HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෙනාඩ් වුල්ෆ්ගේ බද්දේගම යළි කරළියට ගෙනා රනිල්

මීට වසර කීපයකට ඉහත දී අරලියගහ මන්දිරය නැරඹීමට පැමිණි ශිෂ්‍යාවන් පිරිසක් සමග එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ සතුටු සාමීචියේ යෙදුනේය. 

“දුවලාගේ ගම කොහේද?” රනිල් ඇසීය. 

“සර් අපි බද්දෙගම” ශිෂ්‍යාවෝ කීවෝය.

“ආ! බද්දේගම ද, අපේ ගමත් බද්දේගම නෙ” රනිල් කීවේය. 

9 වැනි ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ

අගමැතිවරයාගේ ඒ කතාවෙන් ශිෂ්‍යාවන් සමග සිටි ගුරුවරුන් පවා අන්දමන්ද වී ගියේ රනිල්ගේ පරම්පරාවේ අක්මුල් බද්දේගම මුල්බැස ඇති බව රටුන් අතරේ අප්‍රකට කතාවක් බැවිනි. ඊට හේතුවන්නේ මෙරට ඉංග්‍රීසි උගත් ප්‍රභූ පරම්පරාවේ පාසල වූ කොළඹ රාජකීය විදුහලේ අකුරු කළ රනිල් කොළඹ හතේ ටයිකෝට් අඳින පලඳින ප්‍රභූවරයකු ලෙස රටේ ප්‍රසිද්ධ වී ඇති බැවිනි. 

රනිල් ඉපදුණේ කොළඹ වුවද වික්‍රමසිංහ පරපුරේ ඉතිහාස කතාව ලියැවෙන්නට පටන් ගන්නේ ගාල්ලේ බද්දේගමෙනි. ඒ පරපුරේ කතාවට පෙර රනිල්ගේ උපත ගැන දැන ගනිමු. ඔහු උපන්නේ 1949 මාර්තු 24 වැනිදාය. ‘රනිල් වික්‍රමසිංහ’ කියා රටපුරා ප්‍රසිද්ධ වුවත් ඔහුගේ නමට තවත් කෑල්ලක් ඇත. ඒ අනුව ඔහුගේ සම්පූර්ණ නම රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහය. රනිල් ඒ පවුලේ දෙවැනියාය. වැඩිමලා ශාන්ය. ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන්නේ ශාන්ය. දැන් රජය සතු වුවද ස්වාධීන රූපවාහිනී සේවය ආරම්භ කළේ ශාන්ය. වර්තමානයේ ඔහු ටී.එන්.එල්. නාලිකාවේ හිමිකරුය. රනිල්ගේ අනික් සොහොයුරු සොහොයුරියන් වන්නේ විරාජ්, චන්න හා ශානිකාය. 

රනිල්ගේ සීයා නමින් සිරිල් ලෙනාඩ් වික්‍රමසිංහය. ඔහු උපන්නේ බද්දේගමය. ඔහු ප්‍රකට වූයේ සී.ඒ. වික්‍රමසිංහ යන නමිනි. මුලින් ගාල්ලේ රිච්මන්ඩ් විදුහලෙන් ද පසුව කොළඹ රාජකීය විදුහලෙන් ද අකුරු කළ ඔහු උපාධිය ලැබුවේ ලන්ඩන් විශ්ව විද්‍යාලයකිනි. 1912 දී ලංකා සිවිල් සේවයට එක් වූ ඔහු මෙරට මුල්ම සිංහල ඉඩම් කොමසාරිස්වරයා පමණක් නොව මුල්ම සිංහල දිසාපතිවරයා ද විය. ඩී. ඇස්. සේනානායක බිහි කළ ගොවිජනපද ව්‍යාපාරය පිටුපස සිටි යෝධ හස්තය වූයේ ඔහුය. 

සී. එල්. වික්‍රමසිංහ විවාහ වූයේ කුරුණෑගල මූනමලේ වලව්වෙනි. ඒ ඒඩා මූනමලේ ගුණවර්ධන සමඟය. ඔවුන්ගේ දරුවන් ගණන හතරකි. වැඩිමලා එස්මන්ඩ්ය; රනිල්ගේ තාත්තා වූයේ ඔහුය; දෙවැනියා තිස්සය; තෙවැනියා වූයේ පසුකලෙක කුරුණෑගල රදගුරු පදවියට පත් වූ ලක්ෂ්මන් වික්‍රමසිංහය. පවුලේ එකම ගැහැනු දරුවා වූ මුක්තා විවාහ වූයේ පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරය දැරූ සෑම් විජේසිංහ සමඟය. හිටපු මන්ත්‍රීවරයකු වූ මහාචාර්ය රජීව විජේසිංහ සෑම් හා මුක්තා යුවළගේ පුතාය. 

පසුකලෙක එජාපයේ නිල නොවන නායකයා ලෙස හැඳින්වුවද එස්මන්ඩ් දේශපාලනයේ අයන්න කියවූයේ ලංකා සම සමාජ පක්ෂයෙනි. ඔහු එහි ප්‍රබල චරිතයකි. පක්ෂයේ නිල ප්‍රකාශනය වූ සමසමාජය සඟරාව විකිණීම භාර වූයේ එස්මන්ඩ්ටය. ඔහු ඒ සඟරාව විකුණන්නට ඔහුගේ සුඛෝපභෝගී හම්බර් හෝක් මෝටර් රථයෙන් ගිය බවට ද කතාවක් පවතී. 

එස්මන්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් කාලේ තරුණියක සමග පෙමින් වෙළුණේය. එය අවසන් වූයේ ඇය හා විවාහයෙනි. ඇය නාලිනී විජයවර්ධනය. ඇගේ පියා ලංකාවේ පුවත්පත් ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් වූ ඩී.ආර්. විජයවර්ධනය. නෑකමට අනුව ඩී.ආර්. විජයවර්ධන රනිල් වික්‍රමසිංහගේ සීයාය. මේ නෑකමට අනුව රනිල් මෙරට රාජකීය උරුමයටද හිමිකමක් කියයි. 

රනිල් වික්‍රමසිංහ පියා හා මව සමඟ

රනිල්ගේ මව වූ නාලනී විජයවර්ධනගේ පරපුරේ අක්මුල් දෙවැනි රාජසිංහ රජ සමය දක්වා විහිදෙන බව ජාතික ලේඛනාගාරයේ අධිපති විසින් පළ කළ පොතක සඳහන් වේ. මේ පොතේ හැටියට රාජසිංහ රජුගේ හමුදාවේ හුන් රණශූරයකු වූ තෙන්නකෝන් මද්දුම රාළගේ පුතා වූ තෙන්නකෝන් අප්පුහාමි සබරගමුවේ මහ දිසාව විය. කළුතර තුඩුගල පරම්පරාව පැවැත එන්නේ ඒ තෙන්නකෝන් අප්පුහාමිගෙනි. තුඩුගල පරම්පරාවේ මෑතකාලීන කැපී පෙනෙන චරිතය වූයේ දොන් පිලිප් තුඩුගලය. කොළඹ වරායේ දියකඩනයට පමණක් නොව යටත් විජිත සමයේ නගරයේ දියුණුව උදෙසා ඉදිවූ ගොඩනැගිලිවලට අවශ්‍ය අමු ද්‍රව්‍ය සැපයුවේ දොන් පිලිප් තුඩුගලය. ඔහු එයින් ලැබූ ආදායමෙන් මහා ධනවතකු විය. ඉංග්‍රීසිහු ඔහුට ‘විජයවර්ධන’ යන නම්බුනාමය දුන්හ. නෑකමට අනුව දොන් පිලිප් විජයවර්ධන රනිල්ගේ මුත්තාය. 

රනිල්ගේ මව වූ නාලිනී විජයවර්ධන ඩී.ආර්. විජයවර්ධනගේ වැඩිමහලු දියණියයි. ඩී. ආර්. විජයවර්ධනගේ මාපියන් වූයේ දොන් පිලිප් විජයවර්ධන හා හෙලේනා ඩෙප් වීරසිංහය. කැලණි රජමහා විහාරයේ නූතන ප්‍රබෝධයේ මහෝපාසිකාව වූයේ හෙලේනා ඩෙප් වීරසිංහය. ඇගේ පුතා ඩී.ආර්. විවාහ වූයේ රුවන්වැල්ලේ මීදෙණිය වලව්වේ ඇලිස් ගර්ට්රූඩ් මීදෙණිය කුමාරිහාමි සමගය. රනිල්ගේ මිත්තණිය වූ මීදෙණිය කුමාරිහාමිගේ වැඩිමහලු සොයුරිය ඇඩ්ලින් මොලමුරේ ලංකාවේ ව්‍යවස්ථාදායකයට (පාර්ලිමේන්තුවට) තේරුණු මුල්ම මන්ත්‍රීවරිය ලෙස වාර්තාවක් තැබුවාය. ලංකාවේ මුල්ම කථානායකවරයා වූයේ ඇඩ්ලින්ගේ සැමියා වන සර් ප්‍රැන්සිස් මොලමුරේය. රනිල් වික්‍රමසිංහගේ මවගේ බාල සහෝදරයා වූයේ රංජිත් විජයවර්ධනය. රනිල්ගේ මාමා වන ඔහු ‘ලංකාදීප’ පුවත්පත මුද්‍රණය කරන විජය පුවත්පත් සමාගමේ අධිපතිවරයාය. රංජිත් විජයවර්ධන විවාහ වූයේ අඹේපුස්සේ බෝතලේ වලව්වෙනි. ඩී. ඇස්. සේනානායකගේ බාල පුතණුවන් වූ, ඩඩ්ලි සේනානායකගේ සොහොයුරාවූද, රොබට් සේනානායකගේ දියණියක වන රංජනී සේනානායක සමගය. රංජිත් - රංජනී යුවළගේ බාල පුතා වන්නේ ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි රුවන් විජයවර්ධනය. අද ඔහු එජාප නියෝජ්‍ය නායකයාය. රනිල් හා රුවන් දෙමස්සිනෝය. ‍

රනිල්ගේ අනෙක් මස්සිනා වන්නේ පොළොන්නරුව දිස්ත්‍රික් එජාප මන්ත්‍රීවරයකුව සිටි වසන්ත සේනානායකය. වසන්ත සේනානායකගේ පියා වන්නේ රොබට් සේනානායකගේ තවත් පුතෙකු වන රංජිත් සේනානායකය. 

රනිල් වික්‍රමසිංහගේ මව වූ නාලනී විජයවර්ධනගේ නැන්දා, ඩී.ආර්. විජයවර්ධනගේ වැඩිමහලු සොහොයුරිය වූ ඇග්නස් හෙලන් විජයවර්ධන විවාහ වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉයුජින් විල්ෆ්‍රඩ් ජයවර්ධන සමගය. එම යුවළගේ වැඩිමහලු දරුවා වූයේ ජේ.ආර්. ජයවර්ධනය. ඒ නෑකම අනුව ජේ.ආර්. - රනිල් මාමා - බෑණා වෙති. 

රනිල් දේශපාලනයට ගෙන ආවේ ජේ.ආර්.ය. එනමුත් ජේ.ආර්ගේ මුල්ම තේරීම වූයේ රනිල් නොව ඔහුගේ පියා වූ එස්මන්ඩ් වික්‍රමසිංහය. ජේ.ආර්. එජාප නායකත්වයට පත් වූ විගස ඔහු එස්මන්ඩ්ට ක්‍රියාකාරී දේශපාලනයට එන ලෙසට ආරාධනාවක් කළේය. ජේ.ආර්. එවැනි යෝජනාවක් කළේ එස්මන්ඩ්ගේ තරම ඔහු දන්නා බැවිනි. දශක ගණනාවක් තිස්සේ ලංකාවේ ආණ්ඩු පිහිටුවන්නේ කවුරුදැයි එසේ නැතිනම් මීළඟ අගමැති කවුරුන්දැයි තීරණය කළ රජුන් තතන්නා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ වූ නිසාය. එස්මන්ඩ් වික්‍රමසිංහ චරිතය මතුවන්නේ ඔහු ලේක්හවුස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට පත්වීමත් සමගය. එස්මන්ඩ් රටේ කෙතරම් බලසම්පන්න චරිතයක් වූවාදැයි කිවහොත් ඩී.ඇස්. සේනානායක මිය ගිය පසු ඩඩ්ලි අගමැති බවට පත්කිරීමේ ව්‍යපෘතියේ ප්‍රධාන චරිතයක් වූයේ ඔහුය. 

ඩී.ඇස්. මරණයට පත්වූයේ අසුපිටින් වැටීමෙනැයි අදහන බොහෝ දෙනා අදත් සිටියත් සැබවින්ම ඔහු මිය ගියේ හෘදයාබාධයකිනි. වසර දෙක තුනක සිට ම දුර්වල සෞඛ්‍ය තත්වයේ සිටි ඔහු සිය පුතුගේ අනාගතය භාර කළේ එස්මන්ඩ්ටය. ඩී.ඇස්. රෝගාතුර වූ මොහොතේ අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමි හුන්නේ පිටරටකය. ඔහු ලංකාවෙන් පිටවීමට පෙර වැඩබලන අග්‍රණ්ඩුකාර ධුරයට අගවිනිසුරු සර් ඇලන් රොස් පත්කළේ උපදෙසක්ද දෙමිනි. ඒ අගමැතිවරයාට විපත්තියක් සිද්ධ වුවහොත් තමා එනතුරු එම ධුරයට කිසිවකුත් පත්නොකළ යුතු බව පවසමිනි. එමෙන්ම එස්මන්ඩ් වික්‍රමසිංහ සියලු කටයුතු බලාගනු ඇතැයිද ඔහු කීවේය. 

මේ අතර හදිසියේ ම අගමැතිගේ අභාවය සිදු විය. ආණ්ඩුවේ දෙවැනියා වූ සභානායක ජෝන් කොතලාවල වැඩබලන අග්‍රාණ්ඩුකාරවරයාගෙන් අගමැතිකම ඉල්ලීය. ඒ වෙලාවේ ඉදිරියට ආ එස්මන්ඩ් වික්‍රමසිංහ ඊට හරස් විය. සෝල්බරී සාමි පෙරළා ලංකාවට පැමිණීමෙන් පසු කළේ ජෝන් කොතලාවල වෙනුවට ඩඩ්ලි සේනානායක අගමැති ධුරයට පත්කිරීමය. යම් හෙයකින් එස්මන්ඩ් වික්‍රමසිංහ ක්‍රියාත්මක නොවූවේ නම් ලංකාවේ දෙවැනි අගමැති වන්නේ ඩඩ්ලි නොව ජෝන්ය. 

රනිල්ගේ තාත්තා ලංකා දේශපාලනයේ ප්‍රසිද්ධියට පත් වූයේ රජුන් තනන්නෙකු ලෙස පමණක් නොවේ. ඔහු දක්ෂ දේශපාලන නූල් සූත්තරකාරයෙකු ලෙසද ප්‍රසිද්ධය. එස්මන්ඩ් වික්‍රමසිංහගේ දේශපාලන නූල් සූත්තර කලාවේ කූඨප්‍රාප්තිය වන්නේ හැට හතරේදී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව පෙරළීමට කළ පාර්ලිමේන්තු කුමන්ත්‍රණය බව පැවසේ. මේ සිද්ධිය ලංකා දේශපාලනයේ හැඳින්වෙන්නේ මහජන ඡන්දයකින් නැතිව පාර්ලිමේන්තු කුමන්ත්‍රණයකින් ආණ්ඩුවක් පරාජය කළ පළමු හා එකම අවස්ථාව ලෙසය. 

අගමැතිව සිටියදී රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති මෝදි හමු වී...

ශ්‍රීලනිප ආණ්ඩුව පෙරළා නතර නොවූ එස්මන්ඩ් හැට පහේ ඩඩ්ලිගේ ආණ්ඩුව පිහිටුවීමටද මූලිකයා විය. එම ඡන්දයේදී එ.ජා.පයට හිමිවූයේ සුළු බහුතරයක් වුවද දෙමළ පක්ෂවල සහය ලබා ගනිමින් පස් අවුරුද්දක් ආණ්ඩුව පවත්වාගෙන යාමට එස්මන්ඩ් බොහෝ දේ කළේය. 

කොටින්ම කියනවා නම් හැට පහේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය හැදුවේ, කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ පිහිටි එස්මන්ඩ්ගේ ගෙදරදීය. ඒ සාකච්ඡා සඳහා සිංහල නොදන්නා මන්ත්‍රීන් සහභාගි වන නිසා, දෙමළ නොදන්නා හාමුදුරුවරුන් පමණක් කැඳවාගෙන එන්නැයි තමාට කියූ බව සිසිරකුමාර මාණික්ක ආරච්චි ඒ දවස්වල ම මා සමග කීවේ 'ලොක්කාගේ උපායශීලීත්වය’ පසසමිනි. ඒ සාකච්ඡා පැවැත් වූ ගෙදර දැන් හිමිකරුවා රනිල්ය. පසුගියදා ගිනිබත් කරනු ලැබුවේ ඒ නිවසය. 

මේ එස්මන්ඩ්ගේ ‘රත්තරන් මොළය’ නිසා ඩඩ්ලි සේනානායක ඔහුව එවකට පැවති සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට පත්කර විදේශ ඇමැති ධුරය දීමට යෝජනා කළේය. ඒ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට ඔහුට තුබූ පුදුම හැකියාව නිසාය. කෙසේ වෙතත් ඩඩ්ලි සේනානායකගේ ඒ යෝජනාව එස්මන්ඩ් කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. එහෙත් ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ගැනීමට තිබූ බාධක ඉවත්කර සාමාජිකත්වය ලබා දෙන්නට මූලික වූයේ එස්මන්ඩ් වික්‍රමසිංහය. 

70 ඡන්දයෙන් එජාපයට අන්ත පරාජයක් ලැබුණේය. එහිදී පක්ෂය ගොඩ ගැනීමට හැකියාව ඇත්තේ ජේ.ආර්.ට බව එස්මන්ඩ් දුටුවේය. ඩඩ්ලි මිය ගිය පසු ජේ.ආර්.ට පක්ෂ නායකත්වය දීමට එස්මන්ඩ් පෙරමුණ ගත්තේ එබැවිනි. නෑකම අනුව නම් ජේ.ආර්. හා එස්මන්ඩ් දෙමස්සිනාලාය. ජේ.ආර්. ජයවර්ධන පක්ෂ නායකත්වයට පත්වූ විගස එස්මන්ඩ් වික්‍රමසිංහට ආරාධනාවක් කළේය. ඒ ක්‍රීයාකාරී දේශපාලනයට එන ලෙසය. ඒත් එස්මන්ඩ් එවරත් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් ජේ.ආර්.ට වික්‍රමසිංහ පරම්පරාවෙන් දේශපාලනඥයකු අවශ්‍ය විය. අවසානයේදී ජේ.ආර්.ට රනිල් වික්‍රමසිංහගෙන් සෑහීමකට පත් වීමට සිදුවිය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා මැතිනිය

රනිල්ට අකුරු කියවූයේ විජයවර්ධන පරපුරේ දායක විහාරස්ථානයක් වූ හුණුපිටිය ගංගාරාමයේ අධිපති දෙවුන්දර වාචිස්සර නාහිමියන්ය. අද රනිල් ගංගාරාමයේ මෙන්ම කැලණිය රජමහා විහාරයේ දායක සභාවේද සභාපති වරයාය. ඒ කැලණිය පන්සලද විජයවර්ධන පවුලට බෙහෙවින් සමීප වූ බැවිනි. රනිල් බුදුදහම ඉගෙන ගත්තේ බම්බලපිටිය වජිරාරාමයෙනි. බුදුදහම පමණක් නොව රනිල් කුඩා කල නැටුම් හා සංගීතයත් ඉගෙන ගත්තේය. ඔහුගේ නැටුම් ගුරුවරයා වූයේ ශ්‍රී ජයනාය. රනිල් සමග ජයනාගෙන් නැටුම් ඉගෙන ගත් ඔහුගේ අනෙක් සමකාලීන මිතුරියක වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායකය. එකල ඔහු නර්තනයට පමණක් නොව පියානෝ වාදනයටද දක්ෂය. රනිල්ගේ පරපුරේ සියලුදෙනා මෙන් ම රනිල්ද ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විදුහලෙනි. පාසල් අධ්‍යාපනයෙන් පසුව කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලැබීය. 

රනිල් මුලින්ම තේරී පත්වූයේ කැලණිය ආසනයටය. කැලණිය හා දොම්පේ ආසන දෙකෙන් කොටස් එකතු කර බියගම ආසනය පිහිටු වූ විට ජේ.ආර්. රනිල්ට බියගම ආසනය දුන්නේය. ඒ හැත්තෑ හයේ දීය. හැත්තෑ හතේ පාර්ලිමේන්තු මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ බියගම ආසනය ජය ගත්තේ ශ්‍රීලනිපයේ ඩේවිඩ් හපන්ගම පරාජය කරමිනි. ඒ ඡන්දයේදී රනිල් ඡන්ද 22,045ක් දිනාගත්තේය. ජේ.ආර්. ජයවර්ධන සිය මුල්ම ඇමැති මණ්ඩලය පත්කිරීමේදීද සිය බෑණා අමතක නොකළේය. මුලින්ම රනිල්ට ලැබුණේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ධුරයයි. එවිට ඔහුගේ වයස අවුරුදු 28කි. එජාප ආණ්ඩුවේ හුන් ළාබාලම නියෝජ්‍ය ඇමැතිවරයා වූයේ රනිල්ය. ජේ.ආර්. 78 දී මුල්වරට කැබිනට් මණ්ඩලය සංශෝධනය කළ අවස්ථාවේදී බෑණාට තරුණ කටයුතු හා රැකීරක්ෂා ඇමැති ධුරය දුන්නේය. එවිට රනිල්ගේ වයස අවුරුදු 29කි. කැබිනට්ටුවේ හුන් ළාබාලම ඇමැතිවරයා වූයේද ඔහුය. 

රනිල් වික්‍රමසිංහ හා මැතිනිය ඉන්දියාවේ ‍හින්දු කෝවිලකට ගිය අවස්ථාවක්

පක්ෂයේ මීළඟ නායකයා විය යුත්තේ කවුදැයි යන්න පිළිබඳව 1989 දී අර්බුදයක් හටගත් අවස්ථාවේ රනිල් ගත්තේ ආර්. ප්‍රේමදාසගේ පැත්තය. එතුමා ජනාධිපති වූ පසු රනිල් සභානායක තනතුරට පත්කෙරුණි. වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය අනුව සභානායකවරයා වූ කලී අගමැතිට පමණක් දෙවැනි වන තනතුරකි. රනිල් වික්‍රමසිංහට එජාප නායකත්වය දක්වා ගමන් කිරීම සඳහා මාවත විවර වූයේ එම ධුරයට පත්වීමත් සමගය. ප්‍රේමදාස ජනපතිවරයා කොටි බෝම්බයකින් මිය යාමත් සමඟ රනිල් වහා ඉදිරිපත් වී අගමැති ඩී. බී. විජේතුංග ජනපති පදවියේ දිවුරුම් දීමට සැලැස්වීය. ඉන්පසු පුරප්පාඩු වූ අගමැති ධුරයට පත්කෙරුණේ රනිල්ය. ඉන් ඉක්බිතිව ඩී.බී. ගෙන් පසු රනිල් එජාප නායකයා විය. 

දේශපාලන දිවියේදී ලද සියලු තනතුරු ඇමැතිකම් ළාබාල වයසකදී හිමිවීමට තරම් වාසනාවන්ත වූ රනිල්ට සිය සහකාරිය හමුවූයේ ඔහු මැදි විය පසුකරමින් සිටින විටදීය. ඔහු විවාහ දිවියට එළැඹියේ විපක්ෂ නායක ධුරය දැරූ කාලයේදීය. රනිල්ගේ බිරිය වන මෛත්‍රී වික්‍රමසිංහ කැලණිය සරසවියේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්යවරියකි.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දුන් අවස්ථාව.

රනිල් වික්‍රමසිංහ මේ ගෙවමින් සිටින්නේ සිය දිවි ගමනේ 72 වසරය. 1994 සිට සෑම මැතිවරණයකදී ඔහු නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් විය. 2001 දී මැතිවරණයෙන් දිනා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය යටතේ සිව් වැනි වරටත් අගමැති ධූර‍යට පත් විය. 2015 දී යළිත් මෛත්‍රිපාල සිරිසේන යටතේ අගමැති පදවියට පස්වැනි වරටත් පත් විය. ඒ හැරෙන්නට ඔහු 13 වතාවක්ම පැරදුණේය. සෑම මැතිවරණයකදීම ලද ඒ සියලු පරාජයන් ඔහු උපේක්ෂාවෙන් දරා ගත්තේය. 

අවසානයේදී 2019 දී ඔහු ඇතුළු ඔහුගේ පක්ෂයේ සියලුම අපේක්ෂකයන් පරාජයට පත් විය. එජාපයට මුළු රටෙන් ම ඡන්ද ලැබුණේ 249, 435කි. එක් අසුනක්වත් ජය ගැනීමට ඔහු ඉඩ ලැබුණේ නැත. ඉතිරි වූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පමණය. එය ද ඔහු බාර ගත්තේ වසර දෙකකට පසුවය. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ එජාප එකම මන්ත්‍රීවරයා වශයෙන් සිටියදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහු අගමැති පදවියට පත් කළේය. ඒ හයවැනි වරටය. ගෝල්ෆේස් අරගලය නිසා ජනාධිපතිවරයාට පලා යාමට සිදු වූයෙන් රනිල්ට ජනාධිපති පදවියේ වැඩ බැලීමට සිදු විය. අනතුරුව පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ඡන්දයෙන් ඔහුට 9 වැනි ජනාධිපතිවරයා වීමේ වරම් ලැබුණි. ‍ 

(මේ ලිපිය සැකසීමට මිහිරි ෆොන්සේකා ‘ලක්බිම’ පුවත්පතට ලියූ ලිපියකින් හා කුමාරි ජයවර්ධන ලියූ ‘සොක්කන් ලොක්කන් වූ වගයි’ යන ග්‍රන්ථයෙන් කරුණු උපුටා ගත් බව කෘතඥ පූර්වකව සඳහන් කරමි.) 

- පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments