HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඉන්දියාවේ උසස් ම පදවියට පත් ද්‍රෞපදී මුර්මු

මෙවර ඉන්දියාවේ ජනාධිපති පදවියට ප්‍රථම වරට ලේඛනගත කුල හා ගෝත්‍ර නියෝජනය කරන කාන්තාවක් තෝරා පත් කර ගනු ලැබීම ලෝකයට ම ආදර්ශයක් දෙන කාරණයක්. එදා ගෝත්‍රික හා කුල හීන යැයි සම්මත අයට අතීතයේ සම පුරවැසි තත්වයක් හිමි වුණේ නෑ. එදා මේ ප්‍රජාවට රටේ අනිත් පුරවැසියන්ට වාගේ වරප්‍රසාද හා හිමිකම් ලැබුණේ නෑ. අධ්‍යාපනය, රැකියා අවස්ථා, සමාජ සහභාගිත්වයට සමාන තත්වයන් ලැබුණේ නෑ. ඒ තත්වය අද සම්පූර්ණයෙන් ම වෙනස් වෙලා. 

භාරත රාෂ්ට්‍රපති ගෞර්වාර්හ (The Honourable) 
ශ්‍රිමතී ද්‍රෞපදී මුර්මු මැතිනිය.

ලේඛනගත කුල හා ගෝත්‍ර වශයෙන් පිළිගැනීමට ලක්වුණු මේ ජනතාව වඩාත් වරප්‍රසාද නොලත් ආර්ථික හා සමාජ කණ්ඩායම්‍ ලෙසයි හැඳින්වෙන්නේ. ඉන්දියානු ව්‍යවස්ථාව මේ අය වර්ග කර තියෙනවා. යටත්විජිත පාලන සමයේ ඒ අය හඳුන්වනු ලැබුවේ අවපීඩිත පන්තියක් ලෙසයි. නවීන සාහිත්‍යයේ මේ අය හඳුන්වනු ලබන්නේ එකසමාජ කණ්‍ඩායමක් යන අරුත් ඇති දාලිට් (Dalit) යන වදනින්. ඉන්දියාවේ ව්‍යාවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපති බී. ආර්. අම්බෙඩ්කාර් (1891-1956) ඒ නම සියලුම ගෝත්‍ර හා කුල සඳහා පොදුවේ භාවිත කළා. ඒත් මහාත්මා ගාන්ධි තුමා ඔවුන් හැඳින්වුවේ ‘හරිජනයන්’ (විෂ්ණුගේ දරුවන් හෙවත් දේව දරුවන්) ලෙසයි. 2018 දී සැප්තැම්බරයේ ආණ්ඩුවෙන් සියලුම පුද්ගල නාලිකාවලට මේ ජනතාව හැඳින්වීමට ‘දාලිට්’ යන වදන භාවිත නො කරන දන්වා උපදෙස් දුන්නා. 

1950 ව්‍යවස්ථාවේ දී මුල් ලැයිස්තුවට ප්‍රාන්ත 28ක මුලින් ම සම්මත කුල 1,108ක් ද, පසුව ප්‍රාන්ත 22ක ගෝත්‍ර 744ක් නම් කරනු ලැබුවා. මෙයට වසර දහස් ගණනකට පෙර ඉන්දියාවට සංක්‍රමණය වූ විවිධ භාෂා කතා කරන ගෝත්‍ර ගණනාවක් තියෙනවා. ඒ අතරින් අති පුරාණ බසක් වූ සන්තාලි හෙවත් සන්තාල් කථා කරන ගෝත්‍රයටයි, ඉන්දියාවේ නව ජනාධිපතිනිය අයත් වන්නේ. ඒ සන්තාලි ගෝත්‍රිකයන් ඉන්දියාවට සංක්‍රමණය වී ඇත්තේ මින් වසර 3,500කට පමණ පෙරයි. 

ඉන්දීය නව ජනාධිපති ශ්‍රිමතී ද්‍රෞපදී මුර්මු මැතිනිය

පසුගිය ජූලි 25 වැනිදා ඉන්දියාවේ 15 වැනි ජනාධිපති පදවියට පත් වූ ද්‍රෞපදී මුර්මු (විවාහයට පෙර පුති බිරන්චි තුඩු) උපන්නේ 1958 ජූනි 20 වැනිදායි. ‍ඉන්දියාවේ බෙංගාල බොක්කට මායිම්ව පිහිටි ඔඩිසා (කලින් ඔරිස්සා) ප්‍රාන්තයේ රයිරැන්පූර් නගරයට ආසන්න උපර්බේද නම් ගම්මානයේයි. ඇගේ පියා බිරන්චි නාරායන් තුඩු ගොවියෙක්. ඇගේ පියා මෙන් ම සීයා ද සාම්ප්‍රදායික ග්‍රාමීය ප්‍රධානීන්. ඇයට පවුලේ උදවිය උපතේ දුන් නම ‘පුති තුඩු’ වුවත් ඒ නම ඇගේ මුල්ම පාසල වූ උපර්බේද ප්‍රාථමිකයේ ඇගේ ප්‍රථම ගුරුවරයා විසින් ‘ද්‍රෞපදී’ යනුවෙන් වෙනස් කරනු ලැබුවා. 

උපර්බෙදා පාසලේ ද්‍රෞපදීගේ එක් ගුරුවරයකු වූ බාසු මාස්ටර් කියන්නේ ඇය පාසල් යන අවදියේ පටන් ම, නායකත්ව ලක්ෂණ පෙන්නුම් කළ බවයි. “දවසක් පන්තියේ කළුලෑල්ල පිසින්න ඩස්ටරයක් තිබුණේ නැහැ. ඇය ගෙදර ගියාට පස්සේ ඇගේ අතින්ම ඩස්ටර තුනක් මසාගෙන ඇවිත් පසුවදා උදේ මට දුන්නා. මට පුදුම හිතුනා, ඇය පසුවදා ම අපේ ඒ ගැටලුවට විසඳුමක් අරන් ආ ඉක්මන ගැන.” යැයි නිදසුන් වශයෙන් කීවා. 

ඔහු කීවේ පන්තියේ නායිකාව වශයෙන් ද්‍රෞපදී, ගැහැනු ළමයින්ට වඩා ගණනින් වැඩි පිරිස වූ පිරිමි ළමයින් ද පාලනය කර ගැනීමට ද සමත් වූ බවයි. ගුරුවරයකු නැති විට හෝ පමා වූ විට හෝ පන්තිය බලා ගැනීම පැවරුණේ ඇයටයි. ඇය එම කටයුත්ත හරියට ම කළ බව කියනවා. “ඇය හොඳ තරඟකාරියක්. ඕනෑම දේකට සහභගි වෙනවා. නිදහස් දින සැමරුම් වැනි විශේෂ උත්සවවලට සහභාගිවී ගී ගයන්නට නො පැකිළ ඉදිරිපත් වෙනවා.” යැයිද පැවසුවා. 

මූලික අධ්‍යාපනයෙන් පසු ඇය වැඩිදුර අධ්‍යාපනය සඳහා බුබනේශ්වර් නගරයට ගියා. එහි උසස් බාලිකා පාසලෙන් ද්විතීයික අධ්‍යාපනය හමාර කළ ඇය ඉන්පසු රාමා දේවී කාන්තා විද්‍යාලයට ඇතුළත් ව බී. ඒ. සමත් වුණා. ඉන්පසු ප්‍රාන්ත වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ලිපිකාරිනියක ලෙස රැකියාවක ගියා. 1980 දී බැංකු සේවකයකු වූ ශ්‍යාම් චරන් මුර්මු හා විවාහ වුණා. සැමියාට රයිරැන්පූර් නුදුරු බැංකුවකට මාරුවක් ලැබීමත් සමඟ මුර්මු ඇගේ රැකියාවට සමු දී දරු තිදෙනා ද සමඟ යළිත් රයිරැන්පූර් බලා ගියා. නිකරුණේ කාලය නාස්ති කිරීමට අකමැති වූ ඇය ඒ පළාතේ එකම පුද්ගලික පාසල වූ ශ්‍රී අවුරෝබිංදෝ අධ්‍යාපන ආයතනයට ගුරුවරියක ලෙසින් බැඳුණා. ඇය එහිදී සම්පූර්ණ වේතනය ලබා ගත්තේ නැහැ. 

2000 වසරේදීත් 2004 වසරේදීත් ද්‍රෞපදී මුර්මු රයිරැන්පූර් මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් ප්‍රාන්ත මන්ත්‍රණ සභාවට තේරී පත්වුණා. ඇය ප්‍රාන්තයේ ‘බයිජු ජනතා දාල්’ සහ ‘භාරතීය ජනතා පක්ෂය’ එක් වී පිහිටු වූ රජයේ මන්ත්‍රීවරියක වුණා. එහිදී ඇය මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳ කාර්යාලයක් විවෘත කළා. ගෝත්‍රික විරුවකු ලෙස සැලකෙන ‘බිර්සා මුන්දු’ගේ ප්‍රතිමාවක් නගර මධ්‍යයේ ස්ථාපිත කළා. 

ද්‍රෞපදී මුර්මු යනු 90 දශකයේ මැද භාගයේ ඔඩිසා ප්‍රාන්තයේ පැවති දේශපාලනය තුළින් මතු වූ චරිතයකි. ‘ජාර්කාන්ද් මුක්ති මෝචා’ හා ‘කොංග්‍රස්’ යන පක්ෂ ගෝත්‍රික ප්‍රජාව විසූ ප්‍රාන්තවල බලය හිමි කරගෙන තිබුණු අතර ‘භාරතීය ජනතා පක්ෂය’ ජනප්‍රිය පැවතියේ ඒ ප්‍රදේශවලට ආ හින්දි කථා කරන සංක්‍රමණික පිරිස් හා මාවරි ප්‍රජාව අතර පමණයි. ඒ නිසා ගෝත්‍රික ප්‍රජාවගේ විශ්වාසය දිනා ගනිමින් මැතිවරණ ජයග්‍රහණය කිරී‍මේ අභියෝගයට මුහුණ දුන් ‘භාරතීය ජනතා පක්ෂය’ ඒ සඳහා සුදුසු එකම පුද්ගලයා ලෙස තෝරා ගනු ලැබුවේ ද්‍රෞපදී මුර්මුයි. 

ශ්‍රිමතී ද්‍රෞපදී මුර්මු මැතිනිය රාෂ්ට්‍රපති භවන්හිදී ශ්‍රී සුරේෂ් එන්. පටෙල් ඉදිරියේ දිවුරුම් දුන් අවස්ථාව.

ද්‍රෞපදී මුර්මුට 2009 සිට 2015 දක්වා හත් වසරක් තුළ ‍ශෝකජනක සිදුවීම් ගණනාවකට පුද්ගලිකව මුහුණ දීමට සිදු වුණා. ඇගේ සැමියා, පුතුන් දෙදෙනා, මව, සහ එක් සහෝදරයකු අකාලයේ මිය ගියා. එයින් අවසානයට සිදු වූ ලක්ෂ්මන් පුතුගේ මරණයෙන් පසු මහත් සේ කම්පනයට පත් වූ ඇය හිත හදා ගත්තේ රයිරැන්පූර්හි බ්‍රහ්ම කුමාරි ආශ්‍රමයට ගොස් පස් වසරක් භාවනා කිරීමෙනුයි. මුර්මුගේ නිවසේ බ්‍රහ්ම කුමාරි ආශ්‍රමයේ නිර්මාතෘ ලේක්රාජ් දාදාගේ දැවැන්ත ඡායාරූපයක් එල්ලා ඇත්තේ ද ඒ නිසයි. මුර්මු සිය දරු දෙදෙනා සහ සැමියා සිහිපත් කරමින් ඔහුගේ ගම වූ පහදපූර්හි පාසලක් පිහිටුවීමට කටයුතු කිරීමෙනුයි. නවීන පන්නයේ උසස් විදුහලක් වූ එහි අද සිසුන් 60 කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබනවා. 

ඉන්දීය නව ජනාධිපති ශ්‍රිමතී ද්‍රෞපදී මුර්මු මැතිනිය හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි

අවසානයේ දරු තිදෙනාගෙන් මුර්මුට ඉතිරි වූයේ දියණිය ඉතිශ්‍රී පමණයි. ඇය බැංකු සේවිකාවක වන අතර ඇය විවාහ වී සිටින්නේ ගනේෂ් හෙම්බ්‍රාම් නමැති රග්බි ක්‍රීඩකයා සමගයි. 

දැනට ජීවතුන් අතර සිටින එකම සොහොයුරා වූ තරාණි තුඩු සහ මියගිය සොහොයුරාගේ බිරිඳ වූ චූඩාමුණි, මුර්මු අමතන්නේ ඇගේ මුල් නම වූ 'පුතී' කියායි. මුර්මු ජනාධිපතිනිය වෙමින් නවදිල්ලියේ රාෂ්ට්‍රපති භවන්හී පදිංචියට යද්දී, තරාණි සහ චූඩාමුණිගේ ජීවිත ද වෙනස් වෙන්න පටන් ගත්තා. මේ වන විට තරාණිගේ නිවසට කොමාන්ඩෝ ආරක්ෂාවක් ලැබී තියෙනවා. මහුල්දියා මාර්ගයේ පිහිටි ඒ නිවස කොටස් දෙකකින් යුක්තයි. ද්‍රෞපදී මුර්මු රාෂ්ට්‍රපති භවන් මන්දිරයට යෑමට පෙර ජීවත් වූයේ එහි එක් කොටසකයි. 

ඒ නිවසේ පිටත කොළ, කහ සහ දම් පාටින් වර්ණ ගන්වා ඇති අතර එහි පිටත බිත්ති සන්තාලි ගෝත්‍රික සිතුවම්වලින් සරසා තියෙනවා. ඒ නිවසේ මුල්ලක ගොඩ ගසා ඇති ප්ලාස්ටික් පුටු තොගය බොහෝ දෙනා එහි ආ ගිය බව පෙන්වනවා. මුර්මු දේශපාලනයට විත් වසර 25ක් වඩා නැහැ. ඒ කාලය තුළ ඇය මන්ත්‍රීවරියක, ඇමැතිවරියක සහ ආණ්ඩුකාරවරියක ද වුණා. අවසානයේ දැන් ඇය රටේ ජනාධිපතිවරියයි. 

නිවසේ සිටිද්දී, 64 හැවිරිදි මුර්මුගේ ජීවන රටාව මෙහෙමයි: ඇය අලුයම 3ට විතර අවදිව භාවනා කරනවා. උදෑසන ම ඇය කිලෝ මීටර් පහක් ඇවිදිනවා. ඉන්පසු යෝග ව්‍යායාමවල යෙදෙනවා. පාතරාසය ගැනීමෙන් පසු යළිත් භාවනාවේ යෙදෙනවා. ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස භාරතීය ජනතා පක්ෂය පසුගිය ජූනි 20 වැනිදා මුර්මුගේ නම යෝජනා කළ බව දැන ගත්‍ මොහොතේ මුර්මු ඊට ප්‍රතිචාර දැක්වූයේ දෑත් එක්කොට ඇස් පියා ගෙන ශිව දෙවියන් නැමදීමෙනුයි. 

එළවළු පමණක් ආහාරයට ගන්නා මුර්මු‍, සුදු ලූනු හෝ රතු ලූනු ආදිය ආහාරයට එක් කර ගන්නේ නැහැ. මේ වන විට ඇය පවුලේ වැඩි දෙනෙකු ද නිර්මාංශ ආහාරය හුරු කරවා තියෙනවා. ඇය ස්මාර්ට් ජංගම දුරකතනයක් භාවිත කරන්නේ අමතන්න සහ ඇමැතුම් ලබා ගන්න පමණයි. ඊට යෙදවුම් භාවිත කරන්නේ නැහැ. කලාතුරකින් රූපවාහිනිය නරඹන ඇය ප්‍රිය කරන්නේ සංගීත සහ කුඩා දරුවන් සහභාගී වන රියැලිටි වැඩසටහන්වලට පමණයි. සන්තාල් ගෝත්‍රික කාන්කාවක් නිසා ඇය සන්තාල් ගෝත්‍රිකයන්ගේ සාම්ප්‍රදායික නර්තනය ප්‍රගුණ කර ඇති අතර විශේෂ උත්සව අවස්ථාවලදීත් සැණකෙළි අවස්ථාවලදීත් ඇය එම නර්තන අංග ඉදිරිපත් කර තියෙනවා. 

ඇගේ නිල රථය මේ මර්සිඩීස් බෙන්ස් එස් 600 (ඩබ්ලිව් 221) පුල්මන් ගාඩ් නම් සුඛෝපභෝගී රථයයි.

අද ඇය භාරතයේ රාෂ්ට්‍රපති හ‍ෙවත් රාජ්‍ය නායකයායි; නාමික ප්‍රධාන විධායකයි; එසේ ම 1,417,284,809ක් වූ සමස්ත ඉන්දීය ජනතාවගේ ප්‍රථම පුරවැසියායි; ඉන්දියානු සන්නද්ධ හමුදාවල ඉහළම අණ දෙන නිලධාරියායි. ඇය 2022 ජූලි 25 වැනිදා මේ ගෞරවණීය පදවියේ දිවුරුම් දුන්නේ සංකීර්ණ මැතිවරණ ක්‍රියාවලියකින් පසුවයි. ඒ, ලෝක් සභා හා රාජ්‍ය සභා දෙකෙහිත්, ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවල මන්ත්‍රීන්, ඒකාබද්ධ ප්‍රදේශවල නියෝජිත මන්ත්‍රීන් ආදීන්ගේ රහස් ඡන්දයෙන් තෝරා පත් කර ගැනීමෙන් අනතුරුවයි. ඇය වසර පහක් මේ පදවිය හොබවාවි. 

අද ඇගේ නිල නිවහන වී ඇත්තේ නව දිල්ලියේ රාෂ්ට්‍රපතිභවන්ය. එය ලොව විශාලතම රාජ්‍ය නායක නිල නිවාසය ලෙස සැලකෙනවා. ඇයට තවත් නිල නිවාස දෙකක් තියෙනවා. ඒවා නම් සෙකුන්දර්බාද්හී රාෂ්ට්‍රපති නිලයම් හා ෂිම්ලාහී ජනපති විවේක මැඳුරයි. ඉන්දියාවේ ජනාධිපති වශයෙන් ඇයට මසකට වේතනය වශයෙන් ඉන්දියානු රුපියල් 5,70,000ක් ලැබෙනවා. ඊට අමතරව ජනාධිපති පදවියේ වැය ශිර්ෂය ලෙස ඉන්දියානු රුපියල් මිලියන 530ක් පමණ වෙන් කෙරෙ‍නවා. ඇයට ලැබෙන රාජ්‍ය නිල රථය විශේෂයෙන් තනවා ඇණවුම් කළ වෙඩි නොවදින මර්සිඩීස් බෙන්ස් එස් 600 (ඩබ්ලිව් 221) පුල්මන් ගාඩ් නම් සුඛෝපභෝගී රථයයි. ලොව රාජ්‍ය නායකයන් බොහොම දෙනකු භාවිත කරන්නේ ද ඒ මාදිලියයි. 

ඇයට නිල වශයෙන් ඇමතිය යුතු ආකාරයක් තියෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලය තුළ නම් ඇය ඇමතිය යුත්තේ ගෞර්වාර්හ (The Honourable) ද්‍රෞපදී මුර්මු කියායි; ලොව අනිත් රටවල අය එතුමිය ඇමතිය යුත්තේ උත්තමාව (Her Excellency) කියායි. ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත්වුණු දෙවැනි කාන්තාව ඇයයි. ඒ ප්‍රතිභා පාතිල්ගෙන් (2007-2012) පසුවයි. ඉන්දියාවේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරමින්, ජනාධිපති පුටුවට පැමිණි පළමු වැන්නී ඇයයි. ඇගේ පවුලේ අයට පමණක් නොව, සමස්ත භාරතයේ ම විවිධ ගෝත්‍ර හා කුල නියෝජනය කරන ප්‍රජාවට ඇය ගැන ආඩම්බර වීමට ඊට වඩා හේතුවක් තවත් නැත. 

- පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments