇය කොන්ස’වටිව් පක්ෂයට බැඳී දේශපාලනයට එක් ව මෙතෙක් සාර්ථක ගමනක් ආ අයෙක්. එහි දී ඇගේ ඡන්ද ව්‍යාපාරයට මවගේ සහය ලැබුණත් පියාගේ සහය ලැබුණේ නැහැ. ට්‍රස් දර්ශන වාදය, දේශපාලන විද්‍යාව හා ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක්. 

ඉන්දියාවේ දේශපාලනයට අනුව ඉතාලි ජාතික කාන්තාවක් වූ සෝනියා ගාන්ධිට එරට අගමැති වීමට ඇති වූ බාධාව එංගලන්තයේ දී සිදුවුවහොත් රිෂී පරාද වී ලිස් ට්‍රස්ට ජය ගත හැකිවේවි. දැනට මහජනතාව අතර වඩා ජනප්‍රියත්වය රිෂී දිනා සිටියත් ඔහුට අගමැති වීමට අවශ්‍ය පක්ෂ නායකත්වය දිනන්නට නම් කොන්ස’වර්ටිව් පාක්ෂිකයන්ගේ ඡන්දය අවශ්‍යයි. එහි දී ඡන්දය හිමි පාක්ෂිකයන් වැඩි දෙනෙකු වැඩිහිටි ඉංග්‍රීසි ජාතිකයන් වන නිසා ඔවුන් කොයි අත ගනිවිදැයි කියන්න බැහැ. 

යම්හෙයකින් රිෂී සුනාක් දිනුවොත් ඉන්දීය සම්භවයක් ඇති ප්‍රථම බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඔහු වෙනවා‍. එහෙම වුණොත් ඔහුත් ඉන්දියාවෙන් ලෝකයට දායාද කළ රාජ්‍ය නායකයන් අතරට එක් වෙනවා. වර්තමානයේ මේ කලාපයේ රටවල් හතකම ඉන්නා රාජ්‍ය නායකයන් ඉන්දීය සම්භවයක් ඇති අයයි. ඒ ගැනත් ඉදිරියේ දී කතා කරමු. 

- පර්සි ජයමාන්න


Post a Comment

1 Comments