HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඔබේ ඉන්ධන අරගලයට මැදට ආ QR කේතයේ කතාව

‘QR කෝඩය’ (Quick Response Code) හෙවත් ‘එසැණ ප්‍රතිචාර කේතය’ යනු මේ දිනවල අප හැම අතරේ වඩාත් කතාබහට ලක් වන වදනක්. රටේ පවතින ඉන්ධන හිඟයට පිළියමක් ලෙස, බෙදා හරින ඉන්ධන ප්‍රමාණය කළමනාකරණය කර ගැනීමේ අරමුණින් රජය ඉන්ධන ලබා ගැනීම සඳහා මේ ක්‍රමය හඳුන්වා දුන්නා. ඉන්ධන පාරිභෝගිකයා, සිය හැඳුනුම්පත් අංකය, භාවිත කරන වාහනයේ විස්තර ආදිය ලබා දී ලියාපදිංචි වීමෙන් පසු ඊට අදාළ QR කේතය ලබාගත හැකියි. රජයට මේ අවස්ථාවේ ලබා දීමට ඇති ඉන්ධන ප්‍රමාණය සීමිත වීම නිසා හැමට ම විධිමත්ව ඉන්ධන ලබාදීමේ අරමුණ ඇතිව මේ ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවා. 

QR කේතය

මේ QR කේතය නිර්මාණය වන්නේ රජයේ ලියාපදිංචි වන එක් එක් පුද්ගලයාගේ දත්ත ඇසුරිනුයි. ඔහුු ඒ QR කේතය, ඉන්ධන ලබා ගැනීමේ දී ඉදිරිපත් කළ යුතු වෙනවා. පිරවුම්හලෙන් එම කේතය ස්කෑන් කර ඒ සතියේ ඔබේ රථයට නියමිත ඉන්ධන ප්‍රමාණය කොපමණදැයි බලා සේවයකයා ඒ අනුව ඔබට නියමිත ඉන්ධන ප්‍රමාණය ලබා දෙනවා. පාරිභෝගිකයා සතියකට අදාළව ලබා ගන්නා ඉන්ධන ප්‍රමාණය, ඉතිරි ඉන්ධන ප්‍රමාණය ආදී සියලු විස්තර ඒ මගින් දැක ගත හැකියි. ඔබට ඉන්ධන ලබා ගත හැක්කේ සතියකට වරක් පමණයි. 

මේ QR කේත ක්‍රමයට කලින් ආවේ තීරු කේත ක්‍රමය හෙවත් බාර්කෝඩ් ක්‍රමයයි. එය අදත් භාවිතයට ගැනෙයි. ඔබ සාප්පුවකට ගිහින් පොතක්, ඇඳුමක්, ආහාරයක් මිල දී ගත්තත් ඒ හැම තැනක මේ තීරු කේත (බාර්කෝඩ්) ඔබට හමුවෙයි. බාර්කෝඩ්වලට ඇතුළත් වන්නේ ඒ භාණ්ඩවල විස්තර පමණයි. කෙසේ නමුත් බාර්කෝඩ් ක්‍රමයේදී ඊට ඇතුළත් කළ හැකි විස්තර ප්‍රමාණය සීමාසහිතයි. 

කාංචන විජේසේකර ඇමතිතුමා පසුගියදා අපූරු කතාවක් කියා තිබුණා. QR කේතය හඳුන්වා දෙන්නට පරිගණක තාක්ෂණික ආයතනයත්, සමාගම් ගණනාවක් හා ඉහළ පෙළේ පරිගණක විශේෂඥයන් 100කට වැඩි පිරිසක් මේ QR කේතය සකස් කරන්නට මහත් වෙහෙසක් ගත් බවක් අන්තර් ජාලය හරහා කීවා. ඔය තරම් පිරිසක් ඒ නව නිපැයුම ලෝකයට දායක කරන්නවත් එක්වෙලා නැහැ. දැන් වුනත් ඒ පිළිබඳව නොමිලයේ උපදෙස් දෙන්න ‍වෙබ් අඩවි ගණනාවක් ම තියෙනවා. පොඩි ළමයකුට වුවත් ඒ වෙබ් අඩවියකට ගිහින් තමන්ගේ ම QR කේතයක් හදා ගන්න පුලුවන්. 

අනිත් අතට QR කේතය නිර්මාණය කළ හාරා මසහිරෝ ඒක තමන්ට මුදල් උපයා ගන්න යොදවා ගන්නට අදහස් කළේ නෑ. ඔහු ඒකට හිමිකම් (පේටන්ට්) බලපත්‍රයක් ගත්තේ නෑ. ලෝකයේ හැම දෙනාට ම ‍එකසේ ප්‍රයෝජනය ගන්නට විවෘතව අන්තර්ජාලයට මුදා හැරියා. දැන් ලෝකයේ හැම රටක් ම එය නිදහසේ ප්‍රයෝජනයට ගන්නවා. ජපන් ජාතික හාරා මසාහිරෝ තමාගේ මේ නිර්මාණය ලොව පුරා විවිධ අයුරින් ප්‍රයෝජනයට ගන්නා අයුරු බලමින් අද මහත්සේ සතුටු වෙනවා. 

QR කේතය යොදාගෙන ස්මාට් ෆෝනය හරහා ගෙවීම් කළ හැකියි

හාරා මසාහිරෝ උපත ලැබුවේ 1957 ටෝකියෝ නුවරදීයි. QR කේතය හඳුන්වා දෙද්දී, මසාහිරෝගේ වයස අවුරුදු 35 ක්. QR කේතය සොයා ගත් ඩෙන්සෝ ඉංජිනේරු හරා මසාහිරෝ සේවය කළ අංශය පසුව ඩෙන්සෝ වේව් නමින් අනුබද්ධ ආයතනයක් බවට පත් කර ඇති අතර ඔහු දැන් එහි ප්‍රධාන ඉංජිනේරු තනතුර උසුලනවා. ඒ නිමැවුම ගැන හාරා මසහිරෝගේ කතාව අසා බලමු. 

ඒ, 1994 වසරයි. ජපන් මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයකු මෙන්ම, ටොයොටා සමාගමට අනුබද්ධ ‘ඩෙන්සෝ වේව්’ සමාගම ගැටලුවකට මුහුණ දී සිටියා. එනම් නම්, වැඩි දත්ත ප්‍රමාණයක් රැඳවිය හැකි බාර්කෝඩයක් තැනීමයි. ඒ බැරෑරුම් කටයුත්ත පැවරුණේ ජපානයේ හොසෙයි විශ්ව විද්‍යාලයේ උපාධිධාරි ඉංජිනේරුවකු වූ හාරා මසාහිරෝටයි. ඔහු වහාම සිය කණ්ඩායමත් සමඟ වැඩට බැස්සා. 

‘ඩෙන්සෝ වේව්’ සමාගමට අවශ්‍ය වූයේ ඔවුන් විසින් තනනු ලබන සියලුම මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදනයේ දී, ඒවා වෙන්කර, යන්ත්‍රානුසාරයෙන් පහසුවෙන් හඳුනාගැනීමට ක්‍රමයක් සකස් කරන්නයි. ඒ සඳහා දත්ත ඇතුළත් කළ හැකි නව ‘බාර්කෝඩයක්’ නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණ වුණා. 

එක දවසක් මසාහිරෝ දවල් කෑම ගැනීමට වාඩි වුණා. කෑම කන ගමන් ‘ගෝ’ (Go) කියන ක්‍රීඩාවේ යෙදීම මසාහිරෝගේ පුරුද්දක්. ‘ගෝ’ (Go) යනු මීට වසර 5000 කට පමණ පෙර චීන ජාතිකයන් ලොවට හඳුන්වා දෙන ලද්දක්. ඒ ක්‍රීඩාවේදී භාවිතයට ගන්නේ සුදු සහ කළු ඉත්තන්. 

මෙය ස්කෑන් කර ඇතුළත විස්තර දැන ගත හැකියි.

එහිදී සුදු සහ කළු ඉත්තන් ක්‍රීඩාවේ යොදාගන්නා අයුරින් වාහන අමතර කොටස් ද වෙන් වෙන්ව හඳුනා ගත හැකි ක්‍රමයක් සකසන්න පුළුවන් නේදැයි මසාහිරෝගේ සිහියට නැඟුණා. මේ QR කේතයේ උපත සිදුවූයේ එහෙමයි. ඒ ගැන මසාහිරෝ මෙසේ කියනවා:  ‍

“එදා කෑම පැයේදී සුපුරුදු පරිදි මා ‘ගෝ’ ක්‍රීඩාවේ යෙදුණා. සුදු සහ කළු ඉත්තන් ක්‍රීඩා පුවරුවේ සකසද්දී තමයි, මගේ ඔළුවට ඒ අදහස ආවේ. දත්ත කෙළින්ම ඉදිරිපත් කරන ආකාරය ගැන මගේ හිතට ආවා. ආකිමිඩීස්ට වාගේ මටත් ‘යුරේකා යුරේකා’ කියල දුවන්න හිතුණා.” යැයි මසාහිරෝ කියනවා. 

ඔහු පැවසුවේ ඒ සමාගම මීට පෙර අමතර කොටස් පිළිබඳ වාර්තා තබා ගැනීමට තීරුකේත භාවිතා කළ නමුත් ඒ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වුණේ නැති බවයි. “එක පෙට්ටියකට බාර්කෝඩ් දහයකට වඩා වැඩි ගණනක් තිබුණා. මේ නිසා සේවකයන්ට කිහිප වතාවක් ඒ පෙට්ටි ස්කෑන් කරන්න සිදුවූ නිසා ඔවුන් වෙහෙසට පත් වුණා. මේ නිසා එක ස්කෑන් එකකින් විශාල තොරතුරු පරිමාවක් ලබා දීමට හැකි කේතයක් නිර්මාණය කිරීමට අපට සිදුවුණා.” යයි ඔහු කීවා. මෙසේ මෝටර් රථ අමතර කොටස් වඩා පහසුවෙන් නිරීක්ෂණය කිරීමේ අවශ්‍යතාව නිසා QR කේතය බිහි වුණා. 

QR කේතයක් සලකුණු වී ඇත්තේ හතරැස් කළු සහ සුදු තිත් සහිත ද්විමාන රටාවකිනුයි. මෙම රටාව සමඟ, සම්මත තීරු කේතයකට වඩා 200 ගුණයක් වැඩි තොරතුරු ඊට ඇතුළත් කළ හැකියි. 

වෙබ් අඩවිවලට පිවිසෙන විවිධ සැබැඳි හා සමානව කේතවල ද මූලික තොරතුරු මෙන් ම දත්ත විශාල ප්‍රමාණයක් කේතනය කර ඇති ඉලක්කම් හා අක්ෂර 4,200කට අධික සංඛ්‍යාවකින් ගබඩා කර තිබිය හැකියි. ඒ තොරතුරු වෙත පිවිසීමට, පුද්ගලයෙකුට අවශ්‍ය වන්නේ QR කේතය ස්කෑන් කිරීම පමණයි. ඒ සඳහා අද කැමරාවක් සහිත ස්මාට් ෆෝනයක් තිබීමත් ප්‍රමාණවත්. 

ජපානයේ ඩෙන්සෝ වේව් සමාගම

QR කේතය නිර්මාණය කළ ඩෙන්සෝ වේව් ප්‍රධාන ඉංජිනේරු හාරා මසහිරෝ

හාරාට ඔහුගේ නිර්මාණාත්මක සන්දර්භයට නිසි ගෞරවය ලබා දුන් අතර, ඩෙන්සෝහී තාක්ෂණික කණ්ඩායම අද භාවිත කරන QR කේතය ගොඩනැගීම ඉටු කළා. “අදහස ඉදිරිපත් කිරීම එක දෙයක්, එය තැනීමට පිරිසක් මෙන් ම ක්‍රියාවට නැංවීමට පද්ධතියක් ද අවශ්‍යයි.” යනුවෙන් හාරා පවසයි. ඩෙන්සෝ ආයතනයට ඒ තාක්‍ෂණය තනිවම දියුණු කිරීමට සම්පත් හිඟ වූ නිසා ඒ වෙනුවට වෙනත් සමාගම් QR කේත භාවිතා කරනු ඇතැයි යන බලාපොරොත්තු ඇතිව එහි හිමිකම් තමන්ට ම තබා නො ගෙන සකල ලෝකයට ම විවෘත කරන්නට හාරා තීරණය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් වැඩි කල් නොගොස් ලොව පුරා සමාගම් මේ තාක්‍ෂණය භාවිතයට ගත්තා. කැමරාවලින් සමන්විත ස්මාට් ජංගම දුරකථනය බහුලව භාවිතයට පැමිණීමත් සමඟම QR කේත තමන්ගේම දෙයක් බවට පත් වුණා. 

ATM එකෙන් මුදල් ගන්නත් QR කේතය

ජපානයේ කොගොෂිමා බැංකුව විසින් අත්හදා බැලීමක් හැටියට එක් ATM යන්ත්‍රයක් සඳහා සුපුරුදු ATM කාඩ්පත වෙනුවට ගිණුම් හිමියාගේ මුහුණේ ලක්ෂණ සහ අනෙකුත් විස්තර අඩංගු QR කේතයක් භාවිතයට ගත්තා. එහි ඇතුළත සවිකළ කැමරාවක් භාවිතයෙන්, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයට (ATM) එය ක්‍රියාත්මක කරන පුද්ගලයා ඇත්ත වශයෙන්ම ගිණුම් හිමියාද යන්න තීරණය කිරීමට හැකි වන අතර ධනාත්මක හඳුනා ගැනීමක් සිදු කරන තුරු මුදල් ලබා දෙන්නේ නැහැ. 

ටෝකියෝවේ ටෝයි උමං මාර්ග පද්ධතියේ උමං දුම්රිය මැදිරිවල දොරවල්වල ද QR කේත සොයා ගත හැකියි. වේදිකාවේ සවිකර ඇති කැමරාවක් ඒ කේත ස්කෑන් කරනවා. දුම්රිය දොරවල් සමඟ එක විට වේදිකාවේ දොරටු විවෘත කෙරෙන්නේ ඒ අනුවයි. 

උමං දුම්රියේ දොරවල් එක විට ඇරෙන්නේ QR කේතයෙන්.

අතීතයේදී නම් මේ ආකාරයට වේදිකා ගේට්ටු ස්වයංක්‍රීය කිරීමට අධික වියදමක්, එනම් යෙන් මිලියන ගණනක් වැය කිරීමට සිදුවෙනවා. කෙසේ වෙතත්, QR කේත පද්ධතිය සමඟ, ඒ වියදමෙහි සැලකිය යුතු ලෙස අඩු වීමක් ඇති වන අතර, එය යෙන් දහස් ගණනකට අඩු වෙනවා. මෙම QR කේත තාක්ෂණය විදේශයන්හි සමාගම් විසින් ද භාවිතා කරනු ලබනවා. සියැටල්හි ‘ඇමසන් ගෝ’ ආයතනය සේවකයන් රහිත සාප්පු යාමේ පහසුකම් ඇති ගබඩාවක් වන අතර, පරිශ්‍රයට ඇතුළු වන සාප්පු සවාරි යන්නන් හඳුනා ගැනීමට ඔවුහූ QR කේත භාවිතා කරනවා. QR කේත තාක්‍ෂණය ක්‍රියාත්මක කිරීම අඩු වියදම් සහිත, සංවර්ධනය වෙමින් පවතින රටවල සමාගම්වලටද මේ QR කේත දැරිය හැකි තේරීමක් බවට පත් වෙලා ඉවරයි. 

හාරා තම අදහස ලෝකය විසින් ග්‍රහණය කර ගැනීම ගැන සතුටු වන අතර එයින් වඩ වඩාත් පුළුල් වූ අති නවීන සේවාවන් රැසකට ප්‍රයෝජනය ගත හැකි බව කියයි. ඔහු අවධාරණය කරන්නේ මේ QR කේත ක්‍රමය අසීමිත විභවයන් කරා ගෙන ගිය හැකි බවයි. "මම කැමතියි, ආපදා අවස්ථාවලදී භාවිතා කිරීම පිණිස පුද්ගලයන්ට බෙදා හරින ලද වෛද්‍ය තොරතුරු අඩංගු QR කේත දැකීමට. එසේම ඉවත් කිරීමේ මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩලයට මේ ‍ QR කේත ස්කෑන් කළ හැකි අතර, ඔවුන්ට සුදුසු වෛද්‍ය සේවා සැපයීමට එයින් ඉඩ සලසා ගත හැකියි." යයි කියන ඔහු ඉදිරියේදී, ඔහු මුලින් සිහින මැවූ දේට වඩා බොහෝ දුරට මෙයින් නව යෙදුම් මතු වනු ඇතැයි ඔහු විශ්වාස කරනවා. 

තොරතුරු වෙත ප්‍රවේශ වීම සඳහා මිනිසුන් වැඩි වැඩියෙන් QR කේත වෙත හැරෙමින් සිටින අතර, වඩාත් මෑතක දී, එය භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම්වලට භාවිත කිරීමට පටන් ගෙන තියෙනවා. QR කේත දැන් කොයිතරම් සුලභ වී ඇත්ද යත්, එකක් නො දැක අපට දවසක් ගෙවෙන්නේ නැති තරම්. මෑතකදී, මියගිය අය පිළිබඳ තොරතුරු සපයන සේවාවක කොටසක් ලෙස සොහොන් කොත්වල පවා QR කේතයන් පෙනෙන්නට පටන් ගෙන තියෙනවා. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් QR කේත ක්‍රමය ලංකාවට හඳුන්වා දෙන ලද්දේ 2019 දී අංක 22 දරන චක්‍රලේඛය අනුවයි. බලපත්‍රලාභී බැංකු, ලියාපදිංචි මුදල් සමාගම් සහ මූල්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් අයතන වෙත මෙම ක්‍රමය භාවිතයට උපදෙස් ලබා දුන් අතර, අප අසල්වැසි ඉන්දියාව, මෙම ක්‍රමය භාවිත කරන්නේ 2016 වසරේ සැප්තැම්බරයේ සිටයි. මේ වන විට ලොව බොහෝ රටවල් QR කේත ක්‍රමයෙහි ප්‍රයෝජන භුක්ති විඳිමින් ඉන්නවා. 

QR කේතය තුළ සමචතුරස්‍රාකාර කොටු 3 ක් සහ තවත් කළු සහ සුදු කොටු රටා දක්නට ලැබෙනවා. දත්ත ඇතුළත් වී තිබෙන්නේ මෙම කොටු තුළයි. මෙම කොටුවල උපරිම වශයෙන් ඉලක්කම් 7089 ක් සහ අක්ෂර 4296 ක් ගබඩා කළ හැකියි. QR කේතයක අඩංගු දත්ත ‘කියැවීම’ කළ හැක්කේ කැමරාවක් සහිත ස්මාට් ජංගම දුරකතනයකින් හෝ ටැබ් යන්ත්‍රයකිනුයි. QR කේත ‘කියැවීමට’ ඒ සඳහා අවශ්‍ය මෘදුකාංග ස්මාට් ජංගම දුරකතනයේ හෝ ටැබ් යන්ත්‍රයේ තිබිය යුතුයි. ස්මාට් දුරකතනයේ හෝ ටැබ් යන්ත්‍රයේ හෝ කැමරාව, QR කේතයට ඇල්ලූ විට, එසැණින් එම කේතයේ ඇති දත්ත ‘කියැවීම’ සිදුවෙනවා. 

 - ලුසිත ජයමාන්න 

Post a Comment

0 Comments