HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සිහල සාහිත කලා කෙත එකලු කරන දෙසොහොයුරන්ට සුබාසිරි!

මගේ පුස්තකාලයේ ඇති පොත් දහස් ගණනක් අතරින් මට නිතර අතපත ගෑමට අවශ්‍ය පොත් මගේ වැඩ මේසය ළඟ කුඩා පොත් රාක්කයක අසුරා තිබේ. ඒවා බොහොමයක් ශබ්දකෝෂය ය; නැත්නම් විශ්වකෝෂය ය; එසේත් නැත්නම් කුමරතුඟුවන්ගේ ‘පිය සමර’, ‘විරිත් වැකිය’, ‘හෙළ මියැසිය’, ‘ප්‍රබන්ධ සංග්‍රහය’ වැනි පොත් ය; ධම්ම පදය හෝ සෙන් කතා ය. ඒ අතර මට නිතර කියවන්නට සිතෙන වෙනස් පොත් දෙකක් ද තිබේ. එකක් ‘සුනිල් සාන්ත අධ්‍යයනය’ ය. අනෙක ‘කීර්තිශේෂ’ ය. එයින් ‘සුනිල් සාන්ත අධ්‍යයනය’ සුනිල් ආරියරත්නගේ ය. ‘කීර්තිශේෂ’ තිලකරත්න කුරුවිට බණ්ඩාරගේ ය. 

සුනිල් ආරියරත්නගේ ‘සුනිල් සාන්ත අධ්‍යයනය’ - තිලකරත්න කුරුවිට බණ්ඩාරගේ ‘කීර්තිශේෂ’

අපේ පත්‍රකලාවේදී සහෘදයා වූ තිලක්ගේ උපන්දිනය යෙදී ඇත්තේ ජූලි 28 වැනිදාට ය. ඔහු අපට නැති වාසනාවක් ලද්දෙකි. ඒ ඔහුගේ ජීවිත කාලය තුළ සුවිශේෂ උපන්දින තෑගි දෙකක් ලැබීම ය. ඉන් පළමුවැන්න සුනිල් මල්ලී ය. දෙවැන්න තාරක පුතා ය. එවැනි උපන් දින ත්‍රිත්වයක් යෙදීම විරල අවස්ථාවකි. එවැනි ම තවත් විරල අවස්ථාවක් තිලක්ගේ ජීවිතයේ තිබේ. එය ඔහු විසින් උදා කර ගත් එකකි. ඔහු මුල් වී ඔහුගේ නංගිලා මල්ලිලා සියලුදෙනා ම එක්ව පාසල් සමයේ කළ ‘අපි ඔක්කොම’ නම් කවි පොතයි. එවැනි නිර්මාණ එකතුවක් මෙතෙක් මට ලෝකයේ කොතැනකවත් හමු වී නැත. 

තිලකරත්න කුරුවිට බණ්ඩාර

මා තිලක් මුලින් ම හඳුනා ගත්තේ ඒ ‘අපි ඔක්කොම’ කෘතියෙනි. මින් වසර දසක කීපයකට පෙර නුවර පොත් සාප්පුවකින් එය මිල දී ගත්තේ එහි දුටුවන ම ඇති වූ විස්මය නිසා ය. ඒ ඔක්කොම දෙනාගෙන් වෙන්ව අද තිලක් හා සුනිල් දෙදෙනා ගත් කතුවරුන් වශයෙන් වෙන වෙන ම ගමන් කරති. පත්‍ර කලාවේදියකු වශයෙන් තිලක් ආ ගමන හරබර තෘප්තිමත් එකකි. ‘දිනමිණෙ’න් ඇරඹූ ඒ ගමන ‘සිළුමිණ’ කතු පදවිය තෙක් ඔහුව ගෙන ගියේ ය. පුවත්පත්වලින් ඉසඹුලත් ඔහු අද ගුවන්විදුලි සංස්ථාවේ උපදේශකයකු වශයෙන් කටයුතු කරයි. ඒ අතර ගුවන්විදුලි මාධ්‍යය වෙනුවෙන් නිකුත් වන එකම සඟරාව වූ ‘හඬ’ සංස්කරණයට උර දෙයි. 

තිලක්ගේ ‘කීර්තිශේෂ’ ගැන යමක් කියන්නට, පෙර ඔහුගේ අතිජාත සොහොයුරු, ‘අපි ඔක්කොම’ තුළින් මතු වූ අග්‍ර ඵලය වූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කළ ‘සුනිල් සාන්ත අධ්‍යයනය’ නම් සුවිශේෂ කෘතිය ගැන මුලින් සඳහන් කරනු කැමැත්තෙමි. 

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න

සුනිල් ගැන සුනිල් ලියූ පොත 

සාහිත්‍ය ප්‍රවර්ග ගණනාවකින් පොත් ලියන සුනිල් ආරියරත්නයන් මේ ‘සුනිල් සාන්ත අධ්‍යයනය’ නම් කෘතිය තුළින් සුනිල් සාන්තයන් ගැන පමණක් නොව ඔහුගේ සිංහල ගීත සාහිත්‍යය, සංගීත චින්තනය, තනු රචනය, ගීත රචනය, ගීත පොත් ප්‍රකාශනය ආදි විවිධ අංශ පිළිබඳ ව ප්‍රාමාණික විග්‍රහයක් කරන්නට සමත් වී සිටිති. මෙහිදී ඔහුගේ සංගීත විශාරද දැනුම ඉවහල් වූවා නිසැකය. එසේ ම මෙම ග්‍රන්ථයට සුනිල් සාන්තයන්ගේ ස්වර ලිපි සංග්‍රහයක්, ඔහුගේ සුප්‍රකට හා අප්‍රකට ගී තනු ද ඇතුළත් කර ඇත. එපමණක් නොව ඔහුගේ ජීවිත කතාව ද නෙතට කඳුලක් නංවන අයුරින් මතු කර තිබේ. 

සුනිල් ගැන සුනිල් ලියූ ඒ අපූරු පොත එහි ‘පිදුමෙ’හි සිට ම රසවත් ය; නැවුම් ය. 

“බූරු ඇඳක විනා සුව සයනයක නො සැතපුණු, 
රළු අහරක විනා රස මසවුලක රස නො බැලූ, 
කාර් කටුවල සහ බස් කබල්වල විනා සුඛෝපභෝගී රියක 
ගමන් බිමන් නො ගිය, 
දැලි කපු පිළියෙන් විනා දුහුල් සළුවෙන් සිරුර නො සැරසූ, 
ගීයක් අසන්නට ගුවන් විදුලි යන්ත්‍රයක්වත් 
තනුවක් තනන්නට තූර්ය භාණ්ඩයක්වත්, 
නිවසෙහි නො තිබුණු, 
වෙ‍ළ‍ෙඳුන්ට නො විකිණුණු, 
දේශපාලනඥයන්ට නො රැවටුණු, 
අයුක්තියට නො නැමුණු 
සංගීතයෙහි උඩුගං බලා පිහිනන්නට වැර වැඩූ
ඒ අපූර්ව මිනිසාට ම 
ඒ මිනිසා ගැන කළ 
මේ කෘතිය පිළිගන්වමි.” 

‘සුනිල් සාන්ත අධ්‍යයනය’ කෘතියේ කංචුකයට ඒ සුනිලුන් ගැන මේ සුනිලුන් ලියූ ඇගයුම ද පොතක මා දුටු සුවිශේෂතම එකකි. 

“සිංහල සාහිත්‍යයට බටහිර ගායන ශෛලිය හඳුන්වා දුන් ප්‍රථම ගායකයා ඔහු ය. 

“සිංහල ගී නිර්මාණවලට බටහිර ශිල්පෝපක්‍රම භාවිත කළ ප්‍රථම තනු නිර්මාණකයා ඔහු ය. 

“සිංහල සරල ගීත බටහිර ස්වර ලිපිවලට නඟා ප්‍රකාශයට පත් කළා වූත්, ත්‍රිවිධ හමුදා බටහිර තූර්ය වාදන අතරට සිංහල ගී අනුවාදන මුසු කළා වූත් ප්‍රථම පෙරදිග සංගීතකාරයා ඔහු ය. 

“උත්තර භාරතීය රාගධාරී සංගීතයෙහි පාරප්‍රාප්ත වැ එය ප්‍රතික්ෂේප කළ ප්‍රථම කැරලිකාරයා ඔහු ය. 

“සංගීත දර්ශනයක් වෙනුවෙන් පෙනී සිටි ප්‍රථම සංගීත චින්තකයා ඔහු ය. 

"ගීතය නමැති බුද්ධිමය දේපොළ කූඨ වෙළෙඳුන්ගෙන් රැක ගැනීමට ඉදිරිපත් වූ ප්‍රථම සටන්කාමියා ඔහු ය. 

“ගීත පදමාලාවේ පාරිශුද්ධියට කැප වූ ප්‍රථම භාෂා ශුද්ධාත්මවාදියා ඔහු ය. 

“ගුවන්විදුලි සංගීතයෙහි ප්‍රථම සුපිරි තරුව ඔහු ය. 

“ගුවන්විදුලියෙන් නෙරැපුණු ප්‍රථම සංගීතඥයා ද ඔහු ය.” 

(‘සුනිල් සාන්ත අධ්‍යයනය’ කෘතියේ කංචුකය.)තිලකරත්න කුරුවිට බණ්ඩාරගේ ‘කීර්තිශේෂ’ 

එතැනින් නො නැවතුණු සුනිල්, සුනිල් සාන්තයන් සුපිරි තරුව වීමට හේතු මෙසේ පහදයි. 

“සිංහල සංගීත ක්ෂේත්‍රයෙහි සුනිල් සාන්ත තරම් ජනප්‍රිය පුද්ගලයෙක් පහළ වී නො සිටියේ ය. ජනප්‍රිය සංගීතඥයෙක්, ගායකයෙක් පහළ වී නො සිටියේ ය. හේ මෙරට බිහි වූ ප්‍රථම සුපිරි තරුව (Super Star) විය. 

“ගේය කාව්‍යයන්හී සුන්දරත්වය, තනු රචනාවන්හි නව්‍යත්වය, ගායනයෙහි මාධූර්යය මතු නොව රූපකායයෙහි චිත්තකර්ෂණය ද සුනිල් සාන්තයන්ගේ ජනප්‍රියත්වයට තුඩු දුන් බව ඔහු සියැසින් දුටුවකු කරන මේ විස්තරයෙන් පෙනේ. 

“සුදෝසුදු ජාතික ඇඳුමෙන් සැරසී සිටි ආරෝහපරිණාහයෙන් යුත් පුරුෂ රත්නයක් වාහනයෙන් බැස අප දෙස බලා සිනාවක් පෑවේය. ඒ සිනාවෙන්, ඔහුගේ රන්වන් පැහැයෙන්, මනා සේ පීරා තුබූ ලස්සන කෙස් වැටියෙන්, දීප්තිමත් නෙත් සඟලින් මා වශීවන්නට ඇතැයි අද මම සිතමි. මගේ ඇස් නිලංකාර වුණා මට මතකය. මේ මෙලොව වැසියෙක් ද නො එසේ නම් සුරලොවින් බැස ආ ග්‍රීක දෙවියෙක් ද යන විචිකිච්ඡාව මා සිත තුළ ජනිත විය. එදා මෙදා මෙලොව මා දැක තිබෙන ගැහැනු පිරිමි කිසිවකුගේ රූ සපුවෙන් මා ඒ ලෙස මෝහනයට පත් වූ බවක් මට මතක නැත.” (මහාචාර්ය කාලෝ ෆොන්සේකා) 

“සුනිලුන් සියැසින් නුදුටු සුවහසක් ජනයාට පූර්වෝක්ත විස්තරයෙන් ඔහුගේ රූපකාය මවා ගන්නට පුළුවන.” (32 පිටුව.) සුනිල් සාන්තයන්ගේ බොහෝ දෙනා නොදන්නා කරුණු රැසක් මෙම කෘතියට ඇතුළත් වෙයි. උපත් නම වූ බී. ඩී. ජෝසප් ජෝන්, ඉන්දියාවේ දී ‘සුනිල් ශාන්ති’ වී පසුව හෙළ හවුලේ ආභාසය අනුව සුනිල් සාන්ත වූ අයුරු මෙහි සඳහන් වෙයි. ඔහු ගී තනු නිර්මාණය කළ ආකාරය ද විස්මිත ය. “සුනිලුන් කටහඬ භාවිත කළේ ගයන්නට පමණක් නොවේ. ඔහු ගී තනු නිර්මාණය කළේ ද ගීය මුමුණමිනි. ඔහු කිසිදාක තනු නිර්මාණය සඳහා තූර්ය භාණ්ඩයක් භාවිත නො කළේය. ඔහුගේ බෝඩිමේ හෝ නිවසේ තූර්ය භාණ්ඩ තිබුණේ ද නැත.” (42 පිටුව) 

මෙම කෘතියෙහි දැක්වෙන ආකාරයට, සුනිල් සාන්තයන් අවසන් වරට හමු වී විශේෂාංගයක් කර ඇත්තේ ‘දෙසතිය’ සඟරාව වෙනුවෙන් ගාමිණී විජේතුංග සහ ඩබ්. එම්. කේ. විජයබණ්ඩාර යන මාධ්‍යවේදීන් දෙදෙනා ය. එහිදී ඔහු පවසා ඇත්තේ “...ගීතයකට තනුවක් නිර්මාණය කරන්න නොවෙයි මට අවශ්‍ය වුණේ. සංගීතය තුළින් අමුතු ම නිර්මාණ බිහි කරන්න. ගාස්තුවට සින්දු හදන්නවත් සින්දු කියන්නවත් මම කැමති නෑ. හැම තිස්සෙ ම සර්පිනා උල උල ඉන්න කෙනෙකු අතින් අලුත් යමක් නිපදවෙන්නේ නැහැ....මම එදා ඉඳලාම උත්සාහ දැරුවේ අපේ යැයි කිව හැකි දේශීය සංගීතයක් ගොඩ නඟන්නයි. ජනකවි, පැල්කවි, වන්නම් වගේ පාරම්පරික සංගීත ක්‍රම ආශ්‍රයෙන් දේශීය සංගීතයක් නිර්මාණය කරන්නයි...ස්වර එකක් දෙකක් හෝ තුනක් උපයෝගී කර ගෙන මම ගීත නිර්මාණය කළා. සීගිරි ගී සියල්ල ම හැදුවේ ස්වර 4කින්. ලෝකයේ පළමු වරට කළ අත්හදා බැලීමක් මේක....නමුත් මේ කවුරුවත් විචාරය කළේ නැහැ....හුදු විනෝදය තකා මම ගීත නිර්මාණය කරලා නැහැ...” කියා ය. (65 පිටුව) 

‘සුනිල් සාන්ත අධ්‍යයනය’ කෘතිය එක අතකින් දේශීය සංගීතය යායුතු ගමන් මඟ ගැන ඉඟි කරන රචනයකි; තවත් අතකින් චරිතාපදානයකි; ඒ වගේ ම සංගීත රසිකයන්ගේ ද සංගීතය හදාරන්නන්ගේ ද චින්තන නිම්වළලු පුළුල් කරන්නකි. මෙවන් ප්‍රශස්ත කෘතියක් පාඨකයන්ට දායාද කළ සුනිලුන් අගය කළ යුතුය. ඒ සඳහා මේ උපුටනය තෝරා ගතිමි. 

2007 සර්වෝදය ජාතික සම්මාන ප්‍රදානෝත්සවයේ දී මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට සම්මානය පිරිනමන්නට පෙරාතුව අමරදාස ගුණවර්ධනයන් විසින් ප්‍රකාශ කරන්නට යෙදුණු හේතු පාඨයෙන් සුනිල් ආරියරත්නයන්ගේ මෙහෙය අගය කළේ මෙසේ ය: 

“සාහිත්‍ය කලා පර්යේෂණාදියෙන් ද සෞන්දර්යාත්මක ගීත හා සිනමා නිර්මාණයෙන් ද සිනා සපිරි මිනිස්කමෙන් ද විසිතුරු වූ ලොවක් ඇත්නම් ඔහු අයත් වන්නේ ඒ සුන්දර ලොවට ය. ඔහු ඇයගෙන් ලදුයේ බැල්ම’සක් පමණක් විය නො හේ. දෙනුවන් උපරිමයෙන් ම විදහා ඇසි පිය නො හෙළා ඇය ඔහු දෙස බලා සිටියා ය. සංගීත ක්ෂේත්‍රයේ මියුරු සරින් ගැයෙන කන්කලු ගීත තැනුණේ සරසවිය ගේ නො මඳ බැල්ම ලැබ ඔහු විසින් රචිත මනහර පදමාලාවලිනි. බයිලා කපිරිඤ්ඤා, ග්‍රැමෆෝන් ගී, කැරොල් පසම් කන්තාරු, ආදිය අළලා සිදු කෙරුණු ඔහුගේ විරල ගණයේ පර්යේෂණ ග්‍රන්ථාවලිය නිරන්තර සම්මානයට පාත්‍ර වූයේ ය. දෙමළ සාහිත්‍යය සහ ක්‍රිස්තියානි සාහිත්‍යය සම්බන්ධයෙන් ග්‍රන්ථ සම්පාදනය කොට ජාති හා ආගම් පිළිබඳ පටු සීමා සමතික්‍රමණය කරමින් ජාතීන් අතර සුහදතාව වඩා ලීම සඳහා ඔහු කළ මෙහෙය අත්‍යුදාර ය ....” 

කුඩා කල පටන් සුනිල්‍ මල්ලීට මේතාක් දුර එන්නට නිසැකවම තිලක් අයියාගේ ආභාසය නො අඩුව ලැබෙන්නට ඇත. මා එසේ කියන්නේ පුවත්පත් ජීවිතයේ දී මට තිලක්ගේ ආභාසය ලැබුණු නිසා ය. ලේක්හවුසියේ ගත කළ කාලයේ දී අපේ ඇසුර අප දෙදෙනාට ම සවියක් විය. 

තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ගේ ‘කීර්තිශේෂ’ ග්‍රන්ථය මට සුවිශේෂ කෘතියක් වන්නේ අපේ යුගයේ සමාජය හැඩගස්වන්නට පුරෝගාමී වූ චරිත සමුච්චයක් ගැන මා ප්‍රිය කරන ඔහුගේ මටසිළුටු බස් ආරෙන් ලියැවී ඇති නිසා ය. ඒ චරිත වත්මන් පරපුර විසින් දතයුතු ඒවා ය. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, පියසේන නිශ්ශංක, ජෝර්ජ් කීට්, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ගාමිණී ෆොන්සේකා, ලෙස්ටර් ජේම්ස් පීරිස්, මහගම සේකර ආදී වශයෙන් 55 දෙනකු මෙම කෘතියට ඇතුළත් වෙයි. 

මෙහි එන කීර්තිශේෂ මාධ්‍ය ප්‍රදායකයන් බොහොමයක් මා ද හොඳින් ඇසුරු කළ අයයි. ඒ කෘතිය මා අත ළඟ තබාගෙන ඇත්තේ වැඩ විරාමයකදී අතීතාවර්ජනය කර උත්තේජනයක් ලබනු සඳහා ය. 

තිලක්ගේ ‘කීර්තිශේෂ’ කෘතිය හැඳින්වීමට එක් චරිතයක් මා තෝරා ගත්තේ මෙම සටහනෙහි මුලින් දැක්වූ සුනිල් සාන්ත ගැන සඳහනට ගැළපේ යැයි සිතාගෙන ය. 

තිලක් ඒ ලිපිය අරඹන්නේ මෙසේ ය: “සුනිල් සාන්තගේ ගෝලයා අයිවෝර් ඩෙනිස්ය. සුනිල් සාන්ත ගේ අනුප්‍රාප්තිකයා සී. ටී. ප්‍රනාන්දුය.” 

“සුනිල් සාන්ත භාත්ඛණ්ඩයේත් - ශාන්ති නිකේතනයේත් සංගීතය හදාළේය. සී. ටී. ප්‍රනාන්දු කොහේවත් සංගීතය හැදෑරුවේ නැත. සුනිල් ගැයූ චිත්‍රපට ගීත කීපයක් හැර සෙසු සියලු ගීත තනු නිර්මාණය කර ගත්තේ සුනිලුන්මය. සී. ටී. ගැයූ චිත්‍රපට ගී කිහිපය හැරුණු කොට ඔහු ගැයූ සියලු තනු සී. ටී. ප්‍රනාන්දුගේය. සුනිලුන් ගැයූ ගී සියල්ල ‘සදාහරිත’ය. සී. ටී. ප්‍රනාන්දු ගැයූ ගී සියල්ල ද ‘සදාහරිත’ ය.” (‘කීර්තිශේෂ’ 273 පිටුව) 

“ගුවන් විදුලියේ ගීත තැටිගත කිරීම ආරම්භ වන්නේ 1946දීය. එහිදී ප්‍රථම ගීතය තැටිගත කිරීමට අවස්ථාව ලැබෙන්නේ සුනිල් සාන්තටය. උත්තර භාරතීය රාගධාරී සංගීතය ‘ඉස්මුදුනින්’ සලකන ගුවන් විදුලි බලධාරීන්, එම සංගීත පද්ධතිය අවමානපරවශව බැහැර කරන සුනිල් සාන්තට මේ වරම ලබාදීම වූ කලී බලගතු අත්වැරදීමක් නිසා සිදු වූවක් දැයි සැක සිතෙන තරමේ කාරණාවකි. ඔහු ගැයූ ප්‍රථම ගීතය ‘ඕලු පිපිිලා වෙල ලෙළ දෙනවා’ මෙරට රසිකයෝ එක රැයකින් ඇද වැළඳ ගත්හ. වඩා වැදගත් කරුණ වන්නේ එය නොවේ. රාගධාරී ගීතයට එරෙහි නව රැල්ලක ආරම්භය ද එය වීමයි; හැරවුම් ලක්ෂ්‍යය එය වීමයි.” (‘කීර්තිශේෂ’ 274-275 පිටු) 

සිරිල් ටියුඩර් ප්‍රනාන්දු හෙවත් සී. ටී. ප්‍රනාන්දු රැකියාවට ගියේ, එවකට ලංකා ගුවන් විදුලි සේවය භා එවකට ලංකා ගුවන් විදුලි සේවය භාරව තුබූ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවටය. රාජකාරි කටයුතු සඳහා එහි ආ ගිය ගුවන් විදුලියේ ඉංග්‍රීසි අංශයේ සිටි ලිවී විජේමාන්න සමග ඇති කරගත් ඇයි හොඳයිය නිසා ගුවන් විදුලියේ ගීත තුනක් තැටිගත කරන්නට සී. ටී.ට අවස්ථාව උදාවිය. ‘පින්සිදු වන්නේ අනේ බාල ළමුන්නේ’, ‘බිළිඳා නැළවේ උකුලේ’ සහ ‘සැළලිහිණි කොවුල් හඬ’ යනු ඒ ගීතයි. 

“සී. ටී. ප්‍රනාන්දු පූර්වාදර්ශයට ගත්තේ සුනිල් සාන්ත ය.” කියා කියන තිලක් සී.ටී. සුනිල් අනුව යමින් රාගධාරී සංගීතයෙන් බැහැරව තමන්ගේ තනු යොදා ගත්තත් ඔහු සුනිල්ගේ අනුකාරකයෙක් නොවූ බවත් තමන්ගේ ම අනන්‍යතාවක් ගොඩනඟා ගත් බවත් කියයි. ඔහු සී.ටී. සුනිල්ගේ අනුප්‍රාප්තිකයා ලෙස දක්වන්නේ ඒ නිසා ය. සී.ටී. ප්‍රනාන්දු දෙස මෙතෙක් අප නුදුටු මානයකින් බලන්නට අපට ඒ ලිපියෙන් තිලක් ඉඩ සලසා දෙයි. ඔහුගේ ‘කීර්තිශේෂ’ කෘතියෙහි එන හැම ලිපියකම මේ ගුණය දක්නට ලැබෙයි. 

සිහල සාහිත කලා කෙත එකලු කරන තවත් මෙවන් කෘති බිහි කරන්නට සුනිල් ආරියරත්න හා තිලකරත්න කුරුවිට බණ්ඩාර සොහොයුරන්ට දිගාසිරි පතමි. 

- පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments